Skip to main content

ජනගහනය පාලනයෙන් “මිනිසත්කමට” හානි කරන්න එපා.

ජනගහනය හා සංවර්ධනය යන මාතෘකාවෙන් ලෝකයෙහි රටවල් 67 ක මහා විශාරදයන් පැමිණ සතියෙක සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වූ බව බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි.

ලෝක ජනගහනය වේගයෙන් වැඩි වෙයි. එහෙයින් ජනගහන පාලනයක් අවශ්‍ය ය. එසේ පාලනය නොකළොත් ආහාරාදී අත්‍යවශ්‍ය දෑ සැපයීම දුෂ්කර වේ යනු උගතුන්ගේ අදහස යි.

රටේ භූමි ප්‍රමාණය හා ආර්ථිකය අනුව ජනගහනය සිදුවිය යුතු ය. ප්‍රමාණය ඉක්මවා යන විට පාලනය කළ යුතු ය. එයට උගත් ජනතාව විරුද්ධ නෙ‍ාවනු ඇත. එසේ ම විරුද්ධ නො විය යුතු ය. එහෙත් ඒ ජනගහන පාලනය කළ යුත්තේ මනුෂ්‍යත්වයට හෙවත් මිනිස්කමට හානියක් නෙ‍ාවන පරිදි ය.

පෙරදිගත් අපරදිගත් පඬිවරු මිනිසා විවිධාකාරයෙන් විග්‍රහ කොට ඇත. එයින් මුල් තැන දිය යුත්තේ ‘දියුණු කළ මොළයක් ඇත්තේ මිනිසා’ යන්නට ය. එහෙත් බෞද්ධ පඬිවරු ‘දියුණුවන මනසක් ඇත්තේ මිනිසා යැ’යි විග්‍රහ කළහ. හැම සත්ත්වයකුට ම මනසක් ඇත. එහෙත් මිනිසා හැර අන් සත්ත්වයන්ගේ මනස දියුණු කිරීමක් නැත.

තිරිසනාට මනසක් ඇත. එහෙත් දියුණු කිරීමක් නැත. එහෙයින් ඔහු උපන්දාත් තිරිසනා ම යි. මැරෙනදාත් තිරිසනා ම යි. දෙවියනට දියුණු කළ මනසක් ඇත. එහෙත් ඒ දියුණු කළ මනස රැකගෙන ඉන්නවා විනා දියුණු කිරීමක් නැත. එහෙයින් ඔහු ද උපන්දාත් දෙවියා ම යි. මැරෙනදාත් දෙවියා ම යි. බ්‍රහ්මයනට වඩා දියුණු කළ මනසක් ඇත. එහෙත් ඒ වඩා දියුණු කළ මනස රැකගෙන ඉන්නවා විනා දියුණු කිරීමක් නැත. එහෙයින් ඔහු ද උපන්දාත් බ්‍රහ්මයා ම යි. මැරෙනදාත් බ්‍රහ්මයාම යි.

මිනිසා එසේ නො ව උපන් දා පටන් ගුණ නුවණින් හා මනසින් දියුණු වන්නෙකි. එසේ ගුණ නුවණ හා මනස දියුණු කැර ගත් තැනැත්ත‍ා දෙවියා ද වෙයි. බ්‍රහ්මයා ද වේ. ගුණ නුවණ හා මනස ඉහළ ම පමණට දියුණු කැරගත් තැනැත්තා බුදු වේ. එහෙයින් බුදුවිය හැක්කේ මිනිසාට පමණ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මේ අනුව උපන්දා පටන් ගුණ නුවණින් හා මනසින් දියුණු වෙමින් කාමකෝපාදී ආවේග පාලනය කිරීම මිනිස්කමයි.

මිනිස්කම දියුණුව පැවැති කාලයන්හි සංවර්ධනය ද හොඳින් සිදු වූ අතර ජනගහනය ද හොඳින් පාලනය විය. ඈත අතීතයෙහි මෙසේ වුව ද මෑත අතීතයෙහි මනස හා ගුණ පැත්ත අමතක කොට නුවණ පැත්ත මතුකොට ගත්හ. එහෙයින් කෝෂ ග්‍රන්ථවල මොළේ දියුණු කැර ගත්තේ මිනිසා යැයි විග්‍රහ කළහ. එයින් මිනිස් ගුණ පිරිහෙමින් මිනිස් රුව වඩන්නට පටන් ගති.

