සියලු ම පාසල් රජයට ගතයුත්තේ ඇයි ?

(1958 ජනවාරි පළමු වන දා වන විට ආධාර ලබන සියලු ම පාසල් රජයට ගත යුතු යැ යි. බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභා වාර්තාවෙන් යෝජනාවෙක් කැරිණ. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා ගේ හදිසි මරණයෙන් පසු ඒ යෝජනා පමණක් නො ව, එ කී වාර්තාව ද යටපත් ව ගියේ ය. අප මහානායක මාහිමිපාණන් වහන්සේ මේ ප්‍රශ්නය නැවැත මතු කොට ජනතාව ගේ ඇස් අරවනු වස් ලිපි රැසක් පුවත්පත්හි පළ කරවා මහ හඬක් නැංවූයේ මේ අවස්ථාවෙහි ය. එදිරිවාදුවන්ගේ නොයෙක් තර්ජන ගර්ජන මැද කැරුණු මේ සටනින් 1960 දෙසැම්බර පළමු වැනි දා ජය ලැබිණි – උපකෘත පාඨශාලා ස්වල්පයක් හැර ඉතිරි සියල්ල ම ජයට පවරා ගැනිණි. මෙහි ලා පළ වනුයේ එ ම ප්‍රශ්නය පිළිබද ව ගුවන් විදුලියෙන් කැරුණු කතාවෙකි)

ආධාර ලබන පාසල් ක්‍රමය අහෝසි කර රජයේ එක මණ්ඩලයෙකින් සියලු පාසල් පාලනය කළ යුතු ය යන ශ්‍රෙෂ්ඨ අදහස මීට අවුරුදු 55 කට පෙර මුලින්ම ඉදිරිපත් කළේ සිංහලත් නොවන බෞද්‍ධත් නොවන අය වුව ද මෑත කාලයෙහි මේ ගැන මහත් උද්ඝෝෂණයක් කෙළේ බෞද්‍ධයන් බව කවුරුනුත් දන්නා කාරණයෙකි. බෞද්‍ධයන් වැඩි සංඛ්‍යාවක ගේ මතය පිඬු කොට කොමිෂන් සභා වාර්‍තා දෙකේ දක්වා තිබන්නේ මෙ සේ ය.

1958 ජනාවාරි 1 වෙනිදා වන විට ආධාර ලබන සියලු ම පාඨශාලා රජයට භාරගත යුතුය (බෞද්‍ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ වාර්තාව)

ආගම් වශයෙන් අප රට දරුවන් හට වෙන වෙන ම පාඨශාලා පිහිටුවීමෙන් රටේ දියුණූවට ද සමගියට ද බාධ වන හෙයිනුත් ළමයින් ගේ සහජ දක්‍ෂකම් අනුව ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරිමට බාධා වන හෙයිනුත් රජයෙන් අධ්‍යාපනයට වන වියදම අධික වන හෙයිනුත් උපකෘත පාඨශාලා ක්‍රමය අවලංගු කොට රජයේ පාඨශාලා මගින් ම සියලු දරුවන් හට අධ්‍යාපනය දිය යුතු ය – (බුද්‍ධශාසන කොමිෂන් සභා වාර්‍තාව)

මේ නිගමනය මධ්‍යස්ථ ව නුවණින් හා විමසිල්ලෙන් සිතා බලන කවර කෙනකුට වුව ද එහි ඇති සාධාරණත්වයත්, කිසි ම ජාතියකට හෝ ආගමකට හෝ හානිකර කිසිවක් නැති බවත්, පොදුවේ සෑම දරුවකු ගේ ම යහපතට හේතු වන පිළිවෙළක් ඇති බවත් වැටැහෙනුවා ඇත. බුද්‍ධශාසන කොමිෂන් සභාව මෙ බඳු නිගමනයකට බැසගත්තේ කව හේතූන් නිසා ද යනු සැකෙවින් නමුත් එහි ම ඇතුළත් වී ඇත. එහි ප්‍රධාන කරුණු සතරෙකි. උපකෘත පාසල් අවලංගු කිරීම හෝ තිබීම හෝ හොඳ ය නරක ය යන හැඟීමක් නැති ව මධ්‍යස්ථ ව සාවධාන ව සිතා බලන්න.

