Skip to main content

පන්සිල් සුරකින සමාජයක් සඳහා

 රටට ජනතාවට හිතකර කරුණු පිළිබද ව ඉතිහාසය සොයා බලා ආපස්සට හෙවත් අතීතයට ගිය විට නතර වන්නේ බුදුරජාණන් වහන්සේ වෙත යැයි ඉංග්‍රීසි පාලන යුගයෙහි භාරතයේ රාෂ්ට්‍රපති වැ සිටි සෙට්ලන්ඩි සාමිවරයා ලියා ඇත. එයට සාධකයක් වශයෙන් වර්තමාන පාර්ලිමේන්තු පාලන ක්‍රමය විග්‍රහ කොට පෙන්වා ඇත.

ලෝක ප්‍රවෘත්ති පිළිබඳ වැ ඉතිහාසය සොයා අතීතයට ගිය විට නතර වන්නේ ජාතක පොත් වහන්සේ වෙත යයි ද සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර ලෝකයෙහි තොරතුරු දැන ගන්නට උපකාර වන පොත ජාතකට්ඨකථාව යැයි ද එසේ නැත්නම් සිංහල ජාතක පොත යැයි ද ජාතක පොත කියවත් කියවත් ම එහි වැදගත්කම මා හට වඩ වඩාත් වැටැහිණැයි ද ඩෙන්මාක් රටෙහි වික්ටර් ෆෝස්බල් මහත්මා 1849 දී ජාතකට්ඨකථාව ඉංග්‍රීසි අකුරින් මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කෙරෙමින් සඳහන් කළේ ය.

කුරුධම්ම ජාතකයෙහි දී සඳහන් වන පරිදි අපේ බෝසතාණත් වහන්සේ පඤ්චශීල ප්‍රතිපත්තියෙහි පිහිටා රටවැසියාත් එහි පිහිටුවා දැහැමින් සෙමෙන් පාලනය කෙරෙමින් සාමයත් සමගියත් සමෘද්ධියත් ඇති කළ හැටි මනා වැ පැහැදිලි ය. එසේ ම පඤ්චශීල ප්‍රතිපදාව සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි බෞද්ධයන් අතර පවත්නා උතුම් පිළිවෙත බවත් සක්සුදක් සේ පැහැදිලි ය.

අපේ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ රකිමින් අනුනුත් රක්වමින් පවත්වා ගෙන ආ පඤ්චශීල ප්‍රතිපදාව සිද්ධාර්ථ ගෞතම නමින් බුද්ධත්වයට පත්වීමෙන් පසු උපාසක – උපාසිකාවන් ගේ නිත්‍ය ශීලය වශයෙන් දේශනා කළ සේක. මෙහි අපේ යනුවෙන් සඳහන් කලේ තෙරුවන් සරණ ගිය සකල ලෝකවාසීන් සලකාගෙන ය.

බෞද්ධ පවුලක උපන්නත් නියම වශයෙන් බෞද්ධ වන්නේ තෙරුවන් සරණ ගත වීමෙනි. පුහුදුන් තෙරුවන් සරණ කිලටිවන සුලු ය, කැඩෙන සුලු ය. පන්සිලුත් එසේ ම ය. එහෙයින් තෙරුවන් සරණ යෑමත් පන්සිල් සමාදන් වීමත් දිනපතා සිදු කිරීම සිරිතක් විය.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සිට ම රජතුමා පටන් සකල ජනතාවම තිසරණ පන්සිල් හි පිහිටීමත් ගෞරවයෙන් ආරක්‍ෂා කිරීමත් හොඳින් සිදු කළ බවට සාධක බොහොමයි. මෙන්න එයට නිදසුනක්:

රජගහ නුවර බිම්සර රජු දූ චුන්දී කුමරිය බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් මෙසේ කීවා ය: “භාග්‍යවතුන් වහන්ස, අපේ සහෝදර චුන්ද කුමරු මෙසේ කීය, ‘යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සඟුන් සරණ ගියේ, ප්‍රාණඝාතයෙන් දුරු වුයේ, මුසාවාදයෙන් දුරු වූයේ, අදත්තාදානයෙන් දුරු වුයේ, කාමමිථ්‍යාචාරයෙන් දුරු වුයේ, සුරාපානයෙන් දුරු වුයේ, මරණයෙන් පසු සුගතියට පැමිණයේ, දුගතියට නො යේ, එය එසේ දැ” යි ඇසී ය.

(අංගුත්තර නිකාය, තෘතීය භාගය, 55 පිටුව බලන්න)

මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ රජ කුමර – කුමරියන් ඇතුළු සැදැහැවත් පිරිස කොපමණ විශ්වාස‍ෙයකින් තෙරුවන් සරණගත වුණා ද පන්සිල් සමාදන් වුණා ද යන්නයි. මෙකල ද මහත් විශ්වාස‍ෙයකින් ගෞරව‍ෙයකින් තෙරුවන් සරණ ගත වී පන්සිල් සමාදන් වන පිරිසක් ඇතත් නිකම් චාරිත්‍රයට ඔළුව කහකහා වටපිට බලබලා තෙරුවන් සරණගත වන, ශික්‍ෂාපද කියන අය වැඩි වෙමින් පවතී. එය අවාසනාවන්ත දර්ශන‍ෙයකි.

පුරාණ ලංකාවෙහි පන්සිල් සමාදන් වන්නවුන් මෙන් ම පන්සිල් රකින්නෝ ද බහුල ව සිටියහ. පස්පව් කරන්නන් නොසිටියා නො වෙයි. එහෙත් වැඩි සංඛ්‍යාව ගැන සලකා ධර්මද්වීපය යන ගෞරව නාමය පිරිනමා තිබිණි. මෙකල ද පන්සිල් සමාදන් වන්නන් මෙන් ම පන්සිල් රකින්නෝ ද සිටිති. ජනගහනය අනුව සියයට 70 ක් බෞද්ධයෝ ය. සියයට 30 ක් අබෞද්ධයෝ ය. මෙහි සඳහන් කරන්නේ බෞද්ධයන් ගැන ය. එහෙත් සංඛ්‍යා ලේඛන වෙන් නොකළ හැකි හෙයින් පොදුවේ දක්වමි.

