සසුන රකින්නට බුදුහිමිගෙන් වරම්ගත් දැඩිමුණ්ඩ දෙවියෝ …

අලුත්නුවර දේවතා බණ්‌ඩාර, මැණික්‌ බණ්‌ඩාර, ඌවේ බණ්‌ඩාර, කීර්ති බණ්‌ඩාර යන පර්යාය නාමයන්ගෙන්ද හැඳින්වෙන දැඩිමුණ්‌ඩ දෙවියෝ පුරාණ ලංකාවේ පැතිර තිබුණු ගෝත්‍ර සතරින් ප්‍රබලතම ගෝත්‍ර දෙකක්‌ වන යක්‍ෂ, නාග යන ගෝත්‍ර දෙකෙහිම සම්බන්ධතාවය ඇති ප්‍රබල ජන නායකයෙකි.

පුර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව එරන්දතී නම් නාගමානවිකාවගේ කුසෙන් උපන් මෙකී දෙවියන්ට දැඩි සිතක්‌ හා මුඩු වූ හිසක්‌ද ඇති බැවින් දැඩිමුණ්‌ඩ යන නාමයෙන් හැඳින්වූ බව කියෑවේ.

එදා වෙසක්‌ මස පුර පසළොස්‌වක පොහෝ දින නේරංජනා නදී තීරයේදී ඇසතු බෝරුක මුල වැඩහුන් සිදුහත් තවුසාණන්ට පියවරෙන් පියවර ලෝකෝත්තර ඥනය පහලවෙද්දී සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබාගැනීමට ඉඩ නොදෙමියි සිතූ වසවර්ති මාරයා දස බිම්බරක්‌ මාර සේනාව රැගෙන පැමිණි මොහොතේ එහි රැකවල්ලා සිටි සියලු දෙවි දේවතාවෝ මාර සෙනගට බියෙන් පලාගියහ. ඒ බව දුටු වෛශ්‍රවණ හෙවත් වෙසමුණි දැඩිමුණ්‌ඩ දෙවිඳු කැඳවා සිදුහත් කුමරුගේ ආරක්‍ෂාව පිණිස පිටත්කර හැර ඇත. සුදුවතින් සැරසී රන් දුන්නක්‌ අත දරමින් විවිධ බියකරු වෙස්‌ මවාපාමින් අවි අමෝරා ආ දසබිම්බරක්‌ මාර සේනාව පැරද වූ දැඩිමුණ්‌ඩ දෙවිඳු මහමෙර මත වූ වසවර්ති මාරයාගේ විමානයද විනාශ කර ඇත.

සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව උන්වහන්සේට නමස්‌කාරකොට වැඩහිඳි කල්හි බුදුරජාණන් වහන්සේ ලක්‌දිව බුදු සසුන වසර පන්දහස්‌ පන්සියයක්‌ තරම් කාලයක්‌ සුරකින්නට දැඩිමුණ්‌ඩ දෙවියන්ට වරම් දී ඇති අතර ඉනික්‌බිති විෂ්ණු, ශක්‍ර, ස්‌කන්ධ කුමාර යන දෙවිවරුන්ගෙන්ද වෛශ්‍රවණ හෙවත් වෙසමුණි දිව්‍යරාජයාගෙන්ද වරම ලැබගත් දැඩිමුණ්‌ඩ දෙවිඳු ලංකාපුරය බලා ඒම පිණිස නැව් නැග ඇත.

මේ අතර හදිසියේ ඇති වූ චණ්‌ඩ මාරුතයක්‌ නිසා නැගුණු දළ රළ පෙළින් නැව විනාශයට පත් වූයෙන් දැඩිමුණ්‌ඩ දෙවිඳු පීනාවිත් දෙවිනුවර තුඩුව වෙත ගොඩබට අවස්‌ථාවේ එහි සිටි ජනයා ශෝකයෙන් පසුවන බව දැන හේතු විමසීමේදී දෙවුන්දර පුරයේ රජකළ රජතුමාගේ බිසව වූ සෝමාවතී දේවිය රජුට දාව දරුගැබක්‌ දරා සිටින අතරතුර හදිසියේ මරණයට පත්වූ බවත් රජුගෙන් පසු රාජ්‍ය පාලනයට අයෙක්‌ නොමැති බවත් දැනගෙන ඇත.

ඒ පුවත ඇසූ දැඩිමුණ්‌ඩ දෙවිඳු ” මගේ බලය පෙන්වීමට සුදුසුම වෙලාව මෙයයි” සිතා සෝමාවතී දේවිය දැවූ සොහොන වෙත ගොස්‌ එහි වූ අළුවලට ජීවය දී කුමරුන්ගේ උප්පත්තිය සිදුකර ඇති අතර දැඩිමුණ්‌ඩ දෙවියන්ගේ දේවානුභාවයෙන් යළි ඉපදුන කුමරු දැවී ගිය සොහොනකින් උපන් නිසා “දාපුළු”නම් වූ බව ජනප්‍රවාදයයි.

