Skip to main content

ලොව පළමු වරට ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය යොදාගත් විශ්මිත සන්නිවේදකයාණෝ …

පින්වත් යාලුවනේ අද අපි බුදු හිමියන් පිලිබදව තවත් පැත්තක් කථා කරන්නයි මේ හදන්නෙ.
අපි අද වනවිට තාක්ෂණික අතින් ඉතාම ඉහල තැනකයි ඉන්නෙ. ( අපි හිතන්නෙ එහෙමනෙ) විශේෂයෙන්ම රූපවාහිනිය, ගුවන් විදුලිය, දුරකථනය පමණක් නොවෙයි අද පරිගණකය අපිට සුවිශාල සේවයක් සපයනව. විශේෂයෙන්ම සජීවී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් යොදාගනිමින් සිදු කරන සන්නිවේදන ක්‍රියාවලිය විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දීල තියෙනව. ආතර් සී ක්ලාක් මහතා පුරෝගාමී උන චන්ද්‍රකා තාක්ෂණය නිසා අපිට දුරස්ථ සන්නිවේදනය පහසු වෙලා ලෝකය අතඹුලක් බවට පත් කරල තියෙනව. හරිම විශ්ම ජනක විදිහට. මේවට විද්‍යාඥයො සුවිශාල විද්‍යාගාර වල මේ මොහොතෙ පවා පර්යේෂණ කරනව ඇති. නව විද්‍යාත්මක භාණ්ඩ ලොවට හදුන්වා දෙන්න.
එහෙත් පින්වත් යාලුවනේ භෞතික වශයෙන් ගත් කල ඉතාම පුංචි වූද ආධ්‍යත්මික වශයෙන් ගත්කල විශ්වය තරම් අපරිමාණ වූද විද්‍යාගාරයක් වූ සම්බුද්ධ ශීර්ෂය තුල මේ මුලු විශ්වයම කළඹන තාක්ෂයක් තිබුන බව ඔබ දන්නවද? ඒව විස්තර කරන්න ගියොත් අපිට මේ අන්තර්ජාලයේ තියෙන වෙබ් ඉඩ මදිවෙයි. අනිත් කාරනේ අපිට ඒ තාක්ෂනය ගැන කියන්න තියා හිතන්න ගියත් ඉවරයක් කරන්නනම් බෑ.
නමුත් බුදු හිමියන් යොදාගත් ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය පිලිබද ඉතාම සුලු හැදින්වීමකටයි මම උත්සාහ කරන්නෙ.
පින්වත් යාලුවනේ අපේ බුදුහාමුදුරුවො හරිම පුදුම කෙනෙක්. උන්වහන්සේ ධර්මය දේශනා කර කර ඉද්දි අනිත් අයට නොපෙනෙන්න බුදු රුවක් මවල ඉවත් වෙච්ච අවස්ථා තියෙනව. ඔය මාතෘ දිව්‍යරාජයට අභිධර්මය මාස තුනක්ම එක දිගට දේශනා කරල තියෙනවනෙ. ඒ කාලය තුල බුදු හිමියන් බුදු රුවක් මවලයි පිඩු සිගා වැඩියෙ. හරිම පුදුමයි නේද? බුදු හිමියන් අනවතප්ත විල ලගට වැඩල පිණ්ඩපාතෙ වලදල සැරියුත් හාමුදුරුවන්ටතත් බණ කියල විවේක අරගෙන තමයි ආයිත් තව්තිසාවට වඩින්නෙ. හෙමින්ම අර බුදුරුව අතුරුදන් වෙලා බුදුහිමියන් නැවත එකන අසුන් ගන්නව. ඒ විතරක් නෙවෙයි අඛණ්ඩව ධර්මය දේශනා වෙනව. මොන පුදුමයක්ද මේ. මේ බව අල්පේශාක්‍ය දෙවියන්ට දැනෙන්නෙවත් නැතිලු. මහා ඍද්ධිබල සම්පන්න දෙවියන්ට යන්තම් ඉගියක් දැනෙනවලු. එච්චරයි.
ඉතින් අපේ බුදුහාමුදුරුවො හරියටම ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය යොදා ගත් අවස්ථාවක් ඔබ දන්නව. ඒ නන්ද හාමුදුරුවන් දෙව්ලොව රැගෙන ගිය අවස්ථාව.


