Skip to main content

තොණ්ඩමන් මහතාගේ යෝජනාවලියෙන් ජනවාර්ගික ප්‍රශ්නය විස‍ෙඳ් ද?

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා පත් කැර ඇති පාර්ලිමේන්තු කමිටුවට සෙ‍ෟම්‍යමූර්ති තොණ්ඩමන් ඇමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පුවත්පත් මඟින් ප්‍රසිද්ධියට පත් කැර ඇත. ඒවා එතුමාගේ යෝජනා වශයෙන් ඉදිරිපත් වුව ද ඇතුළතින් දිස් වන්නේ ද්‍රවිඩ කොටි සංවිධානයේ ඉල්ලීම්වල ස්වරූපයෙකි. ඒවා ගොඩනැංවී ඇත්තේ ද්‍රවිඩ ජනයාගේ පාරම්පරික නිජභූමියක් ඇත, ද්‍රවිඩ ජනයාට තමන්ගේ කටයුතු පිළිබඳ ස්වයං තීරණ ගැනීමේ පූර්ණ නිදහසක් තිබිය යුතු ය යන පදනම මත ය. මෙම යෝජනා ඊළාම් රාජ්‍යයක් සඳහා සාමයේ නාමයෙන් දැරෙන කූට ප්‍රයත්නයක් බව මැනැවින් ම පැහැදිලි ය. අමුත්තකට ඇත්තේ “ඊළාම්” යන වචනය ඒ තුළ නොයොදන්ට සියුම් ලෙස වග බලා ගැනීම පමණි. දමිළ නිජභූමි සංකල්පය ඉන්දු – ලංකා ගිවිසුමෙහි රුවාගත් හාස්‍යජනක අමූලික ප්‍රලාපයෙකි. ස්වයං තීරණ පිළිබඳ අයිතිය කොටි සටන්කාමීන්ගේ ප්‍රධාන ඉල්ලීමෙකි.

මේ රටට ආදරයක් ඇති, තමන්ගේ දියුණුවටත් තමන්ගේ සීමිත වූ ජාතික අභිවෘද්ධියටත් වඩා මුළු මහත් රටේ ම අභිවෘද්ධිය උන්නතිය පතන හැම කෙනෙකු ම කවර බලය පැවැරීමක් වුව ද ශ්‍රී ලංකාවේ ඒකීයභාවයත් ස්වාධිපත්‍යයත් භෙ‍ෟමික අඛණ්ඩතාවයත් සහතික කළ යුතු බව පිළිගෙන ඇත. කොණ්ඩමන් මහතාගේ යෝජනා මේ පිළිවෙතට මුළුමනින් ම පටහැනි ය.

එක් අතෙකින් ලංකාවේ ආරක්‍ෂාව මධ්‍යම ආණ්‍ඩුව සතු විය යුතු යැයි හේ පවසයි. ඒ සමඟ ම උතුරු නැගෙනහිර පළාත්වල වරායවල් හා ගුවන් තොටුපළවල් පළාත් සභා පාලනයට දිය යුතු යැයි කියයි. මෙය පරස්පර විරෝධී ය. ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ, තලෙයිමන්නාරම සහ පලාලි ගුවන්තොටුපළ එකී පළාත් සභාවලට බාර දුන්නොත් මධ්‍යම රජය විසින් මේ රටේ ආරක්‍ෂාව සුරක්‍ෂිත භාවය හා ස්වාධිපත්‍යය සහතික කරන්නේ කෙසේ ද? මෙකී වරායන් හා ගුවන් තොටුපළවල් මධ්‍යම රජයේ පාලනය යටතේ තිබිය දීත් කොපමණ අවි ආයුධ උතුරට හොරෙන් ගෙන ආවා ද? තත්ත්වය එසේ නම් වරායනුත් ගුවන් තොටුපළත් උතුරු නැගෙනහිර පළාත්වලට බාර දීම එවැනි අවි ආයුධ ගෙන්වීම නිත්‍යානුකූල කිරීමක් නො වේ ද? කොටි සංවිධානයට අතිබලසම්පන්න හමුදා බලයක් ගොඩනැංවීමට රුකුල් දීමක් නො වේ ද? මෙවැනි බලයක් ඇති කර ගන්නට ඉඩ දුනහොත් ලක් රජයේ හමුදාවට ඔවුන් කිසිසේත් පාලනය කිරීමට නොහැකි වනු ඇත.

