Skip to main content

අපේ බුදුහාමුදුරුවෝ 15 

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 12

ඒ මොහොතේ රම්ම නුවරේ දීපංකර බුදුන් ඇතුළු ලක්ෂ හතක් පමණ සංඝ පිරිසට දානය පිළිගන්වනවා. එතැන එසේ වෙමින් පවතිද්දී අප මහා බෝසතාණෝ සියල්ලන්ම නික්ම ගිය ඒ නිසල පරිසරයේ ඒ මහා මල් ගංගාව මත” මාගේ පාරමී පරික්ෂා කරමි” යයි සිතමින් පර්යංකයෙන් වැඩ සිටියා. මෙය විවරණයෙන් පසු සෑම බුදුවරයෙකු විසින්ම අනුගමණය කරනු ලැබූ ධර්මතාවක්. අහසේ සිටි දස දහසක් සක්වලින් පැමිණි දෙවි වරුන් තවමත් ප්රීති ඝෝෂා නගමින් මෙලෙස කියන්නට වුනා.


“මහා වීරයාණන් වහන්ස ඔබ වහන්සේ නියත වශයෙන්ම බුදුවනවා. බුදුවරුන්ගේ වචනය සත්යයි. නොපසබස්නා වීර්යයෙන් උත්සාහ කරන්න. මේ ලෝක සත්වයන් මේ සංසාර දුකෙන් එතෙර කරනා බුද්ධ අංකුරයක් පැළයක්, බීජයක් වන්න. මෙලෙසම නියත විවිරණ ලැබ බුදුවූ බුදුවරුන් අප කොතෙකුත් දැක තිබෙනවා . ඔබ වහන්සේටත් ඒ ආශීර්වාදය අද ලබුනා. සාදු සාදු සදු !”

සුමේද තවුසාණන් මෙම දෙවුන් බඹුන්ගේ ප්රීති වාක්ය අසා තව තවත් ප්රීතියෙන් පින ගොස් තව දුරටත් පිරිය යුතු දස පාරමී ධර්ම මෙනෙහි කරන්නට වුනා.

🌷 පාරමිතා ප්රභේද

සාමාන්යයෙන් පාරමිතාව එකක් වුව ත් 1. පාරමිතාව ය, 2. උප පාරමිතාව ය, 3. පරමාර්ථ පාරමිතාව යනුවෙන් කොටස් තුනකට බෙදා වෙනකොට දක්වනවා. ඒ ත්රිවිධ බෝධීන්හට අනුග්රහ දක්වන ආකාරය මත. මෙහි ඔබගේ අවබෝධය සඳහා දාන පාරමිතාව පමණක් ඒ තුන් ආකාරයට වැටෙන අයුරු මෙලෙස විස්තර කරනු ලබනවා.

“පුත්තදාරධනාදි උපකරණ පරිච්චාගො දාන පාරමී, අත්තනො අංග පරිච්චාගො දාන උපපාරමී. අත්තනො ජීවිත පරිච්චාගො දානපරමත්ථ පාරමී”.

1. පාරමිතාව
තමා රැස්කළ ධනය වතු පිටි ඉඩකඩම් යානවාහන ඇතුළු සියලු භාණ්ඩ උපකරණ මෙන්ම දරු දැරියන් අඹුවන් හරකභාන වැනි තමන් සතු සජීවී වස්තුන්ද පරිත්යාගය දාන පාරමිතාව නම් වෙනවා.

2. උප පාරමිතාව
ලේ – මස් – ඇස් – කන් – අත් – පා ආදී තමාගේ ශරීරාවයව පරිත්යාගය දාන උප පාරමී නම් වෙනවා.
දෙවෙනි දාන පාරමිතාව යනු එහි තවත් තේරුමක්.

3. පරමාර්ථ පාරමිතාව
අන් අයගේ යහපත වෙනුවෙන් තමා ගේ ජීවිතය පරිත්යාග කිරීම දාන පරමාර්ථ පාරමී නම් වෙනවා. . උසස් දාන පාරමිතාව ය යනු එහි තේරුම යි.

