Skip to main content

දීර්ඝායුෂ – පී‍්‍රතිය හා යශෝරාවය …

චීනයේ ප්‍රාන්ත රාජ්‍යයක කණිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වූ චෑං ඉතා දැහැමි සෘජු නිලධාරියෙකි. කාරුණික හදවතක් ඇති ඔහු නිරන්තරව ම අහිංසාවාදී ක්‍රියාවන්හි නිරතවීම ප්‍රතිපත්තිය කර ගත්තේය. ඔහු දැරූ තනතුරේ හැටියට ඔහුට විශාල වැටුපක් නොලැබුණත් හැකි සෑම අවස්ථාවකම ගෝඝාතකයා වෙත ගොස් මරණයට කැපව සිටි සතුන් මිලදී ගෙනවුත් ගෙදර තබා හදා වඩා ගත්තේ ය.

ඔහුට බොහෝ දරු මුණුපුරෝ වූහ. පවුලක වැඩිපුර දරුවන් සිටීම මහත් භාග්‍යයක් කොට චීන ජාතිකයෝ සලකති. චැං කිසිම මුදලක් නිකරුණේ වැය කළේ නැත. කාලය ඉකුත්වත්ම ප්‍රමාණවත් ධනයක් රැස්කර ගැනීමට චැංට හැකිවිය. තමාට ඉඩ ලැබුණ සැම විටකම ගෝඝාතකයාට අදාළ මුදල ගෙවා මරණයට කැපව සිටි සතුන් නිදහස් කර ගෙන ගෙදර ගෙනවුත් හදා වඩා ගැනීම අඛණ්ඩව කරගෙන ගියේය. මෙම සතුන් වයස්ගත වීමේ හේතුවෙන් මියගිය විට ඔවුන් ඉතා ආරක්ෂා සහිතව භූ®මිදාන කිරීමට ඔහු ඇප කැපව ක්‍රියා කෙළේ ය. ඒ අතරතුර චෑංද වයස් ගතව තමා සේවයෙන් විශ්‍රාම ලැබුවේය. වියපත් ඔහු තම පූර්ණ කාලයම තම දරුවන්ගේ මුණුපුරු මිණිපිරියන්ගේ මී මුණුපුරු මිණිපිරියන්ගේ සහ ඔහු විසින් ඇති දැඩිකර ගන්නා ලද මරණයෙන් මුදාගත් සතුන්ගේ ද රැකවල සඳහා යෙද වූයේය. මෙම කටයුතු දකින ඔහුගේ අසල්වාසීහු ඔහු පිස්සෙකැයි කීහ. එහෙත් චෑං ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. සියලු දෙනාගේම ජීවිතවලට ගරු කළයුතු බව ඔහු තම දරු මුණුපුරන්ට කියා දුන්නේය. කවර හේතුවක් සඳහාවත් කවරකුගේ හෝ ජීවිතයක් නැති කිරීමට ඔහු තම පරපුරේ කිසිවකුට ඉඩ දුන්නේ නැත. ඒ නිසා ඔවුන්ගේ මුලු පවුලම නිර්මාංශ ආහාරයෙන් යැපෙන්නෝ ද වූ හ.

නිර්මාංශ ආහාර වලින්ම ජීවත් වූ නිසාත්, ජීවිත විශාල සංඛ්‍යාවක් මරණයෙන් මුදා ගැනීම නිසාත් චැං බොහෝ වයස්ගත වූවත් මනා සෞඛ්‍යයෙන් හා අඩු වයසින් යුත් වූවකු මෙන් නොපිරිහුණු කාය ශක්තියෙන් ද යුක්ත වූයේ ය.

වයස අවුරුදු සියය ඉක්ම වූ පසුත් ඔහු තේජාන්විතව සෞඛ්‍ය සම්පන්නව සිටි අතර ඔහුගේ ඇස් පෙනීම ඉතා යහපත්ව ශරීරයේ සම පැහැපත්ව, හිසකෙස් කළු පැහැයෙන් යුක්තව, දීප්තිමත්ව තිබුණේ ය. එක් දිනක් ඔහු තම පවුලේ සියලු සාමාජික සාමාජිකාවන් තමා සමීපයට කැඳවා ගත්තේය. ඔහුගේ ළමයින්, මුණුපුරු මිණිපිරියන් සහ ඔවුන්ගේ ද දරු දැරියන් අමතා මෙසේ කීවේ ය.

