මෙම ලිපි පෙළින් මෙතෙක්‌ පළ වූයේ එසේ සිංහලයන් සහ කිතුනුවන් විසින් දේහය රාහුලගේ සහ ශාන්ත සේවියර්තුමාගේය යන්න තහවුරු කරන කරුණුයි. එසේම එකල ලක්‌දිව පැවතුණ දේශපාලනික තත්ත්වය ද මෙවන් දේහයක්‌ බලයෙන් ගෝවේට ගෙන යැමට උචිතව තිබූ බවද සඳහන් කෙරිණි. ගිය සතියේ සහ මේ සතියේ පළ වන්නේ පැරණි පුවත්පත්වල උගතුන් විසින් මේ දේහය රාහුලගේය යන්න සනාථ කිරීමට පළ කළ ලිපියි. මේ ලිපි කියෑවීමෙන් එකල ඔවුන් භාවිත කළ භාෂා ශෛලිය සහ ආකල්ප ද පිළිබිඹු වන බැවින් එය එලෙසම පළ කරමි.

සී. පී. කුලතිලක මහතාගේ ලිපියේ (1952 දෙසැ. 7 ලංකාදීප) තව කොටසක්‌…

“මේ සිද්ධිය සම්බන්ධයෙන් අපට ඇති මහා විශ්මය හා සැකය නම් මියගොස්‌ වර්ෂ ගණනාවක්‌ ගතව වියළී ගිය හස්‌තයකින් නම් ලියා පෙන්වා ඔය පෑවාය කියන මහා ප්‍රාතිහාර්ය ගැනවත් මදවත් විශ්වාසයක්‌ නොකොට, එවැනි දිව්‍යමය වන්a, අත්භූත සාක්‍ෂිය ද අති තුච්ඡ මහා බොරුවක්‌ නොහොත් තියුණු කපටි ප්‍රයෝගයක්‌ කොට ඒ අසරණ සේවියර්තුමා අපෝස්‌තුලුවරයකු ලෙස එදා ඒ ගණන් නොගැනීම වේ. එංගලන්තයේ මහා ධර්මාධිකරණය ඉදිරිපිට ඔය සැටි මෘත හස්‌තයකින් මැරී වර්ෂ ගණනක්‌ ගතවූ වියළි අතකින් නම් ලියා පෙන්වා යම් සාක්‍ෂියක්‌ ඔප්පු කළහොත්, ඒ උතුම් ධර්මාධිකරණ මණ්‌ඩලය ඒ සාක්‍ෂිය කෙතරම් දිව්‍යමය සත්‍ය සාක්‍ෂියක්‌ ලෙස එකහෙළා නොපිළිගනිත්ද? එහෙයින් එවැනි මහාශ්චර්යාද්භූත සාක්‍ෂියකින්වත් ඒ අත හිමි දේහය ඔය සේවියර්ගේ බවට පිළිගන්න බැරි වුණා නම් අපට එය පිළිගැනීමට ඇති යුතුකම කුමක්‌ද?

ඉන්පසු 3 වන වරටත් 1619 දී 14 වන ගිරිගෝරිස්‌ පාප්තුමාගෙන් ද අපෝල්ස්‌තුවරයෙක්‌ කරන ලෙස ඉල්ලා තිබේ. එතුමා ද ප්‍රතික්‍ෂේප කොට ඇත. කෙසේ හෝ වේවා මෙම සේවියර්තුමා මියගොස්‌ වර්ෂ 68 ක්‌ මේ වනවිට කල්ගතව ගියත් එතෙක්‌ වාර කීපයක්‌ මෙසේ ඉල්ලීම් කර තිබෙතත් ඒ සිටි පාප්වරු හා ශුද්ධ වූ සභාව ද මොහු ශුද්ධ වූ කෙනෙක්‌ කියාවත්, තත් දේහය එතුමාගේය කියාවත් පිළිනොගත් බව ඉරහඳ මෙන් පැහැදිලිය.

