Skip to main content

දිසා සභා පිහිටුවීම නතර කරන්න …

(1968 පෙඩරල්වාදීහු පෙඩරල් රජයක් පිහිටු වීමේ අරමුණු ඇති ව රට සභා පනතක් සම්මත කරන ලෙස රජයට බල කැර සිටිය හ. බොහෝ දෙනා මෙයට විරුද්ධ ව නැගී සිටිය ද ඉන් පලක් නො වී ය. එවක අගමැති ව සිටි ඩඩ්ලි සේනානායක මැතිතුමා එය මැති සබයට ඉදිරිපත් කොට සම්මත කරන්නට දෙ දිනකට පෙර දින රාත්‍රී 9 ට “වුඩ්ලන්ඩ්ස්” මැඳුරට වැඩි අප මහානායක මාහිමිපාණන් වහන්සේ පුරා පැය දෙකහමාරක් ම එ ම පනතේ ඇති භයානකකම අගමැතිතුමාට පහදා දුන් හ. මහජන මතය වටහා ගත් එතුමා පනත සම්මත නොකරන බවට පොරොන්දු වී 1968 ජුනි 5 වැනිදා මැති සබයේ දී ද තමා පනත සම්මත නො කොරන බව පැවැසී ය. එ ම ප්‍රශ්නය අළලා අගමැති තුමා වෙත යැවුණු සංදේශ දෙකක් මෙහි පළ වේ.)

පින්වත් අගමැතිතුමනි,

සිංහලද්වීපය හෙවත් ලංකාව සිංහලයාට තිබෙන එක ම රට යි. සිංහලයාට තිබෙන එක ම රට සිංහලද්වීපය වන්නාක් මෙන් ම අන් රටෙක සිංහලයෝ ද නැත.

වංශ කථාවන්හි සඳහන වන පරිදි, සිංහල ජාතියේ වයස අවුරුදු 2512 කි. මේ කාලය තුළ සිංහලයාට එරෙහි වැ හතුරන් පැමිණි වාර බොහෝ ය. ඇතැම් වාරවල දී ඔවුහු සිංහලයන් යටපත් කැරැගෙන උතුර – නැගෙනහිර – උතුරු මැද යන පළාත් තු‍නෙහි රජකම් ද කළ හ. ඒ කාලවල සිටි සිංහලයනට රුහුණෙහි සැප සේ වාසය කරන්නට පිළිවන්කම තුබුණා. එහෙත් එදා සිංහලයා සිතුවේ සිංහලයා ගේ එක ම රට කෑලි කඩා අන්‍යයනට දිය නොහැකි බව යි. එ සේ සිතු සිංහලයා දිවි පුදා සටන් කොට ඒ හැම වාරයෙකම හතුරු බල මර්දනය කළා. තමන් ගේ ජන්ම භූමිය, සිංහල රට රැකගන්නට ලක්‍ෂ ගණන් ජීවිත පූජා කළා.

අන්‍ය ජාතිකයන් සිංහල රටෙහි සිටීම ගැන සිංහලයා මුල පටන් ම විරුද්ධ වූයේ නැත. එහෙත් සිංහල රටෙහි සිංහල බලය යට කොට තමන් ගේ බලය පතුරුවන්නට සූදානම් සැම විට ම එයට ඉඩ දුන්නේ ද නැත. ඒ අතර ම සිංහලයා බලයේ සිටින විට අන්‍ය ජාතිකයන් පාගාදැම්මේ ද නැත. ඒ උදාර ගතිය සිංහලයාට ලැබුණේ බුද්ධ ධර්මයෙනි. ඒ ගතිය සිංහලයා තුළ අදත් එ සේ ම පවතී. දිසා සභා ක්‍රමයට සිංහලයන් විරුද්ධ වැ සිටින්නේ ද අන්‍ය ජාතිකයනට අලාහයක් කරන අදහසින් නො වැ සිංහලයාට තබෙන එක ම රටෙහි සිංහල බලය පිරිහී අනාගත සිංහල වර්ගයාට සිදු විය හැකි හානි වළක්වාගැනීම සඳහා ය.

