බුද්ධ වන්දනාවේදී පාලි වරද්දන්න එපා …

බෞද්ධයෝ තම ආගමික කටයුතුවලදී ‘පාලි’නමින් හැඳින්වෙන භාෂාවෙන් රචිත විවිධ ප්රකාශන භාවිත කරති. මෙම කෙටි ලිපියෙන් අපේක්ෂා කරනු ලබන්නේ පාලි භාෂාව ව්යවහාර කිරීමේදී වර්තමාන සිංහල බෞද්ධයන් විසින් කරනු ලබන සදොස් උච්චාරණ කිහිපයක් විමසා බැලීම යි.

සාම්ප්රදායික පිළිගැනීම අනුව මෙම පාලි භාෂාව බුදුරදුන්ගේ දේශනාවන්හි භාෂා මාධ්යය වේ. එහි ඓතිහාසිකත්වය පිළිබඳ කැරුණු පර්යේෂණ බොහෝ ය. එහෙත් එහි වර්තමාන ව්යවහාරය සම්බන්ධයෙන් කැරෙන සාකච්ඡා ඉතා අල්ප ය. වන්දනා හා පූජා කටයුතුවලදී වැරදි ලෙස භාවිත වන පාලි වචන නිවැරදි ලෙස භාවිත කළ යුතු ආකාරය මේ ලිපියෙන් දැක්වේ.

ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ වූ ආගමික ක්රියාවන්හි නිරත වීමේ පිළිවෙතක් බෞද්ධයන් සතු වේ. ඇතැම් විට ඒවා පාරම්පරික ව ඔවුන් වෙත සම්ප්රේෂණය වූ ඒවා විය හැකි ය. නැති නම් අභිනවයෙන් තම ජීවිතයට බද්ධ කරගත් ඒවා විය හැකි ය. උපතේ සිට මරණය දක්වා ම මෙම ආගමික ක්රියා බෞද්ධ ජීවිතයට බද්ධ වී පවතියි. පිරිත, දානය, පාංසුකූලය, බෝධි පූජාව, බුද්ධ පූජාව, සීලසමාදානය, ධර්ම දේශනය හා ශ්රවණය ආදිය ඉන් සමහරකි.

පූජා චාරිත්රවලදී ඊට ආවේණික වූ ශුද්ධ වාචික ව්යවහාරයක් පැවැත්වීම සෑම ආගමකට ම පොදු ලක්ෂණයකි. බෞද්ධයෝ ද සිය ජීවිතය හා සබැඳි සෑම ආගමික ක්රියාවකදී ම බුදුසමයෙහි ශුද්ධ භාෂාව වන පාලි භාෂාවෙන් රචිත ගද්ය හෝ පද්ය කොටස් භාවිත කරති. බොහෝ විට එබඳු ශුද්ධ වාක්යවලින් තොර වූ ආගමික කටයුත්තක් නොමැති තරම් ය. ගිහි පැවිදි සියලු දෙනා විසින් ම භාවිත එබඳු ගද්ය හෝ පද්ය කොටස් ඔවුන් වෙත පැමිණ ඇත්තේ ශ්රැතිමාත්ර වශයෙනි; එනම් කර්ණ පරම්පරාවෙනි. එහෙයින් ම එවන් භාවිතයන්හි දී ගිහි පැවිදි බෞද්ධයන් විසින් කරනු ලබන සාවද්ය උච්චාරණ බොහෝ ය.

