න හි වෙරෙන වෙරානි – සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති – එසධම්මො සනන්තනො

වෛරයෙන් වෛර කිසි කලෙකත් සමත් නො වේ, නො සංසි‍ඳේ. අවෛරයෙන් හෙවත් මෛත්‍රියෙන් සංසි‍‍‍ඳේ. මෙය පෙර පටන් උතුමන් සැනැසීමට ගිය මඟ වේ.

පරෙ ච න විජානන්ති – මයමෙතථ යමාමසෙ
යෙ ච තත්‍ථ විජානන්ති – තතො සම්මන්ති මෙධගා

නුවණැතිවුන් ගෙන් අන්‍ය වූ කලහ කාරීහු – සටන් කාරීහු , ‘මේ කලහයෙහි – සටනෙහි යෙදී පැටැලී අපි විනාශ වන්නෙමු’ යි නො දනිති. නුවණැති යම් කෙනෙක් විනාශය දනිත් නම් එයින් කලහයෝ සංසි‍ඳෙති, සටන් නවතී, සාමය පැතිරේ.

ජයං වෙරං පසවති – දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති – හිත්වා ජයපරාජයං

අනුන් පරදවා දිනන්නේ වෛරය උපදවයි, හෙවත් වෛරීන් ඇති කෙරෙයි. පැරැදුණේ දුක සේ වෙසේ. උපශාන්ත වූයේ හෙවත් තෘෂ්ණා ඊර්ෂ්‍යා ක්‍රෝධාදිය නැති කිරීමෙන් අභ්‍යන්තරය සංසුන් කැරැගත්තේ ජය පරාජය හැරැ දමා සුව සේ වෙසේ.

සුසුඛං වත ජීවාම – වෙරිනෙසු අවෙරිනො
වෙරිනෙසු මනුස්සෙසු – විහරාම අවෙරිනො

ප්‍රාණඝාතාදි පඤ්චවිධ වෛරයෙන් යුත් මනුෂ්‍යයන් අතරැ එ කී වෛර නැතියෙන් අවෛරී වැ වෙසෙමු. වෛරීන් අතරැ අවෛරී වූ මෛත්‍රී සහගත වූ අපි ඒකාන්තයෙන් ඉතා සුව සේ ජීවත් වෙමු.

මේ ධම්මපදගාථා හතර ලෝකසාමයට මඟ පෙන්වා දෙයි.

මහ නා හිමිපාණන් ගේ ලිපියෙක අත් පිටපතෙකිනි.

ප්‍රඥාප්‍රභා 3

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.