ගම් සභා – සුළු නගර සහා – නගර සභා – නාගරික සභා යයි පළාත් පාලන ක්‍රම සතරෙකි. බොහෝ කාලයෙක පටන් මේ ක්‍රම සතර අනුවැ පළාත් පාලනය හොඳින් සිදු වෙයි. ඒ ගැන මහාජනයා ගේ වීරෝධයක් නැත. ඒ අතර ම ගම් සභා, සුළු නගර සහා කැරැගන්නටත් සුළු නගර සහා නගර සභා කැරැගන්නටත් නගර සභා නාගරික සභා කැරැගන්නටත් කවුරුත් කැමැති ය.

දිසා සභා යට කී සතර ක්‍රමයට ම වඩා පුළුල් එ සේ ම දියුණු පාලන ක්‍රමයෙකි. මේ පාලන ක්‍රමයෙන් රට ප්‍රජාතන්ත්‍රවා දී වැ දියුණු කළ හැකි වෙයි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා මේ දිසා සභා යෝජනා කළේ එ හෙයින් විය හැකි ය. ඩඩ්ලි සේනානායක අගමැතිතුමා එය ක්‍රියාවට නංවන්නට උත්සාහ දරන්නේත් එ හෙයින් විය හැකි ය. එ සේ නම් දිසා සභාවලට විරුද්ධ වීම යුක්ති සහගත නො වේ ය යි සිතිය හැකි ය.

එහෙත් සිංහල ජනතාව මෙයට විරෝධය පළ කරන කාරණා ගැන සලකා බැලිය යුතු වැ ඇත. මෙහි භාෂාව හා ප්‍රදේශය පිළිබද කරුණු නුවණින් සලකා බැලිය යුතු ය. ලංකාවේ රාජ්‍ය භාෂා දෙකක් ඇත. එකක් නීතිගත රාජ්‍ය භාෂාව, එ නම් දෙමළ. අනෙක චක්‍ර ලේඛන රාජ්‍ය භාෂාව, එ නම් සිංහල. මේ දෙකින් වඩා බලවත්, ලංකාව පුරා නීත්‍යනුකූල වැ බලපාන රාජ්‍ය භාෂාව වන දෙමළ බව කාටත් වැටහෙනවා ඇත.

මහා අණ්ඩුවත් සමඟ කරන ලිපි ගනුදෙනුව හැර ඉතිරි වැඩ සියල්ල ම උතුරු නැඟෙනහිර දෙ පළාතේ දෙමළ භාෂාවෙන් කරන්නට දැනට මත් නීතියෙන් ඉඩ ඇති බව අමතක නො කළ යුතු ය. උතුර නැ‍ඟෙනහිර සම්පූර්ණයෙන් ම වාගේ දෙමළ කතා කරන ජනතාව ගෙන් පිරුණු ප්‍රදෙශ බව ද අමතක කළ යුතු නො වේ. යාපනය – මන්නාරම – වවුනියාව – තිරිකුණාමලය – මඩකලපුව – අම්පාරේ යන දිස්ත්‍රික්ක හයට ම ඉන්නේ එක ම සිංහල මන්ත්‍රීවරයා ය. මේ කරුණු සලකා බලන විට උතුර නැඟෙනහිර දිසා සභා හය කුඩා ද්‍රවිඩ රාජ්‍ය බවට පත් වනු ඇතැ යි සිතිය හැකි ය. පෙඩරල් පක්‍ෂය බලාපොරොත්තු වූ තරම් භූමි ප්‍රදේශයක් නොලැබුණත් එ කී දිසා සභාවලට ඒකාබද්ධ වීමට නීතියෙන් ඉඩක් නැතත් ඒ දිසා හය නිකම් ම පෙඩරල් රාජ්‍යයක් වනු ඇත.