ශ්රැතිය නිවැරදි හෝ වැරදි විය හැකි බව බුදුරදුහු ද මජ්ඣිම නිකායේ චංකී සූත්රයේ දී වදාළහ (සුස්සුතම්පි හෝති දුස්සුතම්පි හෝති). යමක් නිවැරදි ව අසා, ධාරණය කරන්නේ නම් එය නිර්දෝෂ වෙයි. ඇසීම නිවැරදි නොවන්නේ නම් එය දෝෂ සහගත වෙයි. දෝෂ සහගත උච්චාරණය “දුරුච්චාරණය” යනුවෙන් හැඳින්වේ. පාලි ව්යාකරණය බිහි වී ඇත්තේ ද මෙම දුරුච්චාරණයේ ප්රතිඵලයක් වශයෙන් බව කච්චායන සුත්තනිද්දේසයේ එන කථා පුවතකින් පැහැදිලි වේ. එහි සඳහන් පරිදි පාලි ව්යාකරණයේ පැරණිත ම නිර්මාණය වන කච්චායනයේ පළමු සූත්රය වන ‘අත්ථෝ අක්ඛර සඤ්ඥාතෝ’, යන්න බුදුමුවින් නිකුත් ව ඇත්තේ එක් වෘද්ධ (බුඩ්ඪ) පැවිද්දකුගේ සදොස් උච්චාරණයක් නිසා ය. බුදුරදුන්ගෙන් කමටහන් ලබාගත් ඔහු අනෝතත්ත තීරයෙහි සල් රුකක් මුල ‘උදයබ්බයං’ යනුවෙන් කර්මස්ථානය වඩන අතරතුර ජලයෙහි හැසිරෙන කොකකු දැක ‘උදකබකං’ යනුවෙන් සදොස් ලෙස කර්මස්ථානය උච්චාරණය කරන්නට පටන්ගත් කල්හි එ බව දැනගත් බුදුරදුන් උක්ත සූත්රය ප්රකාශ කළ බව එහි දැක්වේ. මෙහි දැක්වෙන පරිදි ‘උදයබ්බයං’ යන්න ‘උදකබකං’ යනුවෙන් උච්චාරණය කිරීම දුරුච්චාරණයකි. යම් අකුරක් කිව යුතු තැන අනෙක් අකුරක් කියන්නේ නම් එය දුරුච්චාරණය නම් වෙතැ යි විනය අටුවාවේ දැක්වේ.

එබඳු දුරුච්චාරණ සඳහා නිදසුන් කිහිපයක් විමසා බලමු. මේ උදාහරණ අටුවාවේ ඇති ඒවා නො ව, මවිසින් එකතු කරගත් ඒවා ය.

1. අල්ප්රාණ අකුරු මහාප්රාණ කිරීම.
නිදසුන්: ”සබ්බ බුද්ධානුභාවේන” යන ගාථා පාදයෙහි සබ්බ යන පදය ‘සබ්භ’ යනුවෙන් මහාප්රාණ භ – කාරයෙන් උච්චාරණය කිරීම.

2. මහාප්රාණ අකුරු අල්පප්රාණ කිරීම.
නිදසුන්: ”නහි ජාතු ගබ්භස්යෙයං” යන ගාථා පාදයේ ‘ගබ්භ’ යන පදය ‘ගබ්බ’ යනුවෙන් උචචාරණය කිරීම. ”ඛයං විරාගං, විගතමිද්ධො, යදත්ථි” යන පද ”කයං විරාගං, විගතමිද්දො, යදත්ති” ආදී වශයෙන් දුරුච්චාරණය කිරීම.

3. හ්රස්ව අකුරු දීර්ඝ කිරීම.
නිදසුන්: ”මාතාපිතු උපට්ඨානං” යන්නෙහි ‘මාතාපිතු’ යන පදය ‘මාතාපිතූ’ යනුවෙන් උච්චාරණය කිරීම.

4. දීර්ඝ අකුරු හ්රස්ව කිරීම.
නිදසුන්: ”දසහංගේහි සමන්නාගතෝ අරහාති වුච්චති” යන පාඨයේ ‘අරහාති’ යන්න ‘අරහති’ යනුවෙන් උච්චාරණය කිරීම.

5. බින්දුවක් නැති තැනකට බින්දුවක් එකතු කිරීම.
නිදසුන්: ”න පරෝ පරං නිකුබ්බේථ” යන ගාථා පාදයේ ‘නිකුබ්බේථ’ යන්න ‘නිකුංබේථ’ යනුවෙන් උච්චාරණය කිරීම.

6. අනුනාසික අකුරු අතහැර දැමීම.
නිදසුන්: ”අසම්බාධං අවේරං අසපත්තං” යන ගාථා පාදයේ ‘අසම්බාධං’ යන පදයේ මැද ඇති ‘ම්’ ශබ්දය අතහැර ඒ වෙනුවට ස – කාරය දීර්ඝ කර ‘අසාබාධං’ යනුවෙන් උච්චාරණය කිරීම.

