Skip to main content

තේවාව කරන හැටි රජ්ජුරුවන්ටවත් බලන්න බැහැ ‘…

දළදා ප්‍රදර්ශනයන් ගැන ඉතිහාසයේ සඳහන් වෙන්නේ නම් විසිතුරුව… දෙස් විදෙස් සංචාරක බැතිමතුන්ට තම ජීවිත කාලය පුරාම මතකයේ රඳවන අනඟි දිනයක් සටහන් වෙන එවැනි මහා පින්කමක් ලබන වසරේ නැවත පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණා… ඉතිහාසයේ දළදා වහන්සේ ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන්ට යටත්ව පැවැති 1828දී ද මෙවැනිම දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බව සඳහන්… ඒ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදීයි… වාරියපොළ සුමංගල හිමියන් විසින් රහසිගතව සඟවා රැකගෙන සිටි දළදා වහන්සේ නැවත මහනුවරට වැඩම කරවා 1828 මැයි මස දෙවැනි දින සිට දළදා ප්‍රදර්ශනය ආරම්භ කර එම මාසයේ හත් වැනි දින දක්වා දින පහක් ජනතා බුහුමනට දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ බවයි පත පොතේ සඳහන් වෙන්නේ… නාරන්පනාවේ ආනන්ද හිමියන් එදා කතාව නැවැත්තුව තැන ඔබට මතකද… අපි එතැනට යමු…


