Skip to main content

සෞභාග්‍යත් වාසනාවත් උදාකරන සිංහල අවුරුද්ද …

ලෝකවාසී බෞද්ධයන්ට වෙසක් පුන් පොහෝදා කෙතරම් වැදගත් ද එසේම ලාංකික ජනතාවට සිංහල අවුරුද්ද අතිශයින් වැදගත් වේ; සිංහල අවුරුද්දේ ඇතිවන මානසික ප්‍රබෝධයෙන් මිනිස් සිතුම් පැතුම් තුළ ජීවමය ගුණයක් ශක්තියක් ඇති කරයි. හින්දු සංස්කෘතියෙන් සූර්ය වන්දනය මුල්කර ගනිමින් ආරම්භ වූ මෙම චාරිත්‍රය අනාදිමත් කාලයක් මුළුල්ලේ සිංහල සංස්කෘතියේ මුල් බැස පවතී. බුදු දහමේ ආභාසයෙන් එය සිංහල බෞද්ධ හා හින්දු අවුරුද්ද බවට පත්ව ඇත.

දවස් 365 මුළුල්ලේ අපේ ලෝකය ආලෝකවත් කරමින් සූර්යයා අපට කරන මෙහෙය අතිමහත්ය. සෞරග්‍රහ මණ්ඩලයේ සුවිශේෂී ප්‍රධානතම ග්‍රහයා වන සූර්යයා ග්‍රහ මණ්ඩලය තුළත් ඉන් මිනිසා වෙත ඇතිකරන බලපෑම ඡ්‍යොතිෂය අනුව අති ප්‍රබලය. එහි අනිසි බලපෑම් වන ග්‍රහ දෝෂවලින් මිදීමට අවුරුදු උදාවේ අප ඉටුකරන චාරිත්‍ර ඉතා වැදගත් වේ.

සිංහල හා හින්දු ජාතික සමඟිය අප රටට ඉතා වැදගත්ය. වසර 30කට වඩා වැඩි කාලයක් පැවතුණු කොටි ත්‍රස්තවාදය නිසා සිංහල දෙමළ අසමඟිය උග්‍ර විය.

ත්‍රස්තවාදය අවසන් වුවද උතුරේ දරුවන්ගේ සිත්වලට කොටි ත්‍රස්තවාදය විසින් බලෙන් පටවන ලද සිංහල විරෝධී මතවාදය තවම අවසන්ව නැත. බුදු දහමින් මෛත්‍රිය කරුණාව ඇති කළ සිංහලයන් තුළ දැන් දෙමළ විරෝධය පහව ගොස් ඇත. එනිසාම සිංහල හා හින්දු අවුරුදු චාරිත්‍ර තුළින් සමඟිය ගොඩනැඟිය හැකි ප්‍රබලම සාධකයක් ගොඩනැඟිය හැකිය. හින්දු හා බෞද්ධ ආගමික මිත්‍රශීලීභාවය වර්ධනය කරගත හැකි වසරේ හොඳම කාලය අවුරුදු සමයයි.
මෙය බෞද්ධ ජනතාව හා භික්ෂූන් වහන්සේලාත් හින්දු ජනතාව හා පූජකවරුන් තේරුම්ගත යුතු සත්‍යයකි.

හෙළයේ අලුත් අවුරුදු චාරිත්‍රවලියේ එදා අරමුණ වූයේ යහපත් සමාජයක් පවත්වාගෙන යාමට හේතුවන සමාජ සිරිත් විරිත් නව යෞවනත්වයට ලබාදී විශේෂයෙන් බාල පරපුරට ආදර්ශයෙන් ඒවා ප්‍රගුණ කරවීමය. ජාතියේ යහපත් අඛණ්ඩ ශක්තිසම්පන්න පැවැත්ම සහතික කළේ සිංහල අවුරුදු චාරිත්‍ර තුළිනි.

