1959 බණ්ඩාරනායක ඝාතනයත් සමග රටෙහි නොසන්සුන් තත්ත්වයෙක් පැන නැඟිණ. එහි දී බොහෝ අහිංසක භික්ෂූන් වහන්සේලාට විදින්නට සිදු වූ නෙයෙක් ගහට හා නින්දා අපහාස පමණ කළ නොහැකි ය. අතිපූජ්‍ය මහානායක මාහිමි පාණන් වහන්සේ සමාජයීය ප්‍රශ්නයක් මුල් කොට කල එළියේ ම සිය පෑන මෙහෙයවන්නට වූයේ මෙ කරුණ අරබයා ය. එහි ලා ලියන ලද ලිපි දෙකක් මෙහි ලා පළ වෙයි.

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාගේ මරණයෙන් ශාසනාර්බුදයක් ඇති වූ බව ඉතා ප්‍රකට ය. මෙ බඳු අවස්ථාවල දී අප ගිහි පැවිදි දෙ පක්‍ෂය මැ දුරදර්ශී වැ ඉවැසිල්ලෙන් හා විමැසිල්ලෙන් ක්‍රියා කළ යුතු ය. මෙ බඳු කරුණුවලදී සාමාන්‍ය මහජනයා නොසංසුන් වීම සාමාන්‍ය දෙයකි. එ සේ වී නමුත් සාමාන්‍ය මහාජනයා නොසංසුන් කරවන නොයෙක් ව්‍යාපාර කැරැගෙනැ යෑම හීන දීන ක්‍රියාවක් බව කිව යුතු ය.
බුද්ධශාසන කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලංකා ශාසනය ආරක්‍ෂා කිරීමට බලාපොරොත්තු වූ අග්‍රාමාත්‍යතුමා මරා දැම්මත් ලංකා බුද්ධශාසනය නම් මරා දැමිය නොහැකි බව නොයෙක් ව්‍යාපාර ගෙනයන්නන් හට කරුණාවෙන් මතක් කැරැ දෙමි.
ඥානවන්ත සත්පුරුෂයන් විසින් මෙ බඳු අවස්ථාවල දී සාමාන්‍ය මහාජනයාට කරුණු පැහැදිළි කැරැ දී ඔවුන් සංසුන් කරවා ගත යුතු ය. බුද්ධශාසනය ආරක්‍ෂා කැරැගැනීම සඳහා හළ යුතු දේ හරින ලෙසත් කළ යුතු දේ කරන ලෙසත් සාමාන්‍ය මහාජනයාට පැහැදිළි කැරැ දිය යුතු ය. මා යන යන තැන දී සමහරුන් කැරැගෙන යන අවිචාරවත් කථා හා ක්‍රියා වහා මැ නතර කරන ලෙසත් බුද්ධශාසන කොමිෂමේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් බුද්ධශාසනය ආරක්‍ෂා කැරැගත යුතු බවත් කියතත් ඒ ඒ වාර්තාකරුවන් ප්‍රිය කරන කොටස් පමණක් පත්‍රවල පළ වීමෙන් ශාසන ශෝධනය පිළිබද නියම පිළිවෙළ පැහැදිළි නො වෙයි. එහෙයින් ශාසනාරක්‍ෂාව සඳහා හළ යුතු දේ හා කළ යුතු දේ යන මැයින් ලිපි දෙකක් ලියන්නට අදහස් කෙළෙමි.
ඉක්මන් නිගමනයන්හිත් අවිචාරවත් ප්‍රකාශයන්හිත් අදූරදර්ශී ක්‍රියාවන්හිත් භයානකකම පෙන්වා දෙන්නේ හළ යුතු දේ හැටියට ය.
ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් ශෝකයට පත් වැ සිටි අනඳ මාහිමියනට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කෙළේ මෙසේ ය: “ආනන්‍ද, ශාරිපුත්‍ර‍ ගේ පරිනිර්වාණයෙන් සිදු වූයේ සංඝයා නමැති මහ ගහේ මහ අත්තක් කඩා වැටීම ය. මහ අත්ත කඩා වැටුණාට මහ ගහ නැති නො වේ.”