මධ්‍යම ආණ්ඩුව යටතේ මෙකී වරායවල් හා ගුවන් තොටුපළ තිබෙද්දී ම ඊ.පී.ආර්.එල්.එෆ්. කණ්ඩායම ඒකපාර්ශ්වික වැ ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කළ බව අප අමතක කළ යුතු නො වේ. එසේ නම් කොටි සංවිධානය තමන්ගේ හමුදා ශක්තිමත් කළ පසු ඊළාම් රාජ්‍යය නිසැක වැ ම පිහිටුවන බව ඔවුන්ගේ ඉතිහාසය දන්නා කවුරු නම් සැක නො කෙරෙද් ද? හැරත් ඊළම පිහිටුවාගෙන ඔවුන් නිශ්ශබ්ද වැ සිටීවි ද? තමන්ගේ මායිම් තවත් දකුණට තල්ලු කරමින් කඳුකරයත් ඊළාම් රාජ්‍යයට ඔවුන් ඈඳා නො ගනීවි ද? මේ අභිරහස වරක් විදේශීය ප්‍රවෘත්ති නිලධාරිනියකට ඔවුන්ගේ කටින් ම හෙළි කළේ නැද්ද? දැනටමත් කොටි සංවිධානයට කඳුකරයෙන් දී තිබෙන සහයෝගය මෑතෙක දී අත්අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාවෙනුත් වෙනත් කරුණුවලිනුත් හෙළිදරවු වූයේ නැද්ද? කොටි සංවිධානයට උතුරු නැගෙනහිර රාජ්‍යයක් පිහිටුවීම සඳහා කඳුකරය බියක් සැකක් නැති වැ උදව් කරනවාට කිසිදු සැකයෙක් නැත. එවිට තොණ්ඩමන් මහතා සිටින්නේ කොයි පැත්තේ දැයි සිතා ගැන්ම කාට වත් අපහසු නො වේ. මේ රටේ මුහුදු වෙරළින් තුනෙන් දෙකක් හා උතුරු නැගෙනහිර වරාය හා ගුවන් තොටුපළ කොටිනට බාරදුන් පසු රජයේ හමුදාවට මේ තත්ත්වය වැළැක්විය හැකි යැයි සිතන ප්‍රාඥයෝ කවරහු ද? සැබෑ තතු මෙසේ වන හෙයින් තොණ්ඩමන් මහතාගේ යෝජනා දකුණේ සිංහලයන් හා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර සර්වකාලීන යුද්ධයක් ඇති කිරීමටත් සිංහලයන් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් බවට පත් කිරීමටත් කරන අර ඇඳීමක් බව අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිතුමා තමාට ජනාධිපති ධූරය අහිමි වුණත් මෙවැනි තත්ත්වයක් උදා වීමට කෙසේ වත් ඉඩ නොදෙනු ඇත යන්න අප‍ගේ විශ්වාසය යි. එසේ නැති වැ තොණ්ඩමන් මහතාගේ යෝජනා යම්තමින් වත් පිළිගත හොත් ජනවාර්ගික ප්‍රශ්නය විසඳනවා වෙනුවට මුළු රට ද දෙකට බෙදී සිංහල දෙමළ ජනතාව අතර යුද්ධයත් වෛරයත් සාර්වකාලික වනවා නියතයි! නියතයි!

වි‍ෙද්ශීය ආධාර සෙවීම උතුරු නැගෙනහිර පළාත් සභාවට පැවැරීමෙන් ලංකාවේ භෙ‍ෟමික ඒකත්වයත් ස්වාධිපත්‍යයත් බිඳ වැටෙනු ඇත. මධ්‍යම රජය රටේ ස්වෛරීභාවයත් භෞමික ඒකීයතාවත් රකින්නට කැමැති නම් කිසි ම පළාත් සභාවකට කෙළින් ම විදේශීය රටවල් සමඟ සාකච්ඡා කිරීමකට හෝ විදේශාධාර ලබා ගැනීමකට හෝ ඉඩ නො දිය යුතුයි. තොණ්ඩමන් මහතාගේ යෝජනාව පරිදි ඊට ඉඩ දුනහොත් විදේශීය අවි ආයුධ සපයන්නන් සමඟ කොටි සංවිධානය කටයුතු කිරීම වළකන්නේ කෙසේ ද? එසේ ම ශ්‍රී ලංකාවේ වෙරළින් තුනෙන් දෙකක් සමඟ උතුරු නැගෙනහිර සියලු වරායවල් එම පළාත් සභාවට පැවැරුව හොත් ලංකාවේ ආගමන විගමන නීති කෙසේ ක්‍රියා කරනු හැකි වේ ද? එවිට කොටි සංවිධානයේ වුවමනා පරිදි මිනිස් සම්පත්, ද්‍රව්‍ය හා අවි ආයුධ මධ්‍යම රජයේ කිසිදු පාලනයකට යටත් නො වී උතුරටත් නැගෙනහිරටත් ඇදී එන්නේ නැද්ද?