7. සමහර තැනෙක දී ව්යඤ්ජන අක්ෂර සහිත පද මැද ඇති ස්වර වෙනුවට ඊට අනුරූපී ව්යඤ්ජන උච්චාරණය කිරීම ද ඇතැමෙකු අතින් සිදු වේ.

නිදසුන්: ”යථායිදං මෙ” යන්න ”යථා ඉදං මේ’ යනුවෙන් දුරුච්චාරණය කිරීම.

මෙලෙස කරනු ලබන ඇතැම් දුරුච්චාරණ නිසා අර්ථයේ ද වෙනසක් විය හැකි ය. එවිට කරනු ලබන ආගමික කාර්යයෙන් අපේක්ෂිත ප්රතිඵලය පවා වෙනස් වන්නට ඉඩ තිබේ.

ඉහත සදොස් තැන්වලට අතිරේක ව මෙහි ලා සඳහන් කළ යුතු අනෙක් කරුණ වන්නේ පාලි භාෂාවේ නොමැති යම් යම් උච්චාරණ ද සංස්කෘත භාෂාවේ බලපෑම මත ඇතැම් පුද්ගලයන්ගේ මුවින් නිකුත් වන බව යි.

බොහෝ පිරිස් විසින් කරනු ලබන එබඳු සදොස් පාලි උච්චාරණ කිහිපයක් මෙබඳු ය.
බෝධීන් වහන්සේ වන්දනා කිරීම සඳහා පහත දැක්වෙන ගාථා භාවිත කරනු ලැබේ.

”යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා
පත්තෝ සම්බඤ්ඤුතං සත්ථා වන්දේතං බෝධිපාදපං”

අර්ථය: ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි.

”ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි බෝධිරාජා නමත්ථු තේ”

අර්ථය: ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස; ඔබ වහන්සේට නමස්කාර වේවා!

පළමු ගාථාවේදී එක් බෝධීන් වහන්සේ නමකට නමස්කාර කළ ද මෙම දෙවන ගාථාවේදී බෝධිබහුත්ව සංකල්පයක් ඉදිරිපත් ව ඇත. එනම් බෝධීන් වහන්සේලා රාශියක් පිළිබඳ අදහස යි. ඒ බව බහුවචන පද (ඉමේ ඒතේ) භාවිත කිරීමෙන් පැහැදිලි වේ. ඒ අනුව මෙයින් ලොව සියලු තැන පිහිටි බෝධීන් වහන්සේලාට නමස්කාර කරනු ලැබේ.

මෙම ගාථා දෙක සජ්ඣායනා කිරීමේදී පද බෙදීම පිළිබඳ බොහෝ වැරදි සිදු වේ. පළමු ගාථාවේ ‘සම්බඤ්ඤුතං’ යන පද බොහෝ විට ‘සබ්බං ඤුතං’ යනුවෙන් සදොස් ලෙස වෙන් කරනු ලබයි. වෙසෙසින් ම දෙවැනි ගාථාවේ කෙළවර ඇති ‘නමත්ථු තේ’ යන්න සෑම විටෙක ම උච්නාරණය කරනු ලබන්නේ ‘නමෝස් තුතේ’ යනුවෙන් සංස්කෘත ඌරුවකට යටත් වීමෙනි. එය සදොස් උච්චාරණයකි.

එවැනි ම තවත් උච්චාරණයක් ධර්මය වන්දනා පාඨයේදී ද සිදු කැරෙයි. ”සන්දිට්ඨිකෝ අකාලිකෝ…” ආදි වශයෙන් සජ්ඣායනා කළ යුතු ධර්ම වන්දනා පාඨය ”සන්දිෂ්ඨිකෝ අකාලිකෝ…” යනුවෙන් උච්චාරණය කරන්නේ ද සංස්කෘත ක්රමයට යටත් වීමෙනි. එය ම ධර්මරත්නය ක්ෂ්මා කරගැනීම සඳහා භාවිත ”අච්චයං ඛම මේ භන්තේ සන්දිට්ඨික අකාලික” යන පාඨයේ ”සන්දිට්ඨික” යන පදයේදී ද කරනු ලබයි. ඒ ”සන්දිෂ්ඨික අකාලික” වශයෙනි.

