Skip to main content

වැඩිමල් සොයුරු මග ගොස් භව නිරෝධය කල නදී කස්සප මහරහතන් වහන්සේ …

නදී කස්සප මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩිවියට පත් වූ කල්හි දිනක් බුදුරජාණන් වහන්සේ පිඩු පිණිස වැඩ ම වන අයුරු දුටහ. උන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණු හෙතෙම තමාගේ වත්තෙහි අඹ ගසක හටගත් මුල්ම අඹගෙඩිය උන්වහන්සේ පිදීය. තමන් අනාගතයෙහි රහත් බව ලබා ” සසරින් එතෙර වන්නෙමි” යි  ප්‍රාර්ථනා ද කෙළේ ය. ඒ කුල පුත්‍රයා එයින් චුතව දෙවි මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි මගධ රට. බ්‍රාහ්මණ කුලයක උපන්නේ ය. ඔහු උරුවෙල කාශ්‍යප තවුසාගේ දෙවන සහෝදරයා ය. නදී කාශ්‍යප නමින් ප්‍රසිද්ධව සිටි හෙතෙම ගිහිගෙය කලකිරී තම සහෝදර උරුවෙල කාශ්‍යප මෙන් නේරංජරා නදිය අසල අසපුවක් සාදා ගෙන තවුස් දම් පිරීය.

ඔහුගේ අතවැසි පිරිස තුන් සියයක් වුහ. දිනක් ගඟෙහි නෑම සඳහා ගිය මෙම නදී කස්සප ඇතුළු පිරිස පාවී ගෙන එන ජටා මඩුලු හා පිරිකර දැක ගඟ ඉහල වාසය කරන අපගේ වැඩි මහළු සහෝදර උරුවෙල කාශ්‍යප තාපසයන් ට කිසියම් විපතක් සිදු වී ඇතැයි සිතා වහාම පිරිසත් සමගම එහි ගියහ. මේ වන විට උරුවෙල කාශ්‍යප තාපසතුමා ඇතුළු පන්සියයක් ජටිල තවුසෝ බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා සසුනෙහි පැවිදිව සිටියහ. ගඟෙහි පාවී ආවේ ඒ අයගේ තවුස් පිරිකරය. බුදුරජාණන් වහන්සේ නදී කාශ්‍යප ඇතුළු පිරිසට දහම් දෙසූ සේක. ඒ බණ අසා සෝවාන් ඵලයට පැමිණ සියලූ දෙනම එහි භික්ෂු භාවයෙන් පැවිදි වුහ.  බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දහසටම ගයා ශීර්ෂයේ දී අනත්ත ලක්ඛණ සූත්‍රය වදාරා රහත් ඵලයට පමුණුවා වදාළ සේක. රහත් ඵලයට පැමිණි නදී කාශ්‍යප තෙරණුවෝ තමන් වහන්සේ විසින් ලබනලද රහත් භාවය ගැනත්, කලින් තමා තුල පැවති මිත්‍යා ඇදහිලිත් සිහි කරන්නේ මෙසේ උදන් ඇනූ සේක.

” නුවණැසින් අන්ධ වූ පුහුදුන් වූ මම ශුද්ධි නම් මේ යයි හඟිමින් කුදු මහත් යාගයන් කෙළෙමි. ගිනි පිදුවෙමි. දැන් මාගේ මිසදිටු ප්‍රහීණය. හැම භවයෝ නසන ලදහ. බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. “

. නදී කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ශාසනයෙහි මහා ශ්‍රාවක රහතුන් අතුරෙහි එක් මහරහතන් වහන්සේ කෙනෙක් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.