Skip to main content

වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත් …

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත්‍රය පස්‌වග තවුසන්ට දේශනාකර ඔවුන්ට ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාදෙන ලදී. පසුදින එනම් “අවපෑලවියදා” බුදුරජාණන් වහන්සේ එම පස්‌වග භික්‍ෂූන් සමගින් පෙර බුදුසිරිත අනුගමනය කරමින් එම ඉසිපතන මිගදායේම වස්‌විසීම ආරම්භ කරන ලදී. මෙය උන්වහන්සේගේ ප්‍රථම “වස්‌සුපගමනය” හෙවත් බස්‌ සමාදන්වීමයි. එතැන් සිට පන්සාලිස්‌ වර්ෂය තිස්‌සේම ඇසළ පුර පසළොස්‌වක පොහොය දින හෝ අවපෑලවිස? වස්‌ සමාදන් වූහ. එපමණක්‌ නොව එය අනෙකුත් භික්‍ෂුන් වහන්සේලාටද අනුගමනය කරන ලෙස දැන වදාළහ. ප්‍රථම වස්‌විසීම බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම සිදුකළ අතර පසුව සමහර උදවියගේ ආරාධනා මත සිදුකර ඇති බවද පෙනේ. මෙම ක්‍රමය වර්තමාන කාලය දක්‌වාම පැවතගෙන එන ආගමික චාරිත්‍රයක්‌ බවට පත්ව ඇත.


ඇසළ මාසයෙන් ආරම්භ වන අධික වර්ෂා කාලය තුළ ගම්නියම් ගම්වල සංචාරය කිරීම නතර කර ඒ. ඒ. ආරාම තුළ හෝ විහාරස්‌ථානවල රැඳී සිටින ලෙසත්, එම තෙමස තුළ චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව් පසයෙන් නොඅඩුව ඇප උපස්‌ථාන කරන බවට උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වෙත ගෞරවයෙන් ආරාධනා කිරීම වස්‌ ආරාධනාවයි.

සෑම වර්ෂයකම ඇසළ පර පසළොස්‌වක පොහොය දින සිට ඉල්මස පුර පසළොස්‌වක පොහොය දින දක්‌වා උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වස්‌ සමාදන්වනු ලබන වස්‌සාන සමයයි. මෙහිදී පෙරවස්‌ විසීම හා පසුවස්‌විසීම යනුවෙන් ක්‍රම දෙකක්‌ද වේ. ඇසළ පුර පසළොස්‌වක පොහොය දින වස්‌ සමාදන්වීම “පෙරවස්‌” සමාදන්වීමයි. යම්කිසි පාලනය කළ නොහැකි හේතුවක්‌ මත එදින “පෙරවස්‌” විසීමට නොහැකි වූ උපසම්පදා භික්‍ෂුන් වහන්සේ “නිකිණි” පොහොය දින වස්‌ සමාදන්වීම පසුවස්‌ සමාදන්වීමයි. මෙය බුද්ධ නියමයකි. ඒ අනුව “පෙරවස්‌” සමාදන් වූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක්‌ ගතකර වප් පුර පසළොස්‌වක පොහොයදින මහා පවාරනයෙන් වස්‌ හමාර කරනු ලැබේ. පසුවස්‌ විසූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක්‌ වස්‌ මාසිකව සිට “ඉල්” පොහොය දින වස්‌ පවාරණය සිදුකරයි. මේ අනුව පොදුවේ ගත්කල “වස්‌සමය” සාර මාසයක්‌ ලෙස ගැනේ.

මෙම කාල පරාසය තුළදී බුද්ධ නියමය පරිදි උපසම්පදාලත් භික්‍ෂුන් වහන්සේ කවුරුන් විසින් හෝ ආරාධනා කළත් නොකළත් වස්‌ ගිවිසිය යුතුය. එසේ නොකළහොත් එය වරදක්‌ වන්නේය. එකල බුදුරජාණන් වහන්සේට අනේපිඩු මහ සිටුතුමා විශාඛා මහ උපාසිකාව මෙන්ම රජදරුවන්ද වේරඤ්ඤා බ්‍රාහ්මණයා වැනි අයලුන් විසින්ද වස්‌ ආරාධනා කර ඇතිව පැහැදිලිය. එහෙත් ප්‍රථම වස්‌ විසීමත් හත්වෙනි වස “තව්තිසා දෙව්ලොව” වස්‌ විසීමත් බුදුරජාණන් වහන්සේ ස්‌ව කැමැත්තෙන්ම කරන ලද බව පෙනේ.