බෞද්ධයන්ගේ සිත් ගත් පූජනීය ස්ථාන දහසයක් සෝළස මහාස්ථාන ලෙස ප්රකට ය. එම පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා පහත දැක්වෙන ගාථාව භාවිත කැරෙයි. මෙහි දැක්වෙන්නේ එම ගාථාවේ නිවැරදි උච්චාරණ ස්වරූපය යි. ඒ හා සමග ම බහුල ව උච්චාරණය කැරෙන සදොස් ව්යවහාරයන් වරහන් තුළ දැක්වේ.

”මහියංගණං නාගදීපං කල්යාණං පදලඤ්චනං (පදලාඤ්චනං), දිවාගුහං දීඝවාපිචේතිඤ්ච(චේතියඤ්ච) මුතිංගණං, තිස්සමහාවිහාරඤ්ච බෝධිං මරිචවට්ටියං, සුවණ්ණමාලිමහාචේතිං(චේතියං) ථූපාරාම භයාගිරිං, ජේතවනං සේලචේතිං (චේතියං) තථා කාචරගාමකං, ඒතේ සෝළස ඨානානි අහං වන්දාමි සබ්බදා.”

අර්ථය: මහියංගණය, නාගදීපය, කැලණිය, සිරි පා ලකුණ, දිවාගුහාව, දීඝවාපි චෛත්යය, මුතියංගණය, තිස්සමහාවිහාරය, සිරි මහ බෝධිය, මිරිසවැටිය, ස්වර්ණමාලි චෛත්යය, ථූපාරාමය, අභයගිය, ජේතවනය, සේල චෛත්යය සේ ම කතරගම (කිරිවෙහෙර) ද යන මේ සොළොස් ස්ථානයන් මම වඳිමි.

මෙම වන්දනා ගාථාව භාවිත කරන බොහෝ දෙනෙක් පළමු පාදයේ අවසානයේ ඇති ‘පදලඤ්චනං’ යන්න උච්චාරණය කරන්නේ ‘පදලාඤ්චනං’ යනුවෙනි. එය සදොස් උච්චාරණයකි. ඊට හේතුව පාලි භාෂාවෙහි දීර්ඝ ස්වරයකින් පසුව බැඳි අකුරු භාවිතයට ඇති ඉඩකඩ සීමිත වීම යි. ඊළඟට ”දීඝවාපි චේතිඤ්ච, සුවණ්ණමාලිමහාචේතිං, සේලචේතිං” යන තැන්වලදී ”දීඝවාපී චේතියඤ්ච, සුවණ්ණමාලිමහාචේතියං, සේලචේතියං” යනුවෙන් කරනු ලබන සදොස් උච්චාරණය දැක්විය හැකි ය. ‘චේතිං’ (දුතියා විභක්ති ඒකවචන) යන පාලි වචනයේ අර්ථය චෛත්යය යනු යි. ‘චේතියං’ (සත්තම් විභක්ති ඒකවචන) යනුවෙන් උච්චාරණය කළ කල්හි එහි අර්ථය චෛත්යයෙහි යනු යි. ඉහත ගාථාවේ අර්ථය නිවැරදි වන්නේ ‘චේතිං’ යන පදය ගැනීමෙනි.

