💙💚 අපේ බුදුහාමුදුරුවෝ 11 💙💚

🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 08 🌷

🌺 දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම සහ සම්බුදු සිංහනාදය

බුද්ධත්වයෙන් පසුව දසබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධ සිංහනාද පවත්වා සත්සතියක් බෝධි මුලයේ කල්ගෙවා සාම්පති මහා බ්රහ්මයාගේ ආරාධනයෙන් සුනන්දාරාමයේ දම්සක් පවත්වා කෙළ සියයක් දෙවිමිනිසුන් හට ධර්මාමෘතය පොවා චාතුර්ද්වීපික මහා මේඝයක් සේ දහම් වැසි වස්සවමින් මහජනයාගේ සසර බැමි සිඳිමින් ජනපද චාරිකාවේ යෙදෙන්නට වුනා.

🌺 රහතන් වහන්සේලා හාරලක්ෂයක් සමගින් රම්ම නුවරට වැඩම කරවීම.

හරිම පුදුමයි බුදුවරු අතරත් ඇති සුවිශේෂතා. අපේ බුදුහාමුදුරුවෝ දම්සක් පවත්වා පස්වග මහණුන් ඇතුළු සියයකටත් වඩා අඩු පිරිසක් සමගිනුයි චාරිකාව ආරම්භ කලේ. කපිලවස්තු පුරයට එනවිටත් රහතන් වහන්සේලා හිටියේ විසිදාහයි. ඒ දසබලධාරී දීපංකර බුදුහාමුදුරුවෝ උපන් බිම වූ පරම රමණීය රම්ම නුවරට වැඩියේ රහතන්වහන්සේලා හාරලක්ෂයක් පිරිවරාගෙන. එසේ වැඩමකොට සුදර්ශන මහා විහාරයේ වැඩ වසන්නට වුනා.


🌺 රම්ම වැසියන් දානයට අරාධනා කිරීම

එය අසා ඒ නගරයේ සහ ඈත කුඩා ගම්වල ගම්වැසියන් ගිතෙල් වෙඬරු බෙහෙත් ද හඳනා, පොරෝනා වස්ත්රාදියද රැගෙන උතුරුසළු සහිතව සුවඳ මල් ආදියද අතැතිව බුඳුන් දහම් සඟුන් වැඩසිටි දිශාවට නැඹුරුව ළං ළං වෙත්ම වඩ වඩාත් ගෞරව නමස්කාර කරමින් පැමිණ බණ අසන්නට වුනා. අවසානයේ මහත් ගෞරවයෙන් ඒ සියලු ගම් වැසියන් හෙට දිනයේ සිට තම ගම් දනව් කරා දානය සඳහා වැඩම කරනාමෙන් ආරාධනය කරමින් යන්නට ගියා.

පසුදින මුළු නගරයම මහා උත්සවශ්රීයෙන් බැබලුණා. මිනිසුන් පාන්දර යාමයේ සිට පිබිද බුදුන් ඇතුළු ලක්ෂ හතරකට වැඩි රහතන් වහන්සේලා උදෙසා දනය පිළියල කොට තබා මුළු නගරයම සරසන්නට පටන්ගත්තා. ඔවුන් පළමුව මේ අසදෘශ මහා දානය සඳහා මඩුවක් තනන්න වුනා. හිතන්න හාරලක්ෂයක් බුදුන් ඇතුළු මහ රහතන් වහන්සේලාට වහල සෙවිලි කල මඩුවක්. අපි පංච මහා අධිඨාන පුජාව වෙලාවේ එක්දහස් දෙසීයක් වූ මහා සංඝ රත්නයට රුවන්වැලි සෑ සළපතල මළුවේ තනපු ටෙන්ට් එක මතක් වුනා. එය කරනු ලැබුවේ පින්වත් හමුදාවේ පනහකට වැඩි බට පිරිසක්. ඒත් පැවතුන අධික සුළං නිසා එලිවනතුරා වෙහෙස මහන්සි වී අටවපු මඩුව නැවත උදෑසන ගලවන්න වුනා. මෙය ලක්ෂ හතරකට මඩුවක් එක රැයෙන්. එහෙමයි මිනිස්සු මහත් ශ්රද්ධාවෙන් වැඩ කලේ.

🌺 දාන ශාලා නිර්මාණය සහ නගර සැරසිළි

ඒ මඩුව විමල කෝමල කිලුපුලින් සෙවිලි කොට සිවුදෑගඳින් පිරිබඩකොට ලදපස්මල් සුවඳ කුසුම් විසුරුවා මඩුවෙහි සිවුකොණ සිසිල් දිය පිරවූ සැළි තබවා කෙසෙල්පතින් වසා මණ්ඩපය මත දෑසමන්මල් ද සම පරම සුන්දර දැකුම් ඇති සෙල්වියන් බැඳ රන් රිදී කාරකායෙන් සරසා එහි ගඳදුම් මල්දම් පත්දම් රුවන්දම් එල්වා දුමින් සුවඳවත් කොට ඒ මුළුමහත් රම්ය වූ රම්ම නගරය පුරා කැන් සහිත කෙසේල්ද, මලින් සැරසු පුර්නඝට ද තබා නන්වන් ධජපතාකාදිය ඔසවා මහාවිදිය දෙපස තිරපවුරින් වටකොට දීපංකර බුදුන්වහන්සේ වඩින මග අලංකාර කරමින් දියෙන් බිඳී ගිය තැන් පස් දමා විසම සමකොට මුතුවන් වැලි විසිරුවයි. ලදපස්මල් ඉසියි. කැන් සහිත කෙසල් පුවක් ගස් සිටුවයි. මල්, පළතුරු සුවඳ, සුවඳ දුම් හා එක්ව මුළු නගරයම සුවඳවත් කළා. ලක්ෂ ගණනක මිනිසුන්ගෙන් නගරයම පිරී ඉතිරී ගොස් හරියට වෙසක් දිනට අපේ රටේ අසිරිය වගේ සෑම තැනම දන්සල් තොරන් පාවඩ.

🌺 සුමේධ තවුසාණන් රම්ම නුවරට අහසින් පැමිණීම.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී තමයි අප මහා බෝසතාණන් වහන්සේ වන සුමේධ තවුසාණන් සමාධි සුවයෙන් දින ගණනකට පසු බැහැර වුනේ. ඒ දීපංකර බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්විමේදීත් දම්සක් නාදය පවත්වද්දීත් මහපොළව කම්පාවුවත් දෙතිස් පෙරනිමිති පහල වුවත් සුමේධ තවුසාණන් ඒ කිසිවක් දුටුවේ නැහැ සමවත් සුවෙන් සිටීම නිසා. එදින එතුමන් අහසින් රම්ම නගරය මතින් ගමන් කරමින් සිටියේ. මේ මහා අසිරිය සහ ජන ගංගාව දැක මහජනයා හට පෙනෙන ලෙසම අහසින් පොළවට බැස” දරුවනි මේ කුමක් සඳහා පෙර සූදානමක් දැයි” ප්රශ්න කරනු ලැබුවා.

තුසිත රාජපක්ෂ
ප්රංශය
16-05-2019

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.