ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානය ලද රාහුල මහරහතන් වහන්සේ …

මුන් වහන්සේ වනාහි ත්‍රිවිධ ශ්‍රී ශික්ෂාවන් කැමැති වන්නා වූ අතිශයින් ප්‍රිය කොට හික්මෙන්නා වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ සේක. උන් වහන්සේ පැවිදි වූ දා පටන් දිනපතා උදේ උදෑසන වැලි දෝතක් ගෙන මෙහි ඇති වැලි ප්‍රමාණයට මට අද බුදුරජාණන් වහන්සේගෙන් ද ආචාර්ය උපාධ්‍ය තෙරුන්ගෙන් ද අවවාද ලැබේවායි ප්‍රාර්ථනා කරන සේක් ඒ නිසාම ශික්ෂාකාමින් අතරෙහි අග්‍රයයි දක්වන්නාහ. රාහුල මහරහතන් වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය මෙසේ දක්වනු ලැබේ
රාහුල තෙරුන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර ගොවි මහාසාල කුලයක ඉපිද තම මුතුන් මුතුන් මිත්තන්ගෙන් ලැබී ඇති මහා ධන රාශිය පරලොව යහපත වෙනුවෙන් වාසල් දොරටුව සිට දුගී මගී යාචකයන්ට දුන්හ. හෙතෙම දිනක් මුව සෝදනු පිණිස ගම්න් පිටතට ගිය කල්හි එක්තරා ඉර්ධිමත් තාපස දෙදෙනකු අහසින් එහි පැමිණ සිටිනු දැක එයින් එක් තාපස කෙනෙකුට ආරාධනා කොට නිතිපතා දන් දුන්නේය.

තමන්ගේ අනිත් යහළුවෙක් අනිත් තාපස තුමාට නිතිපතා දන් දුන්නේය ( පසුව රට්ඨපාල චරිත කථාවෙහි එන්නේ එකී යහළුවාය ) පළමු තාපසතුමා දන් වළඳා අවසානයෙහි නිතිපතා පඨවින්ධර නාග භවනයෙහි සිත් අලවනු පිණිස දහම් දෙසයි. ඒ මක්නිසාද යත් එතුමා දිවාවිහරණය පිණිස එකී නාග භවනට නිරන්තරයෙන් යන හෙයිනි මේ නිසා එකී දන් දෙන පුරුෂතෙම පඨවින්දර නාග භවනේ ගැන සිත් අලවා එහි පඨවින්ධර නම් නාග රජු වී උපන්නේය පසුව තමන් උපන් ආත්ම භාවය ගැන කලකිරුණු හෙතෙම මානවක වේෂයෙන් කල් ගත කරන කල්හි දිනක් පියුමතුරා බුදුරජාණන් වහන්සේ නාග ලෝකයට වැඩි අවස්ථාවක තමන් වහන්සේ සමඟ වැඩම වූ උපරේවත නම් තෙරුන් වහන්සේ දුටුවේ ය.
උප රේවත තෙරුන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ම පුත්‍රයාණෝය. අග පසගින් හා අනිකුත් බොහෝ ලක්ෂණ වලින් බුදුන් හා සමාන වෙයි. මේ තෙරුන් කෙරේ පැහැදුනු පඨවින්දර මානවක තෙම “මේ භික්ෂූන් වහන්සේ ඒකාන්තයෙන්යෙන් ම මහත් වූ ගති ඇති ශ්‍රේෂ්ඨ උත්තමයාණන් කෙනෙක් වෙයි. රූපයෙන් හා යසසින් බුදුරජාණන් වහන්සේ සමවෙයි. මම ද අනාගතයෙහි මෙබඳු ගති ලක්ෂණවලින් පිරිපුන් බුදු කෙනෙකුගේ පුතකු වන්නේ” යි සිතීය. හෙතෙම සත් දිනක් බුද්ධ ප්‍ර ප්‍රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දන් පවත්වා අවසානයේදී තමන්ගේ ප්‍රාර්ථනාව බුදුන්ට දැන් වූ කල්හි බුදුරජාණන් වහන්සේ ද ඔහුගේ අභිප්‍රාය මුදුන් පත් වුණු දැක අනාගතයේදී ලොව පහළවන ගෞතම නම් බුදුන්ට පුත්‍රයා වන්නේ නියත විවරණ දුන් සේක්. එවක් පටන් නොයෙක් පින්කම් කොට එයින් චුතව දෙව් මිනිස් සැප සම්පත් විඳිමින් කලක් සසර ඇවිදින කල්හි ඵුස්ස නම් සර්වඥයන් වහන්සේ ලොව පහළ වූ සේක.

ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ මහින්ද නම් පිය රජතුමා වෙනත් කිසිම කෙනෙකුට අවස්ථාවක් නොදී තමා විසින් ම බුදුන් වහන්සේට උපස්ථාන කළේය. මහින්ද රජුගේ වෙනත් බිසවගේ පුතුන් තිදෙනෙක් වෙති. ඔවුන් සර්වඥයන් වහන්සේට උපස්ථාන කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට කල් බලමින් සිටින මොහොතේ ඒ රට පසල් දනව්වක කැරැල්ලක් හටගත්තේය එකී පුතුන් තිදෙනා ගොස් කැරැල්ල සංසිඳුවා කල්හි රජතුමා ඒ ගැන පැහැදී කැමති වරයක් ඉල්ලවයි දැන්විය. පුත්තු තිදෙන තමන්ට බුදුන් වහන්සේට උපස්ථාන කිරීමට තුන් මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ රජතුමාට අකමැත්තෙන් වුවද ඊට අවසර දීමට සිදුවිය කුමාරවරු තිදෙනා බලවත් සතුටට පැමිණ අපි භාරදූර කාර්යයක් කිරීමට භාර ගතිමු. මෙය ස්වල්ප කාර්යයක් සේ නොසිතා ඉතාමත් සුදුසු ආකාරයෙන් සියලු කටයුතු සම්පාදනය කොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමු යැයි කතිකා කර ගත්හ.