අන්තිමට පසුකාලීනව 8 වැනි උර්බන් පාප්තුමාගෙන්ද ඉල්ලූවිට සේවියර් කෙරෙහි පැවැති පැරණි නපුරු වැරදි එතුමා නොදැන සිටීමෙන් 1622 දෙසැ. 6 වැනි දින මොහු අපොස්‌තලු සංඛ්‍යාවට පාප් වහන්සේ පිළිගෙන සන්නස දී තිබේ. ඒ සන්නස නම්” මේ ශ්‍රී සන්නසෙහි පූර්ව පිතුරු වූ ආබ්‍රහම් දෙවියන් වහන්සේ ගිවිස වදාල ආශිර්වාදය මේ අලුත් ඉන්දියානු අපොස්‌තුලුවරයාට ලැබුණු බවත් තම දරුවන් තරු හා වැලිවලටත් වඩා ක්‍රිස්‌තුත් ස්‌වාමි දරුවන් තුළ බෝවූ බවත් එතුමාගේ අපොස්‌තලු තානාන්තරය දිව්‍ය කැඳවීමක්‌ බවට පිළිගත යුතු සාක්‍ෂි නම් අන් භාෂා කතා කිරීමද, දිවැස්‌ වරම් ද, ආශ්චර්ය පෑමේ බලයද සුවිශේෂ බලය පූර්ණ වූ බවයි” යනුවෙනි.

මේ දැක්‌වූ සන්නසෙහි පෙනෙන ලෙස සේවියර්තුමා දිව්‍ය කැඳවීමට නොහොත් දෙවියන් විසින්ම ඔහු එම පදවියට තෝරාගෙන තිබෙන බවට පෙන්නුම් කොට තිබෙන සාක්‍ෂිවලින් එකක්‌ නම්, මොහුට අන් භාෂාවලින් කතා කිරීමට තිබූ හැකියාවලු. එය එසේ නම් සිය බස හැර අන් භාෂා චතුර ලෙස කතා කළ හැකි තත් භාෂාවන්ගෙන් ග්‍රන්ථකරණයෙන් දක්‍ෂ බොහෝ උගතුන් අදත් ලෝකයේ අනන්තවත් ඉන්නා බැවින්, ඒ සියලු දෙනාම ඔය කියන දිව්‍ය කැඳවීම ලැබූවන් යෑයි සිතිය හැකිද? මේ හැර කතෝලික පාදිලිවරු බොහෝ දෙනකු ඔවුන් වසන රටවල ව්‍යාප්තව ඇති තමන්ගේ නොවන භාෂා හොඳින් කතා කිරීමට ශක්‌තිය හැකිව සිටිත්. ඒ හැම දෙනාම දිව්‍ය කැඳවීමට අසුවූවන්ද? අනිත් සාක්‍ෂිය දිවැස්‌වරම් ලැබීමලු. මතුවන දේ කියන මේ වරම ඇති මායා කාරවුන් කැඳවූවන් ලැබූවන්ද? තුන්වන සාක්‍ෂිය නම් ආශ්චර්ය පෑමේ බලයලු. එතුමාගේ වියළි අතින් තම නම ලියා පෙන්වූ බව අප අසා ඇත්තෙමු. නමුත් බොහෝ දින ගණන් ගැඹුරු පොළවෙහි වළලනු ලැබ සිට නැවත යහතින් නැගිටින, මාරක විෂ වර්ග පානය මාර නිරුපද්‍රිතව සිටින අය, තවත් විශ්මයජනක ක්‍රියා කිරීමට සමත් අය අද හැම රටකම සිටිත්. ඒ හැමදෙනාම ඔය කියන දිව්‍ය කැඳවීම ලැබූ අයද? සාවියර්ට තිබූ විශේෂ බලය කුමක්‌දැයි අපි නොදනිමු. නමුත් වැළඳී දොළොස්‌ දිනකින් යමරජුට යටහත් වන්නට කරුණ වූ උණ රෝගයවත් ඔය පූර්ණව තිබුණාය කියන විශේෂ සුවිශේෂ බලයෙන් පමණක්‌ නොව, ශුද්ධාත්මයේ මහිමයෙන්වත්. ත්‍රිත්වයේ ම අසහාය බලයෙන්වත් මැඬගන්නට අපොහොසත්ව අකාලයේ ඔහුට පරලොව ගන්නට සිදුවූ බව නම් අපි දනිමු.” යුද්ධයට නැති කඩුව කොස්‌ කොටන්නද?” කියමන මෙතැනට ගැළපේa.

