Skip to main content

දරුවන් නැති ධනවතා …

චීනයේ (ක්‍රි.ව. 1279 – (1368) යූ ආන් අධිරාජයාගේ පාලන සමයේ මොන්ගෝලියාවේ ගෙංඝිස් ඛාන් (GENGHIS KHAN ) විසින් චීන රාජ්‍යය ආක්‍රමණය කරනු ලැබීය. එසමයේ එහි නගරයක මහා ධනවතෙක් ජීවත් විය. මෙම ධනවතා සහ ඔහුගේ බිරිය මහත් සේ අසහනයට පත්ව සිටියේ ඔවුන්ට දරු සම්පත් නොවූ බැවින් ය. ඔවුන් මහත් සේ පුතකු අපේක්‍ෂා කළ නමුත් නොලැබීමේ හේතුවෙන් දුකට සහ කලකි රීමට පත්ව සිටියහ. විශාල ලෙස පසුතැවීමට පත්ව සිටි ධනවතා තමාට කොපමණ මිල මුදල් හා වස්තුව ඇතත් ඒ සියල්ලටම වඩා දරු සම්පත අගය කරන බව අසල්වාසීන් ද දැන සිටියහ. මේ අතර මෙම ධනවතාගේ මිත්‍රයෙක් දිනක් ඔහු මුණ ගැසීමට පැමිණ මෙසේ කීවේය.

ඔබේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්න ඔබ විහාරයට ගොස් ස්වාමීන් වහන්සේ හමුවෙන්නෙ නැත්තෙ ඇයි? ඒ ස්වාමීන් වහන්සේට පුදුම අද්භූත බලයක් තියෙනව. අතීතයත් අනාගතයත් දෙකම දකින්න පුළුවන් පුදුමාකාර බලයක් ඒ හිමියන්ට තියෙනව.

ඔබේ ප්‍රශ්නයට ඔබේ අවශ්‍යතාවයට යම් ආකාරයක උදව්වක් ලබා ගැනීමේ මාර්ගයක් ඔබට ස්වාමීන් වහන්සේ කියාදේවි “

මිත්‍රයාගේ යෝ්ජනාවට ස්තුතිකොට එකඟත්වය පළකළ ධනවතා සහ බිරිය විහාරස්ථානය කරා ගොස් පළමුවෙන්ම බුද්ධ වන්දනාව කළහ. ඉන් අනතුරුව අදාල ස්වාමීන් වහන්සේ බැහැදුටු ඔවුහු තම අවශ්‍යතාවය පැහැදිළි කිරීමට පෙර දන ගසා නළල බිම තමා උත්තම වැඳුමෙන් වැඳ මෙසේ කීහ.

“ස්වාමීන් වහන්ස අපි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට බලාපොරොත්තු වෙන්නෙ අපට දරුවෙක් නොලැබෙන්න යම් හේතුවක් තියෙනවද? එයට කළ හැකි ප්‍රතිකර්මය මොකක්ද ? කියන එකයි අපට තියෙන සියලුම සැප සම්පත් වලට වඩා දරු සම්පත අගෙයි. දරුවෙක් නැතුව මොන සැපත තිබුණත් ස්වාමීනි අපට එයින් පළක් නෑ “

ස්වාමීන් වහන්සේ ස්වකීය සුවිශේෂ බලය අනුව ඔවුන්ගේ අතීතය විමසා බලා දරුවන් නොලැබීමේ හේතුව සොයා ගත්තේය. අනාගතය විමසා දරු සම්පත් ලැබීමේ වාසනාව මතු කරගත හැකි බවද සොයා ගත්තේය. මේ කාරණා දෙකම සොයාගත් පසුව ස්වාමීන් වහන්සේ ධනවතා සහ ඔහුගේ බිරිය අමතා මෙසේ කී සේක.

