Skip to main content

එළදෙනක් ලෙස ආත්ම එකොළහක් …

වර්ෂ 1815 දී පමණ ලින් ෂුෂි නමැති පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්විය. ඔහු සත්පරුෂ ජීවිතයක් ගතකළ කෙනෙක් බැවින් ඔහුගේ ඥාති මීත්‍රාදීහු ඔහු ගැන මහත්සේ ශෝකවූහ

මරණයෙන් පසුව ඔහු සංක්‍රමණය වූයේ අපායටය. යම රජුගේ පරමාධිපත්‍යයෙන් යුත් සමාධිකරණයේදි ඔහු පිළිබඳ නඩුවද විභාග කිරීමට නියමිතව තිබුණි. අධිකරණයේ මුළාදෑනිහු යම පල්ලෝ වූහ. ඔවුන්ගේ මුහුණු අශ්ව මුහුණු හා සමාන වූ අතර, හිස් ගවහිස් මෙන් විය. අනික් යම දූතයෝ ඊළඟට මිය යන පුද්ගලයා භාර ගැනීමට සූදානම්ව පුලා පුලා බලා සිටිති. වධයට පාත්‍ර වන්නන්ට අනේකවිධ වධ හිංසා කිරීමට අවශ්‍ය වධක ආයුධ වලින් බිත්ති පිරී ගොස් තිබුණි. බිත්තිවල එල්ලා ඇති අති දරුණු ආයු ධ දැකීම පවා බිය උපදවන භයානක දර්ශනයක් විය. මේ සියල්ලම නිර්මාණය වී ඇත්තේ අපේ සිත්වල හට ගන්නා දුෂ්ට කෲර චේතනාවල ප්‍රතිඵලය අනුව මිස ඒවා කවර ආකාරයක දෙවියකුගේ හෝ යක්ෂයකුගේ හෝ නිර්මාණ නොවීය.

යිං චිහ් නමැති වෛද්‍යවරයා අධිකරණය ඉදිරියට තාඩන පීඩන කරමින් ඇදගෙන එනු ලැබීය. “ආහ් ! නෑ! නෑ! මං මේ දැන් මිය ගියා විතරයි. එසේනම් මා විනිශ්චය කරු ලෙස ක්‍රියා කරන අධිකරණය මෙය විය යුතුයි “ එසේ සිතමින්ම ඔහු මහත්සේ තැතිගැන්මට පත්විය.

“ දණ ගහපන් අධමයා “ යම දූතයෝ ගිගිරූහ. ඒ මාරක ශබ්දය කන් බිහිරි කරවනසේ දෝංකාරය දුනි. වෛද්‍ය යිං බියෙන් තැතිගෙන වෙවුලමින් දණ ගැසීය. ඔහුගේ අනික් පැත්තේ තවත් කවරකු හෝ දණ ගසාගෙන සිටීද යන්න ගැන ඔහු විපරම් කර බැලුවේය. ඒ තම හිත මිත්‍ර ගෝඝාතකයා බව ඔහු සැකහැර හඳුනා ගත්තේය. ඔහු නමින් ලිපීය.

ඉහත දී බොහෝ හිතවත්ව සිටි ලිපී තුළ දැන් ඒ මිත්‍රත්වයේ සලකුණක් වත් නැත. ඔහු වෛද්‍ය යිං දුටු විට ඔහුගේ මුහුණටම ඇඟිල්ල ඇණ යම රජතුමාට කියා සිටියේ “මේ සියලුම පව් වලට අපරාධවලට වැරදිකාර පුද්ගලයා ඔහුමය. එයා ගව මස් ආහාරයට ගත්තේ නැතිනම් මා එකම ගවයෙක්වත් ඝාතනය කරන්නේ නැත. ඒ නිසා මෙම සාපරාධි ක්‍රියා කළ ඔහු රඳවාගෙන මා මුදා හරින්න.”

වෛද්‍ය යිං එය පිළිගත්තේ නැත. ඔහු බියෙන් වෙවුලමින් කියා සිටියේ “ ස්වාමීනි එයා ගවයින් මරා එම ශරීර මස් බවට හැරවූයේ නැත්නම් මා ගවමස් අනුභව කරන්නේ නැහැ “

මේ ප්‍රකාශය ඇසු ලිපී මහත්සේ කෝපාවිෂ්ට විය. ඔහු මහ හඬින් ඝෝෂාකරන්ට විය. යම දූතයෝ ඔහුට පහර දී නිහඬ කොට උසාවියෙන් මඳක් ඉවතට ගෙන ගියහ.

යම රජතුමා අතින් මේසයට ගසා කීවේ “ නිශ්ශබ්දවන්න එක්කෙනෙක් මැරුව අනික් එක්කෙනා කෑව, දෙන්නාම එක හා සමාන වැරදි කාරයෝ , හෘද සාක්ෂිය හොඳ නරක තේරුම් ගැනීමේ බුද්ධිය ඔබට නැද්ද ගවයොයි එළදෙන්නුයි ඔබ ආහාරය පිණිස ප්‍රයෝජනයට ගන්නා ධාන්‍ය වර්ග වගා කිරීමට කුඹුරු සීසාල දෙනව.

