Skip to main content

අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි …

“අබ්‍රහ්මචරියා ‍වෙරමණී සික්ඛාපදං සමාදියාමි” – අබ්‍රහ්මචර්යයෙන් වැළැකෙන ශික්‍ෂාපදය සමාදන් වෙමි. මෙය අෂ්ටාංග ශීලයෙහි තෙ වැනි ශික්‍ෂාපදය යි. මෙහි ‘අබ්‍රහ්මචරිය’ නම් ශ්‍රෙ‍්ෂ්ඨ නොවන හැසිරීම යි; මෛථුන සේවනය යි. ‘වේරමණී’ යනු විරාමණය යි; වැළැක්වීම යි. ‘සික්ඛාපදං’ නම් ශික්‍ෂා කොටස යි‍. ‘සමාදියාමි’ යනු රකින්නට හිතා බාරගැනීම යි. මෙය පැවිද්දන් ගේ නිත්‍ය ශීලය යි. ගිහියන් ගේ උපොසථ ශීලය යි. එ නම්, පෙහෙවී වාස‍ය කරන දිනයන්හි පමණක් රක්නා ශීලය යි. උපොසථ ශීලයෙහි දී බ්‍රහ්මචර්ය යන්නෙන් මෛථුන සෙවන විරතිය කියැවෙතත් ධර්මයෙහි චතුර්විධ බ්‍රහ්මචර්යයෙක් ප්‍රකාශ වේ.

ඒ චතුර්විධ බ්‍රහ්මචර්යය නම්, කෞමාර බ්‍රහ්මචර්ය ය, ස්වදාරසන්තුෂ්ඨි බ්‍රහ්මචර්ය ය, ස්වපුරුෂසන්තුෂ්ඨි බ්‍රහ්මචර්ය ‍ය, තපොගුණ යුක්ත බ්‍රහ්මචර්ය ය යන සතර යි.

  1. කෞමාර බ්‍රහ්මචර්යය නම් කුමර – කුමරියන් ගේ ශ්‍රෙ‍්ෂ්ඨ පැවැත්ම යි; හැසිරීම යි. ආවාහ විවාහ වන්නට පෙරැ වූ ස්ත්‍රී පුරුෂයෝ කුමරි – කුමර නමින් හැඳින්වෙති. තම තමන් ගේ කුමාරභාවය කුමාරිභාවය කිලිටි කැරැගන්නේ නැති වැ එය රැකෙන සේ මනා කොට පැවැතීම කෞමාර බ්‍රහ්මචර්යය නම් වේ. කෞමාර බ්‍රහ්මචර්යයෙහි ඇති වටිනා කම අපේ තරුණ තරුණියනට නිතර නිතර මැ කියා දිය යුතු වේ. එය බුදුරජාණන් වහන්සේ ගේ ධර්මපදයක් මුල් කැරැගෙන මැ කළ යුතු වැ ඇත.

‘යුවා චරෙ බ්‍රහ්මචරියං’ (තරුණයකු නම් බඹසර සැරිය යුතු ය.) මේ උපදෙශයෙහි වටිනාකම වැටැහෙන්නේ නුවණින් සිතා බැලූ තරමට ය. තරුණකම මහ දිග පළල ඇති දෙයක් නොවේ. අවුරුදු දහ අටෙන් විස්සෙන් තරුණකම ආරම්භ වුණා ම තිස් පහ පමණ වන විට අවසන් වෙයි. වර්තමාන සමාජය දෙස බලන විට අවුරුදු තිස් පහ පසු වීත් යම් යම් අය ගේ හිත්වලැ තරුණකම් තුබුණත් කයේ නම් නැති තරමට ම පිරිහී ඇති බව පෙනේ. බුදුරජාණන් වහන්සේ ගේ උපදේශය, අවුරුදු 15 ක් පමණ වු තරුණ කාලය වැරැදි ආකාරයට යෙදුව හොත් අවුරුදු තිස් පහෙන් තරුණකම අවසන් වී අවුරුදු හැත්තෑවක් ජීවත් වන්නට සිදු වුවොත් ඉතිරි අවුරුදු තිස් පහ මැ අඳුරු අවාසනාවන්ත වන බව යි. ඉදින් අවුරුදු පසළෙ‍ාසක් පමණ වූ තරුණ කාලය හොඳින් ගත කළොත් ඉදිරියට අවුරුදු සීයක් ජීවත් වන්නට සිදු වුවත් මුළු කාලය මැ වාසනාවන්ත, අලො‍්කවත් ජීවිතයක් ගත කරන්නට පිළිවන් වන බව යි. මේ උපදේශය වර්තමාන තරුණ තරුණියනට හොඳින් මැ පැහැදිළි කැරැ දිය යුතු කාලය දැන් එළඹී ඇත.