මෙය තවදුරටත් පැහැදිලි කරගැනීමට මෙම ගාථාවෙහි උක්තාඛ්යාත සම්බන්ධය විමසා බැලිය හැකි ය. මෙහි කර්තෘ පදය අවසන් ගාථා පාදයේ ඇති ‘අහං’ යනු යි. එහි අර්ථය ‘මම’ යනු යි. ක්රියා පදය ‘වන්දාමි’ යනු යි. එහි අර්ථය ‘වඳිමි’ යනු යි. එවිට ”අහං වන්දාමි” යන පාලි වාක්යයේ අර්ථය ‘මම වඳිමි’ යනු යි. මෙම කර්තෘ ක්රියා දෙක අතරට කර්ම පදයක් එකතු විය යුතු ය. ගාථාවේ ඇති අනෙක් පද සියල්ල කර්ම පද වේ. කර්ම පදය දුතියා විභක්තියෙන් තැබීම අනිවාර්ය නීතියකි. ඒ අනුව ”අහං වන්දාමි” යන පද දෙක අතරට ‘මහියංගණං’ ආදි පද සියල්ල එකතු කළ යුතු ය. ඉහත දැක්වූ ”දීඝවාපි චේතිං (ඤ්ච), සුවණ්ණමාලිමහාචේතිං, සේලචේතිං” යන පද ද කර්ම පද වන අතර, දුතියා විභක්ති ඒකවචන රූප ද වේ. එහෙයින් ඒවා ”දීඝවාපී චේතියඤ්ච, සුවණ්ණමාලිමහාචේතියං, සෙලචේතියං” යනුවෙන් උච්චාරණය කිරීම සුදුසු නො වේ.

ඉහත ගාථාවේ අවසාන පාදය ආරම්භයේ ඇති ”ඒතේ සෝළස ඨානානි” යන පද කිහිපය උච්චාරණය කිරීමේ දී බොහෝ විට ‘සෝළස’ ශබ්දයේ අන්ත ස – කාරය ‘ඨානානි’ යන පදය සමඟ එකතු කර ”ඒතේ සෝළ සඨානානි” යනුවෙන් උච්චාරණය කැරෙයි. එය වරදවා පද වෙන් කිරීමේ දෝෂයෙන් සිදු වන්නකි.

අනෙක් අතට ”අධිවාසේතු නෝ භන්තේ” යන ගාථා කොටස බොහෝ දෙනෙක් සජ්ඣායනා කරන්නේ වැරදි පද බෙදීමකිනි. ඒ ”අධිවාසේ තුනෝ භන්තේ” වශයෙනි. එවැනි පද බෙදීමකින් සිදු වන්නේ අර්ථ හානියකි. එහෙයින් එය නිවැරදි ව ව්යවහාර කළ යුතු වෙයි.

පැන් පූජාව:

”සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම”

අර්ථය: උත්තමයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!

”අධිවාසේතු නො භන්තේ පානීයං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම”

අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. උත්තමයන් වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!

ආහාර පූජාව:

”අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම”

අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බොජුන් (ආහාර) ඉවසන (භාරගන්නා) සේක්වා. උත්තමයන් වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!

කැවිලි පූජාව:

”අධිවාසේතු නෝ භන්තේ ඛජ්ජකං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම”

අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද කැවිලි ඉවසන (භාරගන්නා) සේක්වා. උත්තමයන් වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!

දැහැත් පූජාව:

”අධිවාසේතු නෝ භන්තේ තාම්බූලං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම”

අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බුලත් ඉවසන (භාරගන්නා) සේක්වා. උත්තමයන් වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!

”නාගවල්ලිදලූපේතං චුණ්ණපූගසමායුතං
තාම්බූලං පතිගණ්හාතු සකප්පූරමිදං ජිනෝ/ ජින”

අර්ථය: ජින නම් වන බුදු රජාණන් වහන්සේ/ වහන්ස, බුලත් කොළවලින් යුත් සුනු හා පුවක් සහිත කපුරු සහිත මේ දැහැත් පිළිගන්නා සේක්වා!

මෙම ගාථාවේ අවසන් පාදය බහුල වශයෙන් ”සතං පූජේමිදං ජිනෝ” යි ව්යවහාර කැරෙයි. එය අර්ථ ශූන්ය වූවකි. එහි නිවැරදි උච්චාරණය ”සකප්පූරමිදං ජිනෝ/ ජින” විය යුතු ය. මෙහි ”කප්පූර” යනු කපුරු ය. පාලි ඉංග්රීසි ශබ්දකෝෂාගත අර්ථය අනුව එය ශාකයකි.