කරුණාකර ලෝකය දෙස බලන්න. මිනිසා තමන්ගේ ධනයත්, කාලයත්, ශ්‍රමයත් යොදන්නේ රූපය අ‍ාරක්‍ෂා කරන්නටත් අලංකාර කරන්නටත් නො වේ ද? මනස ආරක්‍ෂා කරන්නට හා දියුණු කරන්නට මිනිත්තු කීපයක් යොදවනවා ද? පංචේන්‍ද්‍රියයන් පිනවීමට උවමනා දෑ සපයනවා විනා පංචේන්‍ද්‍රියයනට වඩා උතුම් මනින්‍ද්‍රිය පිනවීමට උවමනා දෑ සපයනවා ද? මෙයින් සිදු වූයේ කාමකෝපාදී ආවේග පාලනය කිරීමේ ශක්තිය හීන වී ජීවිතයේ පරමාධ්‍යාශය පඤ්චකාම සේවනය බවට පත්වීම යි.

මේ ආකල්පය නිසා තරගකාරිත්වය වර්ධනය විය. එක රටක් පරදවා යෑම ලොකුකමේ ප්‍රධානත්වය විය. ආත්මාර්ථකාමිත්වය හා ඊර්ෂ්‍යාව ද වැඩි විය. කලින් කාමය දියුණු වී තිබුණු ජනතාව අතර කෝපය ද වර්ධනය විය. එයින් යුද්ධ කිරීම නො කර බැරි කටයුත්තක් විය. පුරාණයෙහි යුද්ධ පැවැතුණේ මිනිසා මිනිසාට මුහුණ දී සටන් කිරීමෙනි. එයට මිනිසුන් වඩාත් අවශ්‍ය විය. එහෙයින් ජනගහනය වැඩි කිරීම අත්‍යවශ්‍ය කරුණක් විය.

මෑත යුගයේ ඉතා වේගයෙන් දියුණු වූ රට ඇමරිකාව යැයි කිව යුතු ය. පසුගිය අවුරුදු හාරසියයට ජනගහනය කෝටි තිහකින් වැඩි වී ඇත. දියුණු වූ අනෙක් රටවල් ද එසේ ම ය. දැන් දියුණු වී තිබෙන භයානක ආයුධවලට බියෙන් කවුරුත් සාමයට කැමති වී සිටිති. යුද්ධ අඩුවන විට කලින් නොපෙනුණු ජනගහනය වැඩීමක් පෙනෙන්නට විය. කලින් ජනගහන පාලනයට උපකාර වූ කාම කෝපාදී ආවේග පාලන කිරීමේ ශක්තිය ද හීන වී ඇත. එහෙයින් ජනගහනය අඩු කැර ගැනීමට කෘත්‍රිම ක්‍රම වුවමනා විය.

බුද්ධ ධර්මය අනුව පවුල නම් භාර්යාව යි. එය පුළුල් කොට ගත් කල ස්වාමි පුරුෂයා හා දරුවෝ ද ඇතුළත් වෙති. සංවිධානය නම් පිළියෙළ කිරීමයි. පවුලක් පිළියෙල කැර ගැනීම පවුල් සංවිධානය යි. එහි අංශ රාශියෙකි. පවුලේ ආර්ථිකයට හා සෙ‍ෟඛ්‍යයට අනුරූප ව දරුවන් ලැබීම ඉන් එකකි. එය භාර්යාව හා ස්වාමිපුරුෂයා සාකච්ඡා කොට පිළියෙල කැර ගත යුත්තෙකි. ඒ සඳහා ස්වාමි පුරුෂයාට හා භාර්යාවට උපදෙස් දීම අවශ්‍ය ය.

මුළු ලෝකයෙහි ම පවුල් සංවිධානය කියා උප්පත්ති පාලනයට කෘත්‍රිම ක්‍රම ප්‍රචාරය කරන්නට පටන් ගත්තේ ය. ස්වාමි පුරුෂයනට හා භාර්යාවට දිය යුතු උපදෙස් වෙනුවට මේ කෘත්‍රිම ක්‍රම ප්‍රචාරය කිරීම නිසා තරුණ තරුණියන් අතර තුබුණු විළි හා බිය පහවිය. පිපාසයක් ඇති වූ විට ගෙදර යනතුරු නො සිට කොයි හෝ තිබෙන අ‍ාපනශාලාවකට ගොස් පිපාසය සංසිදුවා ගන්නාක් මෙන් කාම පිපාසයක් ආවිට ගෙදර යනතුරු නො සිට අතරමඟදී කාම පිපාසය ද සංසිඳුවා ගන්නට පහසුකම් ඇති විය.