  1. ස්වදාරසන්තුෂ්ඨි බ්‍රහ්මචර්යය නම්, ස්වකීය භාර්යාව ගෙන් පමණක් සතුටු වැ විසීමේ උතුම් පැවැත්ම යි, යම් කිසි ස්වාමිපුරුෂයකු පරදාර සේවනය කරනුවා තබා තමා ගේ භාර්යාව ඉක්මවා සිතන්නේ වත් නැති වැ ස්වකීය භාර්යාවට පිරිසිදු චරිතයෙන් සංග්‍රහ කෙරෙමින් වාසය කරනුවා නම් එබඳු වූ ශ්‍රෙ‍්ෂ්ඨ පැවැත්ම ස්වදාරසන්තුෂ්ටි බ්‍රහ්මචර්යය නම් වේ.

  2. ස්වපුරුෂසන්තුෂ්ඨි බ්‍රහ්මචර්යය නම්, ස්වකීය ස්වාමිපුරුෂයා ගෙන් පමණක් තෘප්තියකට පැමිණීමේ උතුම් පැවැත්ම යි. යම් කිසි භාර්යාවක් පරපුරුෂයන් සේවනය කරනුවා තබා පතන්නේ වත් නැති වැ පිරිසිදු චරිතයෙන් තමා ගේ පුරුෂයාට සංග්‍රහ කෙරෙමින් පතිවුතා ධර්මයෙන් යුක්ත වැ වාසය කරනවා නම් එය ස්වපුරුෂසන්තුෂ්ටි බ්‍රහ්මචර්යය නම් වේ.

මේ දෙවැදෑරුම් බ්‍රහ්මචර්යය නැති වූ විට ගෙදර සාමය ද සමාදානය ද නැත. පවුල් අවුල් වී යයි, දික්කසාද වැඩි වෙයි, දරුවෝ අනාථ වෙති, සමාජය දූෂණය වේ.

  1. තපොගුණයුක්ත බ්‍රහ්මචර්යය නම්, කෙලෙසුන් තැවීමක් වශයෙන් මෛථුනයෙන් වැළැකී සිටීමේ උතුම් පැවැත්ම යි. ‘මෛථුන විරති බ්‍රහ්මචර්යය’ යනු ද මීට ම නමෙකි. මේ වූ කලි භික්‍ෂූන් වහන්සේ මුල් කොට ඇති යෝගින් ගේ හා පෙහෙවී වාසය කරන උපාසක උපාසිකාවන් ගේ ද ශ්‍රෙ‍්ෂ්ඨ පැවැත්ම යි. ගිහි පින්වතුන් හෝ වරින් වරැ මේ බ්‍රහ්මචර්යයෙන් යුක්ත වීම මුලින් සඳහන් කළ ‍ෙත වැදෑරුම් වූ බ්‍රහ්මචර්යයෙන් යුක්ත වීමට උපකාර වේ. පැරැණියන් පොහොය දින නියම කැරැගෙන පෙහෙ වැ වාසය කෙළේ මේ කරුණුත් බලා ගෙන බව කිව යුතු ය.

මේ කරුණු හොඳින් සලකා බලා සියලු කුමර කුමරියන් තම තමනට අයත් කෞමාර බ්‍රහ්මචර්යයෙන් ද, සියලු ස්වාමිපුරුෂවරු ස්වදාරසන්තුෂ්ඨි බ්‍රහ්මචර්යයෙන් ද, සියලු භාර්යාවරු ස්වපුරුෂසන්තුෂ්ඨි බ්‍රහ්මචර්යයෙන් ද, එ කී සියලු දෙනා ම අඩු ම ගණනේ මාසයකට වරක් හෝ තපොගුණ යුක්ත බ්‍රහ්මචර්යයෙන් ද යුක්ත වන්නට තරයේ ඉටා ගනිත් වා!