භික්‍ෂූන් වහන්සේ වෙත වස්‌ ආරාධනා කිරීමේදී අනුගමනය කළයුතු චාරිත්‍ර ක්‍රමයක්‌ද ඇත. බුලත්කොළ (දැහැත්) කිහිපයක්‌ ගෙන එය ගොටුවක ආකාරයෙන් සකස්‌කර සුදු ලේන්සුවකින් වසා ඒ ඒ භික්‍ෂුන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබේ. මෙසේ පිළිගැන්වීමේදී එම පිරිසේ අයෙකු විසින් එසේ පිළිගැන්වූයේ කවර කරුණක්‌ නිසාද යන කාරණය හඬනගා ප්‍රකාශ කළ යුතුයි. පින්වත් ස්‌වාමීන් වහන්ස මෙතැන් සිට ඉදිරිතුන් මාසය මුළුල්ලේ මේ විහාරස්‌ථානයේ රැඳී සිටින ලෙස ආරාධනා කරමි. එම කාලය තුළ දායකයන් වන අපි ඔබ වහන්සේලාට අඩුවක්‌ නොකර සිව්පසයෙන් උපස්‌ථාන කරමි. එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක්‌වා. මීට සමාන ආකාරයෙන් එම ඉල්ලීම කළයුතුය. “දැහැත්ගොටු පූහ්ව” යනු මෙයයි.

මේ සමගම සිවුරක්‌ පූජා කිරීමද කරනු ලැබේ. ඒ සඳහා තුන් සිවුරෙන් කවර සිවුරක්‌ වූවද යොදාගත හැකිය. එහි කිසිදු වරදක්‌ නැත. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තු=න් සිවුරෙන් කවර සිවුරක්‌ ගෙන වස්‌වසන සියලුම භික්‍ෂුන් වහන්සේ වෙත මෙසේ පූජා කිරීම වැසිසළු පූජාව” නමින් හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ විශාඛා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමක්‌ මත අනුදැන වදාල ක්‍රමයකි. එක්‌ වැසි සමයක භික්‍ෂුන් වහන්සේ පිරිසක්‌ ධාරානිපාත වර්ෂාව මැද තෙතබරිත වූ සිවුරුවලින් යුක්‌තව විහාරයට වඩිනු දුටු විශාඛාවට ඇතිවූයේ මහත් වේදනාවකි. ඒ අනුව බුදුන් වහන්සේ වෙත ගොස්‌ නමස්‌කර කර ඉමියා මහං භන්තේ, සංසස්‌ස යාවජීවං වස්‌සික සාටිකං දාතං” යනුවෙන් ජීවිතාන්තය දක්‌වා භික්‍ෂුන් වහන්සේවෙත වැසිසළු පූජා කිරීමට මම කැමැත්තෙමියි ප්‍රකාශ කළාය. අද දක්‌වාම මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ.

පසුගිය ඇසළ පුර පසළොස්‌වක පොහොය දින පෙරවස්‌ සමාදන්වන භික්‍ෂුන් වහන්සේ වෙත එම විහාරස්‌ථ සතර පේරුවේ දායක දායිකාවන් නියෝජනය කරමින් “දැහැත්ගොටු” හා වැසිසළු පූජාකළ අතර, නිකිණි පුර පසළොස්‌වක පොහොයදින පසුවස්‌ සමාදන්වනු ලබන භික්‍ෂුන් වහන්සේ වෙත දැහැත්ගොටු හා වැසිසළු පූජාකළ හැකිය. මෙම උතුම් පුණ්‍ය කර්මයට දායකවීමට නැවත ලැබෙනුයේ තවත් වසරකිනි.