මෙසේ කථිකා කොට එක් පුරුෂයෙක් ධන ධාන්‍ය රැස් කිරීමට ද එක පුරුෂයෙක් ගණන් ප්‍රමාණ සොයා බැලීමටද එක පුරුෂයෙක් දාන සංවිධානය කිරීමට ද පුරුෂයන් තිදෙනෙකු පත් කළහ ඔවුන් තුන්දෙනා අතර ධාන්‍ය රැස් කල පුරුෂයා පසුව මෙකල බිම්බිසාර රජ විය ගණන් බැලූ පුරුෂයා විශක නම් උපාසක විය දාන සංවිධානය කළ පුරුෂයා රට්ඨපාල තෙරුන් විය. මෙසේ පින්කම් කළ රාජ කුමාරවරු තිදෙනා අතුරින් රාහුල ස්ථවිරයන් වහන්සේ කසුප් බුදුන් දවස කිකී නම් රජුගේ දෙටුපුත් ව උපන්නාහු ය. එකල්හි පඨන්වින්ද නම් කුමාරයා එකී බුදුරජාණන් වහන්සේට හා භික්ෂූන් වහන්සේලාට වාසය පිණිස විහාර පන්සියයක් කරවා පූජා කළේය. අනතුරුව එයින් චුතව බොහෝ කල් කාලයක් පින් දහම් කොට අපගේ සිද්ධාර්ථ නම් මහබෝසතාණන් වහන්සේ අග්‍ර මහේෂිකාව යශෝධරා දේවීන් කුස පිළිසිඳ ගෙන සුදුසු කල්හි අපගේ බෝසතාණන් අභිනිෂ්ක්‍රමණය කළ දිනට කලින් දින මෙලොව පහළ විය හෙතෙම රාහුල යැයි නම් කරන ලද්දේ ය.

අපගේ බෝසතාණන් වහන්සේ  අභිනිෂ්ක්‍රමණය කොට බුදු ව සත් සති ගෙවා බරණැස් දම්සක් පැවතුම් බණ අසා බණ දෙසා අනුක්‍රමණයෙන් කිඹුල්වත්පුරට වැඩම වදාරා රාහුල කුමාරයා පැවිදි කොට වදාළ සේක්. මෙසේ පැවිදි වූ රාහුල සාමණේරයන් වහන්සේට සර්වඥයන් වහන්සේ අවවාද වශයෙන් රාහුලෝවාද සූත්‍රය දේශනා කළ සේක්. රාහුල සාමණේර තෙම අලුයම නැගිට “වැලි දෝතක් ගෙන එපමණට අවවාද ලැබේවා”යි සිහිකරයි. “රාහුල සාමණේරයන් අවවාද කැමැත්තෝය. පියාණන් වහන්සේට සුදුසු පුතනුවෝය”යි භික්ෂු සංඝයා වහන්සේ අතර කථාවක් ඇති විය. සර්වඥයන් වහන්සේ එම කතාව අසා වදාරා එහි වැඩ රාහුල තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෘග ජාතකය ගෙණහැර දක්වා වදාළ සේක. ඒ රාහුල ස්ථවිරයන් වහන්සේ සත් හැවිරිදි කල්හි රාහුල තෙම ළදරු අවස්ථාවේ සිටි බැවින් ක්‍රීඩා පිණිසවත් දැන දැන බොරු නොකියන්නෙක් විය යුතු යැයි බුදුහු අම්බලට්ඨිය සුත්‍රය වදාළසේක. අටලොස් හැවිරිදි කල්හි සර්වඥයන් වහන්සේ පසුපස සිඟා වඬින කල්හි තමන්ගේ ද බුදුරජාණන් වහන්සේගේ ද සමාන රූප සම්පත්තිය බලා “මේ මාගේ පියාණෝය” යන ගේහසික ප්‍රේමයක් රාහුල තෙරුන් ට ඇති විය සිත දුරු කරනු පිණිස සර්වඥයන් වහන්සේ රාහුලෝවාද සූත්‍ර දේ දේශනා කළ සේක. නැවත ශාස්තෘන් වහන්සේ රාහුල තෙරණුවන්ගේ නුවණ මුහු කුරා ගිය බව දැන් අන්ධ වනයෙහි වැඩ සිටිනා සමයෙක්හි චූල රාහුලෝවාද සූත්‍රය දේශනා කළ සේක. ඒ දේශනාව අසා රාහුල තෙරණුවෝ රහත් වූහ. පසු කලක දී උන්වහන්සේ ශික්ෂාකාමින් අතර අග්‍ර යයි වදාළ වදාරා අග්‍රස්ථානය දුන් සේක

error: Content is protected by www.ifbcnet.org.