මේ රටෙහි පවත්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ය යි කියති. එහෙත් කාලයක පටන් ඉතා වැදගත් පනත් සම්මත කැරැගන්නේ හදිසි නීති පනවාගෙන මන්ත්‍රී මංඩලය වටා කටු කම්බි ගසානෙ යුද හමුදා හා පොලිස් භටයන් වටලාගෙන ය. මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් ද? ප්‍රජාතන්ත්‍රවාදය යි කියන්නේ වැඩි දෙනා ගේ කැමැත්තෙන් මන්ත්‍රීවරයන් තෝරාගැනීම පමණක් ද? දිසා සභා පනතට සිංහලයන් ගෙන් සියයට අනූවක් පමණ විරුද්ධ බව පෙනෙන්නට ඇත. මුස්ලිම්වරුන් ගෙන් ද වැඩි කොටසක් විරුද්ධ ය. ද්‍රවිඩයන් ගෙන් අඩක් පමණ විරුද්ධ බව දැන ගන්නට ඇත. එ සේ තිබිය දී අතළොස්සක් පමණ පෙඩරල්වාදින් ගේ ඉල්ලීම් ගැන මෙ තරම් කලබලයක් හදාගන්නේ කුමට ද?

මේ ළඟ දී නිකුත් කරන ලද ධවල පත්‍රිකාව සමඟ දිසා සභා පනත ම ය යි කිව හැකි කෙටුම්පතක් ද ඇත. එය බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම තරම් බල තැනැයි කියති. එයට දහ ගුණයෙකින් බලහීන පනතෙකැ යි පිළිගනිමු. එහෙත් කොටුම්පත අනුවැ එන පනතෙහි බල තල ද සුළු පටු නොවන බව කිව යුතු ය. අපේ රටෙහි දේශපාලන පක්‍ෂ ක්‍රමයේ වරද නො වේ නම් මීට වඩා බලතල දුන්නත් වරදක් නැත. පෙඩරල්වාදින් ගේ ප්‍රධාන අරමුණ කවදාහරි පෙඩරල් රාජ්‍යයක් පිහිටු වීම යි. දිසා සභා එහි මුල් පියවර යි. දැන් ඔවුන් ගේ අදහස දිසා සභා ලැබෙන ක්‍රමයෙකින් බාර ගෙන පෙඩරල් රාජ්‍යයක් බිහි වන නැතට හෙමින් හෙමින් කටයුතු කිරීම යි.

දිසා සභා කෙටුම්පතෙහි පෙඩරල් රාජ්‍යයක් පිහිටුවන්න‍ට උපකාර වන්නා වූ ද සිංහල ජාතියට හානි කරන්නාවූ ද වගන්ති ඇත. නිදර්ශනයක් වශයෙන් එකක් පෙන්වන්නම්. දිසා සභාවලට ගොවිජනපද පිහිටුවීමේ ගම් පුළුල් කිරීමේ බලය ලැබේ. යාපනය – මන්නාරම – වවුනයාව – තිරිකුණාමලය – මඩකලපුව – අම්පාර යන දිසා සභාවලට තරම් කැලෑ, වැව් හා හිස් ඉඩම් අන් කිසි ම දිසා සභාවකට ලැබෙන්නේ නැත.

ජනපද පිහිටුවීමේ දී පිට පළාත්වල ජනතාව ගෙනැවිත් පදිංචි කරවන්නට බලය ඇතත් ගම් පුළුල් කරන ක්‍රමය යටතෙහි ඒ බලය නො ලැබෙයි. එහි පදිංචි කරවන්නේ ඒ පළාත්වල අය පමණ ය. තව ද සංවර්ධන යෝජනා ක්‍රමලට ද පනතින් බලය ලැබෙයි. දිසා සභා ලැබී වැඩි කල් යන්න‍ට පෙර යට කී ක්‍රම දෙක යටතෙහි මුළු ප්‍රදෙශය සංවර්ධනය කරනු එකාන්ත යි. එ විට ජනපද පිහිටුවන්නේ කොහේ ද? දැනටත් සිංහල ප්‍රදෙශවල ජනගහණය තරමට ඉඩම් නැත. ඉතින් වැඩි වන සිංහලයන් පදිංචි කරවන්නේ කොහේ ද?