බුදුහිමියන් කිඹුල් වත් නුවරට වැඩල හිටි කාලෙ දවසක් රජ මාලිගාවෙන් දානෙ වලදල නන්ද කුමරු අතට පාත්‍රය දීල විහාරයට වැඩම කලා. නන්ද කුමරුටත් කරගන්න දෙයක් නෑ. පාත්‍රය අරන් පස්සෙන්ම වැඩිය. බුදුහිමියන් නන්ද කුමරුන මහණ කල සේක.
එහෙත් තම සදාදරණීය පතිනිය වීමට පෙරුම්පුරා සිටි ජනපදකල්‍යාණිය අමතක කරලීමට නන්ද කුමරුට නොහැකි විය. ආර්ය පුත්‍රය,ගිය සැනින් වහා එන්න යැයි ඇය පැවසූ වදන සිහිගැන්වුණු නන්ද තෙරණුවෝ සසුනෙහි වාසය කළේ දෙගිඩියාවෙනි.

මේ ගැන දැනගත් බුදුපියාණෝ තම එර්දි බලයෙන් නන්ද තෙරුන් සමඟ සුන්දර වූ හිමාලය වෙත වැඩම කළහ. ඒ යන අතරමඟදී හේනක කණුවක් මත ඇති දැවී වියළී ගිය වඳුරු කුණක් නන්ද තෙරුන්ට පෙන්වූ බුදුරදුන් හිමාලයට පිවිස එහි පිහිටි අසිරිමත් අනෝතප්තවිලත් සුවිසල් වූ සිව්මහා විල්ද පංච මහා ගංගාවන් ඇතුළු පර්වත දහස් ගණනක්ද පෙන්වූහ. පසුව බුදුරදුන් සමඟ නන්ද තෙරණුවන් දෙව්ලොවට පිවිසෙද්දී දෙවඟනන් පිරිවරා ගත් සක් දෙවිඳු පඬුපුල් ආසනයේ වැඩ සිටියහ.’

මෙහිදී බුදු හිමියෝ නන්ද වඩා ලස්සන ජනපදකල්‍යාණියද දෙව්ලොව දෙවඟනන් දැයි විමසූහ. ස්වාමීනි. ජනපද කල්‍යාණිය මා අතර මඟදී දුටු දැවී වියළී ගිය වැඳිරි කුණ හා සමාන බවත් ඇය කෙරෙහි ඇති ඇල්ම මා සිතින් දුරුවී ගියා යැයිද එහෙත් දෙවඟනක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්නේ යැයි’ ද නන්ද තෙරණුවෝ පැවසූහ.

බලන්නකො බුදුහිමියන් යොදාගත් සජීවී තාක්ෂණය. හිමාල පර්වතයටත් දෙව්ලොව වෙතත් ක්ෂණිකව නන්ද කුමරුන් රුගෙන යමින්, ඒ අතර විසිතුරු දේ පෙන්වමින් සිදුකල විහ්මිත ක්‍රියාවලිය ඉතාම පුදුමාකාරයි නේද? එහි ඇති පුදුමය නම් නන්ද හිමියන්ගෙ සිත දකිමින් ඒ සිතට අනුරෑපව ඒ ඒ අවස්ථාවන් වල අවහය රූබය පවා මවා පෑව. අද ලේසර් තාක්ෂණයෙන් රූප මවන්න පුලුවන් උනත් සජීවී අවස්ථාවන් නිරූපනය කරන එකනම් ලේසර් තාක්සණයට හීනයක් පමණයි. ඒත් බුදු සහිදුන් ඒ තාක්ෂනය යොදා ගත්තෙ අපිට හිතන්නවත් බැරි විදිහටයි. ඒත් මේකට තාක්සණය කිය වචනෙ කියන එක වැරදියි. ඒත් දැනට අපි ඒ වදනෙ යොදාගමු.

පින්වත් යාලුවනේ සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය තුල බුදුහිමියන්ගේ මේ සන්නිවේදන හැකියාව මනාව පැහැදිලි කරනව. මේ බලන්න බුදුහිමියන්ගේ විශ්මිත සන්නිවේදන තාක්ෂණය

එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.
ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම දෙවනුවත් “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.
තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම, “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
“ආනන්‍දය, තොප විසින් චක්‍රවාළ දහසක් වන චූළනී ලෝකධාතුව අසන ලද්දේද?” – “යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. සුගතයන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුය” යි කීය.
“එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.”
“ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.”
“ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. අනාගත ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”
“ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.”

