ශ්‍රී ලංකාව මන්දබුද්ධික රටක් වේවි ද?

බුදු රජාණන් වහන්සේ ලොවැ පහළ වන කාලයේ විශාල තැනක් තුබුණේ අන්ධ විශ්වාසයට ය. ප්‍රඥා විශ්වාසයට තුබුණේ ස්වල්ප තැනෙකි. එහෙයින් මිනිසා සිතක් තුබුණත් සිතීමේ පුරුද්ද හොඳට ම හීන වී ගොස් තිබුණි. ආගමික නීතිවලට ගැතිවීම නිසා සිදු වන පරිහානිය දුටු බුද්ධිමතුන් ආගමික නීති කඩ කෙරෙමින් ප්‍රශ්න නැගූ සැටි උපනිෂද් ග්‍රන්ථවලින් පැහැදිළි වේ.

උපනිෂද් යුගයෙහි උපන් බුදුරජාණන් වහන්සේ අන්ධ විශ්වාය මුලු ගන්වමින් ප්‍රඥා විශ්වාසය කුළු ගන්වමින් “නාචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡති” නො සිතන පුද්ගලයා විශේෂ දියුණුවක් ලබන්නේ නැතැයි දේශනා කළ අතර කාලාම සූත්‍රයෙන් සිතීමේ පූර්ණ නිදහස පසළොස් ආකාරයෙකින් පැහැදිලි කළහ.

සිතීමේ නිදහස වරදවා යෙදීමෙන් සිදු විය හැකි පිරිහීමත් හරිහැටි යෙදීමෙන් සිදුවිය හැකි දියුණුවත් සිතූ බුදුරජාණන් වහන්සේ සිතීමේ කලාව හෙවත් බුද්ධිය පසුබිම් කැර සිතන සැටි මහාපදේස දේශනාවෙන් පැහැදිළි කළහ. එසේ ප්‍රකාශ කැර තිබිය දී මෙකලැ ද නිදහස වරදවා යෙදීමෙන් සමහරුන් පූර්ණ වත් තුන් කාලටත් බාගෙටත් කාලටත් පිස්සන් වැ සිටින බව පෙනෙන්නට ඇත.

සිංහලද්වීපය යන නමට දීර්ඝ ඉතිහාසයක් ඇතත් ඇතැම් සිංහලයන් ම සිංහල නමට විරුද්ධ බව පෙනෙන්නට ඇත. සමහරුන් මේ රට බෞද්ධ යැයි කියනවාටත් විරුද්ධ ය. මේ දෙකරුණු ම ඔප්පු කළ හැකි වුවත් මේ එයට අවස්ථාව නොවේ. සමහර ඉංග්‍රීසි පුවත් පත්වල යොදන “ලංකන්” යන වචනය සිහියට ගන්න. ඔය කවුරුන් කවර කතා කළත් ශ්‍රී ලංකාව බෞද්ධ රටයි. මේ සිංහල බෞද්ධ රටෙහි උපන් සිංහල බෞද්ධයන් විසින් බුද්ධිය පසුබිම් කැර ගෙන සිතිය යුතු කරුණක් දක්වන්නෙමි.

විද්‍යා මත අද ඇත්ත හෙට බොරු වෙයි. හෙට ඇත්ත අනිද්දා බොරු වෙයි. එහෙත් දිවැසට පමණක් දෙවැනි කොට පිළිගත හැකි ඇත්තකි විද්‍යා මතය. ඒ විද්‍යා මතයට අනුකූල වැ සිතන විද්‍යාධරයනට අනාගත ලංකාව මන්දබුද්ධික රටක් වේවි ද යන සැකයක් පහළ වී ඇත.

මන්දපෝෂණයෙන් 18 ලක්‍ෂයක්

අද කුඩා දරුවන්ට තව අවුරුදු විසිපහකින් තිහකින් පාලකයන් විය හැකි ය. එසේ පාලකයන් විය හැකි ළමයි අද සිටින තත්ත්වය ගැන මැදහත් වැ නුවණින් සිතා බල‍න්න. මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි දහඅට ලක්‍ෂයයි. ගොළු බිහිරි ළමයි හතළිස් පන් දාහයි. අන්ධ ළමයි තිස්පන් දාහයි. කොර ළමයි පහළොස් දාහයි. මානසික ආබාධිත ළමයි පහළොස් දාහයි. මේ අවුරුදු කීපයකට පෙර ගණන ය. අද ගණන් අඩු වන්නටත් පිළිවන, වැඩි වන්නටත් පිළවන. වැඩි වී ඇතැයි සිතා ගත්ත‍ාට වරදක් නැත.

