වස් කාලය හෙවත් පුණ්‍ය කාලය …

 

හේමන්ත – ගිම්හාන – වස්සාන යැයි අවුරුද්දේ දොළොස් මාසය, ඍතු තුනකට බෙදෙයි. ඉල් මස අව පෑළවිය – පුණු පොහෝදාට පසුවදා පටන් මැදින් මස පුණු පොහෝදා දක්වා සාරමස් කාලය හේමන්ත ඍතුව ය. මැදින් මස අව පෑළවිය පටන් ඇසළ මස පුණු පොහොය දක්වා, සාරමස් කාලය ග්‍රීෂ්ම ඍතුව ය. ඇසළ මස අව පෑළවිය පටන් ඉල් මස පුණු පොහොය දක්වා සාරමස් කාලය වස්සාන ඍතුව යි.

භාරතයෙහි (ඉන්දියාවේ) මේ ඍතු පෙරළිය අද ද පෙර සේම සිදු වෙයි. හේමන්ත ඍතුව ආරම්භයේදී සෞම්‍ය වුවත් මධ්‍යයෙහි දී නො කිය හැකි තරම් අධික ශීතක් ඇති වෙයි. ග්‍රීෂ්ම ඍතුවේ උෂ්ණය ද වචනයෙන් කියා නිම කළ නො හැකි ය. වස්සාන ඍතුව අතර නො තබා ම වසින කාලය යි. වස්සාන ඍතුවේ හැර අන් කාලයන්හි වැහි වැටීම ස්වාභාවයක් නොවන බැවින් අන් කාලයන්හි වහින වැස්සට අකාල මෙඝ යයි කියති. නිල්පාට පණ ඇති තණකොළ ගස් කොලන් දැකිය හැක්කේ වස්සාන කාලයේ දී පමණ ය.

පළමු වස් විසීම

බුදුරජාණන් වහන්සේ ඇසළ මස පුණු පොහෝදා බරණැස ඉසිපතනයේ දී පස්වග මහණුන් ප්‍රධාන පිරිසට ධර්මචක්‍ර ප්‍රවර්ථන සූත්‍රයෙන් ධර්ම දේශනා කොට පළමු වැසි සාරමස එහි ම විසූ සේක. එතැන් සිට බොහෝ කාලයක් යනතුරු වස් විසීමේ නීතියක් නොතිබුනේ වී නමුත්, ආවේණික ධර්මයක් ලෙස බුදුවරයන් ගේ හා රහතුන් ‍ෙග් ද ස්වාභාවික පුරුද්දක් ලෙස වස් කාලයන්හි චාරිකාවේ නො‍ෙගාස් එක තැනම විසූ හ.

කල්යත් ම ප්‍රථග්ජන භික්‍ෂු පිරිස වැඩිවෙත් ම රහතන් වහන්සේ ගේ ස්වභාවික ගති සිරිත් වලට වඩා වෙනස් වු ගත් සිරිත් පැවතුම් ද ඇති විය. වස් කාලයෙහි එක් තැන විසිය යුතු යැයි නීතියක් නොතිබුණු හෙයින් ඇතැම් භික්‍ෂූහු එහෙ මෙහෙ යෑමට පටන් ගත්හ. එහෙයින් ම වස් කාලයෙහි එක තැනක විසිය යුතු යයි සිකපදයක් පනවන්නට සිදු විය.