වසර 3000කට වඩා වැඩි කාලයක් තිස්සේ දේශීය විදේශීය කිසිදු රුදුරු බලවේගයක් අතින් විනාශ නොවී මෙතෙක් හෙළයේ උදාර හැදියාව පවත්වාගෙන එන ලද්දේ මෙම අවුරුදු චාරිත්‍රාවලියේ අනුහසනි. මෙසේ අවුරුදු පතාම ජාතික සිරිත් විරිත් පිළිබඳ ලොකු කුඩා සියලු දෙනා වෙත ඒවායේ හරවත් බව වටහා දී නිවැරැදිභාවයට දිරි දීම සිදුකළ යුතුව ඇත. එහෙත් ඒවායේ හරය නොදන්නා ඇතැමෙක් ඛේදජනක ලෙස විකෘති කර දැක්වීම ජාතියේ අවාසනාවකි. එසේ විකෘති කිරීම් ආරම්භ වුයේ යම් දවසක ද එමඟින් හෙළ සිරිත් විරිත් නොසලකා හැරියේ යම් දවසක ද එදා සිට ජාතිය පිරිහී විනාශ වන්නටත් වේලාවට වැඩ නොකිරීමේ අවමානයට පත්විමට සිදුවූ බව ජාතිය පිළිබඳ අභිමානයක් ඇති බාල පරපුර පිළිබඳ අවංක කැක්කුමක් ඇති සියල්ලන් විසින් දත යුතු අමිහිරි සත්‍යයකි.

අපි දැන් හෙළ අවුරුදු චාරිත්‍ර තුළින් ලබා දෙන හරයන් පිළිබඳ නිවැරැදිව අවබෝධයක් ලබාගනිමු.

මුලින්ම සැලසුම් සහගතව වේලාව නොවරදවා අපේ ජීවිත සකස් කිරීමේ අගය කියාදෙයි. කොවුල් ගී නද බක්මහේ අසිරිය සමඟ මලින් ඵලින් බර ගහකොළ මෙන්ම මීමැසි, කුරුළු, සිවුපා ආදී සතුන්ගෙන් ගහන පරිසරය අවුරුදු පණිවුඩය ගෙන එන විට ගොවිතැන් වැඩ නිමවා අටුකොටු පුරවාගත් මිනිසුන් ගේ දොර අලුත්වැඩියා කොට ඇඳුම් පැලඳුම්, කැවිලි පෙවිලි කෑම බීම හැළිවළං ආදිය සූදානම් කරයි. එසේම රබන් ඔංචිල්ලා පංච පෙත ආදිය අවුරුද්ද ලබන්නට පෙර සූදානම් කර තබයි. එයින් ජීවිත සැලසුම් කිරීමේ ගුණය හෙළ ජනතාවට කියාදෙයි. මෙහි වාර්ගික භාෂා ආගමික භේදයක් ඇතිවන්නේ නැත.

පූර්ව අවුරුදු චාරිත්‍ර ලෙස පුද්ගලයා බාහිර හා ආධ්‍යාත්මික පාරිශුද්ධතාවයකට පත් කරයි. පරණ අවුරුද්ද වෙනුවෙන් කළ යුතු කාර්ය අවසන් කොට ස්නානය කරන්නේ බාහිර වශයෙන් පිරිසුදුවීම සංකේතවත් කිරීමටයි. අනතුරුව එළඹෙන ‘නොනගතය’ අන් කිසිදු කටයුත්තකට නොයොදා ආගමික කටයුතුවලට පමණක් සීමා කරන්නේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබීමටය. අද දවසේ පවා සියලු ආගමික බැතිමතුන්ට තම ආගමට අනුව පන්සලට පල්ලියට කෝවිලට යෑම තුළින් හෙළ චාරිත්‍ර අනුව ජීවිතය අලුත් කර ගැනීමේ වරද කුමක්ද?

සදාචාර සම්පන්න සමාජයක් සඳහා අවශ්‍ය සාරධර්ම ගුණ ධර්ම ක්‍රියාවෙන් ප්‍රගුණ කරවීමට හා සියලු භේදවලින් තොරව සමගියෙන් කෙළිදෙලෙන් ජීවත්වීමේ අවස්ථාව මෙමඟින් සැලසේ.

හෙළ සමාජයේ පවුලේ ප්‍රධාන කාර්යභාරය හිමි මව විසින් අලුත් අවුරුද්දේ පළමු කාර්යය වශයෙන් සියලු සත්වයන්ගේ පැවත්මට අත්‍යවශ්‍ය වූ ශක්තිය ලබාදීම සංකේත කරමින් ළිප ගිනි මොළවයි.