“දාපුළු” කුමරුන්ගේ උප්පත්තියේ ආශ්චර්යය දුටු රජතුමා හා වැසියෝ දැඩිමුණ්‌ඩ දෙවියන්ගේ බලය පිළිබඳ තුටු පහටුව එතුමන්ට වැඳ නමස්‌කාර කොට දෙවුන්දර පුරයෙහි වාසය කරන ලෙස ඉල්ලා සිටියත් එය නොපිළිගත් දැඩිමුණ්‌ඩ දෙවිඳු දාපුළු කුමරුන් රජුට භාරකොට සීනිගමට පැමිණ ඇත.

සීනිගමින් උග්ගල් නුවරටද අනතුරුව දඹදෙණි නුවරටද ගොස්‌ ඇති දැඩිමුණ්‌ඩ දෙවිඳු රාජගිරි නම් ගල්ලෙනේ දෙවි විමනක්‌ කරවා එතැන නතර වූ බවත් පසුකාලීනව විසිදාගම, නවගමුව, කොස්‌ගම, සබරගමුව, උග්ගල්, අලුත් නුවර, දඹදෙනියේ රාජගිරි ලෙන, හුන්නස්‌ගිරිය, උඩුකිඳ යන ප්‍රදේශවල විසූ බව සඳහන්ය.

යක්‍ෂ නාග ගෝත්‍රික සම්මිශ්‍රණයකින් රාවණ පරපුරෙහි උපන් දේශීය දේවාත්මයක්‌ වන දැඩිමුණ්‌ඩ දෙවිඳු යක්‍ෂ උවදුරු – රෝග බිය, වසංගත උවදුරු නසා නඩු පසිඳලමින් වැරැද්දට බැට දෙමින් අසරණ ජනී ජනයා ආරක්‍ෂා කරමින් අළුත්නුවර දැඩිමුණ්‌ඩ දෙවොලේ හා කෝට්‌ටේ රාජමහා විහාරස්‌ථ දැඩිමුණ්‌ඩ දෙවොලේ ජීවමානව වැඩවසන දේව ආත්මයකි.

ඔබ හමුවේ නැගෙන සියලු ප්‍රශ්න දුක්‌ කරදරවලට දිනපතා තම නිවසේදී වුවද බුදුන් වැඳ පිරිත් සඡ්Cධායනා කර අදාළ ස්‌තෝත්‍ර ගායනා කර උන්වහන්සේට පිං පෙත් අනුමෝදන් කිරීමෙන් සෙත සහනය උදාකරගත හැකිය.

දැඩිමුණ්‌ඩ දේව කන්නලව්ව

පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතියාට දාව එරන්දතී නම් නාග මානවිකාවන්ගේ කුසින් තලගිරි කන්දේදී උපත ලබා දස දෙස බල පරාක්‍රම පැතිර වූ ඔබවහන්සේ සිදුහත් කුමරු බුදු බවට පැමිණි දා ඇති වූ මාර යුද්ධයේදී දස බිම්බරක්‌ මාර සේනාව දැක බොහෝ බලවත් දෙවිවරුන් පවා බියවී පැනගිය කල්හි තනිවම සටන්කරමින් සිදුහත් තවුසාණන් ළඟ අභීතව රැඳී සිට උන්වහන්සේගෙන් බුද්ධ ශාසනයේ ආරක්‍ෂක තනතුරද ලබා අලුත්නුවර දෙවොලේ යහතින් වැඩවාසය කරන උතුම් වූ දැඩිමුණ්‌ඩ දේව රාජෝත්තමයාණන් වහන්ස ඇම්බැක්‌කේ දේවතා බණ්‌ඩාර යන නාමයෙන්ද සඳුන් කුමාර, ඌවේ බණ්‌ඩාර, මැණික්‌ බණ්‌ඩාර, කීර්ති බණ්‌ඩාර යන නාමයන්ගෙන් පෙනී සිටින ඔබ වහන්සේට දොහොත් නගා වැඳ නමස්‌කාරයෙන් කියා සිටින්නා වූ කන්නලව්ව දිවකනින් අසා දිව නෙතින් බලා වදාරා අසරණ අපගේ සකලාභිවෘද්ධිය වර්ධනය කරවා අප වෙත පැමිණ ඇත්තා වූ විණ දොaෂාන්ධකාර, යක්‍ෂ ප්‍රේත භූත පිශාච කුම්භාණ්‌ඩාදීන්ගේ උපද්‍රවයන්ද තුන්දොසින් හටගත් රෝගාබාධයන්ද ග්‍රහ දොස්‌ද සියලු පීඩාවන්ද අද මෙවේලේ පටන් දුරින් දුරුකරවා සර්වආරක්‍ෂාව සලසන සේක්‌වා·

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.