හැදියාව පසුබිම් වූ ඉගෙනීම හැම ජනකොටසකට ම යෝග්‍යයි …

අධ්‍යයන – ඉගෙනීම, අධ්‍යාපන – ඉගැන්වීම, අධ්‍යාපක – ගුරුවරයා, බෞද්ධ අධ්‍යාපනය හැදියාව පසුබිම් කැරැගත් ඉගැන්වීමයි. අහිංසක නිවැරැදි කවර විෂයයක් හෝ හැදියාව පසුබිම් කැරගෙන උගන්වනවා නම් එය බෙ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෟද්ධ අධ්‍යාපනයයි. හැදියාව පසුබිම් කැරගත් අධ්‍යාපනය හැම ජාතියකට ම හැම ආගමකට ම යෝග්‍යයි.

මෙහි හැදියාවට භාජන වන්නේ කුමක් ද? මනස යි. මනස්ස උස්සන්නතාය මනුස්සෝ – දියුණුවන මනසක් ඇත්තේ මිනිහා ය. තිරිසන් සතුනට ද මනසක් ඇත. එහෙත් එහි දියුණුවක් නැත. එහෙයින් ගොනා උපන්දාත් ගොනා, මැරෙන දාත් ගොනාම යි. තිරිසන් සතුන්ගෙන් කෝටියකට එකකුගේ පමණ බුද්ධි දියුණුවක් දක්නට ලැබෙයි.

උපන්දා පටන් දරුවාගේ කය හදනවා විනා මනස හැදීමක් දක්නට නැත. මෙකලැ පාසල්වල ද බුද්ධි වර්ධනය විනා මනස – මිනිසා හැදීමක් දක්නට නැත. ආගම විෂයයක් හැටියට ඉගැන්වීමෙන් මනස හැදෙන්නේ නැත. එය නිකම් විෂය හැදෑරීමක් පමණයි. දැන් ආගම උගන්වන පිළිවෙළ මඳක් සලකා බලන්න. පන්තියේ භූගෝල පාඩම උගන්වයි. සීනුව හඬ දෙයි. ඊළඟ පාඩම ආගම යි. එයත් පෙර සේ ම විෂයයක් හැටියට උගන්වයි. සමහර විට ඊළඟ පාඩම ධීවර කර්මාන්තය විය හැකි ය. මා හොඳින් දන්නා හැටියට කලින් එක පාසලෙක ආගම ඉගැන්වූයේත් ධීවර කර්මාන්තය ඉගැන්වූයේත් එක ම ගුරුවරයා ය. වරද පෙන්නා දීමෙන් පසු එය වෙනස් කළේ ය.

ධීවර කර්මාන්තය පාසල්වල ඉගැන්විය යුත්තක් නො වේ. එයින් මනස නපුරු වේ. ඒ නපුරු ගතිය දියුණු වුණාම මිනිසුන් මැරීම සුළු කටයුත්තක් වනු අ‍ැත. ධීවර කර්මාන්තය අවුරුදු දහස් ගණන් පැවැත එන්නේ පාසල්වල උගන්වා නො වේ. මේ අදූරදර්ශී මෝඩ වැඩ නතර කරන්න. මෙබඳු මනස නපුරු කරන, මිනිහා නරක් කරන වැඩ කවර ආගමක වත් පිළිගන්නේ නැත. තව ද ජීව විද්‍ය‍ාව හදාරන්නට කියා පණ ඇති සතුන් කැපීම මනස නපුරු කරන බරපතල වරදෙකි.

විද්‍යාව දියුණු මෙබඳු කාලයෙක චිත්‍රපටියක් හදාගත්තාම ඒ විශයයන් උගන්වන්නට පිළිවන් බව යුරෝපයේ විද්‍යාඥයන් කියා ඇත. යුරෝපයේ ඇතැම් වෛද්‍ය විද්‍යාලයවලත් පණ ඇති සතුන් කපන්නේ නැත. මනස නරක් කරන නපුරු කරන කිසි ම ඉගැන්වීමක් අවශ්‍ය නැත.