බුද්ධශ්‍රාවකයෝ භික්ඛු – භික්ඛුණී – උපාසක – උපාසිකා යි සතර වැදෑරුම් වෙති. මෙකල ථෙරවාදී භික්‍ෂුණීහු නැත. දසසිල් සමාදන් සීලවතීහු සිටිති. භික්‍ෂූන් හා උපාසක උපාසිකාවෝ සිටිති. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්හට ශික්‍ෂාපද 220 ක් ද භික්‍ෂුණීන්හට 304 ක් ද ප්‍රකාශ කළහ. උන් වහන්සේට වුවමනා නම් උපාසක – උපාසිකාවනට ශික්‍ෂාපද 100 ක් නියම කරන්නට ඉඩ තිබුණා. සම්බාධොයං ඝරාවාසො – ගිහිගෙදර සම්බාධ සහිත යැයි වදාළ බුදුරජාණන් වහන්සේ උපාසක – උපාසිකාවන්ගේ නිත්‍ය ශීලය වශයෙන් ප්‍රකාශ කළේ පඤ්චශීල යයි.

එය මෙසේ :

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි – සතුන් මැරීමෙන් වැළැකෙන සිකපදය සමාදන් වෙමි.

  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි – නොදුන් දෙය සොර සිතින් ගැනීමෙන් වැළකෙන සිකපදය සමාදන් වෙමි.

  3. කාමෙසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි – මෛථුන කාම සේවනයෙහි වරදවා හැසිරීමෙන් වැළැකෙන සිකපදය සමාදන් වෙමි.

  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි – බොරු කීමෙන් වැළකෙන සිකපදය සමාදම් වෙමි.

  5. සුරා‍මේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන රහමෙර පානයෙන් වැළැකෙන සිකපදය සමාදන් වෙමි.

පඤ්චශීලය බෞද්ධ – අබෞද්ධ – සිංහල – අසිංහල කාහටත් පොදු හොඳ මනුෂ්‍ය ධර්ම පහකි.

පන්සිල් ද? පස්පව් ද?

බුදුරජාණන් වහන්සේ පහළ වු කාලයෙහි බාහිර වශයෙන් බොහෝ කොට දියුණු වැ තිබුණත් අභ්‍යන්තර වශයෙන් තිබුණු තත්ත්වය සතුටු විය නො හැකි ය. භාරත ජනපද වශයෙන් සොළොසකට බෙදා රාජාණ්ඩු සමුහාණ්ඩු වශයෙන් පාලනය කලත් අහසින් යන තරම් දියුණු තාපසවරුන් සිටියත් සිතා හෝ නො සිතා හෝ පස්පවින් බර වැ සිටි බවට සාධක ඇත. යාග හෝමාදි පුජාවිධි සඳහා සතුන් මැරුවේ සිය ගණනෙනි, දහස් ගණනෙනි. වර්තමාන දියුණු තත්ත්වයේ සොරකම් අඩුවක් නැති වැ තිබුණා. ගණිකාවෘත්තිය ඉහළ ම පෙළේ රැකියාවකි. බොරුව එකල සාමාන්‍ය කතාවකි. රහමෙර ආගමික පානයකි.

බුදුරජාණන් වහන්සේ පස්පවේ වරද පෙන්වා පන්සිල් ඉගැන්වු සේක. එයින් පස්පව් යට කැර ගෙන පන්සිල් මතු විය. පිරිහෙන මාර්ග දුරු වු නිසා ජනතාව ආර්ථික – අධ්‍යාපන – සෞඛ්‍ය – සදාචාර යන සතර ආකාරයෙන් ඉහළට ම දියුණු විය. ගිහි පැවිදි දෙපිරිස ම පන්සිල් – අටසිල් – හෙරණ සිල් – උපසපන් සිල්වලින් දියුණු වුණා පමණක් නොවැ සෝවාන් – සෙදගැමි – අනගැමි – රහත් යන ලොවුතුරා ගුණයන්ගෙන් ද දියුණුවට පත් වුහ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු අණ කිරීමක් බල කිරිමක් නැතිව බුද්ධාගම පෙරදිග පුරා ම පැතිර ගියේ ය. එකල අවරදිග රටවල් අද මෙන් දියුණු ව තිබුණේ නැත. ජනාවාස ව තිබුණේත් නැත. එහෙයින් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දහසක් වන විට ලෝක ජනගහනයෙන් සියයට 70 ක් පමණ බෞද්ධයෝ වුහ. ශ්රීමත් විලියම් විල්සන් හන්ටර් මහතා ලියු ‘ඉන්දියා අධිරාජ්‍යය’ නැමැති පොතෙහි සඳහන් වන්නේ තවමත් ලෝක ජනගහනයෙන් අඩක් බෞද්ධයන් බව ය. 1887 දී රීස් ඩේවිඩ්ස් මහතා ඒ ඒ රටවලට දන්වා ලබාගත් සංඛ්‍යා ලේඛන අනුව ලෝක ජනගහනයෙන් සියයට 40 ක් බෞද්ධයෝ ය. මුල් කාලයෙහි රහතන් වහන්සේලා ම ධර්ම ප්‍රචාරයෙහි යෙදුණාහ. එහෙයින් උන්වහන්සේලාට ගමන් අපහසුවක් නොවීය. ඒ තත්ත්වය ක්‍රමයෙන් හීන වීය. අලුත් ලෝකයට භික්‍ෂූන් වහන්සේලා යන්නට පටන් ගත්තේ මෑතක සිට ය. මේ කාලය තුළ අණ කිරීමක් බල කිරීමක් උපක්‍රම යෙදීමක් නැති වැ ධර්ම ශක්තියෙන් ම ඉතා වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන ඇත. 1966 වන විට ඇමරිකාවේ තිබුණේ මහායාන පන්සල් ටිකක් පමණ ය. 1966 දී සාසන සේවක සමිතිය ප්‍රථම ථෙරවාද විහාරය ආරම්භ කළා. දැන් ථෙරවාද විහාර සියයක් පමණ ඇත. මහායාන පන්සල් ඊටත් වැඩි ය. ඇමරිකාවේ කෝටි පහක් පමණ බෞද්ධයන් ඇතැයි තතු දන්නෝ කියති.

