බුද්ධ පුත්‍ර මහාසංඝයා වහන්සේ ආර්යසංඝයා ය, සම්මුති සංඝයා යැයි කොටස් දෙකකට බෙදෙති. ආර්ය සංඝයා නම් සතරමඟ සතරඵල පත් භික්‍ෂූන් වහන්සේ ය. සම්මුති සංඝයා නම් උපසම්පදා විනය කර්මයෙන් සංඝ ගණයට ඇතුළත් වූ භික්‍ෂූන් වහන්සේ ය.

ආර්යසංඝයා සෝතාපන්න මාර්ග ඵල – සකෘදාගාමී මාර්ග ඵල – අනාගාමි මාර්ග ඵල – ලාභීහු අට දෙනා ය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙනුයෙන් අකාලික යැ යි විග්‍රහ කරතත් එය එසේ ම නො විය යුතුය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙන්නත් පිළිවන්. එසේ ම මඟ සිත ලැබී පැය ගණන් ගත වී ඵල සිත ලැබෙන්නත් පිළිවන්. මුල් මතය වන මඟ සිතට අනතුරු වැ ඵල සිත ලැබීම පමණක් පිළිගත්තොත් අට්ඨ අරිය පුද්ගලයන් ලැබෙන්නේ නැත.

ආර්යයෝ සේඛ අසේඛ වශයෙන් ද දෙකකට බෙදෙති. සේඛයෝ සෝතාපන්න මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, සකෘදාගාමී මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, අනාගාමි මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනා ය, අරහත් මාර්ගස්ථ යන මේ සත් දෙනා ය. අසේඛ නම් අර්හත් ඵලස්ථයා ය. මඟසිතට අනතුරු වැ ම ඵල සිත ලැබෙයි යන මතය පිළිගත්තොත් සේඛයන් හත් දෙනා ලැබෙන්නේ නැත.

සෝවාන් ඵලස්ථයෝ ඒකබීජී ය. කෝලංකො‍්ල ය. සත්තක්ඛත්තු පරම යැ යි තුනකට බෙදෙති. ඒකබීජී නම් එම භවයෙහි දී ම ඉතිරි මාර්ගඵලයන් ලබා පිරිනිවන් පාන්නා ය. කෝලංකෝල නම් කුලයෙන් කුලයට හෙවත් භවයෙන් භවයට යන්නා ය. එනම් මේ භවයෙන් චුත වැ දෙ තුන් භවයක් හෝ වැඩි ම වුණොත් භව සයක් හෝ ඉපිද රහත් වන්නා ය. සත්තක්ඛත්තුපරම නම් සත්වන වරට ඉපිද රහත් වන්නා ය.

සකෘද‍ාගාමී ඵලස්ථයෝ කාමභව – රූපභව – අරූපබව යන තුන් ලෙව්හි දී ඉතිරි මාර්ග ඵල අධිගම පත්වන්නන් වශයෙන් තුන්වැදෑරුම් වෙති.

මේ සෝතාපන්න සකෘදාගාමී සදෙන ම දුක්ඛාපටිපදා ආදී වශයෙන් සතර ප්‍රතිපදාවන් ගේ වශයෙන් සූවිසි වැදෑරුම් වෙති. එ‍් ප්‍රතිපදා සතර මෙසේ ය: 1. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, 2. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා 3. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා 4. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. මෙහි පටිපදා නම් පූර්ව භාග විදර්ශනා මාර්ගය යි. අභිඤ්ඤා ලොවුතුරා මඟපල නුවණ යි.

  1. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා – ඉතා අමාරුවෙන් කෙලෙසුන් යටපත් කොට බොහෝ කල්ගත වී මාර්ගඵල ලබා ගැනීම යි. 2‍. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා – ආමාරුවෙන් කෙලෙසුන් යටපත් කොට නොබෝ කලෙකින් මාර්ගඵල ලබා ගැනීමයි. 3.සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා –පහසුවෙන් කෙලෙසුන් යටපත් කොට බොහෝ කල් ගත වී මාර්ගඵල ලබා ගැනීම යි. 4. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා – පහසුවෙන් කෙලෙසුන් යටපත් කොට නොබෝ කලෙකින් මාර්ගඵල ලබා ගැනීම යි. යට කී සෝවාන් තිදෙන‍ා හා සෙදගැමි තිදෙනා ද යන ස දෙනා මේ පිළිවෙත් සතරෙන් වැඩි කළ සූවිසි දෙනෙක් වෙති.