1. රටේ දියුණුවට බාධා

ආර්ථික – සෞඛ්‍ය – අධ්‍යාපන හා සදාචාර වශයෙන් රටේක දියුණුව සතරකට බෙදෙයි. දැනට පවත්නා අධ්‍යාපන ක්‍රමය විශේෂයෙන් ආර්ථික, අධ්‍යාපන හා සදාචාර යන ත්‍රිවිධ දියුණුවට ම බාධාකරව පවතිනුවා පමණක් නො ව සමාජය ඒ ත්‍රිවිධාකාරයෙන් පිරිහෙන බව ද පෙනේනට තිබේ. අවිශේෂයෙන් සෞඛ්‍ය පරිහානියට හේතු වේ.

වර්‍තමාන සමාජයෙහි උග්‍ර ව පවත්නා ආර්ථික පරිහානිය දිනෙන් දින ම වැඩි වෙනුවා විනා අඩු වන බවක් පෙනෙන්නට නැත. රැකීරක්‍ෂා ප්‍රශ්නය දිනෙන් දින ම උග්‍ර වෙයි. මෙයට හේතුව ජනගහණය වැඩි වීම ය යි කිව හැකි ය. එහෙත් එය පිළිගත නොහැකි ය. කාටත් රැකී රක්‍ෂා තිබෙනුවා නම් ආර්ථික තත්ත්වය හොඳ නම් මේ රටේ ජනගහණය වැඩි ය යන කථාවක් තුබුණේ නැත. එය එ සේ නම් තව ම කෝටියක් නො වීත් ජනගහණය වැඩි ය යි කීමේ හේතු කවරේ ද? අද පවත්නා අධ්‍යාපන ක්‍රමය අනුව කාර්මිකයන්, ඉංජිනේරුවන්, වෛද්‍ය වරුන්, විද්‍යාඥයන් බහුල වෙනුවා ද නැත හොත් ජ්‍යෙෂ්ඨ සමතුන් වැඩි වෙනුවා දැ යි නුවණින් සලකා බලන්න. මේ අධ්‍යාපන ක්‍රමය මෙ ලෙසින් ම තව ටික කලක් ගියොත් කලාවේ දී උපාධිධරයන් ජ්‍යෙෂ්ඨ සමතුන් ගේ ගණයට වැටෙන්නට පුළුවන. පුරාණ කාලයෙහි ආර්ථික තත්ත්වය හොඳින් තබාගැනීමට උපකාර වූ අරපරෙස්සම – ආදායමට සරිලන වියදම් කිරීම, චාම් ජීවිතය ආදිය නැති කොට බාහිර අලංකාරයට රට වැසියා ගිජු කෙළේ මේ අධ්‍යාපන ක්‍රමය නො වේ ද? උගත්කම ලැබුණු අතර නො කා නො බී හෝ විචිත්‍ර ලෙස ජීවත් වන්නට ඉගැන්වූවෝ කවරහු ද? මේ වසගතය අන්තිම පිටිස තෙක් පැතිරවූ‍වෝ කවරහු දැ යි හොඳින් සිතා බලන්න. රැකී රක්‍ෂා ප්‍රශ්න වීසැඳී ආර්ථික තත්ත්වය හොඳ වන්නට නම් දැන් පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු ය. එයින් නිසි ප්‍රයෝජන ලබන්නට නම් දැට පවත්නා පාඨශාලා පාලන ක්‍රමය වෙනස් විය යුතු ම යි.

