
අජිත මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදු රජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුලපුත්‍රයෙක් ව ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී අනාගතයෙහි රහත් භාවය ප්‍රාර්ථනා කොට බොහෝ කුසල් රැස් කළහ. හේ සසර සැරිසරමින් අපමණ කුසල් කොට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර මහ කොසොල් රජුගේ පුරෝහිත බමුණාට පුත්ව ඉපිද අජිත නමින් ප්‍රසිද්ධ ව විසීය. පසු කාලයේ දී අජිත මානවක තෙම බාවාරි නම් තාපසතුමාගේ ශිෂ්‍යයෙක්ව තාපස ධර්මය වැළද ගෙන සිටි අවස්ථාවේ එම බාවාරි තාපස තුමාගේ අනුදැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ හමුව පහත දැක්වෙන ප්‍රශ්න සතර චිචාළේය.
“කවරෙකු විසින් ලෝකයා වසන ලද්දේද්ද?
කවරකු නිසා ලෝකයා නො පෙනේ ද?
කවරකින් ලෝකයා තවරුනේ වේද?
කුමකින් ලෝකයාට මහබිය වේද?
බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න සතරට පිළිතුරු වශයෙන් මෙසේ වදාළ සේක. ” අජිතයෙනි , ලෝකයා අවිද්‍යාවෙන් වැසුනේ වෙයි. මසුරුකම හා ප්‍රමාදය නිසා නො පෙනෙයි. තණ්හාව නිසා ලෝකයා ඇලූනේ වෙයි. ජාත්‍යාදි දුක් ලෝකයාට මහත් බිය ගෙනදෙයි “
යනාදී දේශනාවන් ඇසීමෙන් අජිත තාපස තෙමේ තම පිරිවර දහසක් සමග රහත් ඵලයට පත් විය. බුදුරජාණන් වහන්සේ ඔවුන් හැම දෙනම එහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදා කළහ. අජිත මහරහතන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් අතුරෙහි එක් රහතෙකු වු සේක.