     බ්‍රහ්මචර්යයට බාධක කරුණු බොහෝ වෙතත් ඉන් කිහිපයක් සැකෙවින් දක්වනු ලැබේ. ඒවා නම්, 1.අසභ්‍ය පොත් 2.රාග නිශ්‍රිත සංගීතය 3.කාමුක චිත්‍රපට 4.සුරාපානය 5.පවුල් සංවිධානය 6.ප්‍රවෘත්ති පත්‍ර 7.සංකර සිරිත් යන ආදිය යි.‍

  1. කාමචින්තා සියලු සාමන්‍ය සත්ත්වයන් තුළ පවත්නා ස්වභාවය යි. ඇතැමුන් තුළ මේ චින්තා දමනය කරැගැනීමේ ශක්තිය ඇත ද ඇතැමුන් තුළ අඩු ය. ඒ අතර ඇතැම් සත්ත්වයන් තුළ දමනයක් ඇත්තේ ම නැත. තිරිසනුන් අතරැ කාම කෝප ඉවැසීමේ ශක්තිය ඇත්තේ ම නැතැ යි කිව යුතු ය. ශ්‍රෙ‍්ෂ්ඨ මනුෂ්‍යයන් තුළ කාම කො‍්ප ඉවැසීමේ ශක්තිය ඇත ද සාමාන්‍ය ජනතාව තුළ එය හොඳට ම අඩු ය. දමනයක් නැති පුද්ගලයකුට කාමය අවුස්සන පොතක් කියවන විට කෙබඳු අදහස් පහළ වෙනවා ඇද්දැ යි නුවණින් සලකා බලන කෙනෙකුට වැටැහෙනුවා ඇත. තරුණ තරුණියන් ගේ පමණක් නො වැ මහල්ලන් ගේ ද කාමය අවුස්සන තරමේ අසභ්‍ය පෙ‍ාත් දැන් හොඳට මැ සුලබ වී ඇත, ජාතිය විනාශ කොට මුදල් සපයාගැනීමේ අදහසින් ලියන මේ ගණයේ පොත් වහා ම වළක්වා ගත යුතු වේ.

  2. රාග නිශ්‍රිත සංගීතය ද බ්‍රහ්මචර්යයට බාධකයෙකි. විනෝදය ගිහියනට සම්පූර්ණයෙන් තහනම් නැත. එහෙයින් ගී ගැයීම හෝ ඇසීම හෝ වරදක් නො වේ. එහෙත් කාමුක විනො‍්දය ශ්‍රෙ‍්ෂ්ඨ සමාජයක් ඇති කිරීමට බාධාවෙකි.

  3. කාමුක චිත්‍රපටි ද ශ්‍රෙ‍්ෂ්ඨ පැවැත්මට බාධාවකි. චිත්‍රපටි සමාජ සංවර්ධනයට අතිශයින් උපකාර කැරැගත හැකි දෙයකි. එහෙත් එබඳු චිත්‍රපටි නිපදවන්නේ කලාතුරෙකිනි. දිනෙන් දින මැ වැඩි වන්නේ කාමුක චිත්‍රපටි නො වේ දැ යි සිතා බලන්න.

දමනයක් නැති සාමාන්‍ය කෙනෙකු අසභ්‍ය පොත් කියවා රාගය ඇවිස්සී සිටින විට ගුවන් විදුලියෙන් හෝ අන් මාර්ගයෙකින් හෝ රාගනිශ්‍රිත ගීතයක් ඇසීමෙන් රාගය හොඳට මැ උද්දීප්ත වැ තිබෙන අතර ම සිනමා ශාලාවකට ගොස් කාමුක චිත්‍රපටියක් බලත් ම කෙසේ නම් ඉවසා සිටින්න ද? කාමය හොඳට මැ ඇවිස්සී සිටින ඔහුට ඇති එක මැ උවමනාව මෙ තෙක් ඇසු දුටු දේ ක්‍රියාවෙන් රස විඳීම නොවේ ද?

