Skip to main content

අනාගත පරපුර මත්පැනින් වැනසේ ද?

විනය නීති

තව ද සුරාව අවබෝධයෙන් විනා නීතීයෙන් තහනම් කරන්නට බැහැයි කියන කතාව මා නම් පිළිගන්නේ නැත. අවබෝධයත් සමඟ නීතියත් අවශ්‍යයි. මෙන්න එයට කරුණු, බුද්ධ ධර්මයෙහි අවබෝධයට ලොකු තැනක් දෙතත් අවබෝධයෙන් පමණක් හැම වරදක් ම වළක්වා ගන්නට නොහැකි වේ. අවබෝධය ඇති කර ගැනීම දුෂ්කර කාර්යයක් වන හෙයිනි.

හොඳ නොහොඳ ගැන හරි අවබෝධයක් ඇති නම් නීතියක් අවශ්‍ය නොවේ. එබඳු පිරිසක් ඇත්නම් කොපමණ හොඳ ද? බුදු රජාණන් වහන්සේ ධර්මාවබෝධය කරවූ අතර විනය ශික්‍ෂා නමින් විනය නීතී මාලාවක් ද පනවා වදාළහ.

බුදු රජාණන් වහන්සේට පවා සිය ශ්‍රාවකයන් අවබොධයෙන් පමණක් වරදෙන් මුදවා ගත හැකි වූයේ සුළු කාලයෙකි. උන් වහන්සේට බුදුවී සුළු කාලයකින් ම වැරදි වලින් පවා මුදවා ගැනීමට සුළු සිකපද පනවන්නට සිදු විය. බුද්ධ කාලයෙහි මුල දී බහුලව සිටියේ රහත් ශ්‍රාවකයන් ය.

සියලු දෙනාට ම හෙට පටන් සුරාපානය තහනම් යැයි නීතියක් පනවන්නට ‘ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව’ ඉල්ලුවේ නැත. ඉල්ලන්නේත් නැත. අප ඉල්ලා සිටින්නේ සුරා පානයට ඇබ්බැහි වී සිටින අයට අවසර පත්‍ර ක්‍රමයක් හදා ඒ අයට සුරා පානයට පහසුකම් සලස්වා දී තරුණයන් හා ළමයින් සුරා විපතින් බේරා ගැනීමේ ක්‍රියා මාර්ගයෙකි. ඇතැම් දියුණු රටවල ළමයින් හා තරුණ තරුණියන් සුරා පානයට ඇබ්බැහි වී තිබෙන ප්‍රමාණය පළමුව සඳහන් කෙරෙමි. පින්වත්නි, සාවධාන වැ කියවා බලන මෙන් කරුණාවෙන් දන්වමි.

ඕස්ට්‍රේලියාවේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අංශය මගින් වයස අවුරුදු 14 හා 21 අතරේ පාසල් ළමයින් මත්පැන් බොන ආකාරය ගැන පරීක්‍ෂණයක් පවත්වන ලදී. එහි ප්‍රතිඵලය වූයේ වික්ටෝරියා මහ නගරයේ පමණක් යට කී වයසේ පාසල් සිසුන්ගෙන් දවසකට අට වරක් මත් පැන් රස විඳින අය 1,80,000 ක් ඉන්නා බව දැන ගැනීමයි.

අමෙරිකාවේ

අධ්‍යාපන සෞඛ්‍ය හා සුභ සාධක දෙපර්තමේන්තුව විසින් කරන ලද පරීක්‍ෂණයෙහි දී 12 වැනි ශ්‍රේණියෙහි ශිෂ්‍යයන් ගෙන් සියයට 93 කුත් ශිෂ්‍යාවන් ගෙන් සියයට 87 කුත් මත් පැන් රස විඳින්නන් බව හෙළි වී ඇත.

ස්කොට්ලන්තයේ

සෞඛ්‍ය අධ්‍යාපන අංශය විසින් නිකුත් කරන වාර්තාවක් අනුව එහි ළමයින් අතරට සුරාපානය පැමිණ තිබෙන්නේ ඉතා කණගාටුදායක ස්වරූපයෙනි. ළමයින්ගේ වයස අනුව විස්තර කොට ඇත. වයස 17 වැඩිහිටි පිරිමි ළයින් ගෙන් සියයට 98 කුත් ගැහැණු ළමයින්ගෙන් සියයට 96 කුත් මත්පැන් රස විඳින බව වාර්තාව පෙන්නා දෙයි.

