Skip to main content

සුව කිරීමට ඉතා අසීරු භයානක මාරාන්තික රෝගයක් බව දැන දැනම එම රෝගයෙන් පෙළෙන තම බිරිඳ කෙසේ හෝ සුවපත් කරගනිමියි යන දැඩි අධිෂ්ඨානය ඇතිව කටයුතු කරන මහත් බලාරොත්තු සහිතව එදා උදෑසන බිරිඳගේ රෝගී කාමරය වෙත ගොස් ඇයට ආශිර්වාද කොට සෙනෙහසින් යුතුව ෆෑන් ( FAN ) මහතා මෙසේ කීවේය.

‘සුබ උදෑසනක් වේවා, මැතිනිය ඔබට අද යම්කිසි විශේෂ සුව ගතියක් දැනෙනවාද?’

තම ස්වාමියාගේ දැඩි සෙනෙහස හා දැඩි අපේක්ෂාව මැනවින් දන්නා ෆෙන් මැතිනිය මෙසේ පිළිතුරු දුන්නාය.

‘ඔව් මහත්මයාණෙනි, ඔබතුමා මා ගැන දක්වන උනන්දුවට අනේක වාරයක් ස්තුති කරමි’ යි ඇය වේදනාවෙන් කථා කෙළේ සිහින් කෙඳිරිගාන ශබ්දයකින් ද යුක්තව ය.

චිං කව් නගරයේ එවකට සිටි අතිදක්ෂ විශේෂඥ වෛද්‍යවරයා වූ චෙං ෂින්ග් ෂිං මහත්මයා ලවා ස්වකීය බිරිඳට ප්‍රතිකාර කරවන ෆෑංගේ අදහස ඔහු මැනවින් දැන සිටියේ ය. එදා රෝගී කාන්තාව මනා ලෙස ස්වකීය පරීක්ෂණයට භාජනය කළ චෙං විශේෂඥ වෛද්‍යතුමා පරීක්ෂාවෙන් පසුව ෆෑන් මහතා රෝගියාගෙන් පිටතට කැඳවා ගෙන ගොස් මෙසේ කීවේය.

‘’දැනට ඔබගේ රෝගියා ඉතාම අසාධ්‍ය තත්ත්වයක පසුවුණත් ඇය සුවපත් කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා’’ යයි කථාව ආරම්භ කළ ඔහු මෙසේ ද කීවේය. ‘ගේ කුරුල්ලන් සියයකගෙ ඔළු අරගන්න. මේ වට්ටෝරුවෙ තියෙන ආකාරයට ඒවා බේත් බවට පමුණුවා ගන්න. ඊට පසුව තුන්වෙනි දවසෙත් හත්වෙනි දවසෙත් ගේ කුරුළු මොළ රෝගියාට අනුභව කිරීමට පිස දෙන්න මෙය ප්‍රයෝගකාරී කෙම් ක්‍රමයක් මේක මගේ පරම්පරාගත මුතුන්මිත්තන්ගේ ගුරු මුෂ්ටියක් ලෙස පවත්වාගෙන එන ඉතා දුර්ලභ අත්හදා බැලීමක ප්‍රතිඵලයක්. මෙය කවදාවත් වැරදිලා නැහැ. හැබැයි එකක් හොඳටම මතක තබාගන්න ඕන. මොකක්ද? ඔබ හරියට ම ගේ කුරුල්ලන් සියයක්ම එකෙක්වත් අඩුනැතිව ගත යුතුයි. එකෙක්වත් අඩුවුණොත් ප්‍රතිකාරය හරියන්නේ නැහැ.’’

තම බිරිඳ සුවපත් කර ගැනීම සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට එක හෙළා සූදානමින් සිටි ෆෑන් මහතා මහත් සතුටට පත්ව වෛද්‍යවරයාගේ වට්ටෝරුවට අනුව ක්‍රියාකිරීම එවලේම ආරම්භ කෙළේය. වහාම වෙළෙඳ පොළට ගිය ඔහු ගේ කුරුල්ලන් සියයක් සහිත කූඩුවක් මිලදී ගෙනාවේය. එම කූඩුව කුරුල්ලන් සියයකට තරම් ශාලවූවක් නොවීය. ඔවුහු මහත් අසහනකාරීව දුක්මුසු ලෙස ඝෝෂා කරමින් පියා සලමින් දුව පනිමින් සිටියහ. නිදහසේ සහනදායි ලෙස සිටීමට කිසිදු පහසුවක් එහි නොවූ අතර තමා ජීවිතක්ෂයට පත්වීමේ බියක් ඉවෙන් මෙන් ඔවුන් තුළ ඇතිවූවා වන්ට පුළුවන. කුරුල්ලන්ගේ සිහින් නාදය ඇසී කරුණු විමසූ ෆෑන් මැතිනිය ‘මේ කුරුල්ලන්ට කුමක් කිරීමට ඔබ සැරසෙන්නේ දැයි’ සිය සැමියාගෙන් විමසුවාය.