  1. සුරාපානය ද බ්‍රහ්මචර්යයට බාධාවෙකි. කාම සේවන අදහස් සාමාන්‍ය සත්ත්වයා තුළ තදින් බලපවත්වන්නකි. මිනිසා තමා ගේ මිනිස් කමින් එය බොහෝ දුරට යටපත් කැරැගනී. මිනිසා සුරාපානය කොට මත් වූ විට නෙ‍ාදැනුවත් වැ මැ මිනිස්කම යටපත් වී තිරිසනකු මෙන් අනාචාරයෙහි යෙදෙන්නට වෑයම් කිරීම සිරිතක් වැ පවතී.

  2. පවුල් සංවිධානය නමින් දැනට කැරැගෙන යන කූට ව්‍යාපාරය ද බ්‍රහ්මචර්යයට බාධාවෙකි. තිරිසනුන් මෙන් කාම සේවනය කිරීමට යොදා ගත් මේ උප්පත්ති පාලනයට දැන් පවුල් සංවිධානය යන නමකුත් දී ජන ගහණය සීමා කරන්නට ය කියා හොඳ මූණකුත් පළඳවා ඇත. ලංකාවේ ද අදූරදර්ශී සිංහල බෞද්ධයන් ටික දෙනෙකු ගේ ද සහාය ඇති වැ අසිංහලයන් අබෞද්ධයන් විසින් අධික වශයෙන් සිංහල බෞද්ධයන් අතරැ පතුරුවාගෙනැ යන මේ කූට ව්‍යාපාරයෙන් ජනතාව තුළැ බ්‍රහ්මචර්යය නැති වැ යනුවා පමණක් නො වැ කලෙක දී මේ රටේ මහා ජාතිය සුළු ජාතිය බවට ද පත් වෙනුවා ඇත.

  3. ඇතැම් ප්‍රවෘත්ති පත්‍ර ද බ්‍රහ්මචර්යයට බාධාවක් වැ පවතී. පොලීසිය පමණක් දැනැගත යුතු කාම අපරාධත් උසාවිය පමණක් දැනැගත යුතු ස්ත්‍රී දූෂණ නඩුත් ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර විස්තර කොට පළ කැරවීමත් ප්‍රේම බන්ධන හා ඒවා වෙනස් වූ විට දිවි නසාගන්නා අයුරු විස්තර වශයෙන් පළ කැරැවීමත් තරුණ සමාජයේ මනා පැවැත්මට බාධාවක් වී ඇත.

  4. අර්ධ නිර්වස්ත්‍ර නැටුම් හා ආලිංගන නැටුම් ආදී සංකර සිරිත් ද ජනතාව ගේ උසස් පිරිසිදු ජීවිතයට බාධාවෙකි.

බ්‍රහ්මචර්යයෙහි ආනිසංස බොහෝ ය. මේ ආනිසංස නියම වශයෙන් ලැබෙන්නේ මෛථුන විරති බ්‍රහ්මචර්යයෙන් ය. සාමාන්‍ය බ්‍රහ්මචර්යා වෙන් ද එක්තරා ප්‍රමාණයෙකින් මේ ආනිසංස ලැබෙනු ඇත. 1.හතුරන් නැති බව. 2.සර්වජනප්‍රියභාවය. 3.ආහාර පාන සුලබ බව. 4.සැප සේ නිඳන බව. 5.තියුණු නුවණැති බව. 6.අපාය භයින් මිදුණු බව. 7.පුරුෂයකු නම් ස්ත්‍රියක නොවන බව හා ස්ත්‍රී පුරුෂ දෙපස මැ පණ්ඩක නපුංසක නොවන බව. 8.නොකිපෙන බව 9.ඔවුනොවුනට ප්‍රිය බව. 10.පරිපූර්ණ ඉන්ද්‍රියයන් ඇති බව හෙවත් ඉන්ද්‍රියයන් විකල නොවන බව. 11.විරූප නොවීම මෙන් මැ සුරූපභාවය. 12.සුව සේ ප්‍රීතියෙන් වාසය කරන බව යන ආදිය යි.

දිනමිණ 1963.05.06

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.