Skip to main content

පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ගඳකිළියක් තනවා දෙව්ලොව සැප විදි සේලුදායි (සේල) මහරහතන් වහන්සේ.

මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි මෙම සේල නම් රහතන් වහන්සේ එක්තරා කුලගෙයක කුල පුත්‍රයෙක්ව උපන්නේ ය. ඒ කුල පුත්‍ර තෙම තමාගේ අතවැසි තුන් සියයක් දෙනා සමග බුදුරජාණන් වහන්සේට ගඳකිළියක් තනවා එහි වැඩ නිමවූ දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මහදදී ගඳ කිළිය පූජා කොට සියලූ දෙනා වහන්සේට තුන් සිවුරුද පුජා කෙළේය. හෙතෙම එම පින්කමෙහි ආනිශංසයෙන් බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරිසරන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි අංගුත්තරාපආපණ නම් ගම බමුණු කුලයක ඉපිද  ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් විසීය. බමුණන් තුන්සියයකට වේදය ඉගැන්විය. එසමයෙහි අපගේ ලොවිතුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරින් නික්ම දෙළොස් දහස් පන්සියයක් පමණ භික්ෂුන් පිරිවරා අංගුත්තරාප ගමෙහි හැසිරෙන්නේ අතවැස්සන් සමග සේල බමුණාගේ නුවණ මෝරා ඇති බව දැන එක්තරා ආසන්න වනයක වැඩ සිටි සේක. බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව ඇසු කේණිය නම් ජටිල තෙම උන්වහන්සේ හමු වීමට ගොස් සතුටු සාමිචී කථා පවත්වා පසු දිනට තමාගේ ආශ්‍රමයට දානය පිණිස වඩින ලෙස ආරාධනා කොට පසුදින තම අසපුවෙහි දන් පිළියෙළ කරමින් සිටියේ ය.

එම මොහොතෙහි සේල බමුණා අතවැසියන් තුන් සියයක් පිරිවරා ගෙන සක්මන් කරනු සඳහා පිටත්ව කේණිය ජටිලයා ගේ අසපුවට පැමිණ දානය පිළියෙළ කරමින් සිටි කේණිය ජටිලයාට කථා කොට ” කේණිය කා සඳහා ආහාරපාන පිළියෙළ කරන්නෙහිදැ ” යි ඇසීය. ” බමුණ අද මාගේ අසපුවට ගෞතම බුදුරජාණන් වහන්සේ දානය සඳහා වඩින සේක. මේ සියල්ල සුදානම් කරන්නේ උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට යැ” යි කේණිය ජටිලයා පිළිතුරු දුන්නේ ය, ” ඒ බුදුරජ දැන් කොහි වෙසෙත්දැ “යි විචාළ කල්හි  අසල වනයෙහි වසන බව කේන්ද්‍රිය ජටිලයා විසින් දන්වන ලද්දේය.

ඉක්බිති සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. එහි වැඩ හුන් බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පස්ව හිද සර්වඥයන් වහන්සේ මහා පුරිස ලක්‍ෂණ දැන හැඳින මේ තෙමේ ඒකාන්තයෙන් බුදු කෙනෙකැ යි තීරණය කොට උන්වහන්සේගෙන් බණ අසා තුන් සියයක් පිරිස සමග පැවිදි විය. උපසම්පදාව ද ඇත්තේ විය. මේ අතර කේණිය ජටිලයා බුදු රජාණන් වහන්සේ ඇතුළු භික්ෂුහු දන් වළදා ආපසු වැඩි කල්හි සේල තෙරුන් ප්‍රධාන තුන් සියයක් භික්ෂුහු එදින සිට සත්දවසක් භාවනා කොට විදර්ශනා වඩා රහත් වුහ.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.