මල් පූජාව සෑම බෞද්ධයකුගේ ම දෛනික පූජා විධියක් බවට පත් වී ඇත. ඒ සඳහා යොදා ගැනෙන ගාථා දෙකකි. ඉන් පළමු වැන්න පහත දැක්වෙන පරිදි සජ්ඣායනය කළ යුතු ය.

”වණ්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ”

අර්ථය: පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි.

ඇතැම් විට මෙම ගාථාවේ පළමු පේළියේ එන කුසුමසන්තතිං යන පදය බොහෝ දෙනෙක් ”කුසුමසංතසිං” (හෝ කුසුමසන්තොසිං) යනුවෙන් උච්චාරණය කරති. එය සදොස් උච්චාරණයකි.

සෑම පුණ්ය ක්රියාවක් ම අවසානයේ දෙවියන් සහිත ලෝකයාට තමන් රැස් කරගත් පුණ්යසම්භාරය අනුමෝදන් කරවීම බෞද්ධ චාරිත්රයකි. ඒ සඳහා විවිධ ආකාරයේ ගාථා යොදාගැනෙයි. පහත දැක්වෙන්නේ එයින් එක් ගාථාවවකි.

”එත්තාවතා ච අම්හේහි
සම්භතං පුඤ්ඤසම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු
සම්බසම්පත්ති සිද්ධියා”

අර්ථය: මෙපමණ වේලාවක් අප විසින් රැස් කරන ලද පුණ්ය සම්පත්තිය සියලු දෙවියෝ සියලු සම්පත් ලැබීම පිණිස අනුමෝදන් වෙත්වා!

මෙම ගාථාව සජ්ඣායනය කිරීමේදී ”අම්හේහි” (අප විසින්) යන පදය ”අම්මේහි” (අර්ථයක් නැත) යනුවෙන් ද ”සම්භතං” (රැස් කරන ලද) යන්න ”සම්පදං” (සම්පත්තිය) යනුවෙන් ද සදොස් ව උච්චාරණය කරනු ලැබේ. එම උච්චාරණ දෙකේදී ම නිවැරදි පදයේ අර්ථය ඉවත් ව යයි. ඒ බව ඉහත වරහන් තුළ දක්වා ඇති අර්ථවලින් අවබෝධ කරගත හැකි ය.

දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා භාවිත කැරෙන ජනප්රිතම ගාථාව ”අකාසට්ඨා ච භුම්මට්ඨා….” යන්න යි. එහි නිවැරදි උච්චාරණය පහත දැක්වෙන ක්රමයට විය යුතු ය.

”ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං (දේසනං/ මං පරං)”

අර්ථය: අහසෙහි පොළොවෙහි වාසය කරන මහා තේජසක් ඇති දෙවියන් හා නාගයන් මේ පින අනුමෝදන් වී ශාසනය (දේශනය/ මා හා අනුන්) බොහෝ කාලයක් ආරක්ෂා කෙරේවා!

මෙහිදී ”ආකාසට්ඨා ච” යන්න ”ආකාසට්ඨාට” යනුවෙන් ද ”භුම්මට්ඨා” යන්න ”භූමට්ඨා” යනුවෙන් ද ”මහිද්ධිකා” යන්න ”මහිද්ධිගා” යනුවෙන් ද සදොස් ව උච්චාරණය කැරෙයි. එමෙන් ම මෙහි අවසන් පාදය ”චිරං රක්ඛංතු ලෝක සාසනං” යනුවෙන් ද ඇතැම් විට ව්යවහර කැරෙයි. එහි ඇති ”ලෝක” යන පදය නිසා මෙම ගාථාවේ වෘත්තය හානියට පත් වේ. වෙසෙසින් ම මෙම ගාථාව පාදයකට අකුරු අටක් පිහිටන වක්ත්ර වෘත්තයෙන් නිර්මාණය කරන ලද්දකි. එහි ද පථ්යාවක්ත්ර නම් උප කොටසට මෙම පද්යය ඇතුළත් වේ. මෙම ගාථාව ”චිරං රක්ඛන්තු සාසනං” යනුවෙන් ව්යවහාර කරන කල්හි වෘත්තයට අදාළ නියමිත වර්ණ ගණන එනම් වර්ණ අටක් පිහිටන නමුත් ”චිරං රක්ඛන්තු ලෝක සාසනං” යනුවෙන් ව්යවහාර කළ කල්හි වර්ණ දහයක් පෙනී සිටියි. එහෙයින් ම මාත්රාවෘද්ධි දෝෂයට ද යටත් වන්නට සිදු වේ. එනිසා මෙම ගාථාවේ අවසන් පාදයෙහි නිවැරදි ව්යවහාරය විය යුත්තේ ”චිරං රක්ඛන්තු සාසනං” යන්න යි. එසේ නොමැති නම් ‘චිරං’ යන පදය ඉවත් කර, ”රක්ඛන්තු ලෝකසාසනං” යනුවෙන් ද ව්යවහාර කළ හැකි ය. එවිට නිවැරදි වර්ණ ප්රමාණය පිහිටයි.