‘’මේක චෙන් දොස්තර මහත්මයගෙ විශේෂ ප්‍රතිකාරයක්. විශේෂ වට්ටෝරුවකට අනුව කරන උපක්‍රමශීලී කෙම් ක්‍රමයක්. මේ ගේ කුරුල්ලො දැන් බේත් බවට පරිවර්තනය කරනව. වැඩි කලක් යන්න කලින් ඔබ එයින් සුවපත් වෙනව‘’ ඇගේ සැමියා මහත් බලාපොරොත්තු සහිතව සතුටින් උද්දාම වෙමින් කීවේය.

‘නෑ! ඔයාට ඒක එහෙම කරන්න කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ’ ෆෑන් මහත්මිය අලුත් උද්යෝගයකින් මෙන් වැතිරී සිටි ඇඳ මත හිඳ ගත්තාය. ‘මගේ එක ජීවිතය බේරාගන්න ජීවිත සීයක් බිලිගන්න ඔබතුමාට මා ඉඩ දෙන්නේ නෑ. මා වෙනුවෙන් මේ අහිංසක කුරුල්ලො සියයක ගේ ජීවිත විනාශ කරනවාට වඩා මා මියයාම මට සැපතක්.

තම බිරිඳගේ මේ දැඩි විරෝධය නිසා දැන් කළයුත්තේ කුමක්දැයි කියා තේරුම් බේරුම් කරගත නොහැකි අවිනිශ්චිත ස්වභාවයකට ෆෑන් මහතා පත්ව සිටියේ ය.

නිහැඬියාව බිඳිමින් ෆෑන් මහත්මිය වේගවත් ස්වරයෙන් නැවත ස්වාමියා ඇමතුවාය. ‘’මහත්මයා! ඇත්ත වශයෙන්ම ඔබතුමා මට ආදරය කරනවානම් මා කියන අන්දමට කටයුතු කරන්න. මේ කූඩුවේ දොර විවෘත කරන්න. මෙම කුරුල්ලන්ට නිරුපද්‍රිතව පිට වී යාමට සලස්වන්න. එවිට මා මිය ගියත්, මා මියයන්නේ සතුටින්. ජීවිත සියයක් මරණින් මුදා ගැනීමේ අසීමිත සතුටින්. අසීමිත සැනසීමෙන්’.

ෆෑන් මහතාට වෙන කළහැකි දෙයක් නොවී ය. බිරිඳට ආදරේනම් බිරිඳගේ ඉල්ලීම ඉටුකළ යුතුය. ඔහු කුරුල්ලන් සිය දෙනා සහිත කූඩුව නිවස අසල වූ වන ලැහැබ වෙත ගෙන ගොස් කුඩුවේ දොර විවෘත කළේය. කුරුල්ලෝ පී‍්‍රතිඝෝෂා නගමින් කූඩුවෙන් පිට වී ගොස් කුඩා පඳුරුවලත්, ගස්වල අතු පතර අතරත් නිදහසේ පී‍්‍රතියෙන් සැරිසැරුහ. නිදහස තමා ලැබූ ජයග්‍රහණයක් සේ ඔවුහු නැඟු නාදය දුරට ද ඇසෙන්ට ඇත. කිසිම ඖෂධ විශේෂයක් භාවිත කිරීමෙන් තොරව දින කීපයකට පසුව ෆෑන් මහත්මිය සම්පූර්ණ ප්‍රකෘති සුවය ලැබුවාය. මෙම ආරංචිය සැලවූ ඇගේ ඤාති මිත්‍රාදීන් සහ අසල්වාසීහු විශාල වශයෙන් පැමිණ තම සතුට හා ආශිර්වා පළ කළහ. සියල්ලෝම මහත් සේ කා බී සතුටු සාමීචි පැවැත්වූහ. තම බිරිඳගේ ඉක්මන් සුවය ගැන ෆෑන් මහතා මහත්සේ සතුට පළ කෙළේය.

ඊළඟ වර්ෂයේදී ෆෑන් මහතා ගේ බිරිඳ පුතකු ප්‍රසූත කළාය. එම පුත්‍රයා ඉතා දැකුම්කළු මනා රූප සම්පත්තියෙන් හා පින්වත් බවින් යුත් වාසනාවන්ත දරුවෙක් විය. ඒ අතරම කවුරුත් මවිත වන සුළු විශේෂත්වයක් දරුවා තුළ විය. එනම් ඔහුගේ් අත් දෙකේම එක හා සමාන උපන්ලප දෙකක් විය. එහි පුදුමාකාර විශේෂත්වය නම් ඒ උපන් ලප දෙකම ගේ කුරුල්ලන්ගේ ස්වරූප ගෙන තිබීමය. එය ඒ ළමයාගේ මව ගේ කුරුල්ලන්ගේ ජීවිත සියයක් බේරා ගැනීමේ සද්ක්‍රියාවේ ප්‍රතිඵලය බව චිංකව් නගරය පුරා පැතිර ගියේය.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.