Skip to main content

සාරධර්ම බිඳ වැටුණු සමාජයක සිංහල අලුත් අවුරුද්ද …

මහාචාර්ය කේ. එන්. ඕ.
ධර්මදාසයන් කරන විග්‍රහයකි මේ

අපේ රටේ අතීත සමාජයේ මිනිස්‌සු ජීවත් වීම හඳුනා ගත්ත කලාවක්‌ විදිහට වර්තමානයේ නවීන තාක්‍ෂණය විසින් ජීවත්වීම විද්‍යාවක්‌ බවට පත් කරල තියෙනවා. මේ විද්‍යානුකූල ජීවිතය තුළ සිංහල අලුත් අවුරුද්දට මොනවද වෙලා තියෙන්නේ?

සීගිරි කැටපත් පවුරේ මෙබඳු ගීයක්‌ තිබෙනවා.

අගනනි අත්සලව් මෙහි පොහොන්නෙක්‌ නැතිද

නව බක්‌ළ සන්ද් දුට්‌ මිනිසක්‌ හු නොවජන්නෙයි

මෙහි සිංහල අරුත වන්නේ කාන්තාවනි ඔබේ අත්වලින් සංඥ කරන්න. මගේ මේ ගීය අහන කිසිවෙක්‌ නොඉන්න පුළුවන් හැබැයි බක්‌ මාසෙ අලුත් හඳ දැකපු කෙනෙකුට මීට වඩා ගෞරව කළ යුතු නේද?

මේ පිළිබඳ මහාචාර්ය පරණ විතානයන්ගේ අදහස වී තිබෙන්නේ අපේ අතීත සමාජයේ තිබුණු එක්‌තරා චාරිත්‍රයක්‌ පිළිබඳ මේ ගීයෙන් හෙළිදරව් වෙන බවයි. එනම් බක්‌ මහේ නව සඳ දුටු අයට එදා සමාජය තුළ කිසියම් ගෞරව කිරීමක්‌ තිබූ බවයි. තමා යම් ප්‍රතික්‌ෂේප කිරීමකට ලක්‌වූ අවස්‌ථාවක එම පුද්ගලයා මෙලෙස ඉස්‌මතු කර පෙන්වන්නේ එම චාරිත්‍රය විය හැකි බව මහාචාර්ය පරණ විතානයන්ගේ අදහසයි.
අදත් සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නෙ නවසඳ බැලීමේ චාරිත්‍රයෙන්. නමුත් අද මේ චාරිත්‍රය ඉටු කරන කෙනෙක්‌ හොයා ගන්න අමාරුයි. එදා සමාජයේ මේ චාරිත්‍ර වාරිත්‍රවලට විශාල පිළිගැනීමක්‌ තිබුණා. සමාජය පැවතුණේ සියුම් දේවල් මතයි. අලුත් අවුරුද්දේ අලුත් සඳ දැකීමත් එදා සමාජයේ පිළිගැනීමක්‌ ලැබීමට හේතුවක්‌. සමාජයක්‌ බිඳ වැටෙන කොට මෙබඳු සියුම් දේවල් වගේම චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ තිබෙන විශ්වාසය සමාජයෙන් ගිලිහිලා යනව. මීට දසක හතරකට පහකට පෙර තිබුණු සිංහල අලුත් අවුරුද්ද නෙමෙයි අද තිබෙන්නේ. එකමුතුකම චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන්න තිබුණු උවමනාව, ඒවාට ගරු කිරීම, ඈත පළාත්වල ඉන්න ඥති මිත්‍රාදීන් එකතු වීම ආදිය බොහෝ කරුණු එකට එකතු වූ අවස්‌ථාවක්‌ තමයි එදා සිංහල අවුරුද්ද. එදා සිංහල අලුත් අවුරුද්ද නිවසක දෙමව්පියෝ දරුවො ඇරුණහම පියාගේ පාර්ශ්වයේ නෑදැයෝ මවගේ පාර්ශ්වයේ නෑදැයෝ යන මේ සියලු දෙනාගේ සමගිය, එකමුතුකම හොඳින් විදහා දැක්‌වුණු අවස්‌ථාවක්‌ වෙලා තිබුණා. තෑගි බෝග හුවමාරුවක්‌ එහි ඉතාම වැදගත් අංගයක්‌. එයින් ප්‍රකාශ වෙන්නේ හිතේ තියෙන සන්තෝෂය සහ කරුණාව, තෑගි බෝග දීම ඉතාම සද්භාවයෙන් කරන දෙයක්‌. සමාජයක්‌ යාන්ත්‍රීකරණය වන විට මෙබඳු යහපත් දේවල් සමාජයෙන් ගිලිහී යනවා. මේවා එක්‌තරා ආකාරයකට ශිෂ්ටාචාරයේ ඇතිවන විපර්යාස ලෙසත් හඳුන්වන්න පුළුවන්. මේවා යම් ආකාරයකට වාණිජත්වය නැගීම නිසා මතුවෙන තත්ත්වයක්‌ විදිහටත් සලකන්න පුළුවන්.