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට තිහක් පමණ වන, උතුරු නැගෙනහිර ප්‍රදේශය ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට දාහතරක් පමණ වූ එම පළාත්වැසියනට පවරා දීම කිසි සේත් යුක්ති යුක්ත නො වේ. එපමණක් නො වැ, මේ පළාත් දෙකේ ම සිටින්නේ මුළු ලංකාවේ ම සිටින දෙමළ ජනගහනයෙන් (ඉන්දියානුවත් ඇතුළු සියයට 18 න්) බාගයක් හෙවත් සියයට නවයක් පමණි. 1981 ජනසංගණනය අනුවැ සංඛ්‍යාලේණඛන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශිත පහත දැක්වෙන ලේඛනය බලන්න.

 

මුළු රට % නැගෙනහිර පළාත % උතුරු පළාත % උ/නැ දෙපළාතම %
සිංහල 74.0 1.64 0.23 1.86
දෙමළ 18.2 2.77 6.89 9.66
මුස්ලිම් 7.1 2.12 6.36 2.48
අනෙකුත් 0.7 0.04 0.01 0.05
100.0 6.57 7.49 14.05
මුළු භූමි ප්‍රමාණය 100.0 13.54 15.24 28.78

 

මේ රටේ සියයට 18 ක දෙමළ ජනගහනයෙන් බාගයක් වාසය කරන්නේ උතුරු නැගෙනහිර පළාත්වලට පිටස්තර වැ ය. මේ අනුව දෙමළ ජන්මභූමියක්ගැන කතා කරන්නේ කෙසේ ද? මුළු ලංකාවේ භූමියෙන් සියයට30 කුත් මුහුදු වෙරළින් 2/3 කුත් උතුරු නැගෙනහිර පළාත් සභාවට භාර දිමේ සාධාරණය කුමක් ද?

උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීම තවත් යෝජන‍ාවෙකි. මෙය ද කිසි සේත් යුක්ති යුක්ත නො වේ. නැගෙනහිර පළාතේ ජාති සම්මිශ්‍රණය උතුරු පළාතේ සම්මිශ්‍රණයට වඩා ඉඳුරා ම වෙනස් ය. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහනය සියයට 1/3 කි. සිංහල ජනගහනය සියයට 1/4 කි‍. 2/5 ක් වන දෙමළ ජනගහනය මේ පළාතේ සුළු ජන සංඛ්‍යාවකි. උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට කැස කවන්නේ නැගෙනහිර පළාතේ දැනට ස්වාධීන වැ පදිංචි වී සිටින සිංහල හා මුස්ලිම් ජනතාව උතුරේ දමිළ ආධිපත්‍යයට යටත් කොට දෙමළ ජන්මභූමියක් අලුතින් ‍ෙගාඩනඟන්නට නො වේ ද?

1956 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන රජයෙන් පසු දමිළ ජනතාව භුක්ති වින්ද වරප්‍රසාද ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත් බවත් එය දෙමළ ජනතාවට කරන ලද වෙනස කමක් හැටියටත් ඇතැමුන් අර්ථනිරූපණය කැර ඇත. කවුරුන් හෝ බහුතර ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන කථා කිරීම ජාතිවාදය නො වේ. කිසිවකුත් ඊට පැකිළෙන්නට බියවන්නට වුවමනා නැත. එය වෙනත් ජාතියකට කරන අවමානයක් ද නො වේ. රටේ බොහෝ ප්‍රශ්න දිග්ගැස්සී ඇත්තේ මෙලෙස සිය ජාතිය ගැන නොසලකන අතිපණ්ඩිත ජාත්‍යන්තරවාදීන් නිසා ය.

