Skip to main content

තෘෂ්ණාව තරණය කල හැකි මාර්ගය අසා භවය කෙලවර කල මෙත්තගු මහරහතන් වහන්සේ.

මෙතගු මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි රහත් ඵලයට පැමිණ දුක් කෙළවර කරන්නෙමි යි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් රැස් කළහ. හෙතෙම එයින් චුතව සසර සැරිසරමින් සිට අපගේ ද බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයක උපන්නේය. නමින් මෙත්තගු මාණවක විය. මෙත්තගු මාණවකයා කලක් ගිහිගෙයි වැස බාවාරි. නම් තාපස තුමාගේ ශිෂ්‍ය භාවයට පැමිණ තාපසයෙක් විය. හෙතෙම බාවාරි ගේ අනුදැනුම ඇතිව අප භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණමේ ප්‍රශ්න විචාළේය.

මෙත්තගු-  ” ස්වාමීනි, ලෝකයෙහි අනෙක සවභාව ඇති යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුක්ඛයෝ කොයින් උපන්නාහුද?

බුදුරජ- ” මේ ලෝකයෙහි අනෙක ස්වභාව ඇති යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුක්ඛයෝ තෘෂ්ණාදි උපධි හේතුවෙන් උපදනාහ “

මෙතගු- ” කාමාදි චතුවිධ ඕඝයත් ජාති ජරා ශෝක පරිදේව දුකත් කෙසේ තරණය කෙරෙත් ද? “

බුදුරජ- ” මේ සියලූ දුඃඛ දෝමනස්සයන් දුරුකළ හැකි වන්නේ තෘෂ්ණාව තරණය කිරීමෙනි. “

මෙත්තගු- ” සවාමීනි, තෘෂ්ණාව තරණය කළ හැකි මාර්ගය වදාල මැනව. ”

බුදුරජ- ” සිහියෙන් යුතුව, අප්‍රමාදව, තෘෂ්ණා දෘෂ්ටි කෙරෙහි ඇති බැඳිම් හැරපියා, හැසිරෙන්නේ නම් මෙලොව ජාති ජරාදි දුඃඛ දෝමනස්සයන් අරින්නේ ය.”

මෙත්තගු- ” ඔබ වහන්සේගේ ධර්මයට කැමති වෙමි. අපට නිර්වාණය මනා කොට දේශනා කෙළෙහිය. ඒ අනුව ගමන් කරන්නා ඒකාන්ත වශයෙන් සසර දුක් නැති කරන්නේ ය “

මේ දේශනාව කෙළවර මෙතගු තවුසා ඇතුළු දහසක් තවුසෝ රහත් වුහ. බුදුරජාණන් වහන්සේ ඔවුන් සියලූ දෙනම එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළහ. මෙත්තගු තෙරුන් වහන්සේ අසූමහා ශ්‍රාවක පිරිසට ද ඇතුළත් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.