අකුරු ලියන්න කියන්න පිළිවන් වීමෙන් නො ව, උගත්කමින් වර්තමාන සමාජය දියුණු දැ යි සිතා බලන්න. එ සේ සිතා බැලී මට එක කරුණක් ඉදිරිපත් කෙරෙමි. දැනට සිටින වැඩිහිටියන් ඉගෙන ගන්නා කාලයෙහි හයේ හතේ දී තුබුණු දැනුම දැන් සිටින ජ්‍යෙෂ්ඨ සමතුනට තිබෙනුවා ද? ජ්‍යෙජඨ සමතුනට අපහාසයක් කරනුවා, නො වේ. මේ පෙන්වන්නේ අධ්‍යාපනයේ දුර්වලකමයි යි. ළමයා ගේ මොළය ඔරොත්තු නොදෙන තරමේ විෂය මාලාවක් තිබීම හෝ ළමයා ගේ අත් දෙකින් ඔසවා ගෙනයන්න බැරි තරම් පොත් ගොඩක් තිබීම හෝ අධ්‍යාපනයේ දියුණුව ය යි සලකතොත් වර්තමාන ලංකාවේ පවත්නා අධ්‍යාපනය හොදට ම දියුණු යයි කිව යුතු ය. එ සේ සිතන තරම් මෝඩයෝ ලංකාවේ ඇද්ද? ජ්‍යෙෂ්ඨ සමතුන්, උපාධිධරයන් බහුල කිරීම නොව ලංකාට වුවමනා කරන විදියේ උගතුන් බහුල කිරීමට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නො කර පිළිවන් ද? පාසල් පාලන ක්‍රමය වෙනස් නො කොට අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමෙන් ප්‍රයෝජනයක් ලබාගත හැකි ද? සදාචාර පරිහානිය ගැන කියන්නට දෙයක් නැති තරම් ය. තරහ නො වී කරුණවෙන් සිතා බලන්න.

2. රටේ සමඟියට බාධා

ආගම් වශයෙන් බෙදා වෙන් කොට අධ්‍යාපනය දීමෙන් ආගම් භේද දියුණු වෙනුවා විනා එක්සත් ලංකාවක් ඇති වන්නේ නැත. එය ජාතික සමඟියට බාධාවෙකි. කතෝලික ළමයිනට ශාන්ත ජෝසප් විද්‍යාලයත්, බෞද්ධ ළමයිනට ආනන්ද විද්‍යාලයත් වෙන් කර බලමු. ආනන්ද විද්‍යාලයෙහි ඉගෙන ගන්නා ළමයා කුඩා කාලයේ සිට ලොකු වන්නේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉන්නෝ අපේ හතුරෝ ය යන හැඟීමත් සමග ය. ශාන්ත ජෝසප් විද්‍යාලයේ ශිෂ්‍යයා හැදෙන්නේ ආනන්ද විද්‍යාලයේ ඉන්නෝ අපේ හතුරෝ ය යන හැඟීමක් සමග ය. අනෙක් පාසල් පිළිබඳ ව ද මෙය මෙ සේ ම ය. ඉතින් ජාතික සමඟියක් ඇති වන්නේ කෙසේ ද? එකම ඉන්දියාව මවු බිම කොට ඇති එක ම ඉන්දියා ජාතියට අයත් පිරිස හින්දු මුස්ලිම් කියා වතුර භාජනය පටන් වෙන් කොට තබා කුඩා කාලයේ සිට හැදීම නිසා ඇති වූ ජාතික අසමගිය කෙබඳු ද? සිදු වූ හින්දු මුස්ලිම් කෝලහල කොපමණ දරුණු ද? අන්තිමේ දී රටත් දෙකට බෙදුණා නො ‍වේ ද? ආගමේ නාමයෙන් අධ්‍යාපනය බෙදන්න එපා ය යි කීමේ අදහස නුවණින් සිතා බලන්න.