වස් වැසීමේ ආරම්භය

වස් වැසීමේ සික පදය පැනවීමට හේතු වුයේ මහජනයාගේ උද්ඝෝෂණයෙනි. ඒ උද්ඝෝෂණය කර තිබෙන්නේ එකල සමාජයේ පැවති හැඟීම් දෙකක් මුල් කරගෙන ය. බුදුරජාණන් වහන්සේට වඩා වයසින් ටිකක් වැඩිමහලු වූ නිගණ්ඨනාථ පුත්‍රයාණන් ගේ ධර්මය එවකට රටේ ප්‍රචලිතව තිබුණේ ය. ඒ ධර්මය ඇදැහූ භික්‍ෂූහු වස් කාලයෙහි එකම තැනක වෙසෙති, චාරිකාවේ නොයෙදෙති. ඒ ආගම සීමාන්තික අවිහිංසා වාදයකි. එහෙයින් තණකොළ හා ගස් කැඩීම පාප‍ෙයකැයි උගන්වන ලදී. මේ විශ්වාසය තදින් බල පැවැත්වූ නිසා වැසි කාලයෙහි භික්‍ෂූන් ගමන් යන එන විට තණකොල පෑගෙනු දුටු මහජනයෝ වැසි කාලයෙහි අන් හැම තාපසවරුම එක තැනක වාසය ‍ෙක‍ෙරති. පක්‍ෂීහු පවා කූඩු තනාගෙන එකතැන් වී සිටිති. එහෙත් බෞද්ධ භික්‍ෂූහු වැසි කාලයෙහි ද චාරිකාවේ යෙදෙති. තණකොළ ආදිය පාගා පව් ද කෙරෙති. මේ කරන්නේ කොතරම් නුසුදුසු ක්‍රියාවක් දැයි දොස් නඟන්නට වූහ. මේ දෝෂාරෝපණය බුදුන් වහන්සේට ද අසන්නට ලැබිණ. බුද්ධ ධර්මයෙහි හැටියට එකීන්‍ද්‍රිය ප්‍රාණීන් ලෙස ලෝකයා විසින් සලකනු ලබන ගස් කොළන් ආදියටත් පණක් ඇතැයි පිළිගැනෙතත් සත්ත්වයන්ට මෙන් හිතක් ඇති බවක් නො පිළිගනියි. එහෙයින් තණකොළ ආදිය ගස් පැළෑටි වර්ග පෑගීම බුද්ධ ධර්මයේ හැටියට පාපයක් නො වේ. බුදුරජාණන් වහන්සේ ඒ මතය නො පිළිගනිතත් වස් කාලයෙහි එක් තැනකට වී වාසය කිරීම යහපත් නිසා වස්සාන ඍතුවෙහි එක් තැනක වාසය කරන්නට ශික්‍ෂාපද පනවා වදාළ සේක.

පෙරවස් හා පසුවස්

වස් විසීමේ නියෝගයෙන් පසු වස් විසිය යුත්තේ කවදා දැයි ප්‍රශ්නයක් ඇති විය. බුදුරජාණන් වහන්සේ පෙරවස් යැ, පසුවස් යැ වස් විසීම් දෙකක් යැයි ද, එය අසවල් දිනයන්හි යයි ද වදාළහ. ඇසළ අව පෑළවිය දිනයෙහි (ජුලි මස) ඇසළ පුණු පොහෝදාට පහුවදා පෙර වස් සමාදන් විය යුතු ය. ඇසළ පො‍ෙහායෙන් මසක් ගතවූ එනම්, නිකිණි මස පුණු පොහෝදාට පසුවදා පසුවස් සමාදන් විය යුතු ය. පෙරවස් පවාරණය හෙවත් අවසානය වප් මස (ඔක්තෝම්බර්) පුර පසළොස්වකදා ය. පසුවස් පවාරණය ඉල් මස (නොවැම්බර්) පුර පසළොස්වකදා ය. වැසි කාලයෙහි වස් එළඹෙන්නට නියම කර වදාළ හෙයින් සුදුසු තැනක් ඇතොත් පෙරවස් හෝ පසුවස් සමාදන් විය යුතු ය. එහෙත් පසුවස් සමාදන් වන්නේ යම්කිසි හදිසි බාධාවකින් පෙරවස් වැළකුණොත් ය. පසුවස් සමාදන් වූවන්ගේ පවාරණය වස්සාන ඍතුවේ අවසානයේ පුණු පෙහෝදා හෙයින් කඨීනයක් දීම හෝ ගැනීම නොකළ හැකිය.

වැසි සලුව

වැසි කාලයෙහි චාරිකාවෙහි නො යෙදුණු නමුත් පිණ්ඩපාත ගමනාදියෙහි යෙදුණු භික්‍ෂූන් අතර නොතබා වැටෙන වැස්සෙන් තෙමී පීඩා විඳින්නට වූහ. මේ දුටු විශාඛා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේ වෙත ගොස්, ස්වාමීනී, මම ජීවිතාන්තය තෙක් සංඝයාට වැසිසලු පුදන්නට කැමැත්තෙමියි කීය. ඊට අවසර දී මහණෙනි, වැසි සලු අනුදනිමියි, වැසිසලු නියම කළ සේක. මේ වැසි සලුව ද සිවුරෙකි. සඟල – දෙපොට සිවුරු ආදියට වඩා දිග පළලින් වැඩි ය. ඇන්ද හැක්කේ වැසි සාරමස පමණ ය. මේ සිවුර කැපකරුවනට තමන් ම කියා හෝ පිළියෙළ කරගත යුතු ය. සොයා ගත හැකි ය. එහෙත් සෑම කාලයේ ම එය සෙවිය නොහැකි ය. ග්‍රීෂ්ම ඍතුව අවසාන වන්නට මසක් තබා සෙවිය හැකි ය. ඊට ප්‍රථම සෙවීම හෝ පෙරවීම නොකළ හැකි ය.

