ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් අනතුරුව පසු කලෙක උන්වහන්සේ ආරක්ෂිතව තැන්පත් කර ඇති දළදා මාලිගාවේ රාජකාරී කටයුතු ඉටු කිරීම සඳහා සුවිශේෂී කාර්ය මණ්ඩලයක් පත් කෙරිණි.

දළදා වහන්සේගේ තේවා කටයුතු ඇතුළු පුද සත්කාර මෙන්ම දළදා මාලිගාවේ විවිධ රාජකාරී කටයුතු ඉටු කරන මෙම කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා වනුයේ දියවඩන නිලමේවරයාය.

කාර්ය මණ්ඩලය සඳහා කි‍්‍රයා කරනු ලබන අය සුවිශේෂිත නම් වලින් හැඳින්වෙන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කාර්ය මණ්ඩලයට පත් වනුයේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ සඳහා හිමි වන උරුමය අනුවය.
දියවඩන නිලමේ

ශ‍්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු දියවඩන නිලමේවරයාය. මාලිගාව සතු සියලුම චංචල නිශ්චල දේපළ පරිපාලනය, රාජකාරීවරුන් පත් කිරීම හා දළදා වහන්සේට චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීම සිදු කරන දියවඩන නිලමේවරයා ශ‍්‍රී දළදා මාලිගයේ කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියාද වේ.


පැරණි රජ දවස රජ මාලිගයත් ශ‍්‍රී දළදා මාලිගාවත් දෙකක් නොව එකක් ලෙසම සැලකිනු හෙයින් එම රජ දවස දියවඩන නිලමේ වරයාට සාම්ප‍්‍රදායක චාරිත‍්‍ර වාරිත‍්‍ර රැසක්ම ඉටු කිරීමට තිබිණි.

පැරණි රජ වාසලෙහි දියවඩන නිලමේ තනතුරු කිහිපයක්ම තිබූ බවට සඳහන් වන අතර රජුගේ ස්නානාගාරය වූ උල්පැන්ගෙයි බාරව මහ දියවඩන නිලමේද පල්ලෙවාහල බිසෝවරුන්ගේ උල්පැන්ගෙයි බාරව දියවඩන නිලමේවරු තිදෙනෙක්ද වූහ. මෙයට අමතරව ශ‍්‍රී දළදා සමිදු වැඳ පුදා ගැනීමට රජුන් පැමිණි විට දෑතට පැන් වැඩීමට තවත් දියවඩන නිලමේවරයකු විය.

දළදා මාලිගාව සතු ගම්බිම් ඉඩ කඩම් රැක ගනිමින් පාලනය කිරීම මෙන්ම වාර්ෂික ඇසළ මංගල්‍ය ඇතුළු මංගල්‍යයන් සාර්ථකව පැවැත්වීමද දියවඩන ඬලමේවරයා සතු වගකීමකි. පෞරාණික චාරිත‍්‍ර වාරිත‍්‍ර සම්ප‍්‍රදායන් රැක ගනිමින් මනා ලෙස ඒවා ඉටු කිරීමද දියවඩන නිලමේවරයාට පැවරෙන ප‍්‍රධාන වගකීම් අතර වේ.

මේ අතර දියවඩන නිලමේ වරයාගේ අතිශයම වැදගත්කම පිළිබිඹු වන්නේ දළදා සමිඳු වැඩවසන කරඬු විවෘත කිරීමට තිබෙන යතුරු තුනෙන් එක් යතුරක් දියවඩන නිලමේවරයා බාරයේ තිබීමයි. අනෙක් යතුරු දෙක මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බාරයේ තිබේ.

1814 සිට මේ දක්වා දියවඩන නිලමේවරුන් 18 දෙනෙකු ශ‍්‍රී දළදා මාලිගාවේ සේවය කර ඇති අතර වර්තමාන දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ඒ අනුව 19 වන දියවඩන නිලමේවරයාය.

වර්තමාන දියවඩන නිලමේතුමන් 2005 ජූලි 01 දා මෙම ගෞරවණීය තනතුරට තේරී පත් වුණු අතර ඉංග‍්‍රීසීන් විසින් සම්මත කරනු ලද විහාර දේවාලගම් පනත අනුව දියවඩන නිලමේ තනතුර ඡන්දයෙන් තෝරා පත් කර ගැනීම සිදු වේ. එම තනතුරේ නිල කාලය වසර දහයක් වේ.

කාරියකරවන කෝරාළ

දියවඩන නිලමේවරයාට පසු ශ‍්‍රී දළදා මාලිගාවේ සිටින ඊළඟ ඉහළම නිලධාරියා කාරියකරවන කෝරාළ හෙවත් කාරිය කෝරාළය. වර්තමානයේ එම තනතුර හොබවන්නේ කේ. එම්. කරුණාතිලක මහතාය. ඔහු වසර තිහක කාලයක් මෙම තනතුර දරනු ලබයි.

