විසිතුරු ධම් කථා ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලද කුමාර කස්සප මහරහතන් වහන්සේ..

කුමාර කස්සප මහරහතන් වහන්සේ විසිතුරු ධම් කථා ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබු සේක. උන්වහන්සේ බණ අසන්නවුන් එක් කෙනෙකු සිටියත්, බොහෝ දෙනකු සිටියත් විශේෂයක් නොබලා නොයෙක් උපමා දක්වමින් දහම් දෙසා ඔවුන්ට අවබෝධ කරවන සේක. කලින් පැවිදි වු කාශ්‍යප තෙරුන් වහන්සේ මහා කාශ්‍යප යනුවෙන් හදුන් වන හෙයින් මුන් වහන්සේ කුමාර කාශ්‍යප නමින් හදුන්වති. එසේම රජගෙදර හැදුණු වැඩුණු හෙයිනුත්, බාල අවධියේ පැවිදි වූ හෙයිනුත් කුමාර කාශ්‍යප නමින් හඳුන්වනු ලැබේ. උන්වහන්සේගේ පුර්වාපර චරිතාපදානය මෙසේය.

මෙයින් කලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක උපන් කුමාරකස්සප තෙරණුවෝ වැඩිවියට පැමිණ එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසන අවස්ථාවක එක්තරා භික්ෂුවකට චිත්‍රකථික භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය දෙනු දැක තමාද අනාගතයෙහි මෙබදු පදවියක් ලබනු පිණිස මහ දන්දී සර්වඥයන් වහන්සේන්ගෙන් ඒ සඳහා නියත විවරණ ලැබුහ. අනතුරුව බොහෝ පින් කරමින් සසර සරිසරමින් සිට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය පිරිහෙමින් තිබුණු අවධියේ දී මෙහි මුලින් සඳහන් කළ දම්බ මල්ලපුත්‍ර තෙරුන්ගේ චරිත කථාවෙහි සඳහන් යහළු භික්ෂුන් සත් දෙනාගෙන් එක් අයෙක්ව උපන්නේය.

පර්වත මුදුනෙහිදී ම මාර්ගඵල නොලැබ මිය ගිය හෙතෙම අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහිදී රජගහ නුවර එක්තරා සිටුවරයකුගේ බිරිඳකගේ කුස පිළිසිඳ ගත්තේ ය. ඕතොමෝ ඒ බවක් නො දැන සවාමි පුරුෂයාගේ අවසරය රැ ගෙන මෙහෙණි සසුනෙහි පැවිදි වූවාය. කෙසේ නමුත් ඇය පැවිදි බවට පත් වුයේ දෙව්දත් තෙරුන් ගේ පස ගත් මෙහෙණි අසපුවක ය. ටික කලක් ගිය කළ මෙහෙණිය ගේ දරු ගැබ මෝරා කුස මහත්ව පෙනෙන්ට විය. එකල දෙව්දත් තෙරට පක්‍ෂපාත මෙහෙණිවරු ඇයව දෙව්දත් තෙරුන් වෙත ගෙන ගොස් එකී සිද්ධිය කී වාහුය, දෙව්දත් තෙර තමන් සර්වඥ නොවන හෙයින් තමාගේ පක්ෂයේ මෙහෙවරුන්ට වන අපකීර්තිය ගැන පමණක් සිතා එකී භික්ෂුණිය ගේ නියම තත්ත්වය නොසලකා වහා සිවුරු හරවයි විධාන කෙළේය.  එකල්හි දරුගැබ ඇති භික්ෂුණිය ” මා නොනසව මැනව, මම දෙව්දතුන් උදෙසා මහණ නොවීමි. මාගේ පැවිද්ද මාගේ ලෝතුරා සම්මා සම්බුදු පියාණන්වහන්සේ උදෙසාය. උන්වහන්සේ සමීපයට මා ගෙන යනු මැනව. බුදුරජාණන් වහන්සේ තුන් කල් දන්නා නුවණින් බලා වදාරති. මම නිදොස් නම් පැවිද්දෙහි සිටිමි. සදොස් නම් සිවුරු හරින්නම් ” යි කීවාය. එකල්හි ඔවුහු ඇයව රැගෙන බුදුරජාණන් වහන්සේ කරා ගෙන ගොස් උන්වහන්සේට මෙම සිද්ධිය ප්‍රකාශ කළාහුය. බුදුරජානන් වහන්සේ ඇය ගිහි අවස්ථාවෙහි දරු ගැබ පිහිටි නියාව දන්නා නමුත් අන්‍යන්ගේ දෝෂාරෝපනයෙන් මිදෙනු පිණිස සිව්වනක් පිරිස අතුරෙන් උපාලි තෙරුන්ද, කොසොල් රජුද, අනේපිඩුසිටු ද විශාඛාවද ඇතුළු තවත් ප්‍රභූන් ඇතුළත් විනිශ්චය සභාවක් පත් කොට ඇයගේ දරුගැබ පිහිටියේ පැවිදිවීමට පුර්වයෙන් ද නැතහොත් පැවිදි වීමෙන් පසුව දැ යි තීරණය කරන ලෙස විධාන කළ සේක. එකල්හි හැමගේ කැමැත්ත පරිදි එය පරීක්ෂා කිරීමට විශාඛාවන්ට භාර කළහ. විශාඛා තොමෝ දරුවන් විස්සක් වැදු මවක් හෙයින් භික්ෂුණියගේ අංග ලක්‍ෂණ පරීක්ෂා කොට දරුගැබ පිහිටියේ ඇය පැවිදි වීමට කලින් ම බව ප්‍රකාශ කළා ය. භික්ෂුණිය නිදොස් වු වා බුදුරජාණන්වහන්සේ ගේ අපමණ ගුණ කියා පැවිද්දෙහිම රැඳුනාය.

