Skip to main content

තරුණ ශක්තිය නොමඟ යවන්න එපා …

(1971 අප්‍රේල් කැරැල්ල ශ්‍රී ලංකාවේ මෑත යුගයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියෙකි. නොමඟ ගිය, උගත් වටිනා තරුණ ජීවිත රැසක් මෙයින් විපතට පත් වූ අයුරු අතිශයින් ම ශෝචනීය ය. මේ කරුණ සම්බන්ධයෙන් අප මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් කැරැල්ලට සම්බන්ධ තරුණ තරුණියන් ගේ රැකවරණයත් අනාගතාහි වෘද්ධියත් සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලිය අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ගේ ඉල්ලීම පරිදි කරන ලද ගුවන් විදුලිය අනුශාසනයක් ද පුවත් පත් ප්‍රකාශනවලින් එකක් ද මේ සමග පළ වෙයි)

අපේ ජනතාව ආගමිකවතාවත්වල යෙදෙමින් අලුත් අවුරුදු චාරිත්‍රවල යෙදෙමින් දෙමාපියන් වැඩි හිටියන් වඳිමින් පුදමින් කිරිබත් කැවුම් කෙහෙල් ගෙඩි කමින් කොපණ ප්‍රීතියෙන් කාලය ගෙව්වා ද යනු කවුරුනුත් දන්නා කාණයක්.

අද ‍කෝ ඒ ප්‍රීතිය? ඒ ප්‍රීතිය නැති වුණා පමණක් නො ව අද අපේ ජනතාව විශේෂයෙන් සිංහලයන් බෞද්ධයන් දුක් ‍වෙනවා, අඬනවා වැළපෙනවා, ක්‍රෝධය වෛරය පැතිරෙනවා. ඇයි අපට මේ තරම් දුකක්, විපතක්? රටේ ආරක්‍ෂක බළකායත් ජාතියේ ජීවනාලිය වන තරුණ පිරිසත් ඔවුනොවුන් මහා සටනක යෙදී සිටින නිසා නො වේ ද? සටන් කරන්නේ අපේ ජනතාව යි. විශේෂයෙන් සිංහලයන් බෞද්ධයන් ම යි. මැරෙන්නේත් අපේ ජනතාව යි. විශේෂයෙන් සිංහලයන් බෞද්ධයන් ම යි. මේ විපත බලා ඉන්න පිළිවන් ද? ඉවසල ඉසල බැරි තැන යි මේ කතා කරන්නේ.

පින්වත් පාලකයෙනි, පින්වත් මවුපියවරුනි, පින්වත් තරුණ තරුණියනි, පින්වත් ළමයිනි, අපේ දීර්ඝ ඉතිහාසය දෙස බලන්න. හැම කරදර අවස්ථාවක දී ම අපට පිහිටවූයේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය යි. අදත් හෙටත් අනිද්දාත් එය එ සේ ම යි. මෙ බඳු අවස්ථාවල දී අපට හොදින් හිතන්නට ය යි අපේ බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද අවවාදයක් දෙකක් මතක් කර දෙනන්ම්. මේ ටික වේලාවේ දී හිත්වල තිබෙන දුක් කරදර ක්‍රෝධ වෛර සියල්ල ම අමතක කොට කරුණාවෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් යුක්ත ව මේ කරුණු ටිකට ඇහුම් කන් දෙන්න.

