💙 අපේ බුදුහාමුදුරුවෝ 05 💙

🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 02 🌷 🌷🌷


එදින රාත්රිය නිසැක වශයෙන්ම සුමේද පඬිතුමාට නොහොත් අපගේ බෝධිසත්වයන් වහන්සේට දීර්ඝ රාත්රියක් වන්නට ඇති. ඔහු කලේ නිදන කාමරයට යාම වෙනුවට මාළිගාවේ ඉහළම මාලයේ ඇති නිසල කුටියකට පිවිස පලක් බැඳ සිටිමින් මෙලෙස සිතන්නට වීමයි.

🌷 ගිහිගෙයි දොස් දැකීම. ( මෙය ලිපිය කෙටිකරණ අරුතින් කෙටියෙන් ලීවෙමි. )

මගේ දෙමාපියන් මෙතරම් ධනයක් රැස්කොට තිබුණත් මරණයෙන් මෙලොව හැර යාමේදී කිසිවක් ගෙනයාමට නොහැකි වී තියනවා. සියල්ලම අතහැර ගිහින්. එසේනම් මෙම ධනය රැස් කිරීමේ සුරැකීමේ ඵලය කුමක්ද? ඒ සඳහා වැය කරන කාලය මරණයත් හා සමග ගෙනයාහැකි ධනයක් රැස් කිරීමට යොදවන්න ඕනේ. ඒ විතරක් නෙවි. මෙම ජීවිතය ඉපදීම ලෙඩවීම වයසට යාම, මරණය යන මේ උවදුරන් ස්වභාව කොට ගත්තක්. එසේනම් මෙය පිටුදැකිය හැකි ධර්මයක් වේද එය සොයා යා යුතයි. හරියටම එය මේ වගේ දෙයක්. දුක තිබේනම් එයට ප්රතිපක්ෂව සැප තියනවා වගේ උණුසුම ඇති කල්හි සීතල ද ඇති සේ, පාපය ඇති කල්හි කුසලයද ඇති සේ මේ සියලු දුක් ගෙනදෙන ඉපදීමක් ඇත්ද එයට ප්රතිපක්ෂව සියලු දුකින් තොර නොඉපදිමක්ද, නිවනක්ද තිබිය යුතුම බවයි.

එසේම අසුචියෙන් ගිලුණු මිනිසෙකු පිරිසිදු ජලාශයක් දැක වත පිරිසිදු කර ගැනීමට එහි නොයන්නේ නම් එය ජලාශයේ දෝෂයක් නොව ඔහුගේම දෝෂයක් වන්නාසේම, රෝගී වූ මිනිසෙකු ඒ රෝගය සුවකලහැකි වෛද්යවරයා වෙත නොයන්නේනම් ඒ වෛද්ය වරයාගේ වරදක් නොව ඔහුගේම වරදක් සේම, කෙළෙස් රෝග දුකින් පෙළෙන පුරුෂයා ඒ රෝග දුකින් මිදෙන නිවන් මග දක්වන ගුරුවරයා වෙත නොයන්නේනම් එය ගුරුවරයාගේ වරදක් නොවන බව සිතා මෙලෙස නොයෙක් උපමා උපමෙයන් සිහියට නගමින් සිත සකසා ගනිමින් ඒ මහා නෙක්කම්ම නික්ම යාමට තීරණය කරනු ලැබුවා.

🌷 ගිහිගෙයින් නික්මීම.

මෙසේ සිතමින් සියලු වස්තුකාමයන්ද රාගාදී ක්ලේශ කාමයන්ද අතහරිමින් ඔහුටවත් සිතා ගැනීමට බැරි තමා සතු ප්රමාණ කල නොහැකි අපමණ ධන සම්පත් දුගී මගී යාචකයනට දන් දෙන්නට නියම කොට ඒ මනරම් අමරවතී නුවරටත්, මාළිගාවටත් සමුදුන්නා. ඒ ගෝෂාකාරී අමරවතී නුවරට සමු දී හිමවත පාමුල ඇති ධම්මික නම් පර්වතයට පිය නගන්න වුනා. මෙතෙක් කලක් අතට පයට ලැබුණු සියලුම සත්කාර වෙනුවට තමා විසින්ම සියල්ල සපයාගත යුතු බව මතක් වෙන්නත් ඇති. එහෙත් දුක කෙලවර කිරීමේ සතුට ඒ සියලු අභියෝගයන් ඉවතලන්නත් ඇති. දැන් ඔබට පෙන්න ඕනේ බෝසත්වරයෙකුගේ සෑම ආත්ම භවයක ම දස පාරමිතා එකක් නොව දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, ඛන්ති,සච්ච, අධිට්ඨාන , මෙත්තා, උපෙක්ඛා ආදී වශයෙන් සියල්ලම වගේ වැඩෙන ආකාරය.