ශ්‍රී ලංකාව ධර්මද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය වීම

මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් පසු දේවානම්පියතිස්ස රජතුමා ප්‍රධාන මහදනෝ බෞද්ධයෝ වූහ. භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් අධික වුහ. එපමණට ධර්මය ප්‍රචාරය විය. එයින් පස්පව් දුරු වීය. පන්සිල් මතු වීය. මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමුයන බොදු පිළිවෙත රජතුමා ප්‍රධාන ජනතාව තුළ මුල් බැස ගත්තේ ය. එයින් රටෙක දියුණුවට අවශ්‍ය ආර්ථික – අධ්‍යාපනික – සෞඛ්‍ය – සදාචාර යන බොදු පිළිවෙත මනසට කා වැදුණේ ය. පස්පව් දුරු වීය. පන්සිල් රජ වීය. එයින් ධර්මද්වීපය හා පෙරදිග ධාන්යාගාරය යන ගෞරව නාමය හිමි විය.

ශ්‍රී ලංකාවේ පළමු නිදහස් උත්සවයට පැමිණි බ්‍රිතාන්‍යයේ විදේශභාර අමාත්‍ය ලිස්ටෝවල් සාමිවරයා කළ ප්‍රකාශය මෙසේ ය: “මාගේ මුතුන් මිත්තන් වනචාරී ව සිටිය දී යුෂ්මතුන්ගේ මුතුන් මිත්තන් සතුව තිබු සභ්‍යත්වයත් දක්‍ෂතාවයත් ගැන සිතූ මා තුළ ඉතා ම නිරහංකාර නිහතමානී සිතිවිලි බලපවත්වන්නට විය.”

අවුරුදු විස්සක් මෙහි වාසය කළ පාලක පක්‍ෂයෙන් නොයෙක් ගැහැට වින්ද රොබට් නොක්ස් තුමා එම පාලනයට නිග්‍රහ කළ අතර සිංහල බෞද්ධයන්ගේ ගති පැවතුම් වර්ණනා කළේ මෙසේ ය:

“සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුනට ම වඩා යහපත් අය වෙති. ඔවුහු අන් හැම මිනිසුනට ම වඩා භාග්‍යසම්පන්න ද වෙති, මධුර කථා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝ ය.”

සිංහලයන්ගේ ගුණධර්ම සැකෙවින් වර්ණනා කරතහොත් මෙසේ ය: ඔවුන්ගේ ගමන් ලීලාව ද හැසිරීම ද ඉතා උදාර ය. යම්කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්‍ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කෙරෙති. ඔවුහු කිපෙන සුලු නො වෙති. කෝපයක් ඇති වුව ද වහා එය සංසිදුවා ගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති . වැඩි වේලා නො නිදති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ද ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමෙහි ඉතා දක්‍ෂ ය. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමිදුව කොතරම් මහේශාක්‍ය වුවත් කොතරම් දැසි දසුන් සිටියත් සියතින්ම ගෙදර සියලු කටයුතු කෙරෙයි.

සිංහලයෝ උදය සවස දෙක්හි පිළිම වහන්සේ ඉදිරියෙහි මල් පුජා කෙරෙති. නවගුණවැල් අතින් ගෙන භාවනාවෙහි යෙදෙති. සොරකම අතිශයින් ම පිළිකුල් කෙරෙති. කිසි ම සිංහලයකු කවදාවත් සොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙ‍රෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණධර්ම ඇති බව අත්දැකීමෙන් ම දනිමි.

සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලුටු ය, සුමධුර ය, අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහලද්වීපයේ එක ම සිංහල හිඟන්නෙක් වත් නැත.”

පන්සිල් අඩු වෙයි, පස්පව් රජ වෙයි.

ධර්‍මද්වීපය නමින් හැදින්වුනු ශ්‍රී ලංකාවේ පන්සිල් රකින්නෝ අඩු වෙති. පස්පව් කරන්නෝ වැඩි වෙති. විදේශීය ආධිපත්‍යයෙන් පුරුදු වු මාංසාහාරය ස්වදේශීය ආධිපත්‍යයෙන් කුළු ගැන්වී ඇත. එයින් සිදු වුයේ අකල් මරණ වැඩි වීමයි. පන්සිල් හි පළමු සිකපදය බිඳ වැටීම යි.

පළමු වන සිකපදය

ඇමරිකාව යුරෝපය වැනි රටවල මාංසාහාරය අධික ය. එහි අනිෂ්ට විපාක දැන් ලැබී ඇත. ඇමරිකාවේ හෘදය රෝග මරණ අවුරුද්දකට 15 ලක්‍ෂයක් පමණ වෙයි. නොම්මර එකේ මරුවා යැයි නම් කර ඇත. එයට හේතු සෙවීම විද්‍යාඥයෝ ආරම්භ කළහ. එනම් ශරීරවල කොලෙස්ට්‍රෝල් – මේද තෙල් වැඩි වීමයි. ‍ මේද තෙල් වැඩි වීමට ප්‍රධාන හේතුව මස් – බිත්තර – හැම් – බේකන් ආදිය යි. මෙය හොඳින් වටහා ගත් බුද්ධිමත් ජනතාව වඩා වටින්නේ මස් කෑල්ල ද, මනුෂ්‍ය ජීවිතය දැයි සිතන්නට විය. එහි සුන්දර ප්‍රතිඵලයක් වශයෙන් ඉතා වටිනා ශාක ප්‍රෝටීන් ඇති සෝයා වවා විවිධ ආහාර නිපදවා කෑම ආරම්භ විය.

