Skip to main content

 විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 04

 

🌻 පසුගිය ලිපියෙන්.

යක්ෂ භූත නොමිනිසුන් පලාගිය කෙණෙහිම මිනිස් සිරුරුවල රෝග සංසිදී ගියා. නිරෝගී සුව ලැබූ ජනතාව පැමිණ සියළු සුවදමලින් භාග්යවතුන් වහන්සේ පුදනු ලැබුවා. මහජනයා නගර මැද පිහිටි රැස්විම්හල සියළු සුවද තවරා වියන් බැද සියළු අලංකාරයෙන්ම සරසා එහි බුදුරජාණන් වහන්සේට අසුනක් පණවා වැඩම කරවුවා. භාග්යවතුන් වහන්සේ රැස්වීම්හලට පිවිස පණවන ලද අසුනෙහි වැඩසිටියා. සංඝයා වහන්සේද රජවරුද නගරවාසීහුද සුදුසු පරිදි ඉඩ ඇති තැන්වල අසුන්ගත්තා. සක්දෙව්ද දෙව් පිරිස සමග අසලින් අහසෙහි රැඳී සිටියා. වෙනත් දිව්යතල වල දෙවියෝද පැමිණ සිටියා. ආනන්ද තෙරණුවෝ ද මුළු විසාලාවෙහිම සැරිසරමින් රැකවරණය සලසා නගරවාසීන් ද සමග පැමිණ එකත්පස්ව වැඩ සිටිය. එහිදී භාග්යවතුන් වහන්සේ සියල්ලන්ටම ඒ රතන සුත්රයම නැවත වරක් දේශනා කරනු ලැබුවා.

🌻 රතන සුත්රයේ කෙටි අරුත.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අවසානයේ රැස්වූ දෙව්මිනිසුන් ඇතුළු සියලු පිරිස් සඳහා මෙම සුත්ර දේශණාව නැවත වරක් දේශණා කරනු ලැබුවා. එහෙත් ඒ අප අද කියවන කෙටි අරුතෙන් නෙවෙයි. අසුහාරදහසක් දෙනාට ධර්මය අවබෝධ කරගැනීමට හැකි ගාම්භීර මෙන්ම ප්රඥාඇස විවර කරගැනීමට හැකිවන දේශනාවක් ලෙසින්. ඒ නිසා මෙම සුත්ර දේශනාව ප්රධාන අනුහස් තුනකින් සමන්විතයි කියලා මට හිතෙනවා. එහි පළමුවැන්න රෝගබිය සහ දුර්භික්ෂ බිය පහකිරීමයි. දෙවැන්න අමනුෂ්ය බිය පහකිරීමයි, ඒ සියල්ලම තාවකාලික ආශීර්වාද. එහෙත් අවසන් ආශීර්වාදය තමයි සංසාර රෝග බිය සදහටම දුරුකරලිම. එනම් නිවන් සාක්ෂාත් කරදීම. එමනිසා මෙම සුත්ර දේශණාව එවැනිම ගැඹුරු අර්ථයකින් අවබෝධකරගත යුතුනම් ඔබ අනිවාර්යයෙන්ම පණ්ඩිත විශාරද පින්වත් ධර්ම කථික භික්ෂුන් වහන්සේ නමකගේ දේශනයකට සවන්දිය යුතුමයි.

රතන සුත්ර දේශණාවේ සිංහල කෙටි අරුත

🌻 මෙම ගථා යුගලයෙන් බුද්ධ ආඥාවක් පණවන බව හැඟේ.

“පොළොව උපන් හෝ අහස උපන් හෝ යම් අමනුෂ්ය කෙනෙක් දැන් මෙහි රැස්වූවෝද ඒ හැම අමනුෂ්යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මාගේ වචනය සකසා අසත්වා.

“භූතයිනි, එබැවින් තෙපි හැමදෙන අසවු. මනුෂ්ය ප්රජාවට මෛත්රී කරවු. ඒ යම් මිනිස් කෙනෙක් දහවලුත් රෑත් තොපට පුදපඬුරු ගෙනෙත්ද එබැවින් ඔවුන් නොපමාව රකිවු.
🌻 තුන්වෙනි ගාථාවෙන් බුද්ධ රත්නය කෙරෙහි අචලප්රසාදය ඇති කරවයි..
“මේ මිනිස්ලොව හෝ අන් නාග භවනාදී තැනෙක හෝ යම් වස්තුවෙක් ඇද්ද, ස්වර්ගයන්හි හෝ යම් අගනා රත්නයක් ඇද්ද, ඔවුන් අතරෙහි තථාගතයන්ට සමාන රත්නයක් නැත්තේමය. මේ කරුණින් බුදු රජ උත්තම රත්නයයි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.!