පුරාණ ඉන්දියාවේ ශාක්‍ය කොලිය දෙ රටේ පාලකයෝත් බුදුරජාණන් වහන්සේ ගේ මවුපිය දෙ පක්‍ෂයේ ඥාති වර්ගයා යි. ඒ රටවල් දෙක මැදිනු යි රෝහිණී ගඟ ගලා බැස්සේ. දෙ රටේ ම ගොවියන් රෝහණී ග‍ඟේ දිය ගෙන ගොවිතැන් කළා. මේ දිය බැඳීම අරමුණු කරගෙන දෙ රටේ ගොවින් අතර කලහයක් ඇති වුණා. අරමුණ කුඩා යි. එහෙත් කලහය ලොකු වන්නට යනවා නුනුවණින් අදුරදර්ශී ව ක්‍රියා කිරීම නිසා මේ භේදය දෙ රටේ පාලකයන් අතරටත් ගියා. දෙ පක්‍ෂය ආයුධ සන්නද්ධ ව මහා සටනකට සූදානම් ව ගඟ දෙ පස රැස් වුණා. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ එ තැනට වැඩම කළා.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැකීමෙන් දෙ පක්‍ෂය ම සන්සුන් වුණා. ඔසවාගෙන තුබුණු ආයුධ පහතට දැම්මා. එ විට බුදුරජාණන් වහන්සේ මහාකරුණා ස්වරයෙන් “මේ මහා සටනකට සූදානම් වන්නේ කවර දෙයක් අරමුණු කරගෙන දැ” යි. ඇසුවා බොහෝ දෙනා ඒ මහා සටනේ හේතුව වත් දැනසිටියේ නැහැ. දෙ පක්‍ෂය ම ඔවුනොවුන් මූණ බලන්නට වුණා. ඔවුනොවුන් කසු කුසු ග‍ා යම්තම් කාරණය තේරුම් ගෙන “ග‍ඟේ දිය බැඳීම් නිමිති කරගෙන ය” යි කීවා. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ “දිය කොපමණ වටිනවා දැ” යි දෙ පක්‍ෂයෙන් ම ඇසුවා. “ඉතා සුළු වටිකානමක් ඇති දෙයකැ” යි ඔවුන් කීවා. ක්‍ෂත්‍රියයන් මනුෂ්‍යයන් කොපමණ වටිනවා දැ” යි බුදුරජාණන් වහන්සේ නැවතත් ඇසුවා. “ස්වාමීනි, මනුෂ්‍යයන් ගේ වටිකානම කිව නොහැකි” යි පිළිතුරු දුන්නා. ඉතා ස්වල්පයක් අගනා ජලය නිසා අගය කළ නොහැකි මනුෂ්‍ය ජීවිත විනාශ කරන්නට සූදානම් වනවා දැ” යි බුදුරජාණන් වහන්සේ නැවැතත් ඇසුවා. ඒ කාරණය කාටත් වැටහුණා. එ හෙයින් ලජ්ජාවට පත් වී බිම බලා ගත්තා.

මේ කාරණා හොඳින් නුවණින් සිතා බලන්න.

බුදුරජාණන් වහන්සේ ගේ මෙන්න තවත් අවවාදයක්. “කෝලාහල කරන අය, අපි ම මේ කෝලාහලවලින් වැනසෙන්නෙමු යි නො දනිති. යම් කිසි කෙනෙක් කෝලහලවලින් වන විනාශය දනිත් නම් ඔවුහු සමඟියෙන් සමාදානයෙන් කටයුතු කෙරෙති.” මේ අවවාදය හොඳින් නුවණින් සිතා බලන්න.

අපේ බුදුරජාණන් වහන්සේ මෙ බඳු අවස්ථා දෙකක දීම ලංකාවට වැඩම කොට සටන් නතර කරවා සාමය ඇති කළ බව අපේ ඉතිහාසයෙන් පෙනනවා. ඒ බුදුරජාණන් වහන්සේ දැන් නැතත් එදා දේශනා කළ ධර්මය අදත් හොඳින් පවතිනවා. අපට පිහිට ඒ ධර්මය යි. අපේ මුතුන් මිත්තන් හැදුණේ වැඩුණේ ඒ ධර්මය අනුව යි. බුද්ධ ධර්මය අනුව හැදුණු වැඩුණු සිංහලයන් ගැන රොබ්ට් නොක්ස්තුමා ලියා තිබෙන්නේ මෙහෙම යි.