කොළඹ රාජකීය විද්‍යාලය ගැන සිතා බලන්න. පෙරත් දැනුත් නා නා ජාතික නා නා ආගමික ශිෂ්‍යයන් කුඩා කල පටන් එකට සෙල්ලම් කෙරෙමින් එකට කමින් බොමින් එක වහලක් යට හැදීම නිසා ඔවුන් අතර කොතරම් සමගියක් මිතුරුකමක් තිබේ දැ යි තතු දන්නෝ දනිති. අපේ රටට වුවමාන කරන්නේ මෙ බඳු අධ්‍යාපනයක් නො වේ දැයි නුවණින් සිතා බලන්න.

මේ කුඩා රටේ ආගම් භේද ඉතා භයානක ය. එ බඳු භේදවලින් කරදර සිදු වන්නේ සුළු පිරිස්වලට ය. එහෙත් නින්දාව ලැබෙන්නේ මහ ජාතියට හා බුද්ධාගමට ය. එ හෙයින් එක්සත් ලංකාවක් ඇති වන්නට නම් ජාති භේද හා ආගම් භේද නැති එහෙත් ආගමට මුල් තැන දෙන පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු ය. අමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ සභාපත් ජේ. බී. කොනන්ට් මහතා (රජයේ හා ආගමික) ද්විත්ව අධ්‍යාපනය ගැන මෙ සේ කියයි: ආගමික පාඨශාලා ඇතුළු පෞද්ගලික පාඨශාලා වැඩි වීම එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත්කමට තර්ජනයකි. අප සමාජයේ දරුවන් පවුල, ධනය හෝ සංස්කෘතික වෙනස්කම් නො තකා එක ම පාඨශාලාවකට ඇතුළු වනවා නම් අප ගේ එක්සත් කම පවත්වාගත හැකි ය. අය බදු ගෙවන්නන් ගේ මුදල් පෞද්ගලික පාඨශාලාවලට දෙන්නේ නම් එය ඇමරිකානු සමාජය තම විනාශයට තම අත ම පාවිච්චි කර ගැනීමෙකි.

3. ජාතික අධ්‍යාපනයට බාධා

ජාතික අධ්‍යාපනය නම් කුමක් ද යනු බරපතල ප්‍රශ්නයක් වී තිබෙතත් එය විස්තර කරන්නට නො යමි. එහෙත් එය කොටින් කියනුවා නම් ආගම් ජාති, භාෂා, දුප්පත්, පොහොසත්, පන්ති හා පළාත් ආදි කිසි ම භෙදයක් නැති රටේ සංස්කෘතියට හා ආර්ථික දියුණුවට ඉහල් වන අධ්‍යාපනයකි. ජාතික සමගිය ඇති කරවන, සංවර්ධනයට උපකාර වන මේ රටට ගැළපෙන ලෙස සකස් කරගත් අධ්‍යාපනයකි. දැනට මෙහි තිබෙන්නේ අධිරාජ්‍යවාදීන් විසින් යටත් විජිත පාලනයට උපකාර වන පරිදි ඇති කරගත් අධ්‍යාපනයක් නො වේ ද? එය වරින් වර අණ්ඩ ලා මද ශයෙන් සකස් කළා විනා නිදහස ලැබීමෙන් පසු වත් මේ රටේ සංස්කෘතියට හා ආර්ථික දියුණුවට උපකාර වන පරිදි සකස් වුණා දැ යි සිතා බලන්න. එක්තරා පිරිසකට පමණක් සීමා වී තුබුණු ඒ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන පනතින් සාමාන්‍ය ජනයා ගේ යහපතට මඳ වශයෙන් හෝ උපකාර වුව ද එයින් නියම පල නෙළාගන්නට බැරි වූයේ දැනට පවත්නා පාසල් ක්‍රමය නිසා නො වේ දැ යි සිතා බලන්න. රජයේ හා ආධාර ලබන පාසල් යන ද්විත්ව පාසල් ක්‍රමය පවතින තුරු නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබන්නට නොහැකි ය යි විජයානන්ද දහනායක මැතිතුමා ආදි අය මුරගා කීවේ පිස්සුවෙන් නොවන බව හොඳ සිහිය ඇති කවරකුට වුව ද වැටහෙනුවා ඇත.

