Skip to main content

“ කාන්තාව විදෙස්ගත නොකල යුතුයි ” ලොව්තුරු බුදුහිමියන් මෙය දේශනාකල බව ඔබ දන්නවාද?

ලොව නොයෙක් ජාතීන් තම අවශ්‍යතාවයන් ඉටුකොට ගැනීම සදහා විදෙස්ගතවන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. විදෙස්ගතවීම යනු ඉතා ඈත ඉතිහාසයක් දක්වා දිව යයි. විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ පවා සිය පිවිතුරු දහම ලොවපුරා සන්නිවේදනය කිරීමට නොයෙක් අවස්ථාවල විදෙස් ගතවූ අවස්ථා ඇත. විශේෂයෙන්ම අප රටට උන්වහන්සේ තුන්වරක්ම වැඩමකල සේක.
වර්තමානයේ පවා නොයෙක් අවශ්‍යවයන් සදහා අප විදේශගත වන්නෙමු. ඉගෙනීමට, ව්‍යාපාර කටයුතුවලට මෙන්ම රැකියා අවස්ථාවන් සදහාද අප විදේශගත වන්නෙමු. විශේෂයෙන්ම කාන්තාවන් ගෘහ සේවය සදහා විදෙස්ගතවන අවස්ථා සුලභය.

බුදුරජාණන් වහන්සේ වරක් සදහන් කලේ කාන්තාවන් විදෙස්ගත කිරිම සුදුසු නොවන බවයි.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ප්‍රණාභිසන්ද වග්ගය කම්බොජගමන සූත්‍රයෙහි නොයෙදවිය යුතු, නොයැවිය යුතු රැකියාවන්සහ ස්ථාන කිහිපයක් පිලිබදව ද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේහනා කර අැත. ආනන්ද හිමියන් අසන ලද පැනයකට බුදුහිමියන් පිලිතුරු ලබා දී ඇත.

කම්‌බොජසුත්‌තං නැතිනම් කම්බොජගමන සූත්‍රය මම මෙතනදි සටහන් කරන්නම්. මේක කුඩා සූත්‍රයක්.
කම්‌බොජසුත්‌තං

එකං සමයං භගවා කොසම්‌බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්‌මා ආනන්‌දො යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නො ඛො ආයස්‌මා ආනන්‌දො භගවන්‌තං එතදවොච –

‘‘කො නු ඛො, භන්‌තෙ, හෙතු කො පච්‌චයො, යෙන මාතුගාමො නෙව සභායං නිසීදති, න කම්‌මන්‌තං පයොජෙති, න කම්‌බොජං ගච්‌ඡතී’’ති? ‘‘කොධනො, ආනන්‌ද, මාතුගාමො; ඉස්‌සුකී, ආනන්‌ද, මාතුගාමො; මච්‌ඡරී , ආනන්‌ද, මාතුගාමො; දුප්‌පඤ්‌ඤො, ආනන්‌ද, මාතුගාමො – අයං ඛො , ආනන්‌ද, හෙතු අයං පච්‌චයො, යෙන මාතුගාමො නෙව සභායං නිසීදති, න කම්‌මන්‌තං පයොජෙති, න කම්‌බොජං ගච්‌ඡතී’’ති.

බුදුහිමියන් කොසඹෑනුවර ඝෝෂිතාරාමෙ වැඩවෙසෙන කාලෙ බුදුහිමියන්ලගට වැඩල එකත්පසව වැඩඉද මෙන්න මෙහෙම අහනව.
“ ස්වාමීනී, ස්ත්‍රියක් යම් හෙයකින් සභාවෙහි නොසිටීද, කර්මාන්තයෙහි නොයොදවයිද, පිටරට නොයයිද, ස්වාමීනී ඊට හේතු කවරේදැ”යි විමසුවා.