පාසල්වල ආගමික පරිසරයක්

ආගම ඉගැන්වීමේ නියම ප්‍රයෝජන ගන්නට නම් ආගමික පරිසරයක් ඇති වෙන ම ස්ථානයක් තිබිය යුතු ය. අද තිබෙන තත්ත්වය අනුව මුළු පාසලේ ම ආගමික පරිසරයක් ඇති කිරීම දුෂ්කර වේ. එහෙයින් එයට සුදුසු කාමරයක් වෙන් කොට එහි පූර්ණ ආගමික පරිසරයක් ඇති කළ යුතු වේ.

අපේ ළමයිනට ආගම පසුබිම් කැරගෙන අධ්‍යාපනයක් දීම ඉතා අවශ්‍යයි. ආගම ඉගැන්වීමෙන් පමණක් එය සම්පූර්ණ නො වේ. එයට ආගමික පසුබිමක් තිබිය යුතු ය. ලංකාවේ තිබෙන ආගම් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි ය. බෞද්ධ, හින්දු, කෛ‍්‍රස්තව, ඉස්ලාම් වශයෙනි. දැනට මත් අධ්‍යාපනය ලබන ළමයින් හතළිස් ලක්‍ෂයෙන් තිස්නව ලක්‍ෂයක් පමණ යන්නෙ‍් රජයේ පාසල්වලට ය. ඒ පාසල් රජයේ බෞද්ධ පාසල්, හින්දු පාසල්, කෛ‍්‍රස්තව පාසල්, ඉස්ලාම් පාසල් යයි නම් කොට ඒ ඒ ආගමික පරිසරයක් ඇති කළ යුතු ම යි. එසේ නැති ව ආගම් විෂයයක් හැටියට ඉගැන්වීමෙන් පමණක් ළමයින්ගේ හැදියාවක් ඇති වන්නේ නැත.

අපේ ළමයිනට උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්ව දීම ඉතා වැදගත්. ශිෂ්‍යත්ව ලබන ළමයින් කොළඹ ප්‍රධාන පෙළේ විද්‍ය‍ාලයකට ඇතුළු කර ගන්නට මහා තරගයෙකි. ඇතුළු කැර ගත්තාට පසු වියදම් වන මුදල් ශිෂ්‍යත්වයෙන් ලබා ගත නොහැකි ය. උවමනා අතිරේක වියදම් සපුරා ගන්නට දෙමාපියන්ට සිදු වෙනවා. සමහරු ණය වෙනවා. කනකර ආභරණ උගස් තබනවා. මහ කරදරයක් විඳිනවා.

මෙකලැ හැම මන්ත්‍රී ආසනයක ම වාගේ මධ්‍ය මහා විද්‍යාලයක් තිබෙනවා. සමහර විද්‍යාලය නමට පමණයි. ඒ හැම විද්‍යාලයක් ම මුල් මධ්‍ය මහා විද්‍යාලය තත්ත්වයට දියුණු කරන්න, අපේ ගමේ ළමයින් ගමේ කමත් බෞද්ධ කමත්, සිය ආගමික කමත් රැකගෙන උසස් අධ්‍යාපනයත් ලබනවා ඇත. පාලන තන්ත්‍රයෙහි එබඳු අය වැඩි වුණාම රටේ පාලනයත් හොඳ වෙනවා නොඅනුමාන යි.

පන්සලේ පෙර පාසල්

ප්‍රාථමික අධ්‍යාපනය ආගමික සිද්ධස්ථානවල පැවැත්වීම මැනැවැයි යනු ශ්‍රීමත් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ අදහස වී ඇත. අදහස හොඳයි. ක්‍රියා කැරවීමෙහි දී ඉතා කල්පනාකාරී විය යුතු ය. පෙර පාසල් ක්‍රමය පළමු වරට ප්‍රකාශ කළෝ බුදුරජාණන් වහන්සේ ය. උන් වහන්සේ දරුවන් සිටින හැම ගෙදරක් ම පෙර පාසල් හැටියට සැලැකූහ. එහෙයින් දෙමවුපියනට පුබ්බාචරිය – පෙරගුරුවරු යන නම තැබූහ. විෂය දෙකයි. අයහපතින් මිදවීම හා යහපතෙහි යෙදවීමයි. අධ්‍යාපන විධිය, ආදර්ශය හා උපදේශය යි‍. කාලය, වයස අවුරුදු පහ අවසන් වන තුරු ය.