ශ‍්‍රී දළදා මාලිගාවේ ඇතුල් කට්ටලය හා පිට කට්ටලයේ අනෙකුත් කාර්ය මණ්ඩලය ලවා කාර්ය කරවීම ඔහු සතු ප‍්‍රධාන වගකීමක් වේ. ශ‍්‍රී දළදා තේවා සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරවීම අඩු පාඩු සොයා බැලීමද ඔහුට පැවරෙන රාජකාරියකි.

දළදා මාලිගයෙහි මුළුතැන්ගෙයි බෑවීම් ආදිය නිසි ආකාරයට ඉටු කරලීම මාලිගාවට අවශ්‍ය සියලු දෑ සපයා ගැනීමත් කාරිය කරවන කෝරාළ සතු තවත් වගකීමකි. මෙයට අමතරව පෙරහර මංගල්‍යයට අදාළ ගම්වලින් නිල කාරයන් ගෙන්වා ගෙන ඔවුන්ගේ සේවය සිරිත් පරිදි ඉටු කරවා ගැනීම හා මාස් පතා මුරට යෙදවීමත් ඔහුට අයත් රාජකාරියකි.

ඇසළ පෙරහරේ කරඬුව වැඩම කරන හස්තියාට ඉදිරිපසින් ගමන් කිරීමද කාරිය කරවන කෝරාලට හිමි වන සුවිශේෂී ස්ථානයකි.

වට්ටෝරු රාළ

උඩ මහලයේ හදුන් කුටියෙහි තේවාවට ගනු ලබන වටිනා රන් භාණ්ඩ ඇතුළු උපකරණ වල සුරක්ෂිතභාවය රැක ගැනීමටත් එම කුටිය පවිත‍්‍රව තබා ගනිමින් දළදා වහන්සේගේ තේවා කටයුතු සිදු කරන හිමිවරුන්ට ඒ සඳහා සහය වීමටත් වට්ටෝරු රාළට හිමි වන රාජකාරී අතර විශේෂ වේ.

මොහුගේ සුවිශේෂතම රාජකාරිය වනුයේ තේවාව භාර නායක හිමියන්ගේ බාරයේ තිබෙන වැඩසිටින මාලිගාවේ හා පල්ලේ මාලයේ යතුරු උරහිස මත තබාගෙන පයිංඩ කිරීම හා තේවා කටයුතු අවසන් වූ පසු දොරවල් නිසි ලෙස වැසීමට සහය වී එම යතුරු යළි පයිංඩ කිරීම හෙවත් ගෙනවිත් තැබීම ය. ඒ අනුව යතුරු කට්ටල තුනක් දිනපතා උරහිස මත තබාගෙන හේවිසි මණ්ඩපය හරහා ගෙන යාම හා ආපසු ගෙන ඒම ඔහු විසින් සිදු කරනු ලබයි. දියවඩන නිලමේ හා කාරියකරවන කෝරාළ ගමන් නොකරන දියකැපුම් පෙරහරේ ගෙඩිගේ විහාරය දක්වා වට්ටෝරු රාළ ගමන් කරයි.

ගෙපරාළ

සදුන් කුටියට යාබද ගෙපලුම් බරදය භාරව රාජකාරී කිරීම ගෙපරාළ සතු ප‍්‍රධාන වගකීමකි. එමෙන්ම කවිකාර මඩුව සතු රිදී උඩැක්කි පන්තේරු ආදී භාණ්ඩ ආරක්ෂා කිරීමද මොහුට පැවරී ඇත. තේවා කටයුතු සඳහා උණු පැන් ගෙන යාමද දහවල් බුද්ධ පූජාව මුළුතැන්ගෙයි සිට කත්තියන බරාදය දක්වා ගෙන යාමද මොහු විසින් සිදු කෙරේ. වට්ටෝරු රාළගේ සහයකයා සේ කි‍්‍රයා කරන ගෙපරාළ තුන්මස ඉක්මවූ දරුවන් දන්ත ධාතූන් වහන්සේට පූජා කිරීම සඳහා වන කාර්ය මෙහෙයවයි. ඇසළ පෙරහරේ මංගල්‍යයේ රන්දෝලි පෙරහරේ දෑල ගමන් කරනු ලබන හස්තියකු පිට නැග මල් ඉසීමද මොහු විසින් සිදුකරනු ලබන තවත් කාර්යකි.

කත්තියන රාළ

මුළුතැන්ගෙයි පිලියෙළ කරනු ලබන දානය පාත‍්‍රවල තැන්පත්කර හේම කදෙහි තබාගෙන උඩමාලයේ කත්තියන බරාදයට ගෙන ඒම සිදු කරන්නේ කත්තියන රාළ විසිනි. දානයට පූජා කරන භාණ්ඩ පිරිසිදු කැර ඒවා නිසි පරිදි තැන්පත් කිරීම ආදියද මොහු විසින් සිදු කරනු ලබයි. තේවා කටයුතු අවසන් වී දොර වැසූ පසු හේවිසි කරුවන්ගේ මුර ඇසීමද මොහුට අයත් රාජකාරියකි. වැඩසිටින මාලිගාවේ දොරවල් විවෘත කළ බව බුද්ධ පූජාව ආරම්භ කළ බව බුද්ධපූජාව අවසන් වූ බව හා වැඩසිටින මාලිගාවේ දොර වැසූ බව සංකේතවත් කරන ඝණ්ඨාරය නාද කිරීමද කත්තියන රාළ සතු රාජකාරියකි.