“ ආනන්දය, ස්ත්‍රිය ක්‍රෝද කරන සුලුය. ආනන්ද ස්ත්‍රිය අඥානය, ආනන්දය, ස්ත්‍රිය යම හෙයකින් සභාවෙහි නොහිදීද, කර්මාන්තයෙහි නොයොදවයිද, පිටරට නොයයිද, ඊට හේතු මෙයයැ” යි වදාලහ. ( මෙය බුද්ධ දේශනාව බවත් මා සිදුකලේ එය පලකිරීම පමණක් බවත් සිහි තබාගන්න. මා සමග වාද කිරීම පලක් නොවේ. )

වර්‍තමානය වනවිට කාන්තාවන් ගාහ සේවය සදහා විදෙස් ගත වීමෙන් විවාහ දිවියේ අවුල් ඇතිවීමට හේතුවී ඇතිබව වාර්ථා වි ඇති සමයෙක, මින් වසර 2550කට පෙර ලොව්තුරු බුදුහිමියන් දේශනාකොට වදාල ධර්මයේ සත්‍යය තාව මෙම කාරණයෙන් පැහැදිලි වේ.

අදවනවිට රැකියාව සඳහා මව හෝ පියා විදේශ ගතවීම පවුල් සංස්‌ථාව දෙදරායැමට හේතුවක්‌ වී ඇත. පවුල් සංස්‌ථාව තුළ වැඩෙන දරුවන්ට මව පියාගේ ආදරය නිතර අවශ්‍ය වේ. රැකවරණයද නිතර අවශ්‍ය වේ. එසේ නොලැබෙන විට යහපත් මානසික ශක්‌තියකින් පෞරුෂ වර්ධනය සිදු නොවේ. දරුවන් නිරතුරු වර්ධනය විය යුත්තේ මව පියාගේ උණුසුම යටතේය. මව පියාගේ උණුසුම තරම් ප්‍රබල ශක්‌තියක්‌ දරුවන්ට නැත. තම දෙමාපියන්ගේ ආරගතිය පෙන්වන දරුවන් බිහිවන්නේ එවිටය. වසර 15 ක පමණ අඩු වයසේ පසුවන දරුවන්ට දෙමාපිය උණුසුම අවශ්‍ය වේ. තම තුරුලේ නිදන විට දෙමාපිය හදවතින් නැගෙන ආකර්ෂණ ශක්‌තිය දරුවා තුළට පිවිසේ. වසර 10 ක්‌ 15 ක්‌ දෙමාපිය තුරුලේ වර්ධනය වන දරුවාට නිරන්තරයෙන්ම ප්‍රබලව පෞරුෂ වර්ධනය අත්වේ. හීනමානී ගති නොපෙන්වයි. මානසික ශක්‌තියද ප්‍රබල වේ. අධිපීඩන චිත්තවේග මනසට ප්‍රවිෂ්ට වුවද ඒවා විඳ දරා ගැනීමේ ශක්‌තිය ඉහළ මට්‌ටමක පවතී.

පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්‌වා ප්‍රාථමික, ද්විතීක අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට දෙමාපිය මඟපෙන්වීම හා උපකාර නිරන්තරව බලපායි. රට තුළ සේවය කරන දෙමාපියන්ගේ අඩුම තරමින් මසකට වරක්‌වත් අවධානය යොමුවේ. දෙමාපියන් විදේශ ගතවූවොත් එසේ දෙමාපියන් රට යැම පවුල් ඒකකය බිඳ වැටීමට බලපාන අතර එයින් මව විදේශ ගතවීම දරුවන්ට ප්‍රබල ලෙස බලපායි. අවුරුදු 15 ට අඩු දරුවන් කිහිපදෙනකු සිටින මවක්‌ විදේශගත වන්නේ තම සැමියාට දරුවන් රැකබලා ගන්නා ලෙස පවරමිනි. මාස කිහිපයක්‌ ගත වූ පසු එවන් මුදලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරමින් සැමියා ජීවන රටාව කරගෙන යයි. එහෙත් බිරිඳ නිවසේ නොසිටීම තුළ ඇතිවන පියාගේ බිඳ වැටීම මසකට එවන සුළු මුදලින් ගොඩනඟා ගත නොහැක. ඔහුට දැනෙන හුදෙකලා බව දරුවන් සමඟ ගත කරමින් විඳ දරා ගනි. වැඩිහිටි දියණියන් සිටින පියවරු සිය බිරිඳගෙන් ලැබෙන අඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා දියණියන් හවුල් කරගනී. සිය දියණියන් ද තම මවගෙන් ලැබුණු ආදරය පියාගෙන් පැතීමේ ස්‌වභාවයක්‌ බවට පත්වී ඇත.