සිංහල භාෂාව එක ම රාජ්‍ය භාෂාව කිරීමෙන් දමිළ ජනතාව කිසියම් බාධාවකට අපහසුවකට මුහුණ දුන්නා නම් දෙමළත් සිංහලත් රාජ්‍ය භාෂා කිරීමෙන් ඒ දුර්වලත්වය දැන් ඉවත් කැර ඇත. රැකීරක්‍ෂා ජාති අනුපාතය අනුව සැලැසීමෙන් සුළු ජාතීනට ඒ අතිනුත් අක්‍රමිකතාවක් සිදු නො වේ. අවශ්‍ය නම් උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යශිෂ්‍යාවන් ඇතුළු කිරීමත් ජාති අනුප‍ාතය අනුව කළ හැකි ය. භාෂාව, රක්‍ෂාව, අධ්‍යාපනය යනාදී අංශවලින් සුළු ජාතීනට විය හැකි වෙනස් කම් හෝ අක්‍රමිකතා ඉවත් කළ පසු උතුරු නැගෙනහිර පළාත් සභාවලට අනෙකුත් පළාත් සභාවනට නොලැබෙන කිසි ම බලයක් හෝ වරප්‍රසාදයක් නො පැවැරිය යුතු ය. එසේ කළ හොත් එය උතුරු නැගෙනහිර පළාත් වෙනත් ජාතියකගේ ජන්මභූමියක් වශයෙන් පිළිගැනීමෙකි.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෙ‍ෟමික අඛණ්ඩතාව හා ස්වාධිපත්‍යය සහතික කළ හැකි එක ම මාර්ගය හැම කෙනෙකුට ම ලංකාවෙහි කොහි ජීවත් වුවත් ඉඩම් අයිතිය, රැකියාව හා අධ්‍යාපනය යන අයිතිවාසිකම් එක සේ ලබා දීමයි. මේ පිළිබඳ ව සුළු ජාතීන් තුළ බියක් ඇත්නම් එය අයින් කළ යුත්තේ මෙකී අයිතිවාසිකම් ජාති අනුපාතය අනුව ඔවුනට සහතික කැර දීමෙනි. මෙහි ලා ඉඩම් අයිතිය පිළිබඳ නීතිය ලංකාවේ හැම තැනෙක ම ඒකාකාර විය යුතු ය. සිංහල, දෙමළ, මුස්ලිම්, ලන්සි, යන ඕනෑ ම ජාතිකයකුට ලංකාවේ ඕනෑ ම පළාතෙක ඉඩම් අයිති කැර ගැනීමටත් රැකියා කිරීමටත් ජීවත් වීමටත් පුළුවන් විය යුතු යි.

තොණ්ඩමන් මහතාගේ යෝජනා යථෝක්ත කරුණු සියල්ලට ම පටහැනි ය. ඒවායින් රට බෙදීමක් මිස රට එකමුතු කිරීමක් සිදු නො වේ. එහෙයින් එම යෝජනා සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂේප කළ යුතු ය. රට පාවා දීමෙන් හෝ බහුජාතිය පාවා දීමෙන් හෝ ලබන සාමයෙන් කවර පලෙක් ද? තොණ්ඩමන් මහතාගේ යෝජනා කොටි සංවිධානයට රට දෙකට කිරීමට ආයාචනා කිරීමකි. ඔවුනට යටත් වීමෙකි.

ඉන්දියාව පවා තහනම් කළ ත්‍රස්තවාදී කොටි සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට සාමකාමී මහජනතාව විසින් පත් කරනු ලැබූ රජයකට කිසි ම බලයක් නැත. ඔවුන් පළමුවෙන් ම ආයුධ බිම දමා සාකච්ඡා මේසයට පැමිණිය යුතු යි. දෙමළ ජනතාව වෙනුවෙන් කතා කිරීමට අනෙකුත් දෙමළ කණ්ඩායමකට නැති කිසි අයිතිවාසිකමක් ඔවුනට නැත. උතුරු නැගෙනහිර සිටින දෙමළ ජනගහනයෙන් කොටසක් පමණි මේ කොටි සංවිධානයට පක්‍ෂපාතිත්වය දක්වන්නේ.

ශ්‍රී ලංකා රජය මේ ප්‍රශ්නයේ යථාතත්වය තේරුම් ගත යුතු ය. ප්‍රශ්නයට ස්ථිර පිළියමක් සෙවිය යුත්තේ ඉන් පසු ව ය. තමන් ඊ ළඟට බලයට පැමිණෙන්නේ කෙසේ ද යන්න මෙහිලා ප්‍රමුඛත්වයෙන් සැලැකීම රට තවත් අගාධයට වැටීමෙකි.

මේ රටේ ඒකීයභාවයත් භෙ‍ෟමික අඛණ්ඩතාවයත් ස්වාධිපත්‍යයක් බිඳ හෙළන, රටේ බහුජාතිය සුළු ජාතියකට පරිවර්තනය කරන කිසිදු පිළියමක් මේ දැවෙන ප්‍රශ්නයට විසඳුමක් නොවන බව නැවතත් ප්‍රකාශ කරමින් දේශ‍ෙප්‍ර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්මී ජාතිහිතෛෂී හැම දෙනා විසින් ම යථෝක්ත යෝජනා එකහෙළා ප්‍රතික්ෂේප කළ යුතු බව අවධාරණයෙන් සඳහන් කෙරෙමි.

 

දිනමිණ 1991.12.30

ප්‍රඥාප්‍රභා 6

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.