ගුරුවර ගුරුවරියන්ගේ ප්‍රධාන යුතුකම් දෙකකි. 1. සුවිනීතං විනෙත්ති – මනා කොට හික්මවීම, මනා කොට හැදීම. 2. සුග්ගාහිතං ගාහාපෙන්ති – මනාකොට ඉගැන්වීමයි.

ප්‍රාථමික පාඨශාලා ආගමික ස්ථානවලැ පැවැත්වීම දූරදර්ශී වැ කළ යුතු වැ‍ෙඩකි. බොහෝ දෙනා ක්‍රීඩා දශකයේ ළමයි ය. ඔවුනට ක්‍රීඩා පිටි අවශ්‍ය නෙ‍ා වේ. පන්සල ක්‍රීඩා පිටියක් කැර ගන්නවාට බොහෝ භික්‍ෂූන් වහන්සේත් බොහෝ දායක දායිකාවනුත් අකැමැති වන්නට හෙ‍ාඳට ම ඉඩ ඇත. දඟකාර ළමයින්ගෙන් නුසුදුසු වැරදි සිදුවන්නත් පිළිවන. හොඳට කරන්නට ගිය වැඩේ නරකට හැරෙන්නත් පිළිවන. පන්සල සමීපයෙහි තිබෙන පාසල ඒ තත්ත්වයට හරවා පන්සලේ ස්වාමීන් වහන්සේ භාරයෙහි ප්‍රාථමික පාසල් පවත්වන්නේ නම් බලාපොරොත්තු වන යහපත හොඳින් සිදු වෙනවා ඇත.

තවද ප්‍රධාන පෙළේ පාසල් දහ තුනක ප්‍රාථමික පන්ති ඉවත් කරන්නට යන බවකුත් ආරංචියි. ඉක්මන් කොට වේ යනු අපේ රටෙහි තිබෙන කතාවෙකි. මීට ප්‍රථමත් ප්‍රාථමික පාසල් ඉවත් කරන්න ගොස් කරදර ඇති විය. මා කලින් සඳහන් කළ පරිදි මෙබඳු ප්‍රශ්න රාශියකට ම හොඳ පිළියම හැම මන්ත්‍රී ආසනයක් ගණනේ ම තිබෙන මධ්‍ය මහා විද්‍යාලය දියුණු කිරීම යි. එවිට ගම්බද ළමයින් නගරබද පාසල්වලට එන්නට උස්සාහ කරන්නේ නැත. දෙමාපියනට වියදම් කරදරත් අඩු ය. එසේ වූ විට බුද්ධිමත් ළමයින් නගරබද ළමයින් පරදවමින් විශ්ව විද්‍ය‍ාලයේ වෛද්‍ය, විද්‍යා, ඉංජිනේරු අංශවල උපාධි ලබනවා ඇත.

පාලක පක්‍ෂයේ පින්වතුනි, දැනට පාසල්වල ඉගෙන ගන්නා හතළිස් ලක්‍ෂයක් ළමයින් සියලු දෙනා ම උපාධිධාරීන් වන්නට උස්සාහ දරන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. අටවන පන්තියේ දී හෝ විභාගයක් තබා එහි ප්‍රතිඵල අනුව උසස් අධ්‍යාපනයකට සුදුසු අය වෙන් කොට අනෙක් අයට කර්මාන්ත පුහුණු කොට ඒ මගින් ස්වයං රැකියා කොට දියුණු වන්නට බැංකුවලින් ණය ආධාර ලැබෙන පිළිවෙළ හදා දෙන්න. එවිට නගරබද පාසල්වල තදබදය හිටින්නේ නැත. එවිට විද්‍යාලයවල ප්‍රාථමික පන්ති ඉවත් කරන්නට උවමනාවකුත් නැත.

වර්තමාන ශ්‍රී ලංකාවේ වාසය කරන ලක්‍ෂපතියන් කෝටිපතියන් ප්‍රකෝටිපතියන් සියලු දෙනා ම ස්වයං රැකියා කරුවන් බව කිසිවිටෙකත් අමතක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ස්වයං රැකිය වර්ණන‍ා කළෙත් ඒ නිසා ම යි.

 

දවස 1989.06.06

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.