🌻 හතරවෙනි ගාථාවෙන් ධර්ම රත්නය කෙරෙහි අචලප්රසාදය ඇති කරවයි.
“ශාක්යමුනි තෙම එකඟ සිත් ඇත්තේ ක්ලෙශයන්ගේ ක්ෂයට නිමිතිවූ රාගයෙන් වෙන්වූ ජාති ජරා මරණ නැති උතුම්වූ යම් නුවණක් ලැබුයේද ඒ නිර්වාණ ධර්මයට සමාන කිසි දෙයක් නැත. මේ කරුණින්ද ධර්මය උතුම් රත්නයයි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.!

“බුද්ධශ්රෙෂ්ඨතෙම අත්යන්ත ශුද්ධවූ යම් සමාධියක් වර්ණනා කෙළේද, අනතුරුවම ඵලදෙන සමාධියයි, යමකට බුද්ධාදීහු කියත්ද, ඒ මාර්ග සමාධිය හා සම අන් කිසිම සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාර්ග ධර්මය උතුම් රත්නයකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.!
🌻 මෙහිදී සංඝ රත්නය කෙරෙහි අචලප්රසාදය ඇති කරවයි.
“සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, ඔව්හු යුග සතරෙකි. සුගත් බුදුන්ගේ ශ්රාවකවූ ඔව්හු කම්පල අදහා දෙන දේ පිළිගැනීමට සුදුස්සෝය. ඔවුනට දුන්දේ මහත්ඵලය. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්යයෙන් සෙත්වේවා.!
🌻සීලය හා සමාධියේ මහිමය විදහා දක්වන උතුම් ගාථා රත්නයක්. අරහත් ඵල සමාපත්තිය වනාහි ලොව ඇති උතුම්ම සමාපත්තියයි. නිවනට පත් ඒ මහා උතුමන් වහන්සේලා තමන් ලත් උතුම් සැනසීම කැමති කැමති වෙලාවට නොමිලයේම ආධ්යාත්මික කයෙන් අත්විදින්නෝමය.
“ගෞතම බුදුන්ගේ සස්නෙහිවූ යම් ආර්ය ශ්රාවක කෙනෙක් ශීලයෙහි මොනොවට යෙදුනේද, ස්ථිර සිතින් යුක්තවූවෝද, සියලු කෙලෙසුන්ගෙන් නික්මුණේද, ඔව්හු නිවණට බැසගෙන නිවීම ඉබේම ලබාගෙන විඳින්නෝ පැමිණියයුතු දහමට පැමිණියාහුය. මේ කාරණයෙන් ද ආර්ය සංඝ රත්නය උතුම් රත්න වේ. මේ සත්යබලයෙන් සෙත් වේවා.!

“පොළොව බැස සිටි නුවර දොර සිටුවන කණුව සිවුදිගින් හමන සුළඟින් යම්සේ නොසෙල්විය හැකිද ආර්ය සත්යයන් යමෙක් නුවණින් බැසගෙන දක්නේ නම් ඒ සත්පුරුෂයා එවැනිකොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයි. මෙ සත්ය බලයෙන් සෙත් වේවා.!

“ගැඹුරු නුවණ ඇති බුදුරජුන් විසින් මැනවින් දක්වන ලද ආර්ය සත්යයන් යම්කෙනෙක් තමනට ප්රකට කෙරෙත්ද, ඔව්හු කිසිසේත් බෙහෙවින් පමාවූවෝද අටවන අත්බවක් නම් නොගනිත්. මේ කරුණින්ද ආර්ය සංඝයා රත්නයකි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.!

10 “ඔහුගේ පළමුවන නිවන් දැක්ම සමගම සක්කාය දෘෂ්ටියද සැකයද යම්කිසි මිථ්යා ශීල ව්රත කෙනෙක් ඇත්නම් එහැමද යන තුන් සංයෝජනයෝ ඔහු විසින් හරණ ලද්දෝ වෙත්.

11 හේ අපාය සතරින් මිදුනේද වේ. ආනන්තර්ය කර්ම පස හා මිසදිටු ගැන්ම යන බර පව් සය කරන්නටද නොහැක්කේය. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයෙකි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.!
🌻සෝවාන් මාර්ගඵලලාභී උතුමන් තමන් ලත් ඵලයෙහි නොරැදි ඉදිරි මග ඵල දක්වා ගමන් කරනුයේ ඔවුන් වැඩිය යුතු සහ නොවැඩිය යුතු දේ ගැන සිහියෙන් සිටින නිසාවෙනි . සම්මා සමාධිය දක්වා ඇති ඉතිරි මාර්ගාංග තමන් තුල නිබඳවම ඔවුන් වඩාවර්ධනය කරනු ලබන්නේ ඒ වරද නොසගවා වරද සහ නිවරද දකින ගුණය නිසාවෙනි. ඒ උතුම් සගගුණය මේ ගාථා රත්නයෙන් මොනවට පිළිබිඹු වෙයි.
12. “ඒ සෝවාන් පුද්ගලතෙම කිසි පමාවෙකින් කයින් හෝ වචනින් හෝ සිතින් හෝ පව්කමක් කරන්නේද, හේ සඟවා ලීමට නොහැක්කේය. නිවන් දුටුවහු වරද සඟවාලීම නොහැක්කක් බව වදාරණ ලදී. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.
🌻 වසන්ත සමයේ සුන්දරත්වය ධර්මයේ අසිරියට ගැලපූ අයුරු..
13 “වනෙහි වැඩුණු ගස් රැස ග්රීෂ්ම සෘතුවෙහි පළමුවන ග්රීෂ්ම මාසයෙහි යම්සේ පිපුණු අක් ඇතියේද එබඳුවූ නිවන් පමුණුවන උතුම් පර්යාප්ති ධර්මයක් පරමහිතය පිණිස වදාළේය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්යානුභාවයෙන් සෙත්වේවා.