නමුත් ඔබලා කිසිම කෘතගුණයක් නොදක්වා ඒ අහිංසක සිවුපාවුන් මරා ඔවුන්ගේ මස් ආහරයට ගන්නවා. මිනිස්සු විශාල මස් ප්‍රමාණයක් ආහාරයට ගන්න විට විශාල සංඛ්‍යාවක් එළදෙනුන්ගේ ජීවිත මිය යනවා. විනාශවෙනවා. සුළු ප්‍රමාණයක් ගවමස් අනුභව කරනවා නම් විනාශ වෙන එළදෙනුන්ගේ සංඛ්‍යාව අඩුවෙනව. මිනිස්සු ගවමස් අනුභව කිරීම සම්පූර්ණයෙන්ම නතර කරනව නම් මස් සඳහා එක සතෙක්වත් මිය යන්නේ නැහැ. ඔබ දෙදෙනාම එය තේරුම් ගත්තාද?”

ඔවුහු හිස නමා ආචාරකොට ස්වකීය යටහත් පහත් භාවය ප්‍රකාශ කළහ.

” ලීපී ඔබේම හෘද සාක්ෂියට විරුද්ධව ජීවත්වන ප්‍රාණීන් ඔබේ ජීවිතය පවත්වා ගැනීම අරබයා විශාල ලෙස ඔබ විසින් විනාශ කරනු ලැබීමේ සාපරාධී ක්‍රියාවට ඔබටත් දුක් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකිවන සේ ඔබ අපාගතව දැඩි දුක් විඳිය යුතු යැයි මා තීන්දු කරනවා. ඔබ ඒක, ප්‍රාණයක් හානි කිරීමේදී එම ප්‍රාණියාට ඇතිවන දුක ගැන ඔබට අනේක වාරයක් පාඩම් ලබාගත හැකිවන තුරු ඔබ අපා දුක විඳිය යුතුයි “

ලිපී මහා හඬ නගා වියරුවෙන් මෙන් කෑගැසීය.

“ ඔහු ඉවතට රැගෙන යන්න “

යම දූතයෝ අතින් පයින් පහර දෙමින් ලීපී මරහඬ නගද්දි රාජ සභාවෙන් ඉවතට ඇදගෙන ගියහ.

යම රජු ඊළඟ චූදිතයා ඇමතීය.

“ වෛද්‍ය යිං චිහ් ! නුඹ ප්‍රමාණය ඉක්මවා ගවමස් අනුභව කොට තිබෙනවා. සැම විටම කිසියම් රෝගියකු ඔබට රාත්‍රි භෝජනයක් සදහා ආරාධනා කළ විට ඔබ බහුල ලෙස ගවමස්ම ඉල්ලා බලකර සිටියා. ඔබ ඒ අනුව කොපමණ එළදෙනුන් ගිල දමන්ට ඇද්ද කිරා අනුමාන වශයෙන් වත් ගණනය කිරීමට ඔබට පුළුවන්ද? ඔබ කර ඇති මහා අපරාධය, මහා පාපකාර අධම ක්‍රියාව ඔබ පිළිගන්නවාද? “

වෛද්‍ය යිං හිසනමා ආචාර කොට වරද පිළිගත්තේ බියෙන් වෙවුලමින්ය.

“ එපමණක් නොවෙයි ඔබේ අධම අවිචාරවත් බව හා නොසැලකිල්ල නිසා ඔබෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් එකොළොස් දෙනෙක් මිය ගියා. මිය ගියා නොවෙයි. ඔබ ඔවුන් මරා දැම්මා. ඔබේ ඒ අවකල් ක්‍රියාවට වන්දිගෙවීමක් වශයෙන් ඔබ අපායේදීම එකොළොස් වතාවක් එළදෙනකු ලෙස ඉපදී වේදනාකාරි අපාදුක විඳීමට මා තීන්දු කරනවා.

ඔබේ ඒ සෑම වතාවකම ජීවිතය අවසාන විය යුත්තේ ගෝඝාතකයාගේ තියුණු ආයුධය ඔබේ ඉන්ද්‍රියක් පාසාම විනිවිද යන දැඩි වේදනාව විඳිමින්ය. ඔහු ඉවත ගෙන යන්න”

වෛද්‍ය යිං බියෙන් හා වේදනාවෙන් තැතිගෙන මර හඬ නගද්දි යම දූතයෝ ඔහුට අත් පා පහර දෙමින් රාජ සභා ගැබින් ඉවතට රැගෙන ගියහ.

යම රජ්ජුරුවෝ ලින් සුවි දෙසට හැරී වෙනත් ස්වරයකින් ඔහු අමතමින් මෙසේ කීය. “ ලින්! මේ ඔබටයි! ඔබ ඔබේ දෙමාපියන්ට බොහෝ සෙයින් සංග්‍රහ කරමින් ඔබේ රටට වැඩදායි සාධාරණ සත්පුරුෂයෙක් ලෙස ජීවත්වුණා.

ඔබගේ ආයු කාලය තවම අවසාන නැහැ. එම නිසා නැවත ඔබට ඔබේ සජීවි ප්‍රාණය ලැබේවි. ඔබට ආපසු යා හැකියි. නමුත් ඔබ එක දෙයක් කළ යුතුයි. ඔබ මෙතැන දි දැන් ඇස් පනා පිට සිදුවූ සියල්ල ඒ ආකාරයෙන්ම අනික් අයට කියාපෑමට වග බලාගත යුතුයි. එවිට රටේ බහුතරය මෙවැනි අකරතැබ්බ වලට මුහුණ නොදීමට වග බලා ගන්නවා ඇති.

එම පණිවුඩයත් රැගෙන ලිංසුෂි යළිත් සිය ආත්මභාවනය ලැබුවේය.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.