මේ බලන්න එවන් මායා තාක්ෂණය යොදාගත් තවත් අවස්තාවක්.

ඛේමාවෝ රූප මදයෙන් මත්ව “බුදුහු රූපය හෙළා දකිතැ”යි අසා දැන කිසිම දිනක බුදුරජාණන් වහන්සේ හමුවීමට විහාරයට නොගියාය. බිම්බිසාර රජුට එය තදබල කනස්සල්ලට හේතුවක් විය. ඇය උපායෙන් බුදුන් හමුවට යැවීමට ඉටා ගත් රජතුමා දක්ෂ කවීන් හා සංගීතඥයන් ලවා වේළුවනාරාමයෙහි මනඞකාන්ත පරිසරය ගැබ්කොට කාව්‍ය රචනා කොට ගායකයන් ලවා බිසවට ඇසෙන සේ ගායනා කරවීය.

ගායකයන්ගේ මනහර ගීතිකා ඇසූ ඛේමා බිසව වේළුවන උයනෙහි සිරි බැලීමට තද කැමැත්තක් ඇතිවිය. ඒ බව රජුට දැන්වූ කල්හි තමන්ගේ උපාය සාර්ථක වූ බව දැන මහත් සේ සතුටුව සහපිරිවරින් දේවිය උයනට යැවීය. දේවිය උයනට ගොස් වන සිරිය බලමින් අතිශයින් සොම්නස්ව ඇවිදින විට එක්තරා තරුණ භික්ෂුවක් රුකක් මුල භාවනානුයෝගීව සිටිනු දුටුවාය. මෙබඳු රූසපුවකින් හෙබි යෞවන යෝගාවචරයාගේ ධ්‍යානය දුටු රාජ මෙහෙසිය පුදුමයට පත්වූවාය.

බුදුන් නොදැකම ආපසු පැමිණීමට සූදානම් වූ මුත් බිම්බිසාර රජුගේ අණ ලබා සිටි රාජ පුරුෂයෝ ඇගේ ගමන වළකා බුදුන් වෙත බලහත්කාරයෙන්ම රැගෙන ආවාහුය. බුදුරජාණන් වහන්සේ ඇය තමන් වහන්සේ වෙතට රැගෙන ආ ඛේමා මෙහෙසියට පෙනෙන පරිදි ඍද්ධියෙන් නව යෞවන කාන්තා රුවක් මැවූ සේක. නැවතත් ඍද්ධියෙන් එකී කාන්තා රුව ක්‍රමයෙන් හැඩිදැඩිව, මහලුව, දිරාපත්ව දුර්වලව කෙළින් සිටීමට නො හැකිව බිම ඇදවැටෙන අයුරු පෙනෙන පරිදි මැවූ සේක. තම ශරීරයේ අනිත්‍ය තාවය වටහාගත් ඛේමාවෝ මහරහත් මෙහෙනියක් වීමට වැඩි කලක් ගත නොවිනි.

පේනව නේද බුදුහිමියන්ගේ මායා තාක්ෂනයෙ තරම කොයිතරම්ද කියල.