වර්තමානයේ අපේ සමාජය බරපතළ ලෙස සාරධර්ම පිරිහීමේ අනතුරකට මුහුණ පාල තිබෙනවා. එදා සිංහල අලුත් අවුරුද්ද අද වෙනකොට අපෙන් ගිලිහී යැම සහ වර්තමාන සමාජයේ සාරධර්ම පිරිහි යැම ඔබ දකින්නෙ කොහොමද?

සමාජයක්‌ යාන්ත්‍රීකරණය වීම හෝ වාණිජකරණය වීමට වඩා එහි සාරධර්ම පිරිහීයැම ඉතාමත් බරපතළ දෙයක්‌. සමාජයක සාරධර්ම පිරිහී යැම කියන්නේ ඒ සමාජයේ ජීවත් වන මිනිසුන් තුළ හොඳ නරක පිළිබඳ තිබෙන අවබෝධය ගිලිහී යැම නිසා ඇතිවන තත්ත්වයක්‌. එදා සමාජයේ කළ යුතු දේ වගේම නොකළ යුතු දේ ලෙස පිළිගත් කොටසක්‌ තිබුණ. අද සමාජයේ සිදුවන අපරාධ දෙස බලන විට මේවා එදා සමාජය තුළ කළ හැකි යෑයි සිහිනයකින්වත් සිතූ දේවල් නෙමෙයි. අද සමාජයේ සිදුවන මිනී මැරුම් ළමා අපචාර එදා සමාජයේ හිතා ගන්නවත් බැරි දේවල්. එදා සමාජය තුළ මිනී මැරුමක්‌ කියන්නේ ඉතා විශාල සිදුවීමක්‌. මිනී මැරුමක්‌ සිදුවූ විට කවි කොළ පවා මුද්‍රණය කර බෙදා හරිනවා. මිනී මැරුමකින් එදා සමාජයම කම්පා වුණා. අද දවසකට මිනී මැරුම් කොපමණ සිදුවෙනවද.

සමාජයේ සාරධර්ම පිරිහී යැම නිසා රැකගත යුතු දේවල්, අපේකම පිළිබඳ තිබෙන ජාතික හැඟීම ජාතික අනන්‍යතාව වැනි දේවල් සමාජයෙන් ගිලිහී යනවා. සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ විනෝද වීමක්‌ පමණක්‌ නෙමෙයි. ආගමික උත්සවයක්‌.

අද සිංහල අලුත් අවුරුද්දෙ මත්පැන් භාවිතය දෙස බලන්න. මත්පැන් භාවිතය එදා සිංහල අලුත් අවුරුද්දෙත් තිබුණා. එය කෙරුවේ ඉතාමත් රහසිගතවයි. නමුත් අද දරුවන් දෙමව්පියන් එකට මත්පැන් ගන්නා තත්ත්වයක්‌ තියෙන්නේ. මෙබඳු තත්ත්වයන් ඇති වෙන්නේ සාරධර්මවල විශාල බිඳ වැටීමක්‌ නිසයි.

අද සමාජයේ තිබෙන ආර්ථික අසමානතාවන් සිංහල අලුත් අවුරුද්ද කෙරෙහි බලපාන්නෙ කොහොමද?

අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේදී අද සමාජයේ තිබෙන ආර්ථික ප්‍රශ්නත් බලපානව. දරුවන්ට අලුත් ඇඳුම් අරන් දෙන එක වුණත් අද ලේසි පාසු වැඩක්‌ නෙමෙයි. අද සමාජයේ තිබෙන ආර්ථික අහේනිය අපට අමතක කරන්න බැහැ. අද මුදල් තියෙන මනුස්‌සයට ඕනවටත් වඩා තියෙනව. නැති මනුස්‌සයට ඇත්තෙම නෑ. එදා සමාජයෙත් දුප්පත් මිනිස්‌සු හිටියා. නමුත් අද වගේ අන්ත දුගී දුප්පත්තු හිටියෙත් නෑ. මහ ධන කූවේරයෝ හිටියෙත් නෑ.