වස් ආරාධනාව

දායකයන්ගේ ආරාධනාවක් ලැබුණත් නො ලැබුණත් සුදුසු ස්ථානයක් නොලැබීම් ආදී බාධාවක් නැතොත් භික්‍ෂූන් විසින් වස් විසිය යුතු ය. වස් ආරාධනාව කරන්නේ දායකවරුන්ගේ ප්‍රයෝජනය සදහා ය. මෙකල මෙන් නොව පෙර භික්‍ෂූන් වහන්සේ නිතර එක තැන වාසය නො කළහ. අවුරුද්දේ වැඩි කාලයක් ම චාරිකාවෙහි යෙදුණාහ. භික්‍ෂූන් නිතර එක තැන වාසය නොකිරීම නිසා දායක පින්වතුන්ට අවශ්‍ය වෙලාවල බණ ඇසීම හෝ ධර්ම සාකච්ඡාවක් හෝ සුලභ නොවීය.

යම් පලාතක භික්‍ෂූන් වස් වසවා ගන්නට ලැබුනොත් සිවුපසයෙන් උපස්ථානයෙන් පින් ලබා ගැනීමටත් වඩා සීල භාවනාදී ගුණ ධර්ම පිරීමෙන් දායක පක්‍ෂයට යහපත සැලසෙන්නේ ය. දන්දීම නම් භික්‍ෂූන් චාරිකාවෙහි යෙදෙන කාලයන්හි ද කළ හැකි වේ. ඒ නිසා වස් වසවා ගන්නා දායකවරුන්ගේ පරමාර්ථය විය යුත්තේ තමන් උපස්ථාන කරන භික්‍ෂූන් ගේ ආශ්‍රයෙන් ගුණධර්ම දියුණු කර ගැනීම ය. ඇතැම් අවස්ථාවන්හි දී බුදුරජාණන් වහන්සේ සිවුපසයෙන් උපස්ථාන කොට පින් ලබා ගන්නට යයි කළ වස් ආරාධනා ප්රතික්‍ෂේප කොට ගුණධර්ම දියුණුකර ගැනීමේ කැමැත්තෙන් කළ වස් ආරාධනාව ඉතා කැමැත්තෙන් භාරගත් බව පෙන්නන්නට තිබේ. වස් කාලය භික්‍ෂූන් ද එකතැන නැවතී විශේෂ කර්මස්ථාන වැඩීම කරන නිසාත් දායකවරු ද සාමාන්‍ය කාලවලට වඩා සීලභාවනාදී ගුණ ධර්ම පිරීමෙහි නිරතව කල් ගෙවන නිසාත් පුණ්‍ය කාලය හැටියට ද සම්මත වී තිබේ.

ලංකාවේ ප්‍රථම වස්සාවාසය

ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි පෙසොන් පුර පසොළොස්වක දා මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩිය හ. එම වස ඇසළ පුණු පොහෝදා අරිට්ඨ කුමරුන් ප්‍රධාන 56 දෙනා තුම්බුරු සීමා මාලකයෙහි මහණ උපසම්පදා ලැබුහ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දඹදිවින් වැඩම කළ භික්‍ෂූහු ද අලුත උපසම්පදා ලැබු භික්‍ෂූහු ද දේවානම් පියතිස්ස රජු විසින් කණ්ඨක චෛත්‍ය ස්ථානයෙහි කැර වූ ලෙන් සැට අටක වස් විසූ සේක. මෙය ලංකාවේ ප්‍රථම වස්සාවාස යයි.

“අනුජානාමි භික්ඛවේ වස්සං වුත්‍ථානං භික්ඛූනං තීහි ඨානෙහි පවාරෙතුං, දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා, සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤානුලොමතා ආපත්තිවුට්ඨානතා විනයපුරෙක්ඛාරතා”

මහණෙනි වස් විසූ භික්‍ෂූනට දුටු දෙයකින් හෝ ඇසු දෙයකින් හෝ සැක කළ හැකි දෙයකින් හෝ යන මේ කරුණු             තුනෙන් චෝදනා කරනු පිණිස (සංඝයා ඉදිරියෙහි) පවරන්නට අවසර දෙමි. ඒ පැවරීම නුඹලාට ඔවුනොවුන් අතර අනුකූල පැවැත්මට ද, ඇවතින් නැඟී සිටීමට ද පහසුවක් වේ.

(මහාවග්ග – පවාරණක්ඛන්‍ධකය )

1961.07.29

ප්‍රඥාප්‍රභා 7

යතුරුලිවීම:චමිත ලක්මාල් මහතා
අජිත් ද අල්විස් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.