ළමයින් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ සුදුසු ආහාර ප්‍රමාණවත් ව නොලැබීමෙනි. මන්දපෝෂණය නිසා ළමයින්ගේ කය වැඩෙන්නේ නැත. කයේත් මෙ‍ාළේත් වැඩීම හීන වෙයි. විද්‍ය‍ා විග්‍රහය අනුව කියනවා නම් කුඩා ළමයිනට සුදුසු ආහාර නියම පමණට නොලැබීම නිසා මොළේ සෛල නොවැඩෙනවා පමණක් නොව මොළේ සෛල හැකිළී යයි. එයින් මොළේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙයි. මන්දබුද්ධික වෙයි.

මවුපියනට මුදල් නැතිකම නිසා සුදුසු ආහාර නියම පමණට දෙන්නට නොහැකි ව සිට පසුව හැකියාව ලැබී සුදුසු ආහාර නියම පමණට දුන්නොත් නොවැඩුණු කය නම් වඩවා ගත හැකිවනු ඇත. එහෙත් හීන වූ මොළය නම් වඩවා ගත නොහැකි වෙයි. මත්පැන් බීමෙන් මොළේ පිළිස්සෙන සෛල නැවත පණ ගන්වා ගත නොහැකි වෙන්නාක් මෙන් ම සුදුසු ආහාර නියම පමණට නොලැබීමෙන් හීනවන හැකිළෙන මොළේ සෛල නැවත පණ ගන්වා ගත නොහැකි වනු ඇත.

මෙහි අනිෂ්ට අසුන්දර භයානක ප්‍රතිඵලය නම් තව අවුරුදු පහළොහකින් කාය ශක්තිය ඇති බුද්ධිහීන දහ අට ලක්‍ෂයක් තරුණ තරුණියන් ජන සමාජයට පැමිණීමයි. කාය ශක්තිය ඇති බුද්ධි හීන තරුණ තරුණියන් දහඅට ලක්‍ෂයකට කරන්නට බැරි අපරාධය කුමක් ද? දැන් අලුතෙන් හදා ගෙන තිබෙන වචනය අනුව එකී තරුණ තරුණියන් දහඅට ලක්‍ෂය ත්‍රස්තවාදයට බැස්සොත් කරන්නේ කුමක්ද? වෙඩි තබා මරා අවසානයක් දකින්න පිළවන් ද? බැහැ බැහැ බැහැ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව මුළු ලොව උගතුන් පිළිගෙන තිබෙන හේතුඵල වාදය අනුව ම මෙය විසඳිය යුතු වේ. එහෙයින් මා දන්නා හැටියට හේතු ඵලයනුත් පිළියමුත් සඳහන් කෙරෙමි. මේ කරුණු කරුණාවත් ප්‍රඥාවත් කුළු ගන්වා මෙනෙහි කොට සමගියත් සංවර්ධනයත් ඒකාබද්ධ කැර ගෙන ඉදිරියට යා යුතු බව මෙත් සිතින් දන්වමි. ප්‍රධාන හේතු කිහිපයක් මෙසේ ය:

තුන්වැනි ලෝකයෙහි රටවල්වලින් වැඩි සංඛ්‍යාවක් දුප්පත් ය. ආසියාතික රටවල දුප්පත් කමින් දෙවැනි තැන ගන්නේ ශ්‍රී ලංකාවයි. වර්තමාන රජය කූපන් පොත් ක්‍රමය නැති කිරීමට පෙර ජනතාවගේ ආදායම් තත්ත්වය දෙවරක් ම පරීක්‍ෂා කොට බැලී ය. දෙවාරයෙන් ම දැන ගන්නට ලැබුණේ ජනගහණයෙන් බ‍ාගයක් මසකට රුපියල් තුන්සියයකට අඩු ආදායමක් ලබන අය බවයි. දැන් මඳක් වෙනස් වී ඇත. එහෙයින් මේ වර මුදල් කූපන් දුන්නේ හැත්තෑ ලක්‍ෂයක ට ය. අවුරුදු හයකට ලැබූ ප්‍රගතිය සුළු වුවත් සතුටු වෙමු.