යුරෝපා රටවල බොහෝ දෙමාපියන් දරුවන් හා සම්බන්ධය සීමා සහිත වී ඇත. මූලික අධ්‍යාපනයෙන් පසු බොහෝ දෙමාපියන් දරුවන්ගේ සම්බන්ධය අත් හරිනු ලැබේ. එහෙත් අපේ රටවල දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධය මැරිලාවත් අවසන් වනනේ නැතැයි කිව යුතුය. ශ්‍රී ලංකාවෙහි හොඳට ම මත්පැන් බොන තාත්තලා හෝ තමන්ගේ දරුවන් මත්පැන් බොනවාට කැමති නැත. එහෙයින් යටැකී රටවල තත්ත්වය අනුව අපේ ළමයින් ද මත්පැනට ගියොත් අපේ මවුපියන් හට සැනැසිල්ලේ මැරෙන්නට වත් ලැබේවි ද?

මේ රටවල් විනාශදායක තත්ත්වය ගැන කලින් සිතුවේ නැත. යුරෝපා ඇමරිකාදී රටවල ජනතාවට ධූමපානයේ, මද්‍ය පානයේ හා මත් ද්‍රව්‍ය පාවිච්චියේ වරද අවබෝධ කර දීමට කොපමණ කාලයක සිට උස්සාහ දරනවා ද? වරක් ඇමරිකාවේ අයවැය ලේඛනයෙන් මත් ද්‍රව්‍ය මර්ධනයට ඩොලර් කෝටි 75 ක් වෙන් කොට තිබුණි. අනෙක් රටවල ද එසේ ම ය. ප්‍රතිඵල නොලැබුණා නොවේ. බලාපොරොත්තු වූ අවබෝධය ලැබුණේ නැත. එය ඔප්පු කිරීමට රටවල් කිහිපයක තත්ත්වය ගෙන හැර පෙන්වූයෙමි. මුල දී සැලැකිල්ලක් නොදැක් වීම ගැන දැන් ඔවුහු ළතැවෙති.

පිළිකා

සුරා බද්ද හැම රටකට ම විශාල ආදායමෙකි. ශ්‍රී ලංකාවෙහි ද සුරා බද්ද රුපියල් 100 කෝටිය ඉක්මවා ඇතැයි සිතමි. හැම රටකට ම සුරා පානයෙන් වන අලාභ හා විනාශ දෙස බලන විට සුරාබද්ද ගණන් ගත යුත්තක් නොවේ.

මිනිස්කමට සිදුවන පාඩුව වචනයෙන් වත් කිව හැක්කක් නොවේ. විවිධ අංශවලින් මුදලින් වන පාඩුව ආදායමට වඩා ඉතා වැඩි විය හැකි වුවත් ශ්‍රී ලංකාවෙහි නම් ගණන් බලා නැතිවා ඇතැයි සිතමි. එහෙත් දියුණු අන් රටවල නම් විවිධාකාරයෙන් වන අලාභ හා විනාශ මැනැවින් පෙන්නා ඇත.

ප්‍රංශයේ පමණක් වසරකට 30,000 ක් පමණ දෙනා මත් පැන් රකුසාට බිලිවී මිය යන බව ප්‍රංශ රජයේ සංඛ්‍යා ලේඛන ගෙනහැර දක්වයි. එම සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන් 18,000 ක් මිය යන්නේ මත්පැන් පාවිච්චිය හේතු කොට ගෙන වැළ‍‍ඳෙන ලිවර් සිරෝසිස් රෝගයෙනි. ඉතිරි ප්‍රමාණයෙන් සියයට අනූනවයක් ම මිය යන්නේ අධික මත්පැන් පවිච්චිය හේතු කොට ගෙන වැළදෙන කටේ, උගුරේ හා පෙනහලුවල පිළිකා නිසා ය.

රිය අනතුරු

මේ අතර ප්‍රංශයේ රෝහල්වල ඇඳන් වලින් සියයට හතලිහක් පමණ නිතිපතා මත් පැන් රෝගීන්ට වෙන් වෙයි. ඒ සමග ම මත් පැන් පාවිච්චිය නිසා මනෝචිකිත්සක රෝහල් වලට යෑමට සිදු වන අයගේ සංඛ්‍යාව ඊටත් වැඩි ය. මත්පැන් නිසා ප්‍රංශ රජයට වසරකට රන් පවුම් කෝටි 100 ක් පමණ වැය වෙයි. මේ අනුව බලන විට මත් පැනට අබ්බැහි වී ගිලන් වන එක් අයෙකු වෙනුවෙන් වැයවෙන ගණන රන් පවුන් 540 කි.