මහා බ්‍රිතාන්‍යයේ ඉතා ඉහළ මට්ටමේ ව්‍යාපාරයක් “හර්බලිසම්” නමින් ආරම්භ කොට ඇත. ඔක්ස්පර්ඩ් ප්‍රදේශයෙහි ආරම්භ කරන ලද මෙම පලාවාදය මුල් කැර ගත් නිර්මාංසභෝජී සමිති පිහිටුවා ගෙන විෂ නැති නොයෙක් පලා ආහාර පිළියෙල කර ගෙන ඇත. මෙකල මහා බ්‍රිතාන්‍යයේහි නිර්මාංසභෝජීන් තිස් ලක්‍ෂයක් පමණ ඉන්නා බව දැන ගන්නට ඇත. ඔවුහු මාංස ප්‍රෝටීන් අත්හැර ශාක ප්‍රෝටීන් වලට මුල් තැන දීගෙන ඉදිරියට යති.

පුරාණයෙහි පටන් ශ්‍රී ලංකාවේහි මාංසභෝජීනුත් සිටියා, නිර්මාංශ භෝජීනුත් සිටියා. මාංසභෝජීනට ත්‍රිකෝටිපාරිශුද්ධිමාංස අනුභව කරන්නට ඉඩ ඇත” එනම්,

  1. අදිට්ඨ – තමන් සදහා මැරීම නොදුටු,

  2. අසුත – තමන් සදහා මැරීම නො ඇසු,

  3. අපරිසංකිත – තමන් සදහා මැරීම ගැන සැකයක් නැති,

මෙකල ගෙදර හිමියා ගෙදර ඉන්නා ගණනට මස් ගන්නවා. මේ මස් ගන්නා අය 25 ක් නම් මෙසේ මස් ගන්නා 25 දෙනා ගැන සලකා මස්කඩේ මුදලාලි මහ මස්කඩේ මුදලාලිට දන්වනවා. එලෙසින් එන්නා වු සියලු ඉල්ලීම් සලකා බලා මෙපමණ හරකුන් මරන්නැ යි නියම කරනවා ඉතින් ත්‍රිකෝටිපාරිශුද්ධ මාංසයක් ලැබෙන්නේ කෙසේ ද? මෙලෙසින් කොළඹ නගරයේ ලියා පදිංචි මස් කඩවල පමණක් දවසට හරක් මස් රාත්තල් පනස් දහසක් පමණ විකුණනවා.

මස්කන්න පුරුදු තැනැත්තාට කවර මසක් වුවත් කන්නට පිළිවන්. එහෙයින් එළහරක් – මී හරක් – එලුවන් – කුකුළන් – තාරාවන් – බල්ලන් – බළලුන් – තලගොයි – ඉබ්බන් යන සියලු සතුන් කනවා. කලකට පෙර බලු – බළල් මස් භෝජන ශාලාවකුත් ඇල්ලුවා නොවැ? මහ වැව් ප්‍රදේශයට ගොස් පෙර මෙන් ඉබ්බන් ඉන්නවා දැයි සොයා බලන්න.

හෘදය රෝග විශේෂඥ ඩී. පී. අතුකෝරල දොස්තර මහත්මා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානයෙහි සිල් පිරිසට හෘදය රෝග පිළිබද ව දේශනයක් පැවැත්වුවා. එහි දී හෘදය රෝග වේගයෙන් වැඩි වන බවත් එයට හේතුව හරක් මස් ඌරු මස් හා බිත්තර කෑම වේගයෙන් වැඩි වීම බවත් කීවා. පුරාණ රජවරුන් පැන වු මාඝාත නියෝගයෙන් මෙය ද රැකුණේ ය.

ගවඝාතක මධ්‍යස්ථානවල ගවයන්ගේ බෙල්ල කපන්නා ආගමේ තනතුරු දරන්නෙකි. එබන්දන් පනස් හතර දෙනෙකුගේ අවසාන කාලය කෙසේ දැයි සොයා ඇත. එයින් පනස් දෙ දෙනෙකුගේ අවසාන කාලයෙහි බෙල්ල වටේ ගෙඩි සෑදී කුණු වී විලාප දෙමින් සිට මැරී ඇත.

ත්‍රිකෝටිපාරිශුද්ධි මාංසහාරය ගැනිමට බාධාවක් නැතත් නිර්මාංසාහාරය තරම් කායික සෞඛ්‍යයටත්, මානසික සෞඛ්‍යයටත් මාංසාහාරය හිතකර නො වේ. මෙ කල ශ්‍රී ලංකාවෙහි ද නිර්මාංසභෝජීහු සෑහෙන සංඛ්‍යාවක් සිටිති.

“කිසි මැ සතකු නො මරමි මම නො                           මරවමි
මරන අයට කිසිසෙත් අනුබල නො                                 දෙමි
කිසිවෙකු නො වෙහෙසෙමි හැමට ම සුව                    පතමි
මෙලෙස පළමු සිකපද සපුරා                                             රකිමි

දෙ වන සිකපදය

සොරකම පවත්නේ ඈත අතීතයේ සිට ය. බුදුරජාණන් වහන්සේ සොරකම් ගණයට ඇතුළත් කළ කරුණු මෙසේ ය. නුදුන් දේ හොර සිතින් ගැනීම, මැනුම් වලින් කරන වංචා – නොරන් රන් හැටියට පෙන්වා කරන වංචා – විවිධාකාර මිනුම් වලින් කරන වංචා – අල්ලස් දීම හා ගැනීම, සටකපටිකම් ආදී විවිධාකාර වංචා. මෙ කල මේ වංචාවනට පරිවාර වශයෙන් කරන සොරකම් රාශියක් ඇත. එහෙත් මේ ශික්‍ෂාපදය රකින බෞද්ධයන් රාශියක් සිටින බව සතුටින් සඳහන් කෙරෙමි.

“අනුන් සතු නුදුන් දෙය හොරෙනි                       නො ගනිමි
නො ගන්වමි හොරුන් හට අනුබල                      නො දෙමි
තමන් සතු දෙයින් සතුටු වැ                                            දවසරිමි
දෙ වැන්න මෙලෙස සපුරා                                        සුරකිමි

තෙවන සිකපදය

බුද්ධ කාලය වන විට ගණිකා වෘත්තිය ඉහළ පෙලේ රැකියාවක් වී තිබුණා. ඔවුනට නගර ශොභිනී යන නම ද ලැබී තිබුණා. ඒ අතර බුද්ධ ධර්මය බ්‍රහ්මචර්යාව හෙවත් විශිෂ්ඨ දිවි පැවැත්ම පැහැදිලි කර දුන්නා.