‘’මම මගේ් ජීවිත කාලය තුළ විශාල සංඛ්‍යාවක් සතුන්ගේ ජීවිත මරණයෙන් මුදා ගත්තෙමි. එයින් මම ඔබ හැම දෙනාටම විශාල ප්‍රමාණයක් පින් රැස් කරවා තැබිමි. අද දිව්‍ය මාලිගය මාවෙත යොමුකොට තිබේ. අනාගතයේදී චෑං පවුල සමාධි සම්පන්න වනු ඇත. ඔබ හැමදෙනාම දීර්ඝායුෂ ලබනු ඇත. මා ඔබෙන් සමුගත් පසුව නිතර මගේ ප්‍රකාශය සිතෙහි තබාගෙන ඒ අනුව ක්‍රියා කරන්න. ‘කවර හේතුවක් සඳහාවත් කිසිම ජීවත්වන ප්‍රාණියකු නොනැසිය යුතුය’.

ඔහු එය කියා නිමවෙනවාත් සමගම දූ දරුමුණුපුරු මිණිපිරි පිරිසට අහස්කුස දෙසින් සංගීත රාවයක් ඇසෙන්ට පටන් ගති. ඒ හඬ ක්‍රමයෙන් ගුවන් තලයෙන් පහළට බැස එන සෙයක් ද ඔවුන්ට දැනෙන්ට විය. ඔවුහු මෙයට පෙර කිසි විටෙක එවන් මධුර මනෝහර හඬක් අසා නැත. එය ඒ තරම්ම ආශ්වාදජනක සුමධුර නාදයක් විය. කිසිසේත් එය පොළෝතලයෙන් නික්මුණ හඬක් නොවිය හැකි බව හඳුනාගත් ඔවුහු අහස දෙස බැලූහ. චෑං ගේ දරුවෝ, මුණුපුරෝ, මීමුණුපුරෝ ඔවුන්ගේත් දූ දරුවෝ ආදී හත්මුතු පරම්පරාවේම පිරිස අහස දෙස බැලූ මුත් ඔවුන්ට කිසිදු අමුත්තක් දැකගත හැකි නොවුණි. අනතුරුව ඔවුහු බිම බැලූහ. එවිට ඔවුන්ට දැකගත හැකිවූයේ චැං ඔහුගේ පි‍්‍රයතම පුටුවේ ඉතා පී‍්‍රතිමත් මුහුණින් යුතුව සිටින බවය. එහෙත් ඔහු ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් වැලකී සිටියේය. ඉතා සාමකාමී ලෙස ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුණි.

මේ අද්භූත ජනක සිදුවීම ප්‍රාදේශීය රාජ්‍ය පාලකයින්ට ආරංචි වී, ඒ ගැන කරුණු විමසා බලා එහි සත්‍යතාවය තේරුම් ගෙන ඒ බව චීන අධිරාජයාට වාර්තා කරනු ලැබූහ. චැංගේ උදාර අධ්‍යාත්මික ගුණයට උපහාරයක් වශයෙන් ඔහු රාජ්‍ය සේවයේ උසස්ම පදවියකට උසස්කොට ඔහුගේ පරපුරට එහි වරප්‍රසාද තිළින කෙළේය.

චැං ගෙන් පැවතෙන්නෝ කිසිවිටෙකත් ඔහුගේ ප්‍රතිපත්ති කඩ නොකළෝය. ඔවුහු සුඛිත මුදිතව දීර්ඝායූ ලැබ සතුටින් ජීවත් වූහ. කිසිවිටෙකත් කිසිම ප්‍රාණ ඝාතයක් නොකළ ඔවුහු සත්ව මාංශයක් දිවිහිමියෙන් ආහාරයට නොගත්හ.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.