ජාතික සමඟියට හා සදාචාරයටත් රටේ සංස්කෘතියට හා ආර්ථික දියුණුවටත් උපකාර වන, රටකට අවශ්‍ය වන කාර්මිකයන් – ඉංජිනේරුවන් වෛද්‍යවරයන් – විද්‍යාධරයන් හා කලාවේදීන් බිහි කරවිය හැකි පොදු අධ්‍යාපනයක් දිය හැක්කේ එක ම මණ්ඩලයෙකින් පාලනය වන පාසල් ක්‍රමයෙකින් බව උගත් ලෝකයා පිළිගෙන අවසාන ය. අනෙක් රටවල අයට මෙන් ලංකාවේ ද පොදු අදහස් ඇති උගතුනට පමණක් නො ව සාමාන්‍ය අයට ද මේ කාරණය වටහාගැනුමට අපහසු නොවෙනවා ඇත.

4. වියදම අධික වන බව

සියලු පාසල් එක ම මණ්ඩලයෙකින් පාලන කරන විට වියදම් අඩු වැඩි වන හැටි නියම වශයෙන් දන්නෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධරයෝ ය. 1957 තේ පමණ මේ පිළිබද පරික්‍ෂණයක් කළ එ කී නිලධරයන් සියලු පාසල් පාලනය එක ම මණ්ඩලයකට ගත්තොත් වර්‍ෂයකට දැනට කරන වියදමෙන් තිස් ලක්‍ෂයක් පමණ ඉතිරි විය හැකි යයි යන්නත් පැහැදිළි කර තුබුණා මතක යි. එ පමණ ගණනක් ඉතිරි වන්නේ කෙසේ ද යන්නත් පැහැදිළ කර තුබුණ මතක යි. දැනට තිබෙන පාසල් ක්‍රමය අනුව ප්‍රයෝජනය වඩා වියදම් අධික බව නුවණැති කවරකුට වුව ද වටහාගත හැකි ය. අධ්‍යාප නීති අනුව උප ගුරුවරුන් වශයෙන් උපාධිධරයන් ලැබෙන්නේ එච්. එස්. සී. පංති පවත්වන පාසල්වලට ය. එ කී යම් කිසි පාසලක යට කී පංතියක් තිබේ නම් එහි ශිෂ්‍යයන් ටික දෙනකුන් සිටියත් ඔවුන් ඉගෙන ගන්නා විෂයන් අනුව උපාධිධරයන් කීප දෙනා බැගින් පත් කරන්න ඉඩ තිබේ. යම් කිසි නගරයක එ බඳු පාසල් කීපයක් වෙතොත් ඒ සැම පාසලකට ම උපාධිධරයන් කීප දෙනා බැගින් පත් කරන්නට ඉඩ තිබේ. ඒ සැම දෙනාට ම රජයෙන් විශාල පඩි ගෙවිය යුතු ය. මේ ළමයින් සියලු දෙනා ම එක් රැස් කොට බැලුවොත් සංඛ්‍යාව එක පංතියකට වැඩි වුවත් පංති දෙකකට වඩා නො වෙයි.

නිර්ශනයක් වශයෙන් කළුතර නගරය ගෙන බලමු. මුළු පළාතේ ම එච්. එස්. සී. විභාගයට ඉගෙන ගන්නා ළමයින් සිටින්නේ 61 දෙනෙකී. පංති දෙකකට ප්‍රමාණවත් වූ මේ 61 දෙනා කළුතර නගරයේ ඉහළ පෙළේ සැම පාසලක ම විසිරී සිටිති. එ හෙයින් මේ 61 දෙනාට ඉගැන්වීම සදහා උපාධිධරයන් 25 දෙනකුට රජයෙන් පඩි ගෙවනු ලැබේ. කොළඹ ආදි නගර එක දෙකක හැරෙන්නට අනෙක් සැම නගරයක ම මේ පිලිවෙළ මෙ‍ සේ ම ය. යෙම මහා අසාධාරණ ක්‍රියාවක් බවත් මහජන මුදල් නාස්ති කිරීමක් බවත් නුවණැති කාට වුව ද වැටහෙනවා ඇති.