සිංහලයන් ගේ ගමන් ලීලාව ද හැසිරීම ද ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් ම මස් කෑමත් මත් පැන් බීමත් අප්‍රිය කෙරෙති. ඔවුහු කිපෙන සුලු නො වෙති. කෝපයක් ඇති වුව ද එය වහා සංසිඳුවා ගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසුදු ය, ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති, වැඩි වෙලා නො නිඳති. සිංහල ස්ත්‍රීන් ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමෙහි දක්‍ෂ වෙති. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමි දුව කොතරම් මහෙශාක්‍ය වුවත් දැසි දසුන් සිටියත් ගෙදර කටයුතු සියතින් කරයි.”

සිංහලයෝ උදේ සවස දෙක්හි පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කෙරෙති. නවගුණ වැල් අතින් ගෙන නිතරම භාවනාවෙහි යෙදෙති, සොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසි ම සිංහලයකු කවදාක වත් සොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති, පර හට උපකාර කෙරෙති, ආගන්තුකයනට දයා වෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළග මේ ගුණ ධර්ම ඇති බව අත් දැකීමෙන් ම දනිමි.”

මෙ සේ බුද්ධ ධර්මය අනුව හැදුණු වැඩුණු සිංහලයා පරදේශීන් ගේ ආක්‍රමණයෙන් පසු නොමඟ යන්නට පටන් ගත්තා. පරදේශීන් වුවමනා වෙන් නොමඟ යැව්වා, ආගමෙන් ඈත් කළා, පන්සලෙන් ඈත් කළා, සිංහලයන් බෞද්ධයන් භේද කළා. ඊට පසු ව පිටරටවලින් හොඳ දේවල් මෙන් ම නරක දේවල් ද එන්නට පටන් ගත්තා. නරක විත්‍රපට ආවා නරක පත් පොත් සඟරා ගඟ ගලන්නාක් මෙන් එන්නට පටන් ගත්තා. ඒවා මඟින් ඇන කොටා ගන්නා සැටි ඉගැන්නුවා. වෙඩි තියන සැටි මිනී මරන සැටි ඉගැන්නුවා. මේවා ගැන පූජ්‍ය පක්‍ෂය සැලකුවේත් නෑ. දෙමා පියන් වැඩි හිටියන් සැලැකුවේත් නෑ. දැන් මේ ඒව යි විපාක තමයි විඳින්නේ. දැන් වත් මේවායින් පාඩමක් ඉගෙන හැදෙන පරපුර නොමඟ යන පාරවල් වසා දමමු. පින්වත් තරුණ ශක්තිය බොහො ම වටිනවා. ඔබේ තරුණ ශක්තිය නොමඟ යෙදුවොත් සමාජය වැනැසෙනවා. අද මේ රටේ පවතින කලබලවලින් පෙනෙන්නේ අපේ තරුණ තරුණියන් ගේ වටිනා තරුණ ශක්තිය කවුරුන් හෝ නොමඟ යවා තිබෙන බව යි. ඒ හේතුවෙන් අපේ එඩිතර සිංහල තරුණ තරුණයන් ගේ ජිවිත විනාශ වන බව පෙනෙනවා. එය මහ දුකක්. බලා ඉන්න බැරි දුකක්. ඔබ වැනි තරුණ තරුණියන් නැති වීම ඔබට මෙන් ම සිංහල ජාතියටත් බලවත් පාඩුවක්. ලංකා ශාසනයටත් බලවත් පාඩුවක්. ඔබට ආදරයෙන් කරුණු කියන්නේ ඒ නිසා යි.

මෙ කළ බොහෝ තරුණ තරුණියනට දුක් කරදර ඇති බව මාත් හොඳින් දන්නවා. මා බොහෝ දුප්පත් ගම්වල හොඳට ඇවිද පලපුරුදු යි. ගම්වල තිබෙන දුප්පත්කම හොඳින් දන්නවා. කරන්නට රැකියාවක් නැත් නම් ජිවත් වන්නට මඟක් නැත් නම් ඉදිරියට එන චිත්ත වේගය කෙබඳු දැයි විග්‍රහ කළ යුතු නො වේ. හැම රජයක් ම මේ අපහසුකම් මඟ හරවාගන්නට නොයෙක් කටයුතු කරන බව රහසක් නො වේ. එහෙත් ආර්ථීක පීඩාව නිසා බලාපොරොත්තු වන තරම් ප්‍රතිඵල නැතත් ඉදිරියට ප්‍රතිඵල ලැබේවි ය යි. සිතිය හැකි යි.