මේ තත්ත්වය කොතරම් දුරට ගොස් ඇද්දැයි කිවහොත් දියුණු යැයි කියා ගන්නා සමහර රටවල විළිබිය ඇති කෙනෙකුට දවල් කාලයේ වත් උයන්වල සැරි සරන්නට බැරි තත්ත්වයක් උදාවී ඇත. මෙසේ හැසිරෙන්නෝ ස්වාමි පුරුෂයන් හා භාර්යාවෝ ද? තරුණ තරුණියෝ ද? බහුල වශයෙන් තරුණ තරුණියන් බව කවුරුනුත් පිළිගන්නවා ඇත. මෙබඳු තරුණ තරුණියන්ගේ අනාගත පවුල් ජීවිත කෙබඳු වේ ද? ඔවුන්ගෙන් හට ගන්නා දරුවෝ කෙබඳු වෙද්ද? මේවාට වගකිව යුත්තාහු මේ හීන දීන පවුල් සංවිධාන වැඩ පිළිවෙල ප්‍රචාරය කරන්නාහු ය. අපේ රටේ බොහෝ තරුණ තරුණියන් මේ තත්ත්වයෙන් මිදී සිටීම ගැන ප්‍රශංසා කළ යුතු අතර ඔවුන් මේ තත්ත්වයට නො වැටෙන්නට පරිසරය හදා ගත යුතු ය.

කලින් වාසනාවන්ත දරුවන් ලබා ගැනීමේ පරමාධ්‍යාශයෙන් පවුල් ජීවිතයට බැස ගත් බොහෝ දෙනා දැන් ඉන්‍ද්‍රියයන් පිනවීම මුල් කැර ගෙන ඇත. එහෙයින් පවුල් ජීවිතයට බැසගත් ළඟදී ම දරුවන් ලැබීම මහා අවාසනාවන්ත කරුණක් කොට සලකති. එහෙයින් පවුල් සංවිධානය යන ව්‍යාජ නාමයෙන් ඇති උප්පත්ති පාලන ක්‍රම ක්‍රියාවෙහි යොදති. එය දරුවෝ ද දනිති. දැන් දියුණු රටවල බොහෝ දරුවන් කියන්නේ මවුපියන් අපේ ඉපදීමත් වළක්වන්න හැදුවා. අපි කර්ම වේගයට උපන් අයයි. මවුපියෝ අපට ණයයි. අපට කන්න අඳින්න දිය යුතු ය, ඉගැන්විය යුතුය, අපි මවුපියනට උවමනා නැති අයයි. එහෙයින් අප ගැන කතා කරන්නට අයිතියක් නැත. අප අපට උවමනා පරිදි හැදෙනවා. දැන් මේ ආකල්පය සෑහෙන පමණට තිබෙනවා. මේ තත්ත්වය තව දියුණු වී ගියොත් අනාගත ලෝකය කෙබඳු වේ දැයි සිතා බලන්න. මේ හීන දීන පවුල් සංවිධාන වැඩ පිළිවෙළ නතර කෙළේ නැත්නම් මේ තත්ත්වය අපේ රටටත් එන්නට පිළිවන.

දියුණු රටවල ජනගහන පාලනයට මානසික අංශය සම්පූර්ණයෙන් අමතක කොට උප්පත්ති පාලන උපක්‍රම ප්‍රචාරය කළා. එයින් සමාජය මිනිස්කම්වලින් බොහෝදුරට පිරිහුණා විනා බලාපොරොත්තු තරමට ජනගහනය පාලනය වූයේ නැත. එහෙයින් සමහර රටවල ගබ්සාවට නීතියෙන් අවසර දුන්නා. එයින් තවත් සමාජය පිරිහුණා. ඇමෙරිකාව ද ගබ්සාවට අවසර දුන් රටෙකි. බුද්ධ ධර්මය අනුව ගබ්සාව මනුෂ්‍ය ඝාතනයකි. 1977 දී ඇමෙරිකාවේ ගබ්සා කරීම් 12,70,000 ක් සිදු විය. මේසා විශාල සංඛ්‍ය‍ාවක් ගබ්සාවට ගොදුරු වූවාහු කවරහු ද? සියයට හැත්තෑ පහක් වූ අවිවාහක ක‍ාන්තාවෝ ය. වයස් අනුව ගත් විට සියයට 32 ක් අවුරුදු 13 සිට 19 දක්වා වූ ළමයි ය. සියයට 33 ක් අවුරුදු 20 හා 24 අතර තරුණියෝ ය. ගබ්සාවට අවසර දුන් අන් රටවලත් තත්ත්වය ද මෙසේ ම ය.

ශ්‍රී ලංකාවේ ගබ්සාවට නීතියෙන් අවසර නැතත් සංඛ්‍ය‍ාවෙනුත් වයස් අනුවත් ඇමෙරිකාවේ තත්ත්වයට පත් වේගෙන එනවා. ගබ්සා කිරීම සමහර වෛද්‍යවරුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කැරගෙන තිබෙනවා. ගබ්සාවට රුපියල් තුන්සියයේ පටන් එක්දහස් පන්සියය දක්වා අය කරනවාලු. පොහොසතුන්ගේ දරුවන්ගෙන් ඊටත් වඩා අය කරනවාලු. එසේ වැඩියෙන් අය කරන්නේ වරින් වර වටලන අයට ගෙවන්නට තිබෙන නිසාලු. රජයත් නිහඬව සිටිනවා. ඉතින් කාට ද කියන්නේ? මිනිහාත් තිරිසන් ගණයට යනවා. බල්ලන්ටත් නොකරන සැත්කම් මිනිසාට කරන්නට සිදුවෙලා. අනේ අනේ මිනිස්කම පහළට බැස්ස තරම!