අනාගාමි ඵලස්ථයෝ ද සූවිසි දෙනෙක් වෙති. ඒ මෙසේ ය: පඤ්ච සුද්ධාවාසයන් ගෙන් 1. අවිහතලයෙහි අන්තරාපරිනිබ්බායී හෙවත් එහි උපන් ක්‍ෂණයෙහි ම හෝ මඳ කලක් ඉක්ම ගොස් හෝ නියම ආයුෂයෙන් මධ්‍යයෙහි හෝ රහත් වැ පිරිනිවෙන්නෝ ය. 2. උපහච්චපරිනිබ්බායී හෙවත් ඒ බඹතලෙහි ආයුෂයාගේ මධ්‍යය ඉක්මවා රහත් වැ පිරිනිවෙන්නෝ ය. 3. සසංකාරපරිනිබ්බායී හෙවත් ආනායාසයෙන් – පහසුවෙන් විදර්ශනා වඩා රහත් වැ පිරිනිවෙන්නෝ ය. 5. උද්ධංසෝත අකනිට්ඨගාමී හෙවත් තමන් උපන් බඹ ලොවෙහි දී රහත් විය නොහැකි වුවොත් එයට ඉහළින් තිබෙන බඹලොවෙකැ ඉපිද විදර්ශනා වඩා රහත් වැ පිරිනිවෙන්නෝ ය. මෙසේ අවිහ – අතප්ප – සුදස්ස – සුදස්සී යන බඹ ලෙව්හි මුලින් සඳහන් කළ පස් ආකාරයෙන් ම විදර්ශනා වඩා රහත් වැ පිරිනිවෙන්නෝ වෙති. අකනිටාබඹලොවට වඩා ඉහළ බඹ ලොවක් නැති නිසා ඉතිරි සිවු ආකාරයෙන් රහත් වැ පිරිනිවෙන්නෝ වෙති. මෙසේ අනාගාමීඵලස්ථයෝ සූවිසි දෙනෙකි.

රහතන් වහන්සේ සිවුපිළිසැඹියා පත් රහත්හු ය, සිවුපිළිසැඹියා නොපත් රහත්හු යැ යි කොටස් දෙකක‍ට බෙදෙති. චතුපටිසම්භිදා නම්, ධර්මය අවබෝධ කැර ගැනීමේ දී පහළ වන විශේෂඥාන සතරෙකි. එනම් ධම්ම – ත්‍රිපිටක ධර්මය දැනීම අත්ථ – ධර්මයෙහි වචනාර්ථ දැනීම, නිරුක්ති දහම් පද විග්‍රහ කොට දැනීම, පටිහාන – මනා අවබෝධය. වෙනත් වචනවලින් කියනවා නම් අභිඤ්ඤා හා චතුපටිසම්භිදා ඤාණය ඇති නැති රහතන් වහන්සේ ය. මෙසේ ආර්ය සංඝයා වහන්සේ හඳුනා ගන්නේ මැනවි.

සම්මුති සංඝයා වහන්සේ කවරහු ද යත්, බුදුරජාණන් වහන්සේගේ කාලයෙහිත් පසුවත් මාර්ගඵල නොලැබූ එහෙත් ඒ මඟට බැස ගත් භික්‍ෂූන් වහන්සේ සම්මුති සංඝයා වහන්සේ නම් වෙති.ආර්ය මහා සංඝයා වහන්සේ ලෝක ශාසනයට වචනයෙන් කියන්නට නොහැකි තරම් උසස් සේවයක් කළහ. මලියදේව මහ රහතන් වහන්සේගේ කාලයෙන් පසු ආර්ය සංඝයා ගැන සඳහන් නැත. එහෙත් සම්මුති මහා සංඝයා වහන්සේ බුද්ධ කාලයෙහි පටන් අද දක්වා ම ශාසනයටත් සමාජයටත් සේවය කෙරෙමින් වැඩ සිටිති.

බුදුරජාණන් වහන්සේ ආර්ය මහා සංඝයා වහන්සේ පිළිබඳ වැ දේශනා කළ ගුණ සමුදාය එදා වැඩසිටි සම්මුති මහා සංඝයා වහන්සේ ද අනුගමනය කළහ. මෙදා ආර්ය මහා සංඝයා වහන්සේ නැතත් මෙකල වැඩ සිටින සම්මුති මහාසංඝයා වහන්සේ ද අනුගමනය කළ යුතු ම යි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආර්ය සංඝ ගුණ මෙසේ ය:

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකසංඝයා වහන්සේ සුපටිපන්නයහ, උජුපටිපන්නයහ, ඤායපටිපන්නයහ, සාමීචිපටිපන්නයහ, ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ අහුනෙය්‍යහ, පාහුනෙය්‍යහ, දක්ඛිණෙය්‍යහ, අඤ්ජලිකරණීයහ, ලෝකයාගේ අනුත්තරපුණ්‍යක්‍ෂෙත්‍රයහ.

