Skip to main content

ධම්මදස්සී බුද්ධ වංශය ( Dhammadassi Buddha Wanshaya )

එ ම මණ්ඩ නම් කල්පයෙ හි මහා යසස් ඇති ධම්මදස්සී නම් බුදුරජ තෙම මොහඳුර නැතිකොට දෙවියන් සහිත ලෝකයෙ හි අතිශයින් බැබළී ය. අපමණ තේජස් ඇති ඒ ධම්මදස්සී බුදුරදුන් ගේ දම්සක් පැවැත්මෙ හි දී කෝටි ලක‍ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මභිසමය වී ය. යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම සඤ්ජය නම් තාපසයා හික්මවූ සේක් ද,   අනූ කෝටියක් දෙනෙකුන් ට දෙවන ධර්මවයබෝධය වී ය.

යම් කාලයක සක්දෙව් රජ පිරිස් සහිත ව සත්ත‍වයන් හික්මවන ධම්මස්සී බුදුරදුන් කරා එළඹි සේක් ද,  එ දා අසූ කෝටියක් දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී ය.
දෙවියන් ට දෙවි වූ ඒ බුදුරදුන්ට ද තාදී ගුණ ඇති,  සන්හුන් සිත් ඇති,  රාගාදී කිලුටු නැතිකළ රහතන් වහන්සේලා ගේ සන්නිපාත තුනක් වූ හ.

යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම සරණ නම් නගරයෙ හි වස් එළඹි සේක් ද,  එ දා කෝටි දහසක් දෙනෙකුන් ගේ පළමුවන රැස්වීම වී ය. නැවත ද යම් කාලයෙක් හි බුදුරජතෙමේ දෙව්ලොවින් මිනිස් ලොව ට වැඩි සේක් ද, ඒ කාලයෙ හි ද සියක් කෝටියක් දෙනෙකුන් ගේ දෙවන රැස්වීම වී ය. නැවත ද යම් කාලයෙක් හි බුදුරජතෙම තෙලෙස් ධූතගුණයන් ප්‍රකාශ කළ සේක් ද, ඒ කාලයෙ හි අසූ කෝටියක් දෙනෙකුන් ගේ තුන්වන රැස්වීම වී.

මම ඒ කාලයෙ හි පුරින‍දද නම් සක්දෙව් රජෙක් වීමි.  දෙව්ලොව හටගත් සුවඳින් හා මලින් ද, පසඟතුරින් ද, බුදුරදුන් ට පිදුවෙමි. ඒ බුදිරජතෙම ද දෙවියන් මැද වැඩහිඳ,  මේ සක්දෙව් රජතෙම අටළොස් සිය කල්පයක්හු ගේ මත්තෙහි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ප්‍රධාන් වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදුරජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය.   පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද,  “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ ධම්මදස්සී බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.

ධම්මදස්සී බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි  වතක් ඉටුයෙමි.

ධම්මදස්සී ශාස්තෘන් වහන්සේ ගේ උපන් නුවර “සරණ” නම් වී ය. පියතෙම  “සරණ” නම් රජ ය. වැදූ මව් තොමෝ “සුනන‍දා” නම් වූවා ය. ඒ  බුදුරජතෙම බුදුවන්ට පෙර අවුරුදු අට දහසක් ගිහිගෙයි විසී ය. “අරජ” ය,  “විරජ” ය,  “සුදස්සන” ය යන උතුම් ප්‍රාසාද තුනක් වූ හ. මනාකොට සරසන ලද පිරිවර අඟනෝ තුන් දහසකි. බිරිඳ “විචිතොලි” නම් වූවා ය. පුත් තෙම “පුඤ්ඤවඩ්ඪන” නම් වී ය.

පුරුෂොත්තම වූ ධම්මදස්සී බුදුරජතෙම සතර පෙර නිමිති දැක, පහයෙන් මහබිනික්මන් කළේ ය. සත් දවසක් මුළුල්ලේ ප්‍රධාන් වීර්යය කළේ ය.

මහාවීර වූ මිනිසුන් ට උතුම්වූ ධම්මදස්සී නරදෙටු තෙම බඹහු විසින් අයදනා ලද්දේ,  “මිගදාය” නම් උයනෙ හි දී දම්සක් පැවැත්වූ සේක.

ධම්මදස්සී ශාස්තෘන් වහන්සේ ට “පදුම” ද,  “ඵුස්සදෙව” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක්  වූ හ. උපස්ථායක තෙම “සුනෙත්ත” නම් වී ය. “ඛේමා” ද,  “සච්චනාමා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “රත්කරව්” ගස ය යි කියනු ලැබේ.

“සුභද්ද” ද, “කටිසභ” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. “සාලියා” ද, “වලීයා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

අසම සමවූ ඒ බුදුරජහු ද අසූ රියනක් පමණ උස ය.  දස දහස් ලෝදාහි තෙදින් ඉතා බැබළි ය. හොඳින් මල් පිපුණු සල් ගසක් මෙන් ද, අහසෙ හි විදුලිය මෙන් ද, ඉර මුදුන් වේලෙ හි හිරු මෙන් ද, මෙ සේ ඒ බුදුරජතෙම බැබළු සේක.

අසම තෙද ඇති ඒ බුදුරදුන් ට ද සියලු සත්ත‍වයන් හා සම වූ ජීවිතයක් විය.   පසැස් ඇති උන්වහන්සේ අවුරුදු ලක්ෂයක් ලෝකයෙ හි වැඩ සිටි සේක. අහසෙ හි හිරු සඳු දෙදෙනො මෙන් ආලෝකය දක්වා, ශාසනය පිරිසිඳු කොට ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජතෙමේ ද පිරිනිවි සේක.

මහාවීර වූ ධම්මදස්සී බුදුරජතෙම “කේසාරාම” යෙ හි දී පිරිනිවි සේක. එ හි ම ඒ උතුම් දාගැබ තුන් යොදුනක් උස්වී ය.

[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, ධම්මදස්සී බුද්ධ වංශය]

උපුටා ගැනීම -www.thiryak.org

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.