ඇමෙරිකාවෙහි සෙල්ටන් මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තා අනුව සුරාපානය නිසා සිදුවන අලාභ ඩොලර් බිලියන 25 කි. එයින් 9 ක් අලාභ වන්නේ කර්මාන්ත, වෙළෙඳ ව්‍යාපාර රජයේ සේවා හා යුද සේවාවන්හි නියුක්ත සේවකයන් ගේ වැඩ හරියට කරන්නට බැරි වීමෙනි. තවත් 8 ක් අලාභ සිදුවන්නේ සෞඛ්‍යය, වෛද්‍යාධාර හා පවුල් ආධාර සඳහා ය. තවත් 8 ක් අලාභ වන්නේ පොදු දේපළ විනාශයෙනි. ඇමෙරිකාවේ ගණන් ක්‍රමය අනුව ඩොලර් දශලක්ෂ දහයක් බිලියන එකෙකි. එය කෝටි වලින් ගණන් ගත් විට ඩොලර් කෝටි 2500 කි. සේවය යුනියනයෙන් නිකුත් කරන ලද මත් පැන් පිළිබඳ පොතෙහි සඳහන් වන පරදි රිය අනතුරු මරණ වලින් අඩක් එනම් 26000 ක් පමණ ද දශ ලක්ෂයක් පමණ රිය අනතුරු තුවාල ද සිදු වන්නේ රියදුරන්ගේ මද්‍ය පානයෙනි.

ශ්‍රී ලංකාවෙහි සුරාපානය නිසා සිදුවන අලාභ හා විනාශ ඉතා වේගයෙන් වැඩි වෙමින් පවතී. 1940 දී ගැලුම් හාර ලක්‍ෂයක් විකුණූ අරක්කු 1970 දී ගැලුම් හතලිස් හය ලක්‍ෂයකට නැංගේ ය. 1940 දී අරක්කු වලින් ආදායම එක්කෝටි හැට ලක්‍ෂයයි. 1970 දී විසිතුන් කෝටි හතලිස් ලක්‍ෂයයි. 1980 දී හැට නව කෝටි නව ලක්‍ෂයයි. 1984 දී අනූතුන් කෝටි අසූ අට ලක්‍ෂයට නැග ඇත. රජයේ වගකිය යුත්තන් මේ ගණන් හොඳින් දන්නවා ඇත.

ප්‍රචාරය

දියුණු රටවල සුරා පානයෙන් ජනතාව බේරා ගන්නට කෝටි ප්‍රකෝටි ධනයක් වියදම් කෙරෙමින් විශාල ප්‍රචාරයක් කැරගෙන යයි. ඉතා අධික ලෙස මද්‍ය පානය කරන ස්කොට්ලන්තය 1. නීතිය 2. මූල්‍යය 3. සාමාජිකය යන තුන් ආකාරයෙන් සුරා පානය පාලනය කර ගෙන යයි. ශ්‍රී ලංකාවෙහි ද, 1. පාලන 2. මර්දන, 3. ප්‍රචාරණ යන තුන් ආකාරයෙන් සුරා පානය පාලනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමි.

  1. පාලන – නියම සුරාව පාලනය යි. 2. මර්දන – හොර සුරා මර්දනය යි. 3. ප්‍රචාරණ – පාලනයත් මර්දනයත් සාර්ථක කර ගැනීමට ප්‍රචාරය කිරීමයි. මේ තුන් ආකාරයෙන් සුරා පානය පාලනය කොට අනාගත පාලකයන් වන ළමයින් හා තරුණයන් සුරාවෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා සුදුසු යෝජනා හතලිස් දෙකකින් යුත් මනා සැලැස්මක් ශ්‍රී ලංකා ජනරජයේ සංස්කෘතික අමාත්‍යතුමාට බාර දී ඇත. රජයේ වගකිව යුත්තන් බැලිය යුතු බව කරුණාවෙන් දන්වමි.

ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව ඉල්ලා සිටින්නේ සුරා තහනමක් නොව සුරාව පාලනය කිරීමයි. ඒ සඳහා අබිං මර්දනයට දුන් අවසර පත්‍ර ක්‍රමය යි. ක්‍රියාත්මක කළොත් සුරා පානයෙන් සමාජය බේරා ගන්නට හැකි වනු ඇත. ලිපිය දික් වෙන බැවින් අවසර ක්‍රමයෙහි විස්තර ලියන්නේ නැත. අවශ්‍ය වුවොත් පසුව ලියමි. අවසර පත්‍ර ක්‍රමයෙන් අවුරුදු දහයක් යනතුරු රජයට ලැබෙන ආදායමෙන් ශතයක් වත් අඩු නොවන බව පමණක් සඳහන් කෙරෙමි.

දිනමිණ 1987.07.11

ප්‍රඥාප්‍රභා 8

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

 

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.