එ මෙසේ ය :

  1. කොමාර බ්රහ්මචර්යය ළමයින්ගේ හා තරුණ තරුණියන්ගේ ශ්‍රේෂ්ඨ චර්යාව, කවර ආකාරයෙකින් වත් කුමාරභාවය, කුමාරිභාවය කිලිටි කර ගන්නේ නැති වැ දිවිපැවැත්ම,

  2. ස්වභාර්යා සන්තුෂ්ටි බ්රහ්මචර්යය මෛථුන කාම සේවනයෙහි දී ස්වකීය භාර්යාවගෙන් පමණක් සතුටු වන ශ්‍රේෂ්ඨ පැවැත්ම.

  3. ස්වපුරුෂ සන්තුෂ්ටි බ්රහ්මචර්යය මෛථුන කාම සේවනයෙහි දී ස්වකීය පුරුෂයාගෙන් පමණක් සතුටු වන ශ්‍රේෂ්ඨ පැවැත්ම.

  4. තපොගුණ යුක්ත බ්‍රහ්මචර්යය – මුලින් සඳහන් තුන් පිරිස ම පොහෝ දිනයන් හි තපො ගුණයක් හැටියට, “අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමී” යි සමාදන් වී සියලු කාමාස්වාදයන් ගෙන් තුරන් වැ ගත කරන ශ්‍රේෂ්ඨ චර්යාවයි. මෙබඳු බ්‍රහ්මචර්යා ජීවිත මෙලෝ ස්වර්ග ජීවිතයි. ඔවුනට පරලෝ සුගතිය ද නියතයි.

බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මචර්ය දේශනාවන් ගෙන් පිබිදුණු බුද්ධිමත්හු නියම බ්‍රහ්මචර්යාවට බැස ගත්හ. ගණිකා වෘත්තිය ද ළිහිල් වන්නට විය. ඇතැම් ගණිකාවෝ මෙහෙණ සස්නෙහි පැවිදි වැ මාර්ග ඵල ද ලබා ගත්හ.

“මිසහසරිනුදු දිවිහිම් කොටැ මැ                               වළකිමි
දරුකලැ කුමර බඹසර නිසි සේ                                       පුරමි
තුරුණු වැ සදර සතුටින් සැනැසී                                වෙසෙමි
මෙලෙස තෙ වැන්න සපුරා                                  රැකගනිමි

සිවු වන සිකපදය

කටින් කැරෙන පාප කර්‍මවලින් බොරුව මුල් තැන ගනී. බොරු නො කියන කෙනෙකුන් සොයා ගන්නට බැරි තරමට බොරුව සුලබ වී ඇත. පාරමී ධර්මයක් හැටියට බොරු නො කියන අයත් සිටින්නට පිළිවන. එබඳු බෝධිසත්ත්ව වරුනට මහත් ගෞරව දැක්විය යුතු ය.

අප ආචාර්යෝත්තම පැළෑනේ සිරි වජිරඤාණ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමු වී නොයෙක් දේ සාකච්ඡා කරන්නට නොයෙක් තරාතිරම් වල උගතුන් පැමිණීම සිරිතයි. උන් වහන්සේ ඇතැම් ප්‍රශ්න වලට විහිලු උත්තරත් දෙනවා. දිනක් පැමිණි කෙනෙකුන් ඇසූ ප්‍රශ්නයක් නම්, ස්වාමීන් වහන්ස, චේතිය රජතුමා බොරුවක් කියා පො‍ෙළාව පළා ගෙන ගිය බවක් චේතිය ජාතකයෙහි සඳහන් වෙයි. මෙකල එබඳු දේ සිදුවන්නේ නැත්තේ මන් දැයි ඇසී ය. දැන් මිනිසුන් බොරු කියන තරමට පැළෙන්නට ගියොත් පොළවක් ඉතිරිවන්නේ නැති නිසා විය හැකි යැ යි උන් වහන්සේ විහිලු පිළිතුරක් දුන්හ.

“බොරු නො මැ කියමි අනුනුදු එහි නො මැ              යොදමි
කියනුවනට කිසිසෙත් අනුබල                                         නො දෙමි
නිසි තැන පමණ දැන ඇත්තක් මැ                                          පවසමි
සිවුවන සික මෙලෙසින් සපුරා                                            රකිමි

පස්වන සිකපදය

බුද්ධ කාලයෙ හි සෝමපානය වැනි පාන වර්ග දේවපානයක් හැටියට පිළිගෙන තිබිණි. මෙකල ද දේවපානයක් හැටියට මත්පැන් බොන්නෝ සිටිති. එහෙත් බුදුරජාණන් වහන්සේ මත් වීමටත් ප්‍රමාදයටත් හේතුවන කවර පානයක් වත් හෙවත් කවර මද්‍යසාරයක් වත් නො බොන ලෙසට ප්‍රකාශ කළහ. ඇතැම් අරිෂ්ට බෙහෙත් ගණයට වැටෙයි. මද්‍යසාරය සියයට දහයක් නම් බෙහෙත් සාරය සියයට අනුවක් වෙයි. සමහර ශික්‍ෂාකාමීන් එබඳු අරිෂ්ට වත් එබඳු බෙහෙත් වත් බොන්නේ නැත.

මිහිඳු මහරහතන් වහන්සේ ගේ පැමිණීමෙන් පසු හෙළදිව පඤ්චශීල ප්‍රතිපදාව පැතිර ගියේ ය. එහෙයින් මත්පැන් නැතැ යි කිව යුතු තරමට හීන විය. සිංහලයන් මත්පැන් නො බොති. ගවමස් නො කති යි රොබට් නොක්ස් මහතා කීය. මත්පැන් බීම ලංකාවට අපෙන් ලැබුණු සාපයෙකැයි ග්‍රෙගරි ආණ්ඩුකාරතුමාණෝ කීහ. මෙසේ ගුණවර්ණනා ලැබූ සිංහලයන්ගේ අද තත්ත්වය කෙබඳු දැයි සිතා බලන්න.