එසේ මේ සිරුර එතුමාගේ ශුද්ධවූභාවය ප්‍රත්‍යක්‍ෂවීමට හේතුවක්‌ නොවීමට, ලෝක ප්‍රකට රෝම සභාව හා ශුද්ධ වූ පාප් උතුමන් සිව්දෙනෙක්‌ම ඔය සිරුර සාවියර්තුමාගේ නොවන බවට ප්‍රබල සාක්‍ෂියකි. මේ සිරුර සාවියර්ගේම බව එදා පාප්වරු පිළිගන්නේ නම් සමහරවිට ඔය සිරුර අද තිබෙන්නට නිසිම තැන ශුද්ධ වූ ඔවැනි ධාතු ගොඩගසා ඇති හැම පාප්තුමාලටම නිත්‍ය වාසස්‌ථානය වූ වතිකානු මාලිගාව යෑයි අපට සිතේ. ඔහු සිරුර ඊට වැද්ද නොගැනීමට එකම හේතුව එය “අශුද්ධ මිථ්‍යා දෘෂ්ටි කෙනකුගේ” ශරීරයක්‌ බව නොවරදින සුලු දිවැස්‌ නැතැයි කියන ඒ පාප්උතුමන් සිව්දෙනකුගේම එකාවන්” අදහස බැවින් නොවේද?

මෙසේ සිව්මහා ශුද්ධවන්ත පාප්උතුමන් හා තත් සභාව නොපිළිගත් සිය මාළිගයට වැද්දනොගෙන අත්හල සිරුරක්‌ පොදු ලෝකයා කෙසේ පිළිගනීද? මෙම සන්නස නිකුත් කරන විට එතුමාගේ සිරුර ගෝවේ ජීවමානාකාරයෙන් බැබළෙමින් පැමිණෙන බව ශුද්ධ වූ සභාවේ උතුමන්ට හා පාප්තුමාටවත් නිසැකව දැනී තිබුණේ නම් එතුමාගේ දිව්‍ය කැඳවීමට පෑ අර නොපිරිමැහෙන නිසරු සාක්‍ෂි සමග එම සිරුර ද ප්‍රබල සාධකයක්‌ ලෙසින් ලොකු අකුරින් ලියා නොසිටීද?

දැන් ඔය දේහය නැවත කවදාවත් නොපෙන්වන ප්‍රතිඥවෙන් භූමදාන කිරීමට සැරසෙනවාලු. මේ මළ සිරුර පළමුවෙන් ඉතා කෲර ලෙස වළලෑ අන්දම ඔවුන්ගේම මුවින් සඳහන් වී නැති එසේ වළලෑම සමාදානයේ සැතපීමක්‌ දැයි අපි ප්‍රශ්න කරමු. ඒ අන්දමට මෘත දේහ තැන්පත් කිරීමක්‌ ලෝකයේ ශීලාචාර කිසිවෙක්‌ කිසි රටක නොකරන ඉතා අධර්මිෂ්ට අති තුච්ඡ, නොහොත් මෘත දේහයකට මිනිස්‌ අතකින් කළ හැකි ඉතා අධම මෘග ක්‍රියාවක්‌ පවා දැන් ගෝවේ සිටින දයාභරිත ශිෂ්ටසම්පන්න පූජා ප්‍රාසාදිවරු අතින් නොකැමෙත්තෙන්වත් කෙරෙත්ද? අනේ අපගේ ශ්‍රී රාහුල සංඝරාජයාණන්a වහන්සේගේ අසරණ ශ්‍රී දේහය වානර රැලකට අසුවූ මල්දමක්‌ මෙන් නස්‌පැත්තියට ලක්‌වූ සැටි··”

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.