මහා සංඝයා මහ ගහකට උපමා කැරිණි ශීලයෙන් ගුණයෙන් හා නුවණින් ද ඉහළට මැ දියුණු වූ භික්‍ෂූහු ඒ මහ ගහේ මහ අතු ය. එ කී කරුණෙන් මැදුම් පමණට දියුණු වූවෝ මැදුම් පමණේ අතු වෙති. එ කී කරුණෙන් යම්තමින් දියුණු වූවෝ කුඩා අතු වෙති. එ කී ත කරුණෙන් යම්තමින් දියුණු වූවෝ කුඩා අතු වෙති. කවර ගසෙකැ වූවද පිලිළ හැදීම සිරිත ය. මහාසංඝ නමැති මහ ගහේ හැදෙන පිලිළ නම් ශ්‍රමණ වේශධාරීහු ය.
යම් කිසි ගසෙකැ පිලිළයක් හැදුණු විට කළ යුතු ඥානවන්ත ක්‍රියාව කුමක් ද? පිලිළය ඉවත් කැරැදැමිම ද? නැත හොත් ගහට බැණවැදීම ද? සංඝයා නමැති ගහේ පිලිළ හැදුණු විට ඥානවන්ත වැ කළ යුත්තේ කුමක් ද? ග්‍රමණවෙශධාරීන් ශාසනයෙන් ඉවත් කිරීම ද? නැත හොත් කහ සිවුරක් දුටු දුටු තැන බැණවැදීම ද? පසුගිය දා සමහරුන් ක්‍රියා කෙළේ මේ දෙකින් කවර ආකාරයට දැ යි කරුණාකර ඒ ඒ අය මැ නුවණින් සලකා බැලිය යුතු ය. මේ කියන්නේ ඉතා කරුණාවෙනි. මේ කරුණ නොසංසුන් අවස්ථාවෙහි නො වැටහුණත් දැන් නම් වටහාගත යුතු කාලය යි.
තව ද කිව යුත්තෙක් ඇත. මෙය කියවන අය ද කරුණාකර සිතා බලන්න. භික්‍ෂූන් වහන්සේ ද මේ රටෙහි වැසියෝ ය. එහෙයින් භික්‍ෂුත්වයට හානි ‍නොවන පරිදි මහ පාරේ යන්නට ද, දුම්රිය බස්රිය ආදි පොදු වාහනවල යන්නට ද භික්‍ෂූන් වහන්සේට අයිතිය තිබේ. ඉතින් පසු ගිය දිනයන්හි වූ දේ ගැන කරුණාකර සිතා බලන්න.
මිනිහකු මැරීම අපරාධයෙකි. කුරු කුහුඹුවකුදු නොමරන පොරොන්දුවෙන් අර්හත් ධ්වජයක් පොරවාගත්තකු විසින් කෙනෙකු මැරීම මහා මැ අපරාධයෙකි. ඒ ගැන කියන්නට වචන නැත. භික්‍ෂූන් වන අපි එය සිය වරක් පිළිගනිමු. මේ කරුණෙහි දී දුක් නො වූ, සංවේගයට පත් නො වු, එක ද භික්‍ෂූන් වහන්සේ කෙනෙක් නැතැ යි කිව යුතු ය. එ සේ වී නමුත් සිවුරු පොරොවාගත් එක් පුද්ගලයකු කළා ය යි කියන වරදට සියලු මැ භික්‍ෂූනට චෝදනා කිරීම සුදුසු ද? අහිංසක භික්‍ෂූන් කෙරෙහි සමහරුන් ක්‍රියා කළ ආකාරය අතිශයින් සංවේගජනක ය. ඒ පිළිබඳ විස්තර මෙහි සඳහන් කරන්නට වුවමනා නැත. කළ හැටි හොඳ දැ යි ඒ ඒ අය මැ කරුණාවෙන් සිතා බලන්න.
ගිහි සමාජයෙහි යම් යම් අසත්පුරුෂයන් දවසකට මිනිහකු දෙන්නකු මරනවා. ඉතින් ඒ එක අසත්පුරුෂයකු නිසා දුටු දුටු ගිහියනට ‘මිනී මරුවෝ ය’යි මෙ තෙක් කලකට චෝදනා කළා ද? එක පුද්ගලයකු නිසා සෙසු අහිංසක ගිහියනට මහ පාරේ යන්නට නුදුන්නේ ද? ඇයි පින්වත්නි, අහිංසක භික්‍ෂූනට පමණක් මේ හිරිහැර? කරුණාකර සිතා බලන්න.