දැනට වසර තිහ හතළිහකට පමණ පෙර මෙම දැහැත්ගොටු හා වැසිසළු පූජාකිරීම ඉතාමත් වැදගත් පුෙණ්‍යාත්සවයක්‌ ලෙස ඒ ඒ විහාරස්‌ථාන වෙත එම ගම්වල, නගරවල සැදැහැවත් දායක දායිකාවන් සිය ගණනින් ඒකරාශීවී ඉතා උසස්‌ අයුරින් සිදුකළහ. එහෙත් අද මේ කටයුත්ත සඳහා සහභාගි වන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසකි. එය ඉතා කනගාටුදායක සිද්ධියකි.

ලංකාව ඇතුළු පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින රටවල භික්‍ෂුන් වහන්සේට වස්‌ ආරාධනා කිරීමේදී දැහැත් ගොටුවක්‌ පූජාකරන අතර සමහර රටවල මල් පොකුරක්‌ හෝ මල් වට්‌ටියක්‌ පූජාකර වස්‌ ආරාධනා කරන බව අසා ඇත. ඉන්දියාවේද සමහර වැදගත් ආගමික කටයුතුවලදී මල්වලට ලැබෙන ගෞරවය ලංකාවේදී ලැබෙනුයේ බුලත්වලටය. මේ නිසා අපේ රටේ වැදගත් ආගමික හෝ සංස්‌කෘතික කටයුතු වලදී බුලත් පිරිනමා ආරාධනා කරති. එමනිසා භික්‍ෂුන් වහන්සේට වස්‌ ආරාධනා කිරීමේදී බුලත් හෙවත් දැහැත් භාවිත කරන අතර, පෙරකී පරිදි මල් වට්‌ටිය හෝ මල් පොකුර සංකේතවත් කරමින් එම දැහැත් ගොටුවට මල් කිහිපයක්‌ දැමීමේ සම්ප්‍රදායක්‌ පවතී.

චෛත්‍යයක්‌ ඉදිකිරීමේදී මුල්ගල් තැබීමේ අවස්‌ථාව හා සමාන වැදගත්කමක්‌ භික්‍ෂුන් වහන්සේට වස්‌විසීම සඳහා වස්‌ ආරාධනා කිරීමේ අවස්‌ථාවට හිමිවේ. මෙය මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් පිංකමකි. තෙමස ඉක්‌මවීමෙන් පසු “කඨින චීවර” පූජාකිරීමේ පිංකම චෛත්‍යයක්‌ ඉදිකළ පසු කොත පැළඳවීම හා සමාන උතුම් පුණ්‍ය ක්‍රියාවකි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේට දොළොස්‌වෙනි මස ගතකිරීම සඳහා ආරාධනා කරනු ලැබුවේ වේරඤ්ඤා බ්‍රාහ්මණයා විසිනි. ඒ අනුව භික්‍ෂුන් වහන්සේ 500 ක පිරිසක්‌ සමඟ වේරඤ්ඤා ගමට වැඩම කළහ. එහෙත් ආරාධනා කළ බ්‍රාහ්මණයාට මෙය අමතක වී එම තුන්මාසය තිස්‌සේ ඉතා දුෂ්කර පැවැත්මක්‌ ඇතිව ගතකිරීමට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයන් වර්තමානයේද දක්‌නට ලැබේ. සමහර දායක පිරිස්‌ මෙම වස්‌ තෙමස තුළ තමාට හිමි සලාක දානය පිරිනැමීමට අමතක කරන අවස්‌ථා අප අත්දැක තිබේ. ඒ නිසා වේරඤ්ඤා බ්‍රාහ්මණයා අනුගමනය නොකර නිතර විහාරස්‌ථානය ගැන හා වස්‌ සමාදන්වී ඇති භික්‍ෂුන් වහන්සේ කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීමට අදිටන් කරගත යුතුය. මෙම කාලය “පුණ්‍ය කාලය” ලෙස සලකා කටයුතු කරමු.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.