බුදුහිමියන්ගේ තාක්ෂණය අපිට හිතාගන්නත් අමාරුයි. මේ බලන්න.
ශාක්‍යකුලතිලක වූ ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේ දිනකට එක යොදුන බැගින් පා ගමනින් වැඩම කරමින් වෙසක් මස පුන් පෝ දා කිඹුල්වත් නුවරට සැපත් වූහ. ශාක්‍ය රජවරු න්‍යාග්‍රෝධ නම් උයන උන් වහන්සේගේ වාසයට පිළියෙළ කළාහු ය. පිළියෙළ කර බුදුන් එහි වඩා හිඳවූ මුත් මහා මානී වූ ඒ ශාක්‍ය රජ වරු බාල කුමාර කුමරියන් ඉදිරියට යවා උන් ලවා බුදුන් වැන්දවූහ, තමන් නොවැන්දහ. උන්ගේ සිත් දැන ගත් ශාක්‍යසිංහයන් වහන්සේ පෙර බුදුවරු ස්වකිය බන්ධුවර්ගයා වෙතින් කෙසේ වැඳුම් ගත්තෝදැයි බලා ඒ අනන්තාපර්යන්ත වූ බුදුවරුන්ගේ චාරිත්‍රය මම ද අද සම්පුර්ණ කරමි යි අධිෂ්ඨාන කොට පීත කසින සමාපත්තියට සමවැද දස දහසක් සක්වල මුළුල්ලේ ස්වකිය ශරීර ප්‍රභාවයෙන් ඒකාලෝක කර වදාළහ. නැවත ආකාශය දෙස බලා වදාළ කල්හි උන් වහන්සේ ගේ ආනුභාවයෙන් රුවන් සක්මනක් මැවී ගියේය. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සක්මනට පැන නැඟී මානයෙන් මැඩුණු ඒ බන්ධුන් හිස දුහුවිලි පහරන්නා සේ සක්මන් කරන්නට පටන් ගත්හ. ඒ වේලෙහි දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්ම සේනාව අවුත් පිරිවරා සිට ගත.

එකල්හි බුදු රජහු තේජෝ කසින සමාපත්තියට සමවැද දස දහසක් සක්වල සිසාරා සියෝලඟින් ගිනිකඳ හරනට පටන් ගත. එසේම ආපෝකසින සමාපත්තියට සමවැදී දියකඳ හරනට පටන් ගත්හ. එමතුද නොව නිල් බුදු රස් හරනා විට නිලකසින සමාපත්තියට සමවදින සේක; රන්වන් රස් හරනා විට පීතකසින සමාපත්තියට සමවදින සේක; සුදු බුදු රස් හරනා විට ඕදාතකසින සමාපත්තියට සමවදින සේක; සෙසු බුදු රස් හරනා විට වෙන වෙනම කසින සමාපත්තියට සමවදින සේක; මෙසේ නොයෙක් රස් විහිදමින්, වෙන වෙනම සමාපත්ති වලට සමවදිමින්, එක විට විවිධ සමාපත්ති වලට සමවදිමින් ඥාතීන්ගේ මන් දුරලමින් යමක මහා ප්‍රාතිහාර්යය පෑ සේක. මෙසේ ප්‍රාතිහාර්යය පානා ඒ සර්වඥයන් වහන්සේ තමන් වැනිම තව බුදුරුවක් සක්මන කෙළවර මවා ලූ සේක. නිර්මිත බුදුහුත් සැබෑ බුදුහුත් එක ලෙසම සක්මන් කරන සේක, නොඑක් ප්‍රාතිහාර්ය දක්වන සේක. ලොවුතුරා බුදුන් විමසන පැන නිර්මිත බුදුන් විසින් විසඳෙන සේක, ඒ නිර්මිත බුදුන් විසින් විමසන පැන ලොවුතුරා බුදුන් විසින් විසඳන සේක. මෙසේ බුදු වරු දෙදෙනෙක් ප්‍රාතිහාර්යය දක්වන සඳ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් තෙවැනි බුදු කෙනෙකුන් ලෙස අහසින් වැඩ බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කළේය; නමස්කාර කළ ඒ තෙරුන්වහන්සේ බුද්ධ ශ්‍රීය වර්ණනා කර පෙර කුමන සමයෙක කුමන වූ පිනක් කර කුමන වූ ප්‍රාර්ථනාවක් කළ සේක්ද, කවර වූ හේතුවකින් මේ බුදු සිරි ලත් සේක්ද, ලෝ සතුන්ගේ වැඩ සළකා ඒ ගැන දෙසා වදාරන ලෙස ආරාධනා කළාහු ය.

බුද්ධ චරිතයේ කිහිප අවස්ථාවෙක දීම යමාමහා පෙළහර පෑ බුදුරජාණන් වහන්සේ සත්වයන් සුමගට යොමු කළ අයුරු දැකිය හැකිය. ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේගේ වයස් බාල බව සලකා මහත් මානයෙන් හැසිරුණු අවස්ථාවෙහි දී තථාගත බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර හා වදාළ බව සඳහන් වේ. විද්‍යා චක‍්‍රවර්තීන් බුත්සරණෙහි බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද යමක මහා ප‍්‍රාතිහාරිය විස්තර කරනුයේ මෙපරිද්දෙනි.