හාමුදුරුවනේ ඔය සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ එහෙම නැත්නම් සර්වඥ ධාතු වැඩම කිරීම් වගේ දේවල්…
මෙහෙමනේ… දැන් දළදා වහන්සේ වැඩ ඉන්නේ මේ මහනුවර මාලිගාවේනේ… එතකොට වෙන කොහේ හරි පන්සලක හරි කොතැනක හරි කියමු. දළදා ප්‍රදර්ශනයක් තියන්න පුළුවන්ද… බෑනේ… ඒ වගේ තමයි මේ නිර්මල බුදු දහමේ තියෙන ගෞරවය එක එක අය තම තමන්ගේ නැණ නුවණ එක්ක පාවිච්චි කරන්න ගියාම වෙන්නේ… ගෞරවය කෙලෙසෙනවා… හානියක් වෙන්නේ… අපේ සම්ප්‍රදායට කරන බරපතළ විනාශයක්…
හොඳයි අපේ හාමුදුරුවනේ අපි තේවාව සම්බන්ධ කතාවට යන්… තේවාව කරන හැටි කාටවත් බලන්න පුළුවන්ද හාමුදුරුවනේ…
බෑ… කිසිම කෙනෙක්ට බලන්න බෑ… රජ්ජුරුවන්ට වත් බලන්න බෑ… හැබැයි තේවාවට උදවු කරන, සම්බන්ධ වෙන මාලිගාවේ වට්ටෝරු රාලට ඇතුළේ ඉන්න පුළුවන්… එයත් එයාගේ වැඩ කොටස කරලා යනවා කවි මඩුවට…
අපේ හාමුදුරුවනේ මේ තේවාව කරන්න වෙනත් සංඝ පාර්ශ්වවලින් ඉල්ලීම් එන්නේ නැද්ද…
අනාදිමත් කාලයක ඉඳලා මේ අස්ගිරි, මල්වතු මහ විහාර දෙකේ සංඝ පරම්පරාවනේ මේ තේවාව කරගෙන රැකගෙන ආවේ… මේ විහාර දෙකේ හිටපු හිමිවරුන් සලකන්නේ මහා විහාර සංඝ පරම්පරාව කියලනේ… අනුරාධපුර මහා විහාර භික්‍ෂු පරම්පරාවට උරුමකම් හිමිකම් ලැබුණු දෙයක් මේ සම්ප්‍රදාය. මේ වගේ තව ඒවා තියෙනවා.
ඒ කිව්වේ හාමුදුරුවනේ…
ශ්‍රී මහ බෝධිය… ශ්‍රී පාදස්ථානය, රුවන්මැලිය… මේ වගේ තියෙනවා… මේ ස්ථානවල උරුමකම් හිමිකම් ලැබුවේ මහා විහාර භික්‍ෂු පරපුරේ හිමිවරු… උන්නාන්සේලා ඒ කළ කාර්යභාරය දිවි දෙවැනි කොට ආරක්‍ෂා කරගෙන ආවා… ඒකම තමයි දැනටත් අපේ නාහිමිවරු ප්‍රමුඛ මේ භික්‍ෂු පරපුර රැකගෙන යන්නේ… අනෙක තමයි අපි හිතමු උදාහරණයක් විදියට මේ දළදා වහන්සේට පූජාව පිළියෙල කරලා පිළිගන්වන රන් පාත්‍රයක්… කවුරු හරි කෙනෙක් මේ තේවාවට සම්බන්ධ වෙලා අර වටිනා පාත්තරය අරගත්තා හොරා ගත්තා කියලා… ඒක ඒ විදියටම රත්තරනින් හැදුවත් අර තිබුණු ඓතිහාසික වටිනාකම ලැඛෙනවද… නෑනේ… අන්න ඒ වගේ පෞරාණික අගය කවදාවත් මිල කරන්න බෑ… චිරාත් කාලයක් එන මේ සමඟ සම්ප්‍රදායත් ඒ වගේ… ඒක කැඩුණොත් ආයෙත් ගොඩනඟන්න බෑ…
මේ තියෙන දේවල් ලැයිස්තු ගත කරලද තියෙන්නේ හාමුදුරුවනේ…
ඔව්… හැම වසරකටම සැරයක් අස්ගිරි මල්වතු දෙපාර්ශ්වය අතර තේවාව මාරු වෙද්දී ඒ ඒ දේවල් ගැන විස්තර ලියලා සලකුණු, අස්සන් යොදාලා දෙන්නේ…
ඒ කියන්නේ හාමුදුරුවනේ උභය පාර්ශ්වයේම මහ නායක හිමිවරුන්ද එහෙම භාර ගන්නේ…
එහෙනන්… උන්නාන්සේ දෙනම තමයි මේ හැමදේටම වගකීම දරන්නේ… ලොකු විශ්වාසයක් ඇතිව තමයි ඒක භාර ගන්නේ… මොනවා හරි දෙයක් වුණොත් ඒ මහ නායක හිමිවරුන් ඇතුළු සියලු සංඝ සමාජයේ නමයි කැත වෙන්නේ… අවුරුදු සීයක් ගියත් ඒ කැත වුණු නම හදන්න බෑ…
ඒ වෙනුවෙන් කෙරෙන ආරක්‍ෂිත
වැඩපිළිවෙළක් තියෙනවද හාමුදුරුවනේ…
ඔව්… අදටත් ඔය දකුණු ‍දොරෙන් මහ නායක හිමිවරු දෙනමටයි, බස්නායක නිලමේටයි විතරයි ඇතුළු වෙන්න පුළුවන්. අද නම් එක එක අය යනවා… ඒ වුණාට මේ සම්ප්‍රදාය වෙනස් වෙන්නේ නෑ… එතැන ‍දොරෙන් ඇතුළු වෙලා දකුණු පැත්තට යන්න කිසි කෙනකුට අයිතියක් නෑ… ඒ වර්ෂයේ තේවාව භාර නායක හාමුදුරුවොයි, විහාර දෙකේ මහ නායක හිමිවරුන්ටයි, දියවඩන නිලමේතුමාටයි විතරයි එතැනින් යන්න අවසර තියෙන්නේ…
තේවාවට අපේ හාමුදුරුවනේ භික්‍ෂුන්වහන්සේ කී නමක් සහභාගි වෙනවද…
තුන් නමයි… පස්සේ දැන් තමයි පස් නමක් සහභාගි වෙන්නේ…
ඇයි එහෙම වුණේ…
අද පූජාවට කරන දේවල් වැඩියි… ගන්න පූජා කරන දේ වැඩියි… ඒ නිසා භික්‍ෂුන් පස් නමක් තේවාවට සහභාගි වෙනවා…
අපේ හාමුදුරුවනේ දැන් තේවාවට හාමුදුරුවරු කොහොමද පුහුණු කරන්නේ…
අස්ගිරි, මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවරු දස දහස් සංඛ්‍යාවක් හිටියට ඒ හැම හිමි නමකටම තේවාවට සහභාගි වෙන්න අවසර නෑ… ඒකට වෙනමම කතිකාවක් තියෙනවා…
දළදා මැඳුරේ ඔබ අප දන්න, දකින මේ පුද සිරිත් විරිත්වලට අමතරව රහසේ සිදුවෙන මහා දේවල් ගොඩක් තියෙනවා… අපේ මේ කතිකාව ඇතුළේ ඒ ඒ තැන් හැකි සීමාවේ සිට විවර කරනවා… ඔබට පුළුවන් දවසක මේ ගැන ඔබේ දුවා දරුවාට කියලා දෙන්න… නාරන්පනාවේ ආනන්ද නායක හිමියන් මාත් එක්ක මේ ‍දොඩමලු වුණේ අපි දන්නේ නැති අප්‍රකට තොරතුරු එක්ක… ඉතින් ලබන සතියේ අපි තේවාවට සහභාගි වන හිමිවරුන් ගැන ඒ අගනා කතිකාව කියවමු…

Join the discussion One Comment

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.