🌷 සක්දෙවිඳුගේ අසුන රත්වීම සහ මනරම් අරන්යයක් මැවීම.

මේ සියල්ල මෙසේ සිදු වෙද්දී ශක්ර දෙවිඳුගේ ආසනය උණුසුම් වන්නට වුනා. ඒ ඇයිදැයි විමසා බලද්දී තමයි සුමේද කුමාරයාගේ ගිහිගෙයින් නික්මීම දකින්නට ලැබුනේ.

සක්දෙවිඳුගේ සිත ප්රීතියෙන් පිනා ගියා. ඒ මතු බුදුවන තවත් බෝධිසත්වයෙකුගේ ප්රථම නියත විවරණ සඳහා ගිහිගෙයින් නික්මීම සඵල වීම යන කාරණය දැකීමෙන්. එහෙත් අනේකවිධි සැප සම්පත් විඳිමින් ගතකල රජ මාලිගයකින් නික්ම කිසිත් අහුහරනයක් නැති මහා වනයක් වෙත යන මෙම ඓතිහාසික ගමනට උදවු කිරීම අත්යාවශ්ය කාරණයක්ම මෙන්ම තමන්ගේ යුතුකමක් ලෙසද වැටහුණා. දෙවු රජ තව මොහොතක්වත් ප්රමාද වුනේ නැහැ. ඒ මොහොතේම විශ්වකර්ම දෙවිපුත් එහි කැඳවනු ලැබුවා. ඉන්පසු සුමේධ පඬිතුමා ආරණ්ය ගතවීම සඳහා ගිහිගෙයින් නික්ම හිමවතහි ඇති ධම්මික පර්වතය වෙත පිය නගන බවත් ඔහුට වාසය කිරීමට සුදුසු අරන්යයක් තනා දෙන ලෙසටත් නියම කරනු ලැබුවා. බෝසතාණන් වහන්සේ ධම්මික පර්වතය වෙත ගමන් කරනා කාලය අතර තුර සක්දෙවිඳුගේ අණ පරිදී විශ්වකර්ම දෙවියන් විසින් සිත්කළු අසපුවක්ද, ආරක්ෂා සහිත පන්සලක්ද, මනරම් දෝෂ පසකින් තොර සක්මන් මලුවක්ද මවනු ලැබුවා. මෙම අසපුව මවන ලද්දේ අභිඤ්ඤා බලය සහ විපස්සනා බලය ලබා ගැනීමට සුදුසු ලෙසම කියලයි දේශනාවේ තියෙන්නේ.

🌷 සක්මන් මලුවක ඇති දොස් පස.

1. තද බව සහ විසම බව. – එම නිසා සක්මනේ ගමන් කරන්නාගේ පා රෙදෙයි. සිතෙහි එකඟ බවක් නොල් ලබයි. කමටහන සඵල නොවේ.

2. ඇතුලත ගස් ඇති බව – සක්මනේ ඇතුලත හෝ මැද හෝ කෙළවරේ හෝ ගසක් තිබීමෙන් අමතක වීමකින් හෝ නළලෙහි හෝ හිසෙහි ගැටීමෙන් කමටහනට බාධා ඇතිවිය හැක.

3. කැලෑවෙන් වැසුණු බව – තණ ගස්වැල් ආදියෙන් ගැවසුණු සක්මනෙහි සක්මන් කිරීම නිසා උරග ආදී සත්තු පෑගීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වීම වගේම ඔවුන් දෂ්ට කිරමෙන් විපතට පැමිණීමද විය හැක.

4. ඉතා ලුහුඬු බව – රියනක් හෝ රියන් භාගයක් පමණ පළලින් යුතු සක්මනෙහි සක්මන් කරන්නෙකුගේ පය පැටලීමෙන් නිය, පය හෝ ඇඟිලි බිඳිය හැකිවීම.

5. ඉතා විශාල බව – ඉතා විශාල සක්මනෙහි සක්මන් කරන්නා ඔබමොබ දුවයි. සිතෙහි එකඟ බවක් නොලබයි. විශාල බව පස්වෙනි දෝෂයයි.

මෙම දෝෂ පහෙන් තොර වූ සක්මන් මලුවක්ද මවා බෝසතාණන් වහන්සේගේ පැමිණීමට පෙරාතුව විශ්වකර්ම දේවරාජෝත්තමයන් වහන්සේ අන්තරස්දහන වුනා.

තුසිත රාජපක්ෂ – ප්රංශය – 04-05-2019

හයවන කොටස – https://wp.me/p4UHR6-3E9

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.