“ ශ්‍රී ශරීරයෙන් නාභියෙන් මත්තෙහි තුන්ලොව බබුලුවන්නා වූ මහා ගිනි කඳක් නැගෙන්නට වන. නැවත නාභියෙන් පාත ශ්‍රී ශරීරයෙන් ආකාශ ගංගා ප්‍රවාහයක් සේ මහා දිය කඳක් හෙන්නට වන. නැවත ගිනි කඳ නැගී ඌර්ධ්ව කායෙන් දිය කඳෙක් නැගෙන්නට වන…”

මහා වංශාගත තොරතුරුවලට අනුව බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහියංගණයේ දී යක්‍ෂයන් දමනය උදෙසා යමා මහ පෙළහර පෑ බවට තතු විස්තර සපයාගත හැකිය.

තේජෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් ගිනි කඳක් ද, ආපෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් මහා ජල කඳක් ද පිට කිරීමට මෙම ඥානයේ බලයෙන් හැකිවේ. ධ්‍යානලාභී වූ ඇතැම් පෘථග්ජනයන් විසින් ද ප්‍රාතිහාර්ය කරනු ලැබේ. එහෙත් ධ්‍යානලාභී වූ පමණින්ම ප‍්‍රාතිහාර්ය කළ නොහැකිය. ප්‍රාහාර්ය කිරීම සඳහා තුදුස් ආකාරයෙන් පුරුදුකොට ගත් රූපාවචර අරූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලය අවශ්‍ය බව යමක ප්‍රාතිහාර්ය ඥානය පිළිබඳ තම “සූවිසි ගුණය” ග්‍රන්ථයේ දී රේරුකානේ චන්දවිමල නා හිමියෝ මෙසේ සඳහන් කරති.

“එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තය අභිඥාචිත්ත නම් වේ. යමක ප‍්‍රාතිහාර්ය ඥානය යැයි කියනුයේ ලොව්තුරා බුදුවරුන්ගේ අභභිඥාචිත්ත සම්ප‍්‍රයුක්ත ඥානයට ය. අභිඥාලාභියෙකුට මෙබඳු දෙයක් වේවායි නිකම්ම සිතීමේ මාත්‍රයෙන් යම්කිසි ප්‍රාතිහාර්යයක් නොකළ හැකි ය. ඒ ඒ ප්‍රාතිහාර්යයන් කිරීමට ද, වෙන වෙනම පුරුදු කළ යුතුය. යම්කිසි ප්‍රාතිහාර්යයක් කිරීමට වුවමනා ඒ කරුණ සිදු කිරීමට නිසි කසිනයෙක් හී පඤ්ඤමධ්‍යානයට සමවැදිය යුතුය.”

මෙහිදී ගිනි කඳක් මැවීමට තේජෝ කසින පඤ්චමධ්‍යානයට සමවැදිය යුතුය. එසේම ජල කඳක් මැවීමට ආපෝකසිනය සමාපත්තියට සම වැදිය යුතුය. ඒ ඒ ප‍්‍රාතිහාර්ය පෑමේ දී අදාළ සමවතට සම වැදී ඉන්නැගීමට අධිෂ්ඨාන චිත්තයට බලය ගත යුතුය. ඉන් අනතුරුව සිතෙහි පවතින අධිෂ්ඨාන ශක්තියේ බලයෙන් රූපාවචර අභිඥාචිත්තය නැවත ඇති වී අධිෂ්ඨාන කළ ප‍්‍රතිහාර්ය ඇති වේ.