මෙම තත්ත්වය ප්‍රබල මට්‌ටමකට වර්ධනය වූ විට පියාගෙන් කෲර මානසික වද බන්ධනවලට ලක්‌වේ. පියා හුදෙකලාවීම තුළ දරුණු මානසික තත්ත්වයන් ඇතිවන්නට පුළුවන. ක්‍රමයෙන් දරුවන්ගේ පාසල් ගමනද අධ්‍යාපන කටයුතු ද අඩාල වේ. පියාගේ රැකවරණයෙන් ගිලිහෙන දරුවන් විවිධ ලිංගික අපචාරවලට යොමුවීම ද දක්‌නට ලැබේ. හුදෙකලා වන පියා අනියම් සබඳතා පවත්වා, එවන ලද මුදල් වියදම් කරමින් මානසික ශක්‌තිය ගොඩනඟා ගන්නට වෙහෙසවනු දක්‌නට ලැබේ.

මව වසර කිහිපයකට පසු පැමිණෙන්නේ ආසන්න මාස කිහිපයක වැටුප් සමඟය. එසේ පැමිණි මවට දක්‌නට ලැබෙන්නේ, අධ්‍යාපනය විකෘති වූ බිඳ වැටුණු පවුලකි. අවසානයේ ඉතිරිවූ දෙයක්‌ නැත. විදේශයෙන් උපයාගත් ඩොලර්වලට ගැටලුවලට පිළියම් දීමට නොහැක. සිය බිරිඳ තම නිවසට පැමිණියද සැමියා අනියම් සබඳතා සමඟ දරුවන් හැරදා පලා ගොස්‌ය. මාස කිහිපයක වැටුපක්‌ සමඟ පැමිණි මව පත්වන්නේ ඉතාමත් අසරණ තත්ත්වයකටය. කබලෙන් ලිපට වැටීමකි. ආර්ථික අගහිඟකම් හමුවේ, තම නිවස තුළ සිටම යම් ආර්ථික ශක්‌තියක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහවන්තයකුට හැකියාවක්‌ නැත්තේ නොවේ. එවිට පවුල් සංස්‌ථාව සුරක්‌ෂිත වන ගමන් පවුලට ක්‍රමානුකූලව ශක්‌තියක්‌ අත්කරගත හැක.

ගෘහ සේවය සඳහා විදේශගතවන ලාංකීය කාන්තාව බොහෝවිට සේවයේ යෙදෙන නිවසේ සීයා, පියා, පුතා පරම්පරා තුනක ලිංගික අවශ්‍යතා සපුරාලීමට යොදා ගන්නා අවස්ථාද නැත්තේ නොවේ. ලිංගික උත්තේජන වර්ග ලබාදෙමින් එම කර්තව්‍ය ඉටුකර ගනී. මේවාට ගිජුවන ශ්‍රී ලාංකික කතට ලංකාවේ සිටින විවාහක සැමියා හා තමාගේ දරුවන් අමතක වේ. නොදැනුවත්වම ලිංගික ලෙස බරපතළ සූරාකෑමට ලක්‌වේ. සමහර කාන්තාවන්ද ගෘහ සේවය සඳහා විදේශගත වන්නේ ලිsංගික කටයුතුවල යෙදීම සඳහාය. ලංකාව තුළ සංස්‌කෘතික බාධා පවතින නිසා එයින් මිදී නිදහසේ කටයුතු කිරිමටය. මේ කියමන සියලු කාන්තාවන්ට අදාල නොවන බවනම් පැහැදිලිවම කිව යුතුය. තමාගේත් තම රටේත් නම්බුව ආරක්ෂා කරගනිමින් ඉතාම සාර්තක අයුරින් සිය කටුයුතු කරගන්නා අය නැත්තේ නොවේ. මේ සදහන් කරන්නේ “ සමහරු” යන වචනය යටතේ බව තරයේ සිතටගන්න. යහපත් අයුරින් කටයුතු කරන ඔබ සිත සසලකරගත යුතු නොවේ. මෙය අදාල අයවලුන්ට පමණක් කියන ලද්දක් බව සිතට ගන්න. මට කථා කරන සමහර අක්කලා නංගිලාගේ කථාවලට අනුව ඒ අය නොයෙක් ලිංගික ක්‍රියාවලට ඇබ්බැහි වූ අවස්ථාද ඒවයින් ගැලවීමට නොහැකි අවස්ථාද සදහන් කරයි.