🌷 ලොවුතුරා සම්බෝධිය සහ පාරමිතා අනුග්රහය
සාමාන්යයෙන් එකක් වූ දාන පාරමිතාව මෙසේ තුනට බෙදා කියනුයේ ත්රිවිධ බෝධීන්හට අනුග්රහ වශයෙන්. ලොවුතුරා බුදු බවට නොහොත් සම්මා සම්බුද්ධත්වයට පෙරුම් පුරුන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය, දාන පරමාර්ථ පාරමිතාව ය යන මේ තුනම පිරිය යුතු ය.

🌷 ප්රත්යේක සම්බෝධිය නොහොත් පසේ බුදුබව සහ පාරමිතා අනුග්රහය
ප්රත්යේක සම්බෝධියට නොහොත් පසේ බුද්ධත්වයට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය යන දෙක පිරිය යුතුය.

🌷 ශ්රාවක බෝධිය සහ පාරමිතා අනුග්රහය
ශ්රාවක බෝධියට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව පිරිය යුතුය.

දාන පාරමිතා තුන ම පිරිය හැකි තැනැත්තෝ ලොව්තුරා බුදු බවට පැමිණෙති. පළමුවන දෙවන පාරමිතා දෙක පමණක් පිරිය හැකි තැනැත්තෝ පසේ බුදු බවට පැමිණෙති. පළමුවන දාන පාරමිතාව පමණක් පිරිය හැකි තැනැත්තෝ ශ්රාවක බෝධියට පැමිණෙති. ශීල පාරමිතාදී ඉතිරි පාරමිතා නවයෙහි මේ ප්රභේදය කියන ලද පරිද්දෙන් සැලකිය යුතු ය.

🌷 දස පාරමී

1. දාන පාරමිතාව
2.ශීල පාරමිතාව
3.නෙක්ඛම්ම පාරමිතාව
4.පඤ්ඤා පාරමිතාව
5.විරිය පාරමිතාව
6.ඛන්ති පාරමිතාව
7.සච්ච පාරමිතාව
8.අධිෂ්ඨාන පාරමිතාව
9.මෙත්තා පාරමිතාව
10.උපේක්ඛා පාරමිතාව

දැන් ඉහතින් දැක්වූ තුන් ආකාරයට මෙම දස පාරමිතා සම්මා සම්බුදු බුදුවරයෙකු විසින් වැඩිය යුතුය. එවිට එය තිස්ආකාර වේ.

1.දාන පරමී 2.දාන උප පාරමී 3.දාන පරමත්ථ පරමී
4.ශිල පාරමී 5.ශීල උප පාරමී 6.ශිල පරමත්ථ පාරමී
7.නෙක්ඛම්ම පාරමී 8.නෙක්ඛම්ම උප පාරමී 9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී
10.පඤ්ඤා පාරමී 11.පඤ්ඤා උප පාරමී 12.පඤ්ඤා පරමත්ථ පාරමි
13.විරිය පාරමී 14.විරිය උප පාරමී 15.විරිය පරමත්ථ පාරමී
16.ඛන්ති පාරමී 17.ඛන්ති උප පාරමී 18.ඛන්ති පරමත්ථ පාරමී
19.සච්ච පාරමී 20.සච්ච උප පාරමී 21.සච්ච පරමත්ථ පාරමී
22.අධිෂ්ඨානපාරමී 23.අධිෂ්ඨාන උප පාරමී 24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී
25. මෙත්තා පාරමී 26.මෙත්තා උප පාරමී 27.මෙත්තා පරමත්ථ පාරමී
28.උපේක්ඛා පාරමී 29.උපේක්ඛා උප පාරමී 30.උපෙක්ඛා පරමත්ථ පාරමී

දැන් සුමේධ තවුසන් සැරසෙන්නේ මෙම කරුණු සමාධි සුවයට පිවිස නැවත නැවත මෙනෙහි කිරීමටය.

තුසිත රාජපක්ෂ
ප්රංශය

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.