Skip to main content

ගෘහ සේවිකාව සුවපත් කල කැස්බෑවා …

චියැං යුවල තමාට ලැබුණ පණිවුඩයක් අනුව නිවසින් බැහැර යාමට සූදානම්ව ස්වකීය ගෘහ සේවිකාව අමතා ‘’අමතක කරන්න එපා අර කැස්බෑව උයන්න ඉස්සෙල්ල හොඳට අතුල්ලන්න ඕන. ඒ වගේම සතා හුඟක් ලොකු නිසා බොහොම පරිස්සමෙන් වැඩ කරන්න වේවි. ඒක බොහෝම හොඳට වරදක් නොකියන්න කරල තියෙන්න ඕන. තේරුණාද?’’

‘’ඔව්, නෝනා. මට හොඳට විස්වාසයි. මම දන්නවා, මට පුලුවනි’’ සේවිකාව පිළිතුරු දුන්නාය. ඔවුන් නික්ම ගියාට පසුව මුළුතැන් ගෙයට ගිය ඇය කැස්බෑවා දෙස බලා අතගාමින් කැපීම ආරම්භ කළ යුත්තේ කොතැනින් දැයි විමසිලිමත් වූවාය. නමුත් බිම ලැඟ සිටින කැස්බෑවා දුටු ඇයට කණගාටුවක් ඇතිවිය.

‘’අසරණ කැස්බෑවො, ඔබ වඩා කැමති නිදැල්ලේ ගඟේ පීනන්නද, එහෙම නැත්නම් හොද්දේ පීනන්නද?’

මෙම කැස්බෑව පිළිබඳව ගෘහ සේවිකාවට කණගාටුවක් ඇතිවූයේ මන්ද? ඇය චියැං පවුලට බොහෝ කැස්බෑවුන් පිස රස බොජුන් සපයා ඇත. මන්ද ඔවුන් කැස්බෑ මාංශ අනුභවයට මහත් රුචියක් දක්වන හෙයිනි. හොඳයි ඇය මෙම කැස්බෑවා ගැන දුක්වූ බව කවුද දන්නේ. එපමණයි. පසුව කැස්බෑව ඔසවාගත් ඇය දොර සමීපයට ගෙන ගොස් පිටවී යන්නට අවස්ථාව සලසා දුන්නාය.

‘’නෑ! ඒක හරියන්නේ නෑ. කැස්බ භෝජනය පිණිස චියැං පිරිස ආවම මම ඔවුන් කැස්බ මුදා හරියයි කියල කණගාටුව පළ කළාම මට කස පහර දුන්නත් ඒ දඬුවම නිසා මට දැනෙන වේදනාවට වඩා විශාල වේදනාවක් කැස්බෑව වළද තුළ විඳිනව‘’ මෙසේ සිතා හිත හදාගත් සේවිකාව කැස්බෑවට නිරුපද්‍රිතව යන්ට ඉඩ කඩ ලබා දුන්නාය.

ඇය සිතු ආකාරයටම චියැං පිරිස ආහාර අනුභවය අපේක්ෂාවෙන් පැමිණ මේසය හිස්ව තිබෙනු දැක සේවිකාවට බෙරිහන් දෙමින් බණ වැදුනහ. හේතුව විමසා කරුණු දැක්වූ විට ඇයට කස පහර දී තරවටු කළහ. ගෘහ සේවිකාව ඒ සියල්ල විඳ දරා ගත්තා ය. සිද්ධිය එයින් නිමාවට පත් වූ අතර කාලයාගේ ඇවෑමෙන් එය සම්පූර්ණයෙන්ම අමතකව ගියේය.

එයින් කලකට පසුව ප්‍රදේශයේ මහා භයානක වසංගත රෝගයක් පැතිර ගියේ ය. එම වසංගත රෝගයට ගොදුරු වූ ගෘහ සේවිකාව බරපතල ලෙස රෝගාතුර වූවාය. චියැං පවුලේ අය ඇය පරීක්ෂා කිරීමට වෛද්‍යවරයා නිවසට කැඳවූහ. රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා ප්‍රකාශ කෙළේ මෙම ගෘහ සේවිකාව සුවපත් කළ නොහැකි බවය. එසේම ඇය වෙනුවෙන් මිනී පෙට්ටියක් වහාම සූදානම් කර තබා ගැනීමට ද උපදෙස් දුන්නේ ය.