දැනට ලංකා දෙමළ ජනගහණය සියයට එකොළහක් වුවත් දිසා සභා ලැබී නොබෝ කලෙකින් එය සියයට පහළොවක් වනු ඇත. ලංකාව වටේ මුහුදුකරය මයිල අටසියකට ළඟ ය. එයින් පන්සියයක් පමණ යට කී දිසා සභා හයට අසු වෙයි. එන තරමක් කල්ලතෝනින් එන්නේත් යන තරමක් බඩු පිට යන්නේත් ඔය මයිල පන්සියයෙනි. එයින් ඔය දිසා සභා හය ආර්ථීක හා ජනගහණය යන දෙයාකාරයෙන් ඉහළට ම දියුණු වෙයි. පසු වැ පෙඩරල්රාජ්‍යය වනු ඇත.

මේ කරුණු ණුවණින් මැදහත් වැ සලකා දිසා සභා ක්‍රමය නතර කරන මෙන් සිංහල ජාතියේ හා සම්බුද්ධ ශාසනයේ නාමයෙන් අපේ අගමැතිතුමා ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

පින්වත් අගමැතිතුමනි, කච්චේරි ක්‍රමය නැති කොට කවීන වු ද පුළුල් වූ ද පාලන ක්‍රමයක් ඇති කිරීම මැනැවි. ඒ සඳහා අලුත් යොජනාවක් ඉදිපත් කරනු කැමැත්තෙමි. කච්චේරි යන නම වෙනුවට දිසා සභා කාර්යාලය යි නම් කරන්න. එ විට දිසාපති දිසා සභාපති වෙයි. දිසා සභාවට පත් කරන්නට බලාපොරොත්තු වන නියෝජිතයන් දිසා සභාපති තුමා ගේ උපදෙශක මණ්ඩලය කැරගත හැකි ය. දිසා සභා කාර්යාලයෙහි සිටින ඒ ඒ අංශ භාර නිලධාරීන් දිසා සභාවේ සාමාජිකයන් කළ යුතු ය. දිසා සභා නමින් මෙ බඳු වැඩ පිළිවෙලක් යෙදුවොත් ජනගහණයෙන් සියය අනූපහක් සතුටු වන අතර ඒ දිසා සභාවලට බලපොරොත්තු වන බලතල දීමෙන් රට සංවර්ධනය කරන්නට ද හැකි වේ.

පින්වත් අගමැතිතුමනි, ඔබ අප හැමදාම ජීවත් වන්නේ නැත. ඔබ අප හිතන විදියට රට ගමන් කරන්නේත් නැත. ඔබතුමා දැන දැන සිංහල ජාතියට හානියක් නොකරන බව හොඳට ම විශ්වාස යි. එහෙත් යෝජිත දිසා සභා ක්‍රමයෙන් ඔබතුමා හිතුවේ වත් නැති විදියේ හානි වන්නට ඉඩ තිබේ. ඉදින් අවුරුදු පන්සියයෙකින් හෝ එ බඳු හානියක් සිදු වුවොත් එ තැන් සිට සිංහල ජාතිය තිබෙන තුරු ම සිංහල වර්ගයා ඔබතුමාට ශාප කරනවා නො වේ ද?

ලංකාදීප 1968.06.12

 

රට සභාවලට ඉඩ දෙමු ද?

පින්වත් අගමැතිතුමනි,

ඔබතුමා ගේ කාලය ඉතා වටිනවා. විශේෂයෙන් ඔබතුමා රට ස්වයංපෝෂිත කිරීමට හිතත්, කයත්, වචනයත්, කාලයත් – ශ්‍රමයත් යොදන එ සේ ම එහි හොඳ ප්‍රතිඵල ලැබීගෙන එන මේ අස්ථාවෙහි ඔබතුමා ගේ කාලය සුළු වශයෙන් වත් අපතේ යැවීම මුළු ජාතියට ම පාඩුවෙකි.