දුම්, මත්පැන්, මත් කුඩු ගන්නෝ කෝටියකට ළං වී ඇතැයි දිවයින පුවත් පත කියයි. ලංකාවේ මුළු ජනගහනය එක් කෝටි හැට ලක්‍ෂයයි. එයින් වයස පහළොවෙන් පහළ ළමයි පනස් අට ලක්‍ෂයකි. ඔවුන් තව ම මේ උවදුරට අසු වී නැත. එය එසේ නම් ළමයින්ගේ ඉතිරි කොටස එක් කෝටි දෙලක්‍ෂයකි. එයින් භාගයක් පිරිමි ය. භාගයක් ගැහැණු ය. පුවත් පත් හි සඳහන් වී තුබුණු කෝටියට ආසන්න ගණන හදා ගන්න ගැහැණුන් ගෙන් භාගයක් වත් නො ගෙන බැරි ය.

ශ්‍රී ලංකාවෙහි කාන්තාවන් මත්පැන් නො බොන පිරිසක් හැටියට ගෞරවයක් ලබා සිටියා, දැන් ලැබෙන ආරංචි අනුව පිරිමින් පරද්දන තත්ත්වයේ බේබදු ගැහැණුන් සිටිනවා. අපේ අනාගතය කෙබඳු දැයි නුවණින් සලකා බලන්න. දියුණු යැයි කියා ගන්නා රටවල ගැහැණුන් ගේ බීමත්කම නිසා ළමයින් පත් වී ඇති තත්ත්වය ඉතා අවාසනාවන්ත ය. මත්පැන් වෙළදාමෙන් බොහාම මුදල් ලබන යුරෝපයේ රටක කරන ලද පරීක්‍ෂණයක දී හෙළි වුයේ දොලොස් වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා පිරිමි ළමයින්ගෙන් සියයට අනූඅටකුත් ගැහැණු ළමයින්ගෙන් සියයට අනූහයකුත් මත්පැන් රස විඳින බවයි. හිතවතුනට මුදල් හම්බ කරන්නට ඉඩ දී අපේ රටෙහිත් එකී තත්ත්වය එන තුරු බලා සිටිමු ද?

මේ වසරේ අවුරුදු උත්සවය මීට පෙර කවරදාක වත් නො පැවති ප්‍රමාණයේ ආගමික හා ජාතික උත්සවවලට මුල් තැන දී මහ ඉහළින් පැවැත්වුණු බව උඩින් බලන කවර කෙනෙකුට වුවත් පෙනෙනවා ඇත. මේ අවුරුද්දේ දින තුනක් මත්පැන් හා මස්කඩ වසා තැබුවා. අදහස ඉතා වැදගති, එහෙත් සිදු වුයේ කුමක් ද? මත්පැන් බොන්නන් සිටි හැම ගෙදරක් ම මත්පැන් හලක් වුණා. මස්කන අයිස් පෙට්ටි තිබෙන හැම ගෙදරක් ම මස් හලක්. මේ වසරේ අවුරුදු උත්සවය පන්සලත් හෙවත් ආගමික ස්ථානත් පාසලත් පොලිසියත් සම්බන්ධ කොට අලුත් ස්වරූපයක් ගත්ත නිසා පෙර අවුරුදුවල මෙන් කෝලාහල අඩු වීම වැදගත් ලක්‍ෂණයකි. එයට හැම දෙනා ම ප්‍රශංසා කළ යුතු වේ. එහෙත් අවුරුදු කාලේ මත්පැන් බීම නම් අඩු වී නැත. වාර්තාගත වැඩි වීමක් පෙනෙන්නට ඇත.

“මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව විසින් පෙරේදා වන විට වෙ‍ෙළඳ පොළට නිකුත් කර ඇති සියලු ම වර්ග වල මත්පැන් බෝතල සංඛ්‍යාව දෙකෝටි තිස්දෙලක්‍ෂ හයසිය හැටක් බව ඉස්කාගාර සංස්ථා නිල ආරංචි මාර්ග පවසයි.”

(1991 – 4 – 10 දිවයින)

ශ්‍රී ලංකාවේ බේබද්දන්හට උවමනා මත්පැන් සියයට 70 ක් නිපදවන්නේ ඉස්කාගාර සංස්ථාවයි. අනෙක් සුරා නිෂ්පාදක සමාගම් නිෂ්පාදනය කරන්නේ සියයට 30 ක් බව දැන ගන්නට ලැබිණ. ඔවුන්ගේ නිපදවීම් ඉතා සාර්ථක බව පුවත්පත් ප්‍රවෘත්තීන්ගෙන් හා පුවත්පත් දැන්වීම් වලින් ද පැහැදිලි වැ පෙනේ. මෙයට අතිරේක වැ පිටරට වලින් ගෙන්වන මත්පැන් බෝතල සංඛ්‍යාව ද අතිවිශාල ය. සියල්ල එකතු කොට ගත් කල අවුරුදු සතියේ මත්පැන් බෝතල සංඛ්‍යාව කෝටි හතරක් වත් බොන්නට ඇතැයි අනුමාන කොට කිව හැකි වේ.

“මත්පැන් නො බොමි නො පොවමි දුමුදු නො මැ    බොමි
බොන්නන් හට ද අනුදැනුමක් නො ම                               කරමි
මත්වන හැම දෙයින් සිහිනෙදු                                             වළකිමි
පස්වන සික මෙලෙසින් සපුරා                                         රකිමි

මේ තත්ත්ව‍ය ශ්‍රී ලංකාවට මහත් නින්දාවකි. පන්සිලින් බැබැළුණු හෙළදිව හෙවත් ශ්‍රී ලංකාව අද පස්පවින් පිරිහෙමින් පවතී. මේ පිරිහීමට හේතුව සල්ලි සල්ලි කියමින් සල්ලි දෙවියන්ගේ ත් රජා කෙරෙමින් මිනිසා නො හදා රට හදන්නට යෑම යි. එයින් නො යෙක් ආකාරයෙන් රට නම් හැදෙනවා, මිනිහා යකාට යනවා. එහෙයින් දැන් මිනිහා කරන්නේ යක්‍ෂ වැඩයි. මේ ගමන තවත් ඉදිරියට ගියොත් මිනිහා අන්තයටම පිරිහෙනවා මයි.