නගරවල සමහර පාඨශාලාවන්හි උපාධිධරයන් පනසකට අධික සංඛ්‍යාවක් සිටිතත් සමහර ගම්බද පාඨශාලා පනසකට එක උපාධිධරයකුට වඩා නො වේ. මෙය ඉතා අසාධාරණ ය. දැන තිබෙන පාඨශාලා ක්‍රමය අනුව එක ගමක රජයේ හා ආගමික ආයතනවලට අයත් පාසල් පහ හය තිබෙන බව පැහැදිළි කරුණකි. පාසල් වැඩිකම නිසා එක පාසලකුදු නිසි පමණට දියුණූ නො වේ.

එක මණ්ඩලයෙකින් පාසල් සියල්ල පාලනය වෙතොත් මේ අසාධාරණකම් නැති කළ හැක්කාක් මෙන්ම වියදම අතින් විශාල පිරිමැස්මක් ද ඇති වෙයි. කළුතර පළාතේ ළමයින් 61 දෙනා පංති දෙකකට හෝ තුනක හෝ යෙදා ඔවුන් සදහා ගුරුවරුන් 12 දෙනකු පමණ නතර කරගෙන ඉතිරි 13 දෙනා උපාධිධරයන් නැති පාසල්වලට යැවිය හැකි වෙයි. හැම පාසලක ම කුඩා රසායනාගාරයක් ඇති කළ හැකි වෙයි. එයින් ඉගෙනීම ද දියුණු වේ. මෙ තෙක් කරුණූ කී‍වේ බුද්‍ධශාසන කොමිෂන් සභාව සියලු පාසල් එක ම මණ්ඩලයෙකින් පාලනය විය යුතු ය යන නිගමනයට බැසගත්තේ කවර හේතුන් නිසා දැ යි දැක්වීමට ය.

බුද්‍ධශාසන කොමිෂන් සභාවේ සාමාජිකයන් අදහස් කළ අධ්‍යාපන මණ්ඩල හා පාඨශාලා මණ්ඩල ක්‍රමයෙන් කිසි ම ආගමකට හානියක් වන්නේ නැත. අද පවත්නා බෞද්‍ධ පාසල් ද එ ලෙසින් ම පාලනය වන අතර කතෝලික හා ක්‍රිස්තියානි ආදි පාසල් ද එ ලෙසින් ම පාලනය වනවා ඇත. ප්‍රධාන වෙනසකට සිදු වන්නේ ඒ ඒ සමිති සමාගම්ලට තුබුණු අයිතිවාසියම් නැති වීම පමණෙකි. දැනට ආගම අනිවාර්ය විෂයක් නො වේ. එ හෙයින් තුන් ලක්‍ෂයක් පමණ ළමයින් ආගම ඉගෙනීමක් නැති ව සිටින අතර ආගම උගන්වන පාසලක වුව ද එන අලුත් ක්‍රමය අනුව ආගම අනිවාර්ය විෂයක් වන හෙයින් ආගම ඉගෙනීම ද දැන්ට වඩා දශ ගුණයෙකින් දියුණු වන්නට පිළිවන.