භගවතො ඔවාදානුසාසනිං සක්කච්චං සුණන්තීති සාවකා – භාග්‍යවතුන් වහන්සේගේ අවවාදානුශාසනා සකසා අසන්නෝ ශ්‍රාවකයෝ වෙති. ඒ ශ්‍රාවකයන් ගේ සමූහ ශ්‍රාවකසංඝ නම් වේ.

සුපටිපන්නො

සුපටිපන්නොති – සුට්ඨුපටිපන්නො, සම්මාපදං – අනිවත්තිපටිපදං – අනුලොම පටිපදං – අපච්චනීකපටිපදං – ධම්මානුධම්මපටිපදං පටිපන්නො – සුපටිපන්න නම් මනාව පිළිපන් බැවිනුත් මනා පිළිවෙත ය, නො නැමෙන පිළිවෙත ය, නිවනට අනුලොම් වැ යන පිළවෙත ය, අවිරුද්ධ ප්‍රතිපදාව ය, ධර්මානුධර්මප්‍රතිපදාව යන ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ වෙයි.

උජුපටිපන්නො

යස්මා පන සා සබ්බා පටිපදා උජු අවංකා අකුටිලා අජිම්හා අරියො ච ඤායොතිපි වුච්චති, අනුච්ඡවිකත්තා ච සාමීචිතිපි සංඛංගතා. තස්මා තං පටිපන්නො අරියසංඝො උජුපටිපන්නො ඤායපටිපන්නො සාමීචිපටිපන්නොතිපි වුත්තො.”

කායවංක, වාක්වංක, මනෝවංකයන් නසනු පිණිස සෘජු වූ ආර්ය මාර්ගයට පිළිපන් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න නම් වන්නේ ය.

ඤායපටිපන්නො

ආර්යභාවයෙන් න්‍යාය නම් වූ නිවන් මඟට බැසගත් බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඤායපටිපන්න නම් වන්නේ ය.

සාමීචිපටිපන්නො

සාමීචි නම් වූ සුදුසු මඟට පිළිපන් බැවිනුත් සමචන ක්‍රියා කරන්නට සුදුසු මඟට පිළිපන් බැවිනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න නම් වන්නේ ය.

යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සමූහයා නම් සෝවාන් මාර්ගස්ථ ඵලස්ථ වශයෙන් පුරිස යුග හතරෙකි. සෝවාන් මාර්ගස්ථයා යැ, ඵලස්ථයා යැ යි පුරිස පුද්ගල වශයෙන් ගත් කලැ පුරිස පුද්ගලයෝ අට දෙනෙකි.

භගවතො සාවකසංඝෙ‍ා ආහුනෙ‍ෙය්‍යා

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඉතා දුර සිටත් ගෙනවුත් පුදන සිවුපසය පිළිගන්නට සුදුසු හෙයිනුත්, හැම සැපත් ගෙනවුත් පුදන්නට නිසි තැන් වන හෙයිනුත් ආහුනෙය්‍ය නම් වන්නේ ය.

භගවතො සාවකසංඝො පාහුනෙ‍ෙය්‍යා

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නොයෙක් දෙසින් පැමිණි ඥාති මිත්‍රාදීන්ට පිළියෙළ සංග්‍රහ නම් වූ පාහුනය ද ලබන්නට සුදුසු හෙයිනුත් හැම අයුරින් පිදිය යුතු හෙයිනුත් පාහුනෙය්‍ය නම් වන්නේ ය.

භගවතො සාවකසංඝො දක්ඛිණෙ‍ෙය්‍යා

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා පරලොව අදහා දිය යුතු දක්‍ෂිණාව ලබා ගන්නට සුදුසු වන හෙයින් ද, දෙන දානය මහත්ඵල මහානිසංස කිරීමට සුදුසු හෙයින් ද දක්ඛිණෙය්‍ය නම් වන්නේ ය.

භගවතො සාවකසංඝො අඤ්ජලිකරණීයො

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා සංඝයා දොහොත් මුදුනේ තබා ගත් ලෝ වැස්සන් විසින් මහත් භක්තියෙන් කැරෙන ඇඳිලි බැදීම් ලබන්නට සුදුසු හෙයින් අඤ්ජලිකරණීය නම් වන්නේ ය.

භගවතො සාවකසංඝො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මුළු ලෝවැස්සනට එයට වැඩි පින් කෙතක් නැති හෙයින් හා ඉතා උසස් පින් පල උපදනා තැන වන හෙයින් ද අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත නම් වන්නේ ය.

 

බුදුසරණ 1991.05.27

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

දුම් බීම, මත්පැන් බීම හා මත්ද්‍රව්‍ය ගැනීම යන දුසිරිත් වලින් සමාජය බේරා ගැනීම ...
පුණ්‍ය ක්‍රියා වස්තු ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.