මේ තත්ත්වයෙන් මිනිසා බේරා ගන්නේ කෙසේ ද? ශ්‍රී ලංකාවේ ජනතාව එක් කෝටි හැට ලක්‍ෂයක් පමණ ය. පවුල් වශයෙන් ගත් කල තිස්පන් ලක්‍ෂයක් පමණ විය හැකි ය. එයින් බෞද්ධ පවුල් විසි ලක්‍ෂයක් පමණ විය හැකි ය. බෞද්ධයන්ගේ මුල් පිළිවෙත පන්සිල් වුවත් එය රකින්නන් ක්‍රමයෙන් හීන වෙමින් යන බවක් පෙනෙන්නට ඇත. පස්පව් කරන්නන්ගේ සංඛ්‍යාව විවිධ හේතූන් නිසා වැඩි වී ඇත. මෙය ශාසනික මහා පරිහානියකි. මේ පරිහානිය තවත් ඉදිරියට නො යෑමට වැටක් බැන්ද යුතු කාලය පැමිණ ඇත.

බෞද්ධයන්ගේ සංඛ්‍යා වශයෙන් පවුල් විසි ලක්‍ෂයක් නම් එයින් දශ ලක්‍ෂයක් පමණ පඤ්චශීල ප්‍රතිපත්තිය නො සලකා හැර සිටියත් තවත් දශ ලක්‍ෂයක් පමණ පන්සිල් රකින – පන්සිල් රකින්නට උත්සහ කරන පවුල් විය හැකි ය. පළමු වරට අපේ යුතුකම දෙවන පවුල් දශ ලක්‍ෂය ආරක්‍ෂා කැර ගැනිම යි. දෙවන පියවරට, පන්සිල් නොරකින පිරිස පන්සිල් රකින සංඛ්‍යාවට හරවා ගැනිමයි.

මිහිඳු මහ රහතන් වහන්සේ හෙළදිවට – ලක්දිවට වැඩම කොට දහම් දෙසීමෙන් පසු හෙළයෝ – සිංහලයෝ බෞද්ධයෝ වුහ. එයින් පඤ්චශීල සමාජයක් ඇති විය. එය ඉහළට නැගී ගියේ ය. සිවු බඹසර රකින්නෝ ක්‍රමයෙන් නැගී ගියෝ ය. දුටුගැමුණු මහ රජතුමාගේ කාලය වන විට රහතන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. අභ්‍යන්තර දියුණුවෙන් මෙන් ම බාහිර දියුණුවෙන් ද නැගී ගියේ ය. එහෙයින් “ධර්‍මද්වීපය පෙරදිග ධාන්‍යාගාරය” යන නම් වලින් මුළු රට ම බැබැළිණ.

පසු කාලයෙහි ප්‍රධානීහු දියුණු රටෙහි බලය අල්ලා ගැනීමේ සටනෙහි යෙදුණහ. එය දියුණු වී ගොස් කුලල් කා ගන්නට පටන් ගත්තා, මුළු ජාතිය ම දුර්වල වුණා. ඒ අවස්ථාවෙහි යුරෝපයේ අධිරාජ්‍ය තුනක් අපේ රට ආක්‍රමණය කොට බලය අල්ලා ගත්තා. ඉංග්‍රීසීන්ගේ පාලන යුගයෙහි නොයෙක් තරාතිරම් වල විදේශිකයන් ලංකාවට පැමිණියා. වරක් නැවකින් එසේ පැමිණි විදේශිකයකු වරායේ සිට රෑ 11 ට පමණ වාහන‍ෙයකින් ගල්කිස්සේ හෝටලයකට ගියා. එකලැ රාත්‍රියෙහි හැසිරෙන අභිසාරිකාවන් සිටියේ නැත. විදේශිකයා අභිසාරිකාවන් නැත්තේ මන් දැයි මාර්ගදේශකයාගෙන් ඇසී ය. එවිට මාර්ගදේශකයා “සර්, මෙය මිනිසුන්ගේ රටක්. එහෙයින් රාත්‍රියෙහි හැසිරෙන අභිසාරිකාවන් නැතැ” යි කී බවක් අසා ඇත.

1960 ගණන් අගභාගයේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්නට තීරණය කරගෙන එහි නියමුවා පිටරටින් සංචාරක ව්‍යාපාර විශේෂඥයකු ගෙන්වා ගත්තා. ඔහු නොයෙක් ප්‍රදේශවල සංචාරය කොට කියා ඇත්තේ ලංකාවේ කාන්තාවන් ශීලාචාර වැඩියි, එහෙයින් සංචාරක ව්‍යාපාරය සාර්ථක කැර ගැනීම දුෂ්කර බවයි. මෙය දැනගන්නට ලැබී එයට සම්බන්ධ කෙනෙකුගෙන් විමසා බැලීමි. හේ සිනහ වී නිහඬ වීය. තවමත් අපේ කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සදාචාර සම්පන්න යි. එසේ වුවත් ඒ සංචාරක විශේෂඥයා ගෙන්වා නැවතත් සංචාරක ප්‍රදේශවලට යැව්වොත් ඔහු ගමන අවසානයෙහි “මා කලින් කී කතාව ඉල්ලා අස්කැර ගන්නවා” යයි කියනවා ඇත.

