විනයධර භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ උපාලි මහරහතන් වහන්සේ …

උපාලි මහරහතන් වහන්සේ විනයධර භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු සිදුකළ ධර්ම විනය මහා සංගායනාවේ දී මුන් වහන්සේ විනය පිටකය සංගායනා කිරීමට මුල්වූ සේක. උපාලි මහරහතන් වහන්සේන්ගේ පුර්වාපර චරිතාපදානය පහත දක්වනු ලැබේ. 

මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි මෙලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර එක්තරා කුලගෙයක උත්පත්තිය ලැබු මේ තෙම, බුදුරජාණන් වහන්සේ හමුව බණ අසමින් සිටින අවස්ථාවක එක්තරා භික්ෂුවක විනයධර භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානයෙහි තබනු දුටුවේය. මම ද අනාගත යෙහි බුදු කෙනෙකුගෙන් මෙ බඳු පදවියක් ලබන්නෙමි යි සිතු ඒ කුල පුත්‍රයා එයින් පසු සත් දිනක් මහ දදී අවසානයෙහි දී ‘තම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට සැල කෙළේය. උන් වහන්සේ  අනාගතය බලා එය සඵලවන බව දැන ” කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්‍ෂයකට මතු බුදුවන ගෞතම නම් බුදුන්ගේ ශාසනයෙහි දී ඔබට විනයධර භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබෙන්නේය”යි විවරණ දුන්සේක.

හෙතෙම එතැන් පටන් බොහෝ කුසල් රැස් කොට සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි දී කරනෑවෑමි කුලයක උපන්නේය. ඔහුට උපාලි යයි නම් තබන ලද්දේ ය.වැඩි වියට පත් වු කල්හි උපාලි මානවක තෙම ශාක්‍ය රජකුමාරවරුන් වූ භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල හා දේවදත්ත යන අයගේ කරනෑවෑමි කාර්යයන්හි යෙදුන්නේ ය.

බුදුරජාණන් වහන්සේ අනුපිය නම් අඹ උයනෙහි වැඩ වසන කල්හි ඒ රජකුමාරවරු සදෙන සර්වඥයන් වහන්සේ හමුවීමට යන ගමනේ තමන් පැලඳ සිටි සියලු රජ ආභරණ ගලවා උපාලි කපුවා අතට දී උපාලි මේවා රැගෙන ගොස් විකුණා වස්තුව රැස් කොට ගෙන දිවි ඇති තාක් කල් ගෙවව යි කීහ. හෙතෙම හඩමින් ඒවා ප්‍රතිෂ්ප කළ නමුත් රාජ අණින් එකී ආභරණ රැගෙන මද දුරක් ගොස් ආපසු නැවතී ” යම් හෙයකින් රාජකුමාරවරුන් ගේ ආභරණ රැගෙන ගමට ගියහොත් මා විසින් කුමාරවරු මරා ආභරණ රැගෙන එන්නට ඇතැයි රජු මා මරනු ලබයි. මේ මහා සම්පත් ඇති කුමාරවරු ඒ සියලු සම්පත් හැර දමා පැවිදි වෙති. එසේ නම් ඒ පැවිදි කම මට ද නුසුදුසු වන්නට හේතුවක් නැත. මම ද පැවිදි වෙමි” යි සිතා ඒ සියලූ රාජාභරණ කැමති කෙනෙක් ගනින්වා යි ගස්වල එල්ලා කුමාරවරුන් කරා ගියේය. ” කුමක් නිසා ආපසු ආයේදැ යි ඇසු කල පැවිදි වීමට ආවෙමි” යි උපාලි තෙම පිළිතුරු දිනි. පසුව කුමාරවරු ඔහුවද කැටිව බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් උපාලි කපුවා පළමුව ද අනිත් කුමාරවරු පසුවද පැවිදි වුහ. උපාලි තෙරුන් වහන්සේ නොබෝ කලකින් උපසම්පදාව ලැබ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ඉගෙන ආරණ්‍ය ගත විමට සුදානම් වුවත් බුදුරජාණෝ ඊට කැමැත්ත නොදී උන් වහන්සේ වෙතම රඳවා ගෙන විදර්ශනා ධුරයද ග්‍රන්ථ ධූරයද පුරුදු කළ සේක. උපාලි තෙරුන් වහන්සේ මද කලක් භාවනා කොට නො බෝ කලකින් රහත් වුසේක. සර්වඥයන් වහන්සේ උපාලි තෙරුන්ට සකල විනය පිටකය ඉගැන්වූ සේක. කුමාර කස්සප චරිත කථාවෙහි සඳහන් වු පරිදි උපාලි මහරහතන් වහන්සේ විසින් කස්සප මාතාව සිවුවනක් පිරිස මැද නිදොස් කළ අයුරු ප්‍රසිද්ධ විය. ඒ අරමුණු කොට ගෙන බුදුරජාණන් වහන්සේ “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං විනය ධරානං උපාලි ” යනුවෙන් වදාරා මේ උපාලි රහතන් වහන්සේ විනයධර භික්ෂූන් අතර අග්‍ර යයි වදාළ සේක.

error: Content is protected by www.ifbcnet.org.