දීර්ඝ ඉතිහාසයක් ඇති බුද්ධ ධර්මයෙන් පෝෂණය වූ ශිෂ්ටාචාරයක් ඇති ශ්‍රී ලංකාවට ද 1953 දී පවුල් සංවිධානය ගෙනෙන ලදී. පවුල් සංවිධානය ගැන උපදෙස් දිය යුත්තේ ස්වාමි පුරුෂයනට හා භාර්යාවනට ය. එහෙත් පවුල් සංවිධාන කාරයන් කෙළේ ප්‍රචාරක පත්‍රිකාවන් මුද්‍රණය කරවා රට පුරා ප්‍රචාරය කිරීම යි. එයින් එක් පත්‍රිකාවක විස්තර කැර ඇත්තේ උප්පත්ති වළක්වන ක්‍රම දහයෙකි. වෛද්‍යවරයකුගේ උපකාරය අවශ්‍ය ඉන් එකකට ය. අනෙක් නවය ම තමන් හට කැර ගත හැකි සේ පැහැදිළි කැර ඇත.

මෙලෙසින් ප්‍රචාරය කිරීම සුදුසු දැයි නුවණැතියන් විසින් සලකා බැලිය යුතු ය. පිටරටවලින් කෝටි ප්‍රකෝටි ධනය ලබාගෙන කරන වැඩවලින් වියදමේ පමණට ජනගහනයෙහි අඩුවක් වුණා දැයි නුවණින් සලකා බලන්න. ශ්‍රී ලංකාවෙහි ජනගහනය 1953 දී 80,98,000 කි. 1971 දී 1, 48,50,001 කි. අඩු වීමක් ඇත්නම් එය සිංහලයන් අතර ය. පහුගිය අවුරුදු දහය තුළ ජනගහන වර්ධනය වූ සැටි නුවණැසින් සලකා බලන්න. සිංහලයෝ සියයට 20යි, දමිළයෝ32යි, යෝනකයෝ 28යි, පහුගියදා දිරිගැන්වීමට දුන් රුපියල් පන්සියයේ දුර්විපාක අසුවන්නේ ලබන ජන සංගණනයට ය.

උප්පත්ති වළක්වන උපකරණයන් පිටරටින් ගෙන්වා කඩයක් ගණනේ විකුණන්නට තබා ඇත. මේවා පවුල් සංවිධානය යන වචනයෙහි තේරුම වත් නොදන්නා මෝඩයන් කරන මහාපරාධ වැඩ ය. මෙයින් සිදු වූයේ හැදෙන පරපුරේ විළි බිය නැති වීමත් රට පුරා දුරාචාරය පැතිරීමත් ය. එසේ ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා තරුණ තරුණියන් අතර ප්‍රසිද්ධියේ කියන්නට බැරි තරම් භයානක ලෙස සමාජ රෝග පැතිරීමත් ය. මේ කරුණ සමාජ රෝග වෛද්‍ය විශේෂඥයන් ද පෙන්වා දී ඇත.

ජනගහන පාලනය අවශ්‍ය වුවත් එය කළ යුත්තේ මිනිස්කමට හානියක් නො වන පරිදි ය. සිංහලයන් බෞද්ධයන් වඳ නොවන පරිදි ය. එලෙසින් ජනගහන පාලනයක් කිරීමට, පිළිගන්නට කැමති නම් මනා සැලැස්මක් ඉදිරිපත් කරන්නට සූදානම් බව විවෘත සංදේශයෙකින් කියා සිටියෙමි. එබඳු සැලැස්මක් හදා දෙන්නැයි නිකමට වත් වග කිව යුත්තන්ගෙන් කවුරුන් වත් මෙතෙක් කීවේ නැත. ගිය රජය කාලයෙහිත් මේ කරුණු පෙන්නා දුන්නා. සැලැකිල්ලක් දැක්වූයේ නැත. එසේ වුවත් රජය පිළිගත්තත් නැතත් මහජනයාවත් පිළිගත්තොත් මැනැවැයි යන අදහසින් මිනිස්කම රැකගෙන ජනගහන පාලනය කරන සැලැස්මක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

 

රිවිරැස 1981.09.06
ප්‍රඥාප්‍රභා 5

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.