ඇස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා රට සභා යෝජනාව පළමු වරට ඉදිරිපත් කරන්නට ඇත්තේත් ඔබතුමා එය සුළු වශයෙන් හෝ ක්‍රියාවට නංවන්නට අදහස් කෙළේත් රට සභා රටෙහි පාලනයට හා සංවර්ධනයට ද හොඳ පිළිවෙළක් හැටියට අදහස් කැරගෙන යැ යි අපි දු පිළිගනිමු. එහෙත් රටෙහි පවත්නා පෙඩරල් වාදය නිසාත් භාෂා ප්‍රශ්නය හා පළාත් භේදය නිසාත් සිංහල ජාතියට මහා හානියක් විය හැකි ය යි සිංහල ජනතාව මහත් උද්ඝෝෂණයක් කළා. ද්‍රවිඩ ජනතාව ගෙන් අඩක් පමණ ද මුස්ලිම් ජනතාව ද එයට එකතු වුණා. එයින් රට සභාවනට විරෝධය දක්වන පිරිස සියයට අනූපහකට තරම නැංගා.

අපේ අගමැතිතුමා ඉහළ ම ප්‍රජාතන්වාදියකු හැටියට මහජන මතයට ගරු කොට රට සභා ගැන දක්වන ලද විරෝධය සුපරීක්ෂ්‍යකාරී වැ සලකා බලන බව රාජාසන කථාවෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය වෙලාවේ හැටිය සාධාරණ යි. රට සභා අදහස අත් හළ බව එයින් ප්‍රකාශ නො වෙතත් සිංහල ජනතාව ද සෑහෙන පමණකට සතුටු වුණා. පෙඩරල් වාදී වැඩිහිටියනුත් උග්‍ර අවස්ථාව ගැන සලකා හිත උඩින් අසතුට ප්‍රකාශ කෙළේත් නැත. එහෙත් පෙඩරල්වාදී තරුණයන් ප්‍රමාණය වඩා හිතට ගෙන ඉතා තද තර්ජනාත්මක ප්‍රකාශයන් කැර තිබුණ බව පුවත්පත්වල පළ වී තුබුණා. එය ප්‍රජාතන්ත්‍රවාදී වැ මහජන මතයට ගරු කොට ප්‍රකාශයක් කළ අපේ අගමැතිතුමාටත් රටසභා විරෝධීනටත් බලවත් පහරක් ලෙස සැලකිය යුතු ය. මෙ බඳු අවස්ථාවල දී කවුරුත් නිහඬ වැ සිටියොත් ඒ තරුණයන් තව තවත් උඩ පැන විනාශ වෙනවා. ඒ නිසා යි පසු ගිය ලිපිය ටිකක් තදින් ලීවේ. එහෙත් ඔවුන් කෙරෙහි අකරුණාවෙකින් අමෛත්‍රියෙකින් නොවන බව විශේෂයෙන් මතක් කෙරෙමි.

පසුගියදා යෝජිත රට සභා ගැන පෙඩරල්වාදීන් කියා සිටියේ ‘අපට ලැබෙන්නට යන්නේ හිස් බෝතල ය, ලැබුණාට පසු අපි ඒ හිස් බෝතල පුරවා ගන්නෙමු’ යනු යි. ඔවුන් බලාපොරොත්තු වූ තරමේ රටසභා නො වුවත් ඔවුන් කියන විදියේ හිස් බෝතලත් නො වේ. බාගයක් පමණ පුරවන ලද බෝතල ය. හිස් හෝ බාගයට පුරවන ලද හෝ බෝතලවල මූඩි තද කොට සීල් තබා වත් දෙනවා නම් ඒවා පුරවාගන්න මූඩි ගලවන්නට යන විට පුපුරන්නට වත් ඉඩ තුබුණා. හිස් හෝ බාගෙට පුරවා හෝ මේ බෝතල දෙන්නේ මුඩි ගලවා වුමමනා පරිදි පුරවාගන්න ඉඩ ඇති ව ය. හැබැයි මූඩි තිබෙන්නේ මෙහේ ඇමති තුමන්ලා අතේ ය. එය සීල් තබන ලාකඩ කෑල්ල තිබෙන්නේ අගමැති තුමා අතේ ය. බෝතල තිබෙන්නේ ඒ ඒ තැන්වල ය. හිස් හෝ ‍බාගෙට පුරවන ලද බෝතල පුරවා ගන්න සැටි පෙන්නා දෙන්නම්. එ නම් හිස් බෝතල වාගේ දෙන, රට සභා කුඩා ද්‍රවිඩ රාජ්‍යයක් වන සැටි පෙන්නා දෙන්නම්.