හක්ගෙඩි රාළ

නානුමුර මංගල්‍ය පෙරහර මංගල්‍ය කරඬුව වැඩම කිරීම පොහෝ දින ආදි සුවිශේෂ අවස්ථා හා දිනයන්හිදී හක්ගෙඩිය පිබීම මොහුට අයත් ප‍්‍රධාන වගකීමකි. මෙයට අමතරව මුළුතැන්ගෙයි සාදන දානය පාත‍්‍රා වලින් කත්තියන බරාදයට ගෙන යාම හා තේවාව අවසන්පසු එම පාත‍්‍රා යළි ගෙන ඒමද හක්ගෙඩි රාළට පැවරී ඇත.

දොරකඩ ආරච්චි

වැඩසිටින මාලිගාවේ දොරවල් මුර කිරීම දොරකඩ ආරච්චි හෙවත් දොරේ ආරච්චිට පැවරී ඇත. පාත මාලයේ රිදී දොර අසළ සිට වටිනා භාණ්ඩ ආරක්ෂා කිරීම මොහුට පැවරී තිබෙන තවත් රාජකාරියකි. මෙයට අමතරව උඩ මාලයට යන අය පිළිබඳ විමසිලිමත්ව සොයා බැලීමද මොහුගේ රාජකාරියකි.

පල්ලේමාල රාළ

පල්ලේමාලේ තේවා කටයුතු භාර ස්වාමින් වහන්සේලාට ඒ සඳහා සහාය වන මොහු යතුරු පයිංඩ කරන විට සදගල අසලදී පල්ලේමාලයේ යතුරු භාර ගෙන පල්ලේමාලය දක්වා යතුරු ගෙන යයි. මෙයට අමතරව රන්දෝලි පෙරහර මංගල්‍ය දෑල ඇතකු පිට නැග එක් පසකින් මල් ඉසීමද මොහුට පැවරී ඇති සුවිශේෂී රාජකාරියකි. අවසන්රන්දෝලි පෙරහරින් පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කළ පසු එහි තේවා කටයුතු සඳහා සහය වීමද පල්ලේමාල රාළට පැවරී තිබේ.

මුලුතැන්ගෙයි රාළ

අළුයම බුද්ධ පූජාව දහවල් මුළුතැන (ව්‍යංජන 32 ක් සහල් සේරු 32 කින් දානය සැකසීම) හා සවස ගිලන්පස සූදානම් කිරීම සිදු කරන මුළුතැන්ගෙයි රාළ ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ද කාරියකරවන කෝරළ මගින් ලබා ගැනීම සිදු කරයි.

නැකත් මොහොට්ටාල

පෙරහර මංගල්‍ය ඇතුළු සතර මංගල්‍යන් සඳහා මෙන්ම ශ‍්‍රී දළදා මාලිගාවේ අනෙකුත් සුබ කටයුතු සඳහා නැකත් සකස් කිරීම නැකත් මොහොට්ටාල සතු වගකීමකි. එසේ සකස් කරන නැකත් මොහු විසින් දියවඩන නිලමේවරයාට භාර දෙයි.

හේවිසි කරුවන්

අළුයම දහවල් හා සවස කාලයේ හේවිසි මණ්ඩපයේ හේවිසි වැයීම සිදු කරන මොවුන් උඩවෙල මාලගම්මන ඉහළවෙළ මොළගොඩ යන පරම්පරා හතරට අයත්ය.

කවිකාර මඩුව

නානුමුර හා පොහෝ දින වල කවි ගායනා කරමින් ප‍්‍රසස්ති ගැයීම සිදු කරන මොවුන් පෙරහර මංගල්‍යයේදී දළදා කරඬුව රැගත් හස්තියා ගමන් කරන ස්ථානයට පිටු පසින් කවි ගායනා කරමින් ගමන් කරයි.

මෙයට අමතරව ශ‍්‍රී දළදා මාලිගාවට අයත් මේ ප‍්‍රදේශ සඳහා විදානේවරු දස දෙනෙක්ද රාජකාරී කටයුතු කරන අතර එම ප‍්‍රදේශවල මාලිගාවට අයත් ඉඩම්හි රාජකාරී කොටස් මාලිගාවට ගෙනත් දීම මොවුන් සතු වගකීමකි. තවද මාලිගාව මගින් නිකුත් කරන නියෝග එම ගම් ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක කිරීමද විදානේවරුන් දස දෙනාට පැවරී ඇති රාජකාරියකි. අලදෙණිය, කලුගමුව, පිටිගොඩ, දොරලියද්ද, අලපලාවල, රදාගොඩ, පිලිගල්ල, අංගොඩ, මුංවතුගොඩ, ඒ දඬුවාව, ආදි ගම් ප‍්‍රදේශ නියෝජනය කරන මෙම විදානේවරු දස දෙනා ඇසළ පෙරහරේ දියවඩන නිලමේ වරයාට පිටුපසින් ගමන් කරයි.

සටහන – ඉන්දික පොල්කොටුව

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.