අලුත් අවුරුදු බත සූදානම් කරයි. ශක්තිය පමණටම අපට නැතිවම බැරි ජලය සපයන ළිඳට කලගුණ දක්වමින් මව විසින් ඊළඟට ඖෂධ පිණ්ඩයකින් ළිඳ සමඟ ගනුදෙනු කරයි. හෙළයේ කාන්තාවගේ උදාරත්වය අගය කළ තරම මෙයින් පෙන්නුම් කරනවා නොවේද? හෙළයා අජීවී වස්තූන්ට ද කළගුණ දැක්වූ ජාතියක් බව සනාථ කළ හැටි මෙය කදිම නිදසුනකි.

ඉන්පසු අලුත් අවුරුදු කෑම ඉඳුල් කිරීම යෙදේ. මෙය සිදුවන්නේ ඉතා වාසනාවන්ත සුරතකිනි.

පවුලකට පියා සීයා හැර වෙනත් වාසනාවන්තයකු හිටිය හැකිද? පියා ලවා කෑම ඉඳුල් කිරිම යනු බත් පිඩ බැගින් පවුලේ සියලු දෙනාට ඔහු අතින් කැවීමය.

මෙයින් අදහස් කෙරෙන්නේපවුලේ අඹුදරුවන් පෝෂණය කිරීමේ මහා වගකීම ඔහු සතු බව මතක් කරදීමය. එහෙත් අද කුමන හෝ දුෂ්ට මාර්ගවලින් ක්ෂණිකව පොහොසත් වූ අය වාසනාවන්තයන් යැයි සලකා කෑම ඉඳුල් කිරීමට කැඳවීමෙන් හෙළ සිරිත් විනාශ කරනු දැකීම ඛේදනීය තත්ත්වයකි. පිටස්තරයකු කැඳවූ විට ඔහු ගේ ගෙදර කෑම ඉඳුල් කරන්නේ කවුරුන්ද? ඔහුගේ ගෙදරට ඉටුවිය යුතු යුතුකම් මතක් කර දෙන්නේ කවුද? හැරත් ආගන්තුක නිවසේ අඹුදරුවන් පෝෂණය කිරීමේ වගකීම ඔහුට පැවරිය හැක.

දැන් කළ යුතුව ඇත්තේ තම පියා හෝ සීයා ඉඳුල් කට ගෑ පසු පසුව හිතවත් ආගන්තුක වැදගත් පුද්ගලයකුට සංග්‍රහ කිරීමයි. එහෙයින් අපේ සිරිත්වල හරය තේරුම්ගෙන ඒවා නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට දැන්වත් හිතාගනිමු.

අලුත් අවුරුද්දට තම තමන්ගේ රැකියා අනුව වැඩ ඇල්ලීම සිදු කළ යුත්තේ ඉන් පසුවය. නොනගතය වෙලාවේ සිට උපවාසයේ යෙදී සිටි අය කුස පුරවා සිත පුරවා ප්‍රබෝධයෙන් එය ඉටු කළ යුතු බැවිනි. කුසගින්නේ සිටින අයෙකුට බණ කීමට පෙර දන්ගෙයින් කුස පිරවීමට කියා දුන් බුදු හිමි දහම අනුව ද සෞඛ්‍යමය සිද්ධාන්ත අනුව ද නිරාහාර තත්ත්වයෙන් වැඩ ඇරැඹීම අනුචිත විය. එය හොඳින් දැන සිටියෙන් කෙතේ වැඩට එන අයට ද උදේ සප්පායම ලබාදී වැදගත් සිංහල ජාතිය අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේ ආහාර ගැනීමෙන් පසුවය.

අවුරුදු නැකතට පල ඇති පැළයක් සිටුවීමට අමතක නොකළේ ස්වභාවධර්මයා සමඟ ජීවත් වූ හෙළයා පරිසරයට දැක්වූ අසීමිත ආදරය නිසාය. දැන් මේ තත්ත්වය පහව යමින් පවතින නිසා ස්වභාවධර්මය ද කම්පාවට පත්ව ඇත. එනිසා මේ වසරේ සිට හෝ ඵල ඇති පැළයක් ඔබත් සිටුවීමට අමතක නොකරන්න.