රෝගී කාන්තාවට එම රාත්‍රියේ අමුතු හැඟීමක් දැනෙන්නට විය. නාන තටාකයෙන් ගොහොරු මඩ සහිත වස්තුවක් මතු වී බඩගාගෙන තම ලෙඩ කුටිය දෙසට එන බව පෙනුණි. එම වස්තුව සෙමින් සෙමින් බඩ ගාගෙන තම කාමරයට විත් තමා නිදා සිටි ඇඳමතට ගොඩනැගී තම ශරීරය මතට ද සමීප වූයේ ය. කිසියම් ගුප්ත හේතුවක් නිසා ඇයට ඒ වෙනුවෙන් කිසිදු බියක් හෝ සැකයක් ඇති නොවීය.

පසුව එම මඩ සහිත අපවිත්‍ර වස්තුව තම ශරීරය මතට නැග සර්වාංගයම දැඩි සීතල ස්වභාවයකට පත් කෙළේ ය. එයින් මහත් අස්වැසිල්ලක් ඇයට ඇති විය. දින කීපයක් පුරාම මහත් අපහසුතාවයෙන් පීඩාවට පත්ව සිටි ඇයට මේ සිදුවීමෙන් සියලු වේදනා පහව මහත් සහනයක් දැනෙන්නට විය. රාත්‍රිය ගෙවී ගියේ ය.

පසුවදා උදෑසන චියැං මැතිණිය රෝගි ගෘහ සේවිකාවගේ කුටිය වෙත පැමිණියේ මිනුම් පටියක්ද ( TAPA ) අත ඇතිවය. එතුමියට අවශ්‍ය වූයේ වෛද්‍යවරයාගේ නියමය අනුව ගෘහ සේවිකාවට මිනී පෙට්ටියක් මිලදී ගැනීමට දිග පළල මැන ගැනීමය. කුටියට ඇතුළු වූ වහාම ඇය මවිත වූයේ ඊයේ මහා අසාධ්‍ය තත්ත්වයේ සිටි රෝගී කත ඇඳමත වාඩි වී සිටිනු දැකීමෙන් ය.

‘’හා! ඔයා නැගිටලාද?’ චියැං මැතිණිය ඇස් අදහාගත නොහැකි සේ විමසුවාය. රෝගී කාන්තාව තුළ ප්‍රසන්න ස්වභාවයක් හා නිරෝගී පෙනුමක්ද දැක්වීමෙන් වඩාත් මවිත වූවාය.

‘’ඔව් නෝනා මට හරි පුදුමයි. මට අද හුඟක්ම සනීප බව දැනෙනවා’’

‘’ඇයි මේ ඇගේ හැම තැනම මඩ තැවරිලා’’ යයි චියැං මැතිණිය තවදුරටත් ප්‍රශ්න කළාය.

ඊයේ රාත්‍රියේ සිදුවූ අද්භූත ජනක සිදුවීම කැස්බෑවකු පැමිණ තම ඇදමතට විත් තම ශරීරය මතට නැග මඩ ගෑ බව ප්‍රකාශ කළාය. එයින් පසුව තමාට සුවයක් දැනුන බවද දැන්වූවාය. එහෙත් චියැං මැතිණිය සිතුවේ මරණාසන්න තම සේවිකාව සිහිමුලාවෙන් නන් දොඩවන බවය.කෙසේ වුවත් මෙහි සත්‍යා සත්‍යතාවය තහවුරු කර ගැනීමට මෙම රාත්‍රියේ විමසිල්ලෙන් සිටීමට ඇය තීරණය කළාය.

රාත්‍රියේ මැදියම් සමයෙහි විමසිලිමත් වූ චියැං පිරිසට දැකගත හැකිවූයේ ගෘහ සේවිකාව විසින් මුදාහරින ලද ඒ විශාල කැස්බෑව පැමිණ ගෘහ සේවිකාවගේ ශරීරය පුරාම අපවිත්‍ර මඩ අතුරන බවය. ඔවුන්ට ඔවුන්ගේ ඇස් අදහාගත නොහැකි විය. නමුත් දින කීපයකින් ඔවුන් ගේ ගෘහ සේවිකාව සුවපත් වූවාය. එම වසංගත රෝගය වැළඳී මරණයට පත් නොවූ එකම රෝගියා මෙම ගෘහ සේවිකාව බව රටපුරා පතල විය.

එයින් පසුව චියැං පවුලේ සාමාජිකයෝ කැස්බෑ මස් අනුභවය අත්හැර දැමූහ.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.