බොහෝ අවස්‌ථාවලදී ගෘහ සේවයේ දී ලිංගික සූරාකෑමට ලක්‌වන බව නොදන්නා සැමියා ඇතුළු ඥාති මිත්‍රාදීන් ද විදේශ ගතවීම සඳහා ගුවන් තොටුපළ කරා රැගෙන යන්නේ බොහෝ අභිමානයෙනි. ඥාති මිත්‍රාදීන් ද අනියමින් අනුබල දීමෙන් පවුල් සංස්‌ථාව බිඳ දැමීමට දායකවනු දක්‌නට ලැබේ.

මව විදේශගතවන බොහෝ පවුල්වල දරුවන් අනෝමීය තත්ත්වයකට පත්වනු දක්‌නට ඇත. විදේශගත වන කාන්තාවගේ ශ්‍රමය ද ලිංගිකත්වයද සූරා කෑමට ලක්‌වේ. එය ඇයගේ අභිමානයටද ශ්‍රී ලංකාවේ අභිමානයටද බලවත් කැළලකි. රටක්‌ හැටියට මෙය බරපතළ ප්‍රශ්නයකි. දශ ලක්‌ෂයකට ආසන්න පවුල් සංඛ්‍යාවක්‌ ගෘහ සේවයේ යෙදී ඇත. එයින් ශ්‍රී ලංකාව තුළ බිඳුණු පවුල් දශලක්‌ෂයකට වඩා ඇති බව පෙනීයයි. එවැනි තත්ත්වයක්‌ තුළ ලාංකීය සංස්‌කෘතිය ප්‍රපාතය කරා ගමන් කරනු ඇත.

විදේශගතවී ගෘහ සේවයේ යෙදීම ශ්‍රී ලාංකික කාන්තාවට සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. ඒ සඳහා ණය ලබාදිම ද නතර කළ යුතුය. උපයන මුදලට වඩා වැඩි මුදලක්‌ ලංකාව තුළ ශ්‍රමය වැය කිරීමෙන් උපයාගත හැකි බව ලාංකීය කාන්තාව දන්නේ නැත. අවශ්‍ය වන්නේ රැකියාව සඳහා ආකල්පමය වෙනසකි. මේ සඳහා කතිකාවක්‌ ගොඩ නැඟිය යුතුය. කාන්තා අයිතිවාසිකම් සුරක්‌ෂිත කිරීමේ සංවිධාන බෝඩ්වලට පමණක්‌ සීමා නොවී මීට වඩා සමාජ මෙහෙවරක්‌ ඉටු කිරීමට ඉදිරිපත් විය යුතුය. ජනාධිපතිතුමා ගෘහ සේවය සඳහා විදේශ ගතවන කාන්තාවන්ට වයස්‌ සීමාවක්‌ පැනවීම කාලෝචිත ක්‍රියාවකි. එයට ජනාධිපතිතුමාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. තැන තැන දේශනා පවත්වන මැති ඇමැතිවරුද මෙයට වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව පැහැදිලි කරුණකි. ශ්‍රී ලාංකික කතට විදෙස්‌ ගෘහ සේවය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුත්තේ අනාගතයේ ඇතිවන අනෝමීය තත්ත්වයෙන් යම් දුරකට හෝ රට ගලවා ගැනීමේ අදිටනිනි. මෙය කාලීන සංවාදය සඳහා විවෘතයි

දිවයින පුවත්පතේ ලිපියක් ඇසුරු කරගනිමින් මෙම ලිපිය සකස් කරන ලදි.

සත්වයා කෙරේ මෙත් සිතින් එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.