1976 පමණ තවත් සංචාරක විශේෂඥයකු සංචාරක ප්‍රදේශවල සංචාරය කොට වාර්තාවක් බාර දී ඇත. එය නිකුත් කරන්නේ නැද්දැයි වගකිව යුතු කෙනෙකුගෙන් ඇසී ය. නිකුත් කළ හැකි තත්ත්වයක් නැතැයි හේ කීය. කාන්තාවන් රැකියා සඳහා මැදපෙරදිග රටවලට යන්නට පටන් ගත් පසු පොලිස් ප්‍රකාශයක් අනුව පුවත්පත්හි පළ වු වාර්තාවක් මෙසේ ය : “නිදැල්ලේ හැසිරුණු දහඅට දාහක් පමණ අභිසාරිකාවනුත් මැදපෙරදිගට ගොස් ඇත”

පන්සිල් හි තුන් වැනි සිකපදය නොරැකීම නිසා ශිෂ්ට සමාජයට සිදු වී ඇති විනාශය අති විශාල ය. මීට අවුරුදු දහයකට පමණ පෙර සමාජ රෝග වෛද්‍ය විශේෂඥයන් තිදෙනෙක් පැමිණ සමාජ රෝගීන් ගේ තත්ත්වය අතිභයානක යයි ප්‍රකාශ කළහ. අශිෂ්ට සංචාරකයන් බහුල වීම නිසා සමාජ රෝග බහුල වෙමින් අවුත් දැන් ඒඩ්ස් රෝගය ද වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන ඇත. “1993 වන විට ඒඩ්ස් රෝගය නිසා ඇමරිකාවේ තුන් ලක්‍ෂ පනස් දහසක් දෙනා මිය යනු ඇත. එය වියට්නාම් යුද්ධයේ දී මියගිය සංඛ්‍යාව මෙන් සිය ගුණයක් බවට අනාවැකි පළ කෙරී ඇත.”

(1991 – 04 – 10 දිවයින )

ශ්‍රී ලංකාවේ තත්ත්වය නුවණින් සලකා බලන්න. “ශ්‍රී ලංකාව පුරා ඒඩ්ස් රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම වලක්වාලීමට සුදුසු පියවර නො ගතහොත් ඉදිරි වසර තුනක කාලය තුළ දී එය ජාතික උවදුරක් බවට පත්වනු නිසැක යයි වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අගවති.”

(1991 – 04 – 07 ඉරිදා දිවයින )

ඒඩ්ස් ආදී සමාජ රෝගවලින් බේරෙන්නට හොඳ ම මග පන්සිල් රැකීමයි. පන්සිල් රකින්නන්ගේ සමාජයක් බිහි කිරීමට අප මනා කොට සංවිධානය විය යුතු වේ. එසේ සංවිධානය වීම පළමු වරට ලෝකයාට ඉගැන්වූයේ බුදු රජාණන් වහන්සේ ය. බුදු වූ වසරෙහි ම පිහිට වූ මහා සංඝ සභාවේ වයස අවුරුදු දෙදහස් පන්සිය හැත්තෑ නවයෙකි. මහා සංඝ සභාව හැර මෙපමණ දීර්ඝ කාලයක් පැවති සංවිධානයක් වෙන නැත.

‍මේ ශෝචනීය තත්ත්වයෙන් ශ්‍රී ලංකා සමාජය බේරා ගැනීම සඳහා අලුතින් පිහිටැවෙන සංවිධානය “පඤ්චශීල සංරක්‍ෂක පර්ෂදය” යනුයි. ලිපිනය, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය” සාමාජික ලක්‍ෂණ පන්සිල් රැකීම හා රකින්නට උත්සහවත් වීමයි. සාමාජිකයෝ පවුලේ සියලු දෙනා ය. එයින් මවගේ හෝ පියාගේ හෝ නම හා ලිපිනය මුලස්ථානයට එවිය යුතු ය. සාමාජික මුදලක් නැත. එහෙත් හැම ගෙදරක ම සිටින අය පුනු පොහෝදා සිල් සමාදන් වී හෝ නැති ව හෝ රෑ කෑමවේල නතර කොට එයින් ලැබෙන මුදල ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල වශයෙන් පින් කිරීමට වෙන් කොට තබා පර්ෂදය මඟින් නිකුත් කරන ලද කුඩා පොත් හා පත්‍රිකා ලබා ගැනීමට කැමති නම් මුලස්ථානයට මසකට රුපියල් පහක් එවිය යුතු ය. ඉතිරි මුදල් පිනටත් සමාජ සේවයට දිය හැකි වේ.

පඤ්චශීල සංරක්‍ෂක පර්ෂදය අධිවෙසක් පුනු පොහෝ දා හෙවත් 2534/1991 අප්‍රේල් 28 වැනි ඉරිදා – පුර පසොළොස්වක් දා ආරම්භ කෙළෙමු. නියම වෙසක් පුනු පොහොය යෙදී තිබෙනුයේ මැයි මස 27 වෙනි සඳුදාට ය. එදින වන විට පඤ්චශීල සංරක්‍ෂක පර්ෂදය සිරිලක පුරා පතුරුවමු. සාමාජික වීම මේ මාසය තුළත් පිළිවන්, පසුවත් පිළිවන්.

පඤ්චශීල සංරක්‍ෂක පර්ෂදයෙහි ප්‍රධාන කාර්යය තමන් පන්සිල් හි පිහිටා අන්‍යනුත් පන්සිල් හි පිහිටුවීමයි. පන්සිල් කඩ කරන්නන් පන්සිල් හි පිහිටුවීම තරමක අපහසු කාර්යයක් විය හැකි ය. කලකිරෙන්නේ නැති ව දෙතුන් වරක් නො වැ විසි තිස් වාරයක් හෝ කරුණාවෙන් හා මෛත්‍රියෙන් කතා කොට පන්සිල් හි පිහිටුවා ගැනීම මහා පින්ක‍ෙමකි.

පන්සිල් රකින දරුවෝ දෙව්ලොවට      යෙති
පස්පව්
කරන මරුවෝ නිරය                     පුරවති
පව්
පින් නො දැනැ කැරුවෝ නම් පසු තැවෙති
ඉන් සිල් රකිවු සුරුවෝ නම් ඔහු මැ
         වෙති

පස්පව් දස අකුසල් නොකරන පන්සිල් දසකුසල් සපුරන සමාජයක් බිහි වේවා !

මෙහි ඇතුළත් කවි හා ගී ආචාර්යෝත්තම පැළෑණේ සිරි වජිරඤාණ මහානායක ස්වාමීන්ද්‍රයන් විසින් සම්පාදිතයි.

1991 දී සාසන සේවක සමිතිය මඟින් ප්‍රකාශිත

“පඤ්චශීල සංරක්‍ෂක පර්ෂදය” නම් ග්‍රන්ථයෙනි.

ප්‍රඥාප්‍රභා 7

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා
අජිත් ද අල්විස් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.