“ ඔබගේ අතීත ජීවිතයේදී ඔබ විසින් මහා පරිමාණයෙන් කරන ලද ප්‍රාණඝාතන නිසා ඔබ විශාල ලෙස ණය වී තිබෙනවා. ඔබ සතුන් විශාල සංඛ්‍යාවක ගේ දරුවන් ගේ ජීවිත හානි කරල තියෙනව. ඒ ණය ගෙවන තුරු ඔබට ඔබේම දරුවකු ලබා ගන්ට බැහැ. ඒ ණය ඉතා බරපතලයි. ඒ නිසාම ඔබට දුක්වීමටත් පසුතැවීමටත් සිදුවී තියෙනව. මට එක දෙයක් ගැන උපදේශයක් දෙන්ට පුළුවනි. ඔබ විසින් අතීතයෙහි කරන ලද ප්‍රාණ ඝාත වලට හිලව් වෙන්ට ජීවිත කෝටි අටක් මරණයෙන් මුදවා ගතහොත් ඔබට පුතෙක් ලබා ගන්ට පුළුවනි. තව දුරටත් මතක තියා ගන්න. ඒ අතර වාරෙ එක මකුණෙක්වත් පණුවෙක්වත් වැරැදීමකින් හරි ඔබ අතින් මැරුණුහොත් ඒ ණය පුරවන්න එක ප්‍රාණයක් වෙනුවෙන් ප්‍රාණ සීයක් ඔබට මුදවා ගන්න සිදුවේවි. ඔබට මේ ආත්මයෙදි පුතෙක් ලබා ගත හැකි එකම මාර්ගය එයයි “

ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය නිසා ධනවතා මහත්සේ සතුටට පත්ව එම කරුණු එසේම ඉටු කිරීමට තදින්ම දිවුරා බුදු හිමියන් වැඳ විහාර භූමියෙන් පිටව ගෙදර ගියේය.

ඒ මොහොතේ පටන් මෙම යුවළ තම පුත්‍ර ලාභය අපේක්‍ෂාවෙන් මරණයට ඇප කැපව සිටි ජීවිත මුදා ගැනීමේ කාර්යය ආරම්භ කළහ. ප්‍රාණ මුදාගැනීමේ කාර්යය සඳහා ඔවුහු විශාල ලෙස ධනය වැය කළහ. වෙළඳ පොලේ මරණයට සූදානම් කර සිටි ඌරන් කුකුළන් තාරාවන් වැනි සතුන් මිලදී ගෙන ඔවුන්ට නිරුපද්‍රිතව ජීවත් වීමට හැකි ස්ථාන කරා ඔවුන් යොමු කළහ. මත්ස්‍ය වෙළෙඳුන් කරා ගොස් පණ ඇති මත්ස්‍යයින්, කකුළුවන් ,ආඳුන් වැනි මත්ස්‍යයින් මස් මරන්නන් අතින් මිලදී ගෙන ඔවුන් මසුන් මැරීම තහනම් කර ඇති ජලාශ වලට මුදා හැරියහ. එපමණක් නොව ඔවුහු ඉතා ශ්‍රද්ධාවන්ත බෞද්ධයින් ලෙස විහාරස්ථාන වල පුණ්‍යකර්ම වලට නිතිපතා සහභාගි වූහ.වර්ෂ කීපයක් පුරාම අඛණ්ඩව මෙම යුවල එම දැහැමි ක්‍රියාවල දැඩි භක්තියෙන් හා කැපවීමෙන් ක්‍රියා කරන විට කෝටි අටක් වූ ජීවිත මුදා ගැනීම සම්පූර්ණ විය .

වැඩි කලක් ගත නොවුණි. මේ ධනවතාගේ බිරිඳට ඉතා නිරෝගි ඉතා දැකුම්කලු පී‍්‍රතිය උපදවන පෙනුම ඇති පුතකු ලැබුණි. දරුවාද රැගෙන විහාරයට ගොස් බුද්ධ වන්දනාකොට මෙම පී‍්‍රතිදායක පුවත ස්වාමීන් වහන්සේට ද දන්වා පූජා විධි කරන ලදී.

ඔවුන්ගේ මෙම වාසනාවන්ත පුත්‍රයා අධික බුද්ධිමතෙක්ද විය. ඔහු වැඩුණු පසුව උසස් අධ්‍යාපනය ලැබ රාජ්‍ය සේවයට බඳවා ගන්නා උසස්ම රාජකීය විභාගයට පෙනී සිට පළමු වතාවේම විශිෂ්ඨ ලෙස සමත්ව සාර්ථක රාජ්‍ය උසස් නිලධාරියක්ව රාජ ගෞරවය ලැබීය.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.