දොළොස් ලක්‍ෂයක් පමණ රැකියා නැතියවුන්ගෙන් හය ලක්‍ෂයකට අධික සංඛ්‍යාවකට රැකියා ලබා දී ඇතැයි රජය කියයි. රජය එසේ කියන්නේ කාර්ය‍ාලයීය ලියාපදිංචි ගණන් ය. ඈත පිටිසර මිනිසුන් රැකියාවක් නැතැයි රජයේ ලියාපදිංචි වන්නට එන්නේ නැත. එහෙයින් රජයේ පොත්වල ගණන් අනුව රැකියාවක් කළ යුතු වයසේ සිටින, එසේ වුවත් ස්ථීර රැකියාවක් නැති අය තිස්පන් ලක්‍ෂයක් පමණ බව මීට කලින් වරක් ලියා ඇත.

මෙසේ හැත්තෑ ලක්‍ෂයක් පමණ දුප්පත් ජනතාව ශ්‍රී ලංකාවේ පවුල් සංඛ්‍යාව අනුව ගත් විට පවුල් දහසය ලක්‍ෂයක් පමණ ය. මෙයින් පවුල් වැඩි සංඛ්‍යාවක අවුරුදු පහෙන් පහළ ළමයි එක්කෙනා, දෙන්න‍ා, තුන්දෙනා ගණනේ ඉන්න පිළිවන.

අපේ අම්මලා තව ම දරුවනට තම කිරි දෙති. එහෙත් දුප්පත් කම නිසා දරුවාට දෙන්නට අම්මාට කිරි එරෙන්නේ නැත්තම්, එරෙන කිරි ටිකේත් පෝෂ්‍ය ගුණය අඩු නම්, අම්මා රැකියාවකට ගොස් පැය දහයක් දොළහක් පමණ දරුවාගෙන් ඈත්ව සිටිනවා නම්, හොඳට වෙහෙස වී අවුත් දරුවාට කිරි දුන් විට පාරේ යන විට ලස්සනට පෙනෙන්නට තිබිය යුතු ශරීරය අවලස්සන වේ යැයි සිතනවා නම්, මවුකිරි ළඟට දරුවාට පෝෂ්‍ය වන එළකිරි ගවයන් මරා ගෙන කාලා ඉවර නිසා ලබා ගැනීම අපහසු නම්, අහිංසක දරුවාට දෙන්නාට තුන්දෙනාට කාගේ පිහිටක් ද?

පිටරටවලින් ගෙනෙන කිරි ආහාරවලින් කඩ සාප්පු පිරී ඉතිරී ගොස් ඇත. පෝසතුනට නම් රජ සැප ය. කාලා මැරෙන තරමට ආහාර ඇත. ඒ කිරි ආහාරවල මිල ගණන් ඉතා අධික ය. හැත්තෑ ලක්‍ෂයක් වන හොඳට ම දුප්පතුනට නම් ඒ ආහාර දෙස බලා සුසුම් හෙළනවා හැර වෙන කරන්න‍ට දෙයක් නැත. මන්දපෝෂණය නැති කොට කයත් මොළයත් වඩවන්නට කිරි ආහාර ළඟට උපකාර වන්නේ පළතුරු ය.

මෙරට හා පිටරට පළතුරු යුෂ ද ඇපල් මුද්රප්පලම් ආදී නොයෙක් පළතුරු ද සුලබ ය. එහෙත් මිල වැඩි ය. එහෙයින් දුප්පත් හා දුක සේ ජීවත් වන පවුල් දහසය ලක්‍ෂයක පමණ දරුවනට නම් පළතුරු රස විඳින්න ලැබෙන්නේ නැත. ඔවුනට කෙසෙල් ගෙඩියක්වත් දෙන්න‍ට හැකියාවක් නැත.