රට සභා පාලන ක්‍රමයේ මූලික අදහස කච්චේ ක්‍රමය අහෝසි කිරීම යි. එහෙත් යෝජිත රට සභා ක්‍රමයෙන් කච්චේරි අහෝසි වන්නේත් නැත. කච්චේරි ක්‍රමයත් තිබෙනවා. රට සභාත් තිබෙනවා. වියදම් දෙක යි, වැඩ අඩු යි, අවුල් වැඩි යි. ඒ අත ම උතුර හා නැගෙහිර රට සභා හය කුඩා ද්‍රවිඩ රාජ්‍ය බවට පත් වෙනවා. මන්නාරම, යාපනය, වවුනියාව, තිරිකුණාමලය, මඩකලපුව, අම්පාර යන රට සභා හය උතුර හා නැඟෙනහිර දිසාවලට අයත් වේ. උතුර හා නැ‍ඟෙනහිර දෙ පළාතේ භාෂා ප්‍රතිපත්ති සිංහල රාජ්‍ය භාෂා පනතට හා දෙමළ භාෂා සාධාරණ පනතට අනුකූල විය යුතු ය. ඒ පනත් අනුවැ උතුර හා නැගෙනහිර දෙ පළාතේ සියලු කටයුතු දෙමළෙන් කරන්නට අවසර ලැබී ඇති අතර රට සභාවල ලිපිගොනු තැබීමත් මහ ආණ්ඩුවත් සමඟ කරන ලිපි ගනුදෙනුත් සිංහලෙන් කළ යුතු වේ.

ඔය රට සභා හයට ම අයත් ප්‍රදේශවල ඉන්නේ එක ම සිංහල මන්ත්‍රීතුමා ය. ඔහු අම්පාරේ දිසා සභාවේ නියෝජිතයකු වෙනවා ඇත. ඔය රට සභාවලට නියෝජිතයන් පත් වන විට ගම් සභාවලින් අම්පාර හා තිරිකුණාමලය රට සභා දෙකට නියෝජිතයන් කිහිප දෙනෙකු පත් වෙනා ඇත. සමහර විට වවුනියා‍වේ රට සභාවට ද සිංහලයකු පත් වන්නට ඉඩ ඇත. අනෙක් සියලු දෙනා දෙමළ කථා කරන ජනයා ය. ඉදින් සිංහල දිසාපතිවරයකු සිටියොත් රට සභාවේ කොමසාරිස්වරයා හැටියට පත් වෙනා ඇත. රට සභාවේ ලිපිගොනු සිංහලෙන් තැබීමට සිංහල ලිපිකරුවකු දෙන්නකු සිටින්නට පිළිවන.

පෙඩරල්වාදීන් ගේ මූලික අදහස මහ ආණ්ඩුව යටතෙහි ද්‍රවිඩ ප්‍රාදේශික ආණ්ඩු පිහිටුවීම යි. එහි මුල් පියවර උතුර හා නැගෙනහිර යි. පසු වැ උඩරට කඳුකරය යි. රට සභා දුන්නොත් අවුරුද්දක් ඇතුළත මන්නාරම, යාපනය වවුනියාව, තිරිකුණාමලය, මඩකලපුව යන කුඩා ද්‍රවිඩ රාජ්‍ය පහකින් යුත් ප්‍රථම පෙඩරල් රාජ්‍ය පිහිටුවනවා. යට කී රට සභාවල සියලු කටයුතු කෙරෙන්නේ දෙමළ බසිනි. කොමසාරිස් හැටියට සිංහල දිසාපතිවරයා ද රට සභා රැස්වීම්වලට යයි. එහෙත් ඔහුට කිසිවක් තේරෙන්නේ නැත.

