සමස්ථ ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ ස්වර්ණ ජයන්ති උත්සවය පවත්වන මේ දවස්වල බොදු සමඟිය ගැන ලියන්නට අදහස් කෙළේ මේ හැඟීම් දියුණු වුව හොත් එය බොදු සමුළුවේ ස්වර්ණමය සිහිවටනයක් වෙනවා ඇතැ යි සලකාගෙනැ ය.
‘සුඛා සංඝස්ස සාමග්ගි’ – සංඝයා ගේ සමඟි බව ලෝකයාට සුවයෙකි; සෙතකි; ශාන්තියෙකි යනු බුදුරජාණන් වහන්සේ ගේ ප්රකාශය යි. මේ දේශනාව අනුවැ සංඝයා ගේ අසමඟි බව ලෝකයාට විපතෙකැ යි ද ප්රකාශ වේ.
සංඝයා ගේ සමඟිය සඳහා නොයෙක් ධර්මෝපදේශයන් ප්රකාශ කළ බුදුරජාණන් වහන්සේ මසකට දෙවරක් භික්ෂූන් එක් රැස් විය යුතු බව ද වදාළ හ. මසකට දෙවරක් රැස්වීමෙන් ලැබුණු ප්රයෝජන දෙකකි.