පැරැණියෝ ගෙදර ඉඩ තිබෙන පරිදි එළවලුත් පළතුරුත් වැවූහ. දැන් ඉන්නා බොහෝ දෙනා එබඳු ගෙදරට පිරිමැසෙන කටයුතු කරන්නේ නැත. සියල්ල මුදල් දී ගන්න බලා ඉන්නවා. එයින් ජීවන වියදමත් නගිනවා. ගමේ තිබෙන පළතුරු ටිකත්, සංචාරක හෝටල්වලට එකතු කැරගෙන එනවා. අදූරදර්ශී මාපියන් ගෙදර දරුවනට දිය යුතුව තිබෙන පළතුරු ටිකත් සංචාරකයනට සුළු මුදලකට විකුණා කුණු කරවල ටිකක් ගෙනවුත් දරුවනට දෙනවා. සමහර පියවරු උපයන මුදල් බීමටයි සූදුවටයි යොදවනවා.

මෙසේ දරුවන්ගේ කයත් මොළේත් වැඩෙන්නට උවමනා කරන කිරි ආහාරත් පළතුරුත් නිසි පමණට ලැබෙන්නේ නැති නිසා දරුවන්ගෙන් සියයට පනහකටත් වැඩිය මන්දපෝෂණයෙන් පෙළෙනවා. ජීවන වියදම දිනෙන් දින වැඩි වන නිසාත් ළමා කිරි ආහාර හා පළතුරු මිල වැඩි වන නිසාත් මන්දපෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව දිනෙන් දින ම වැඩි වෙනවා. මන්දපෝෂණ ළමයින් මන්දබුද්ධිකයන් වෙනවා. එය එසේ නම් අනාගත ශ්‍රී ලංකාව මන්දබුද්ධික රටක් නො වන්නේ ද?

මේ ආපදාවෙන් අනාගත පරපුර බේරා ගන්නට කුමක් කළ යුතු ද? මනා සංවර්ධන සැලැස්මක් අනුව ක්‍රියා කිරීමයි. ඒ සැලැස්ම කොටස් දෙකකින් යුක්ත විය යුතු ය.

1.    ගෙවතු වැවීම

පැරණි සිරිතක් වශයෙන් සිදු කළ ගෙදර එළවලු හා පළතුරු වැවීම ආර්ථික පිරිමැස්මක් මෙන් ම සෞඛ්‍යයට ද හොඳ උපකාරයෙකි. අලුත් එසේ ම පිරිසිදු එළවලු හා පළතුරු අනුභවයට ලැබීම මහත් භාග්‍යයෙකි. දරුවන් නීරෝගි වන්න‍ාක් මෙන් ම මන්දපෝෂණය ද තුරන් කළ හැකි වේ. එයින් මන්දබුද්ධික භාවය ද ඉබේ ම වැළැකෙයි.

කිරි දරුවාට අමෘතය හා සමාන ආහාරය මවුකිරි ය. අපේ රටේ මවුවරු වැඩි දෙනා මවුකිරි දීමට මැළි නැත. ඒ අතර පැෂන්කාරියන් ටික දෙනෙකු මවුකිරි දෙන්නේ නැති බවත් රහසක් නොවේ. ගෙවත්තෙන් අලුත් එළවලුත් පළතුරුත් අනුභවයට ලැබෙනවා නම් මවුකිරි වඩාත් පෝෂ්‍යදායක වෙයි. එය ද මන්දපෝෂණය ඉවත් කිරීමට උපකාර වනු ඇත. මෙකලත් යාපනේ ගෙවතු වැවීම හොඳින් සිදු වෙයි. ඔවුන්ගේ සිරිත් විරිත් අනුව බොහෝ දොස්තර මහත්වරුන් හිමිදිරි පාන්දර නැගිට ගෙවත්තේ වැඩ ටිකක් කිරීම හොඳ ආදර්ශයකි. නඩුකාර මහතාත් ගුරුවරුනුත් ශිෂ්‍යයනුත් රැකියාවලට යන අනෙක් අයත් එසේ කරන බව ආරංචියි.