අප සම්බ්‍රහ්මචාරී භික්‍ෂූන් වහන්සේ මේ අවස්ථාවෙහි ඉවැසූ සැටි ක්‍රියා කළ සැටි ප්‍රශංසාර්හ ය. එක් සාහසිකයකු නිසා අහිංසක භික්‍ෂූනට නිග්‍රහ කිරීම ගැන ලක්‍ෂ ගණන් ඥානවන්ත බෞද්ධ ජනයා ශෝක වෙති. එයින් නොඉවැසිලිමත් වූවෝ ද බොහෝ ය. ඉදින් භික්‍ෂූන් වහන්සේත් නො ඉවැසිලිමත් වූවා නම් බුද්‍ධශාසනය තවත් කෙලෙසෙන්නට ඉඩ තිබිණි.
මේ කලබල වූ බොහෝ දෙනා එ සේ වූයේ බුද්ධශාසනයට හිතවත්කම නිසා ද? නැත හොත් බණ්ඩාරනායක මැතිතුමාට හිතවත්කම නිසා ද? මීට පෙර ද සිවුරු පොරාවාගත් කීප දෙනෙක් මිනී මරා දඬුවම් කරනු ලැබු හ. ඊට මඳක් සුළු වූ අශ්‍රාමණිකකම් කරන ශ්‍රමණවෙශධාරීහු ද වරින් වර දකින්නට ලැබුණ හ. එහෙත් ඒ එක ද වරෙක මෙ ලෙසින් කලබල නො කළ හෙයින් බුද්ධශාසනයට හිතවත්කම නිසා ම ය යි සිතන්නට අපහසු ය.
බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා ශ්‍රේෂ්ඨ ජනනායකයෙකි. බහුජනප්‍රිය දේශපාලකයෙකි. විශේෂයෙන් සාමාන්‍ය ජනයා විසින් ප්‍රිය කරනු ලැබූ කෙනෙකි. එ හෙයින් මැ ලංකාවාසීන් පමණක් නො වැ, ලෝකවාසීහු මැ එතුමා ගේ මරණය ගැන කම්පා වූ හ. එ බඳු කෙනෙකුගේ අභාවයෙහි දී හිතවත්කමේ ප්‍රමාණයට ශෝකයත් නොඉවැසීමත් ඇති වෙනුවා ඒකාන්ත මැ ය. එහෙත් ඔය කලබල කළ අය බණ්ඩාරනායක මැතිතුමා කෙරෙහි බණ්ඩාරනායක මැතිනියටත් වඩා හිතවත් ද? ආදරවන්ත ද? සමහරුන් කියන හැටියට රටක් වටිනා තම ස්වාමිපුරුෂයා සාහසික ලෙස මරාදමා තිබිය දීත් බණ්ඩාරනායක මැතිණිය ක්‍රියා කළ ආකාරය කොතරම් ඥානවන්ත ද? කොතරම් ශීලාචාර ද? සමහරුන් භික්‍ෂූනට චෝදනා කරනු අසා, “එක් පුද්ගලයකු කළ වරදට අනේ අනෙක් හාමුදුරුවරු මොනවා කරන්න දැ?”යි කියමින් බණ්ඩාරනායක මැතිනිය කොතරම් කම්පා වුණා ද? එ හෙයින් ම බණ්ඩාරනායක මැතිතුමා ගේ මෙන් මැ මැතිනිය ගේ ගුණ ඝෝෂය ද ලොව පුරා පැතුරුණා නොවැ?
සිවුරු දරාගෙනැ කළ මේ අපරාධය නිසා ශාසනය කිලිටි විය. එයට කලබල වී අහිංසක භික්‍ෂූනට නින්දා අපහාස හිරිහැර කොට යම් යම් දෙනා කොපමණ පව් සිදු කැරැගත්තා ද? එයින් බුද්ධශාසනය තව තවත් කෙලෙසුණා විනා පිරිසිදු වුණා ද? කරුණාකර සිතා බලන්න.
දැන් ඉතින් ගිය දේ ගියා වේ! සිදු වූ දේ ගැන කතා කිරීමෙන් වැඩෙක් නැත. ගිහි පැවිදි අප දෙ පක්‍ෂය මැ එක් වී කළ යුත්තේ මෙ බඳු විපත්තිවලින් අනාගත ශාසනය බේරා ගැනීම යි. සිංහල බෞද්ධයෙනි, පසුබට නොවන්න, උදාසීන නොවන්න. බුද්‍ධශාසනය ආරක්‍ෂා කැරැගැනීම සඳහා එක්සත් වැ එක්සිත් වැ ඉදිරියට එන්න. නොපමා වැ මැ ශාසන ශුද්ධියක් ඇති කැරැගැනීමට දැඩි අධිෂ්ඨානයෙකින් ක්‍රියා කරමු.

ලංකාදීප 1959.11.18
ප්‍රඥාප්‍රභා 1

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.