මන්නාරම් දිසාවේ සිංහලයෝ සියයට එක යි, දශම දෙකකි. යාපනේ දිසාවේ සියයට එක යි, දශම දෙකකි. වවුනියා දිසා‍වේ සියයට දහසයි යි, දශම නවයකි. තිරිකුණාමලය දිසාවේ සියයට දහසයයි යි, දශම දෙකකි. මඩකලපුව දිසාවේ අම්පාරත් ඇතුළු වැ සිංහලයෝ සියයට හත යි, දශම පහකි. ඒ සිංහලයන් ටික දෙනා ගේ අනාගතය කුමක් වේ ද? ඔවුන් ගේ කටයුතු සිංහලෙන් කැරගැනීම අපහසු වෙනවා. ඔවුන් ගේ දරුවන් අනාථ වෙනවා. ඔවුනට ඉන්නට බැරි වෙන තැනට කටයුතු සැලසෙනවා. ගොවිජනපදවල ඉන්නා සිංහලයනන් හැර අනෙක් අය ඒ ප්‍රදේශවලින් පිට වී යනවා ඒ කාන්ත යි. ඉතින් ඒ රට සභා පහ කුඩා ද්‍රවිඩ රාජ්‍ය නොවන්නේ ද?

මේ රට සභාවලට ඒකාබද්ධ වන්නට නීතියෙන් ඉඩක් ඇත්තේ ම නැත. එහෙත් මේ රට සභා මහ පොළොවෙන් ඒකාබද්ධ ය, ජාතියෙන් ඒකාබද්ධ ය, භාෂාවෙන් ඒකාබද්ධ ය, සංස්කෘතියෙන් ඒකාබද්ධ ය, සිතුම් පැතුම් දිවි පැවැතුම්ලින් ඒකාබද්ධ ය. ඉතින් නීතියෙන් ඒකාබද්ධ නූණාට ඇති පාඩුව කුමක් ද? මේ රට සභා නීතියේ හැර අනෙක් හැම කරුණෙකින් ම ඒකාබද්ධ වේ. එය තමා මහ ආණ්ඩු යටතෙහි පවත්නා පෙඩරල් රාජ්‍ය වන්නේ.

මුළු ලංකාවේ ම භූමි ප්‍රමාණය සතරැස් මයිල 25,000 යි. යට කී රට සභාවලට ඇතුළත් වෙනවා සතරැස් මයිල 7269. මුළු ලංකාවේ ජනගහණය 1,06,25,000කි. එයින් යට කී රට සභාලට අයත් ප්‍රදේශවල වාසය කරන්නේ 12,80,000කි. යට කී රට සභාවලට ලක් පොළොවෙන් තුනෙන් පංගුවට ටිකක් අඩුවෙන් ඇතුළු වෙනවා. එහෙත් ජනගහණයන් නවයෙන් පංගුව යි. ඉතා සාරවත් පොළොව තිබෙන්නේත් කැලෑ තිබෙන්නේත් වැව් අමුණු තිබෙන්නේත් යට කී රට සභාවලට අයත් ප්‍රදේශවල ම ය. නුදුරු අනාගතයෙහි මහවැලි ගඟ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුණා ම ඒ ප්‍රදේශ මුළුමනින්ම සශ්‍රීක වෙනවා ම ය.

පින්වත් අගමැතිතුමනි, පෙඩරල්වාදයක් ඇති, සිංහල සමගියක් නැති මේ රටට රට සභා වුවමනා නැතැයි කියා සිටින්නේ සිංහලයාට තිබෙන එකම රට ආරක්‍ෂා කැරගන්නටත් සිංහල ජාතිය හා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කැරගන්නටත් බව ඉතා කරුණාවෙන් හා මෛත්‍රියෙන් මතක් කෙරෙමි.

 

ප්‍රඥාප්‍රභා 1

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.