එකකට එකක් මාරුවෙන් මාරුවට සමාපත්ති වල, සම වැදීම, නැගිටීම, අධිෂ්ඨානය ඉතා වේගයෙන් සිදු කරන නිසා බලා සිටින්නෙකුට හැඟෙනුයේ ගිනි කඳක් සහ ජල කඳක් එකවිට පිට වන්නාසේ ය. එකකට එකක් අනතුරුව සමාපත්ති මාරුකිරීමේ ඉතා වේගය සතුවන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සතුව පමණි. ධ්‍යානයෙහි වශී භාවය මද අයට ඉක්මනින් ප‍්‍රාතිහාර්ය කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේ සතුව සමාපත්ති විෂයෙහි අධික වශීභාවයක් පවතින බැවින් එක විටෙක සිඳුවන්නක් ලෙස විද්‍යාමාන වන සේ ප‍්‍රාතිහාර්යදවයම සිදු කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ සත්වැනි වස තුසිත දෙව්ලොව වැඩ සිට වස් පවාරණයෙන් දඹදිව සංකස්ස නුවරට වැඩි සේක. උන්වහන්සේ එහි වැඩියේ රන්හිණි මඟකිනි. එය දෙපස රිදී හිණිමං දෙකකි. එකක මහ බඹුය. ඔහු අත උසුලාගත් ඡත්‍රයකි. අනෙක් රිදී හිණි මඟෙහි සක් දෙවිඳුය. සක්දෙවිඳු අත සේසතකි. අහස් තලය පුරා දෙවි බඹුන්ය. මෙම අසිරිමත් පෙළහර දුටු දහස් සංඛ්‍යාත ජනතාවගෙන් බුදු බව නොපැතු කෙනෙකු නැත. එම දේවාවරෝහණ පූජාව දැක බලාගත් මහ පිරිස් අතර මතු බුදුවන මෛත්‍රි බෝසතාණන් වහන්සේද වූහ. එවක මෙත් බෝසතාණෝ සංකස්ස නුවරට නුදුරු ගමක සිරිවඩ්ඩන නම් සිටුවරයා ගේ පුතණුවෝය. ඔහු සිය මවුපිය ඇවෑමෙන් මහත් ධනයකට හිමිකම ලබා සැපසේ විසූවෙකි. හෙතෙම මෙම අසිරිමත් පෙළහර දැක පැහැදී දහසක් වූ සිය පිරිවර සමඟ සසුන්ගත විය.

අංගුලිමාලයන් බුදුහිමියන් පසු පස කඩුව ගෙන දුව එන අවස්ථාවේ උන්වහන්සේ පෑ ප්‍රාතිහාර්යය කෙතරම්ද? බුදුහිමියන් ඉතා ශාන්ත ගමනින් වඩින අතර අංගුලි මාලයන් ඉතාම වේගයෙන් දුව අවේය. එහෙත් අංගුලිමාලට බුදුහිමියන් අසලකටවත් පැමිනීම‍ට නොහැකි විය. ඒ අතරතුර අංගුලිමාලට නොයෙක් වේදනා හඩවල්, කැපී කෙටී ගිය සිරුරු ඇති මිනිසුන්ගේ ශරීර පෙනීමට දක්වන ලදි. මේ මහා ප්‍රාතිහාර්යයක් නේද? මේ තමයි බුදුහිමියන් යොදාගත් තාක්ෂණය. බුදුහිමියන්ගේ තාක්ෂ්‍යය අප්‍රමාණ බලසම්පන්නයි.

ඉතින් පින්වත් යහලුවනේ, මේ ඉහත සදහන් කල තාක්ෂණය, මායා තාක්ෂණය යන වචන යොදාගත්තේ නවීන විද්‍යාවත් සමග සංසන්ධනය කරන්නයි. එහෙත් පැහැදිලිවම කිවයුතු දෙයක් වන්නේ බුදුහිමියන් මායාකරුවෙක් නොවෙයි. ඒක නිසා ඒ කාරනය ගැන ආයි කතා කරන්න ඕනි නෑ. එහෙම නැතිනම් ඔය අසපුවාදී ඇත්තොයි, මහ පණ්ඩිත ඊනියා ත්‍රිපිටකධාරීන් ටිකයි කොමෙන්ට් කරන්න පටන්ගනී කෙලවරක් නැතිව.

ඒ බුද්ධ ශක්තියයි. බුද්ධ ප්‍රාතිහාර්යයි. මා මේ ඔබට සදහන් කර ඇත්තේ සීමිත ඉතාම කරුණු කිහිපයක් පමණයි. මේ කාරණය පිලිබද ඔබට සිහි කරවන්න.

ඒ මහා පුරුෂරත්නයට මාගේ නමස්කාරය වේවා …. ….

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … … …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම සක්රේ මෙත්සිත් ඇතිව එරන්ද ලග්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.