හිතවත් තරුණ තරුණියනි, කවර හේතුවක් නිසා හෝ ඔබ මේ කාලයේ යෙදි සිටින හිංසාකාරී ක්‍රියා නතර කරන්න. ඔබේ තරුණ ශක්තිය ඔබේත් අන්‍යයන් ගේත් යහපත සඳහා යොදවන්නට ඉදිරියට එන්න. ඔබේ වටිනා තරුණ ශක්තිය නිසි මඟ යොදවා ආර්ථීක පීඩා නැති කොට ඔබ රටට ජාතියට ආගමට භාෂාවට දිළිසෙන මැණික් බවට පත් කරන් වැඩ පිළිවෙළක් සකස් කර ඇත. එය ඔබ වෙනුවෙන් පිළිවන් ඉක්මනින් සමාජයට ඉදිරිපත් කෙරෙමි. ඔබේ අනාගතට ඉන් අලොකවත් වනු ඒකාන්ත යි. මෙ තෙක් කී කරුණු සියල්ලක් ම සලකා බලා හිංසාකාරී ක්‍රියා වහා ම නතර කරන්න.

මේ රටේ මහ පාරත් මහ පාලමත් පොදු ගොඩනැඟිලි ආදියත් පොදු ජනයා ගේ වස්තු යි. පොදු ජනය‍ා නම් ඔබ හා අපි යි. එ හෙයින් පොදු දේ විනාශ කිරීම නම් තමන් ගේ දේ විනාශ කිරීම යි. පොදු ජනයාත් පොදු දේත් ආරක්‍ෂා කිරීම පාලක පක්ෂයේ යුතුකම යි. ඒ සඳහා චතුර්විධ ආරක්‍ෂක බළකායන් ඇත. ඒ බලකාය ඔබ හා සටන් කරන්නේ පෞද්ගලික ව ඔබ හා වෛරයෙකින් නො වේ. පොදු ජනතාව හා පොදු දේ ආරක්‍ෂා කිරීමට යි. එ සේ කරන විට ඔබට ද විනාශයක් සිදු වනු ඒකාන්ත යි. එයින් බළකායයට අයත් ආරක්‍ෂක භටයනුත් විනාශ වීම ස්වාභාවික යි. එය ද රටට බලවත් පාඩුවක්. ඔබ සටන් නතර කළොත් ආරක්‍ෂක භටයන් ගේ සටනක් ඇත්තේ ම නැත.

පාලන පක්‍ෂයෙහි පින්වතුනට වචනයක් කිව යුතු වේ. දෙමාපියන් දරුවන් ගේ වරදෙහි පිළියම් කිරිම සාමාන්‍ය සිරිත යි. එහෙත් දරුවන් සමඟ වෛරයක් නැත. ඔවුන් ගේ අනාගත යහපතට කටයුතු කිරීම නො අඩු ව ම කරති. පොදු ජනතාව පාලක පක්‍ෂයෙහි දරුවන් හා සමාන යි. හිංසාකාරී ක්‍රියාවල යෙදී සිටින තරුණ තරුණියෝත් ඔබේ දරුවන් හා සමාන යි. ඔවුන් ගේ වරදට පිළියම් කළ යුතු යි, වෛර නො කළ යුතු යි, පිහිටවිය යුතු යි.

තෙරුවන් සරණින් සියලු විපත් දුරු වී සියලු සැපත් ළඟා වී අලුතින් ලැබූ අවුරුද්ද හැම අතින් ම වාසනාවන්ත වේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කෙරෙමි.

 

ලංකාදීප 1971.04.21

ප්‍රඥාප්‍රභා 1

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.