අනතුරුව හෙළ විශිෂ්ටතම ගුණයක් ක්‍රියාවට නංවමින් අසල්වාසීන් සමඟ කෑමබීම බෙදාගැනීමේ සිරිත එළඹෙයි. වැඩිහිටි වැඳුම් පිදුම් ආශිර්වාදයන් ලබාදීම තෑගි බෝග හුවමාරුව අමනාපකම් හැරදා සමඟි වීම සියල්ල සක්‍රිය වේ. සියල්ලෝම ස්ත්‍රී, පුරුෂ බාල තරුණ මහලු භේදයකින් තොරව ගම පුරා ඇවිද නෑදෑයින් බැහැදැකීමෙන් ද ජනක්‍රීඩාවේ යෙදෙමින් ප්‍රීතියෙන් ප්‍රබෝධමත් වෙති.

ඔංචිල්ලා වාරම් රබන් සුරල් ආදී ජන ක්‍රීඩාවලින් ගමම අසිරිමත් වේ. අද මෙන් කේක් පාන්පිටි බිස්කට් නොව රසකැවිලි කමින් බොමින් සතුටු වන පිරිස් බොහෝ නිරෝගීය. අවුරුදු දා මුළු ගමම මඟුල් ගෙයකි. අද මෙන් තරගකාරීත්වයෙන් අවුරුදු උත්සව පවත්වීම ගුටිකෙළි වාද විවාද එදා තිබුණේ නැත.

ශක්තිසම්පන්න සමාජයන් සඳහා නිරෝගී බවේ අවශ්‍යතාවය හා නව ප්‍රාර්ථනා සමඟ නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවනු ලබයි.

අවුරුදු දින කීපය තුළ කාබී සතුටු වූ සැමට සෞඛ්‍යසම්පන්න භාවයේ වැදගත්කම සිහිපත් කර දුන්නේ හිසතෙල් ගා ස්නානය කිරීමේ චාරිත්‍රයෙනි. හිසට දෙපයට ඖෂධීය ශාක වර්ග තබා ශරීරයේ ප්‍රධානම අංගය වූ හිසෙහි නානු ගෑමෙන් සියලු ලෙඩ රෝග සමනය කිරීම සංකේත කරයි.

ඉන්පසු ප්‍රීති ප්‍රමෝදයෙන් නව ප්‍රාර්ථනා ඇතිව අධිෂ්ඨානශීලීව රැකියා සඳහා යන්නේ සමාජයේ නිෂ්පාදන ක්‍රියාවලිය නැවත පණගැන්වීමටය. මේ සියල්ල ඉතා අර්ථවත් ක්‍රියාවලියන්ය. එහි හරය විශාලය. අගය ද මිල කළ නොහැකිය.

වෙලාවට වැඩ කිරීමේ අගය වටහා පමණක් නොව අවුරුදු ප්‍රබෝධය සීමා රහිතව දිනිග් දිගට පැවැත්වීමේ වැදගත්කම වටහා දෙනු ලබයි. සිංහල අවුරුද්දෙන් ආරම්භ වන මේ අසිරිය ජාතියේ ප්‍රබෝධවත් දැක්ම සිත් තුළ ජනිත කරමින් සියල්ලන්ම එකාමෙන් සිතන පටු අදහස්වලින් තොරවූ සංකල්පයකි.

වැඩිහිටියන් වශයෙන් අප මේ හර පද්ධතීන් සමාජයට යළිත් දායාද කරදීමට මේ අවුරුද්ද තුළ දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතුව ඇත. බෞද්ධ හැඟීම් වඩාත් වර්ධනය කරමින් සම්බුද්ධත්ව ජයන්තියට පෙළගැසිය යුත්තේ සිංහල අලුත් අවුරුද්දේ නිවැරැදිව චාරිත්‍ර වාරිත්‍ර සිදුකොට නව සංකල්පනාවන් සිත තුළ ඇතිකරගෙනය.

ඔබ සැමට සුබ අලුත් සිංහල අවුරුද්දක් වේවා.

විතාරන්දෙණියේ මේධානන්ද හිමි
කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරවාසී
කොළඹ දිස්ත්‍රික් (පිරිවෙන්) සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති

දෑහිතකාමීත්වයෙන් එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.