14. “උතුම්වූ නිවන් දන්නාවූ නිවන් දෙන්නාවූ නිවන් මග ගෙනහැර පාන්නාවූ නිරුත්තර බුදුරජතෙම උතුම් දහමක් දෙසීය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්යානුභාවයෙන් සෙත්වේවා.

🌻 මෙම සුත්ර දේශනාවේ ප්රඥා ඇස විවරකරන ඉතා ගැඹුරු අරුතක් ඇති ගෞරවණිය සංඝයා වහන්සේ නමකගෙන් අසා මැනැවින් අවබෝධකරගත යුතු ගාථා රත්නය මෙයයි. එමෙන්ම තම තමන්ගේ ඉන්ද්රිය ධර්ම වැඩි ඇති පමණට මගඵල නිවන් අවබෝධකරගත හැකි නිවන් පුර වෙත ලඟා වියහැකි තොටුපළක් ද වැන්න. ජාති ජරා ව්යාධි මරණාදි දුකට පත් ලෝකයාට ඇති එකම සැනසීම වනාහි නිවන පමණක්මය. එහෙයින් තාවකාලික විසදුම් නොසොයා වහා වහා මේ සසරින් එතෙර වීමේ වටිනාකම පැහැදිලි කල උතුම් ගාථා රත්නයක්. මෙම ගාථා රත්නය ඔබටද සංසාර දුකින් එතෙර කරනා දිව ඔසුවක් වේවා !
15 “යම් කෙනෙකුන්ගේ පුරාණ කර්ම ගෙවීගියේද, අළුත් කර්ම පහළවීමෙකුත් නැද්ද, අනාගත භවයෙහි නොඇලුණු සිතැති ක්ෂයකළ ප්රතිසන්ධි විඥාන බීජ ඇති පැනනැගීමෙහි ඡන්දය නැති ධෛර්යය සම්පන්නවූ ඒ රහත්හු මේ පහනසේ පිරිනිවෙත්. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයයි. මේ සත්යානුභාවයෙන් සෙත්වේවා.

🌻 මෙතැන් පටන් කියවෙන අවසාන ගාථා තුන සුත්ර දේශණාව අවසානයේ සක්දෙවිඳු විසින් කියන ලද්දක්. සක්දෙවිදු, භාග්යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණය පිහිටුවමින් එහි ඇත්ත සහතික කොට පැවසීමෙන් නගරය සුවපත් කරන ලදැයි සිතා මා ද නගරයෙහි හිතසුව පිණිස තෙරුවන් ගුණය පිළිබදව යම්කිසිවක් කිවයුතු යැයි අවසානයේදී යානිධ භූතානි ආදී අවසාන ගාථා තුන කියනු ලැබුවා.

16. “(සක්දෙව් රජ) පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්ය කෙනෙක් මෙහි රැස්වූහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජුන් වඳිමු. සත්නට සෙත්වේවා.

17. පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්ය කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත ධර්මය වඳිමු. සත්නට සෙත්වේවා.

18 “පොළොව උපන්නාවූද අහස උපන්නාවූද යම් භූත කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත සංඝයා වඳිමු. සත්නට සෙත්වේවා.”

සක්දෙව් මෙසේ මෙම ගාථා තුන කියා භාග්යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සුතුරම දෙවන දිනයෙහිද දේශණා කරනු ලැබුවා. එදිනද නැවතද අසූහාර දහසකට දහම් අවබෝධ වුණා. මේ අයුරින් සත්දිනක්ම රතන සුත්රය දේශනා කලා. ඒ ඒ දිනවල දේශණාව අවසානයෙහි පෙර පරිදිම පිරිස් දහම් අවබෝධයට පැමිණියා.

තුසිත රාජපක්ෂ – ප්රංශය
19-03-2020

පස්වන කොටස – https://wp.me/p4UHR6-3Dv

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.