මෙම පුණ්යානුමෝදනා ගාථාවන්ගෙන් අනතුරු ව ප්රාර්ථනා වශයෙන් ප්රකාශ කැරෙන ගාථාවක් ද වෙයි.

”දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච
ඵීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ”

අර්ථය: සුදුසු කාලයෙහි වැසි වසීවා! ශෂ්ය සම්පත්තිය ද වේවා! ලෝකය සමෘද්ධිමත් වේවා! රජු දැහැමි පාලකයෙක් වේවා!

බොහෝ දෙනෙක් මෙම ගාථාවෙහි ”සස්සසම්පත්ති හෝතු ච” යන පාදයෙහි කෙළවර ඇති ”හෝතු” යන්න ”හේතු” යනුවෙන් සදොස් ව උසුරුවති. එම පදය මෙම ගාථාපාදයේ ක්රියාව සේ යෙදී ඇත. ”හෝතු” යනු ‘වීම’ යන අර්ථය ඇති ‘හූ’ යන ධාතුවෙන් නිර්මාණය වූ පඤ්චමි ආඛ්යාතයේ ප්රථම පුරුෂ ඒකවචන ක්රියාවකි. එය ”සස්සසම්පත්ති” යන නාම පදයේ ක්රියාව යි. ගාථාවේ අනෙක් පාද තුනෙහි ම එබඳු ක්රියාපද සහිත වාක්ය තුනක් ඇතුළත් ව ඇත. 1 පාදය: දේවෝ වස්සතු, 3 පාදය: ලෝකෝ (ඵීතෝ) භවතු, 4 පාදය: රාජා (ධම්මිකෝ) භවතු. එනිසා හෝතු යන එම ක්රියා පදය හේතු යනුවෙන් උච්චාරණය කළ හොත් එම ගාථාපාදයේ ක්රියා පදය ඉවත් වී යයි. එහෙයින් නිවැරදි උච්චාරණය විය යුත්තේ ”සස්සසම්පත්ති හෝතු ච” යනු යි. තව ද මෙහි එන ”සස්සසම්පත්ති” යන පදය ද ”සග්ගසම්පත්ති” යනුවෙන් වරදවා උච්චාරණය කරනු බොහෝ විට ඇසේ. ‘සග්ග’ යන්නෙහි ස්වර්ග හෙවත් දිව්යලෝක යන අර්ථය ඇත ද, මෙහි ලා ඒ අරුතේ කිසිදු ගැළපීමක් නැති හෙයින් ”සස්සසම්පත්ති” යන්න ම නිවැරදි වේ.

මෙම කෙටි ලිපියේ දී මා විසින් උත්සාහ දරන ලද්දේ පාලි භාෂාවේ නූතන ව්යවහාරය තුළ සිදු වන සදොස් උච්චාරණ කිහිපයක් හඳුන්වාදීමට ය. ඒ සඳහා වන්දනා හා පූජා කටයුතුවලදී භාවිත කැරෙන පාලි ගාථා කෙරෙහි පමණක් අවධානය යොමු කළ බව මෙහි දී වෙසෙසින් සඳහන් කළ යුතු වේ.

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කථිකාචාර්ය ආචාර්ය පූජ්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.