පුරාණ කාලයෙහි රැකියාවනට බහුල වශයෙන් ගියෝ පිරිමි ය. රැකියා කිහිපයකට පමණක් ගැහැණුත් ගියහ. දැන් ජීවන වියදම වැඩි නිසා ස්වාමි පුරුෂයා පමණක් රැකියා කොට පවුලක් නඩත්තු කරන්නට නෙ‍ාහැකි ය යන අදහස ඇති කැරගෙන ඇත. සමහර මවුපියන් ද දුවට සුළු රැකියාවක් හෝ තිබෙනවා නම් දෑවැදි ප්‍රශ්නයක් ඇති වන්නේ නැතැයි ද සිතනවා. ගැඹුරට කල්පනා කරනවා නම් සිතා බැලිය යුතු කරුණු බොහෝමයි. දරුවන් බලා ගන්නා සේවිකාවන් පත් කිරීම ඒවායින් එකකි. එයට වේතනයෙන් සෑහෙන මුදලක් වෙන් කළ යුතු වේ. ඉන්ධන මිල අධික නිසා ගමන් වියදම සඳහා සෑහෙන වියදමක් කරන්නට සිදුවෙයි. දිනපතා පරිහරණය කිරීමට විසිතුරු ඇදුම් සඳහා සෑහෙන වියදමක් කරන්නට සිදුවෙයි. කිරි දරුවන් ඉන්නා මවුවරු ද රැකියාවට යෑම නිසා දරුවා පැය දොළහක් පමණ මවගෙන් අ‍‍ෑත් ව සිටීමෙන් මන්දපෝෂණයෙන් පමණක් නො වැ රෝග බහුල වීමෙන් සෑහෙන වියදමක් දරන්නට සිදුවෙයි. කෙනෙකුගේ චේතනයෙන් යමක් ඉතිරි වේවි ද? දරුවන් පැය දෙ‍ාළසක් පමණ හෝ ඊට මඳක් අඩුවෙන් හෝ මවුපියන් ගෙන් වෙන් ව සිටීම නිසා ජීවන හැඩගැස්මේ අංශයෙන් සිදුවන අලාභය මෙයට එකතු කළේ නැත. රජයත් ජනතාවත් මේ කරුණු මැදහත් වැ සිතා බලන්නේ මැනැවි.

2.    රජය විසින් කළ යුතු කොටස

මහජනතාවට අවශ්‍ය අනවශ්‍ය ආහාර දී හැම දෙයක් ම සුලබ වැ ඇතත් ජනතාවගෙන් සියයට අසූවකට පමණ ඒවා ගැනීමට ප්‍රමාණවත් මිල මුදල් නැත. එහෙයින් කුඩා දරුවන්ට උවමනා කිරි පළතුරු ආදිය පවා ප්‍රමාණවත් ව දිය හැකි නොවේ. එහි අනිෂ්ට ප්‍රතිඵලය මන්දපෝෂණයයි. මන්දබුද්ධික භාවයයි. මේ ජාතික විනාශය වළක්වා ගැනීමට රජය විසින් කළ යුතු දේ මෙයයි.

මෙකලැ වෙළඳාමට තබා ඇති උපභෝග වස්තු අති විශාල සංඛ්‍යාවක් ඇත. එය අඩුකොට සියයක් යැයි ගනිමු. එයින් දුප්පත් පෝසත් කා හටත් එක සේ අවශ්‍ය වන කිරි පරිප්පු ආදිය හා පාසල් ඇඳුම් හා නිත්‍ය පරිහරණයට අවශ්‍ය රෙදිපිළි ආදී ද්‍රව්‍ය දහයක් නම් කොට එහි මිළ අඩු කළ යුතු ය. එයින් අඩු වන ආදායම් ඉතිරි අනූවෙන් පුරවා ගත යුතු වේ. මෙසේ කිරීමෙන් රජයට පාඩුවක් නොවන අතර ජනත‍ාවට මහත් පහසුවක් දැනෙනු ඇත.

මෙකලැ සමහර දියුණු රටවල ද බඩු මිල නගින විට ආහාර මිල අඩුවෙන් තබා ගන්නට උස්සාහ දැරීම සිරිතක් වැ ඇත. බෙහෙත් මිල ටිකක් හෝ අඩු කරන්නට කටයුතු කිරීම ගැන සෞඛ්‍ය ඇමතිතුමාට ප්‍රශංසා කෙරෙමි.

 

රිවිරැස 1983.12.04

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමන් ප්‍රධාන ඇමැතිතුමන්ලා වෙතය ...
හිතවත් ජනාධිපති තුමා වෙතටයි ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.