නිදහස් අධ්‍යාපන පනත ක්‍රියා කරවන්නට යන අවස්ථාවෙහි ද ඇතැම් ආගමික ආයතන තදින් විරුද්ධ වු බව බොහෝ දෙනාට මතක ඇත. ඒ අවස්ථාවේ දීත් සාමාන්‍ය ජනයාට කියා සිටියේ ඒ ක්‍රමයෙන් ආගමට පහර වදින බව ය. එහෙත් එ බන්දක් සිදු නොවූයෙන් එය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව දැන් සමාන්‍ය ජනයාත් වටහාගෙන අවසා ය. එ සේ ම ඒ ක්‍රමයෙන් ගම්බද ජනයාටත් සැලසුණු සෙත ශාන්තිය හා දියුණුව නො කිව හැක තරම් බව අවංක ව සිතන කවරකු වුව ද පිළිගන්නවා ඇත. පින්වත්නි, කරුණු හොඳින් අවබෝධ කරගන්නේ නැති ව යම් යම් අය කියන කාරණාවලට පමණක් ඇහුම්කන් දී කලබල හදාගත්තොත් කරදරයට පත් වන්නේ සමාන්‍ය ජනයා ම යි. ජාතිවාදි කෝලාහල ගැන සිතා බලන්න. එ කී කෝලාහලවලට පෙළැඹවූ අය අදත් සැප සේ මාලිගාවල වාසය කරනවා. එදා මරුම් කෑවෙත් සාමාන්‍ය ජනයා ම යි. අද වන තුරු එල්ලුම් ගස් යන්නේත් සාමාන්‍ය ජනයා ම යි. එ සේ ම පාසල් ප්‍රශ්නයේ දී වුවත් කබල ඇති වුවොත් කලබලවලට පොළවන අය මාලිගාවල සැප සේ වාසය කරාවි. එයින් ද විනාශයට පත් වනනේ සාමාන්‍ය ජනයා ම යි.

මේ කරුණු හොඳින් නුවණින් සලකාබලා දූරදර්ශී ව ඉතා ඉවැසිල්ලෙන් කටයුතු කරන මෙන් ලංකාවාසී ජනතාව වෙත කරුණාවෙන් මතක් කරමි.

(1960 දී පාසල් පිළිබද නියම තත්ත්වය යන මැයෙන් රජයෙන් නිකුත් කැරුණු ප්‍රකාශනයෙනි)

1954 සිට මේ ගැන (පාසල් ප්‍රශ්නය පිළිබද ව) ලීවෙමි, කීවෙමි. මෑතක් වන තුරු ම බොහෝ දෙනා ප්‍රශංසා කළේත් නැත. චොදනා කළේත් නැත. එහෙත් මෑතක සිට ‍මෙ සේ ලිවීම ගැන සමහරු ප්‍රංශසා කෙරෙති. සමහරු නින්දා කෙරෙති. එය එ සේ ම ය. යමෙකින්කෙළින් ම වාසි ලැබෙන විට ප්‍රශංසා කිරීමත් කෙළින් ම අවාසි ලැබෙන විට නින්දා කිරීමත් ස්වාභාවික යි. දුශ්ශීලයන් බහුල‍ හෙයින් මේ ලෝකයෙහි නින්දා නොලබන්නෙක් නැතැයි බුදුරජාණන් වහනසේ ප්‍රකාශ කළහ.

මෙසේ කැරෙන නින්දා ප්‍රශංසා දෙක ම එක සේ සලකන්නට පිළිවන් වීම ගැන සතුටු වන අතර ඒ දෙ පක්‍ෂයට ම කිව යුත්තේ එක ම බණ පදය යි. පිරිසුදු බවත් අපිරිසිදු බවත් තම තමා වෙත ම ය. කෙනකුට තව කෙනකුන් පිරිසිදු කරන්නත් බැහැ, අපිරිසුදු කරන්නත් බැහැ යනු යි. සමාජ සේවයට බට බුදුරජාණන් වහන්සේට ලැබුණු චෝදනා මීට වඩා දහස් ගණනෙකින් වැඩි ය. ඒ සියල්ලට කළ මෛත්‍රිය මැ යි මේ සියල්ලටත්. දුකට කියන කවියේ අක්‍ෂර බැලිය යුතු නො වේ යැ යි කීවාක් මෙන් හිතේ අමාරුවට කරන චෝදනා ගැන කවුරුන් වුවත් සැලැකිලිමත් විය යුතු නො වේ.”

 

දිනමිණ 1961.01.24

ප්‍රඥාප්‍රභා 1

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.