යථා කාලයේ දි භික්ෂුණිය මහානුභාව සම්පන්න පුතණු කෙනෙකුන් වැදුවා ය. ඒ උපන් කුමාරයා කොසොල් රජුගේ මාලිගයෙහි ඇති දැඩි වුයේ කුමාර කස්සප නමින් ප්‍රසිද්ධව කලක් රජගෙදර විසීය, මෑත භාගයේ තම මෑණියන් වහන්සේ කවුරුදැ යි විචාරා “තොපගේ මෑණියන් දෑ නම් මෙහෙණි කෙනකුන් වෙති ” යි කී කල්හි එපමණකින් ඔහුගේ සිත කලකිරී පැවිදි වන්නට කැමති වුයේ රජුගෙන් අවසර ගෙන බුදුරජාණන් වහන්සේ ළඟ මහණ විය. නැවත උපසම්පදාව ලදින් කුමාර කස්සප තෙරුන් වහන්සේ යයි ප්‍රසිද්ධ විය. බුදුරජාණන් වහන්සේන්ගෙන් කමටහන් ඉගෙන වනයට ගොස් කලක් භාවනාවෙහි යෙදුණු නමුත් මාර්ගඵල යක් ලබන්නට අසමත් වු හෙයින් නැවත කමටහන් ලබනු සඳහා බුදුරජාණන් වහන්සේ හමුවීමට අන්ධවනයට ආ කුමාර කස්සප තෙරුන් වෙත බොහෝ කලකට පෙර තමා සමග පර්වත මුදුනේ මහණ දම් රැක අනාගාමී වු පැරණි යහළු බ්‍රහ්ම රාජයා පැමිණියේ ය. පැමිණ වම්මික සුත්‍රයෙහි එන ප්‍රශ්න පසළොස ප්‍රකාශ කොට එහි අර්ථය බුදුරජාණන් වහන්සේගෙන් අසා දැන ගන්නා ලෙස උපදෙස් දී යැවීය. කුමාර කස්සප තෙරණුවෝ එම ප්‍රශ්න බුදුරජාණන් වහන්සේන්ගෙන් අසා ඒ මගින් රහත් වු සේක.

කුමාර කස්සප තෙරුන්ගේ මෑණිවූ මෙහෙණිය තම පුතු නොදැක දොළොස් අවුරුද්දක් ගතවන තුරුම ශෝක භරිතව කඳුළු සලමින් සිටියා ය. දොළොස් වසකට පසු දිනක් කුමාරකස්සප තෙරුන් වහන්සේ මහ මඟ පිඩුසිගා වඩනා වේලෙහි මව් මෙහෙණිය ඉදිරියට පැමිණ “පුත්‍රය, පුත්‍රය” යි කිය කියා තෙරුන්ගේ අත අල්ලා ගත්තීය. පුත්‍රනොයෙන් ඇගේ පියයුරු වලින් ගලා ආ කිරෙන් සිවුරු තෙමී තිබිණ. කුමාර කස්සප තෙරුන් වහන්සේ ” මේ මොහොතෙහි මැයට ස්නේහයක් දක්වා කථා කළොත් දරු දුක වැඩි වී ප්‍රේමයෙන් මුසපත්ව කරන මහණ දමින් වැඩක් නැති වෙයි. එම නිසා තදින් කථා කරමි”යි සිතා ” දොළොස් අවුරුද්දක් මහණදම් රැක්කත් තවම දරු න්නේය දුරු කර ගන්නට අසමත් වු යෙහිදැ ?” යි විචාළ සේක. එකල්හි මව් මෙහෙණ සිතන්නී ” මම දොළොස් අවුරුද්දක් මේ පුතණුවන් නිසා හඩා ඇවිද්දෙමි. එසේ වුවත් මේ තෙම මට නපුරු ලෙසින් කථා කරයි. මා කෙරේ ළෙන්ගතු බවක් නැති සේය .මට මොහුගෙන් කුමන ප්‍රයෝජනයක් දැ “යි පැවති පුත්‍ර ග්නේය සිඳ දමා ඒ මොහොතෙහිම කෙලෙසුන් නසා රහත් වුවාය. දෙව්දත් තෙරුන් එකී මව් මෙහෙණට හා කුමාරකස්සප තෙරුන් ට කළ නිග්‍රහයෙන් බුදු රජාණන් වහන්සේ ඔවුන් දෙදෙනා මුදවා ගත් අයුරු හික්ෂුන්ගේ ප්‍රසංසාවට ලක් විය. එය අරමුණු කොට ගෙන බුදුරජාණන් වහන්සේ දැන් පමණක් නොව පුර්වයෙහිද මේ දෙදෙනා විනාශයෙන් මුදවා ගත් අයුරු විස්තර කෙරෙමින් න්‍යග්‍රොධ මෘග ජාතකය වදාළ සේක.

– කුමාර කස්සප මහරහතන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙහි දැක් වූ සිත් ගන්නා සුලු විලාශය වඩාත් ප්‍රකට වුයේ පායාසි රජතුමාට ප්‍රශ්න පසළොසකින් යුක්ත පායාසි රාජඤ්ඤ සූත්‍රය දේශනා කිරීමෙනි. මෙය අරමුණු කොට ගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මධ්‍යයෙහි කුමාර කස්සප තෙරුන් අමතා ” එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං චිත්තකථිකානං යදිදං කුමාර කස්සපො” යනුවෙන් වදාරා විසිතුරු ධර්ම කථා ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය දුන්දුන්සේක.

error: Content is protected by www.ifbcnet.org.