එදා සමාජයේ ධනවත්ම පිරිස ලෙස හිටපු ඉඩම් හිමි වැවිලිකරුවෝ රදල අය අතරෙත් සාරධර්ම තිබුණා. ඒ පිරිස අතිනුත් සමාජ යුතුකම් ඉටුවුණා. තමුන්ගෙ ගම් පළාතක දුප්පත් මිනිහෙකුට කරදරයක්‌ වෙලා තිබුණා නම් උදව්වක්‌ කරන එක තමුන්ගෙ වගකීමක්‌ හැටියට එදා ධනවත්තු කල්පනා කළා. ඒ තමයි සාරධර්ම. ආර්ථිකයේ සිදුවුණු විපර්යාස තුළින් ඒ සියල්ල අද විනාශවෙලා ගිහින් අද චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන යැම ගැන කල්පනා කරන විට මේ කාරණයත් අමතක කරන්න බෑ.

සිංහල අලුත් අවුරුදු උත්සවයෙන් සිදුකෙරෙන වැදගත්ම කාර්යයක්‌ වන්නේ යහ සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය සිරිත් විරිත් සාරධර්ම යාවත්කාලීන කිරීම. වාර්ෂිකව කෙරෙන මේ අලුත් කිරීම යහ සමාජයක පැවැත්මට ඉතාමත් ප්‍රයෝජනවත්. එකිනෙකා සමග සුහදතා වර්ධනය කර ගැනීම, පවුලේ සාමාජික සාමාජිකාවන් අතර වගේම අසල්වැසියන්, හිතමිත්‍රාදීන්, තම සේවක සේවිකාවන් අතර පවතින සුහදතාව වර්ධනය කර ගැනීම යහපත් සමාජයක පැවැත්මට ඉතාමත් අවශ්‍යයි. සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ වසරක්‌ පුරා හෝ පවතින පරිදි එබඳු යහපත් සිතුවිලි වර්ධනය කර ගන්නා අවස්‌ථාවක්‌. බුලත් හුරුල්ලක්‌ දීල ආචාර කිරීම නිසා එකිනෙකා තුළ ඇතිවන ගෞරවය යහපත් සමාජයක පැවැත්මට අවශ්‍යයි. සමාජ සාරධර්ම ලෙස පවතින මේවා ලෝකයේ වෙනත් සමාජවල දකින්නට නැහැ. අපේ සමාජය තුළින් මේ චාරිත්‍ර වාරිත්‍ර සහ සාරධර්ම ගිලිහී ගියොත් එය හිස්‌ සමාජයක්‌ බවට පත්වෙනවා.

සිංහල අලුත් අවුරුද්ද තුළ තිබිය යුතු රුව ගුණ එලෙසම රැක ගැනීම නැතහොත් සිංහල අලුත් අවුරුද්ද අපෙන් ගිලිහෙන්නට නොදී රැක ගැනීම අද අත්‍යවශ්‍ය කාරණයක්‌. ආපසු හැරී අපට නිවැරදි වෙන්න බැරිද?

එබඳු වෙනස්‌ වීමක්‌ යළි හැඩ ගැසීමක්‌ ගැන අවධානයක්‌ යොමු කිරීමම වැදගත්. ඒ තුළින් අපි මේ වැටී සිටින ප්‍රපාතයේ ස්‌වභාවයවත් අවබෝධ කර ගන්න පුළුවන්. සමාජය යහමගට ගත හැකි අත්දැකීම් සහිත වැඩිහිටියන්ගේ මග පෙන්වීම මේ සඳහා අවශ්‍යයි. ඔවුන් ගේ ආදර්ශයත් මෙහිදී ඉතාම වැදගත්. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීම, සමාජ සාරධර්ම රැකීම සහ යහපත් සිරිත් විරිත් පිළිපැදීම ආදිය පිළිබඳ වැඩිහිටියන් ආදර්ශමත් වුණොත් බාල පරපුර මේ ප්‍රපාතයෙන් ගොඩගන්න පුළුවන්.

http://www.divaina.com/2012/04/15/feature28.html

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.