Skip to main content

ලොවටම බුදු බලය කියාදුන් මහා ඛේදවාචකය

මෙයට අට වසරකට පෙර සුනාමි චණ්ඩ රළ පහර නිසා අප අත්විඳි වේදනාබර අත්දැකීම යළි යළිත් සිහිකරන්නට කිසිවකු තුළ මනාපයක් නැත. එහෙත් එහි සිත පාරවන පාර්ශ්වය නොව ඒ මොහොතේදීත් ඉන් පසුවත් අප එකිනෙකා වෙනුවෙන් ඉටුකළ උදාර මෙහෙය සිහිපත් කිරීම ඉතා වැදගත්ය. සුනාමි ව්‍යසනයේදී ආසියානු කලාපයේ අති දරුණුතම විනාශයට මුහුණ දුන් පැරෑලිය, තෙල්වත්ත ප්‍රදේශයේදී විපතට පත් ජනතාව වෙනුවෙන් දිවි පරදුවට තබා උදාර මෙහෙයක් ඉටුකළ ඓතිහාසික පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයේ වැඩ වාසය කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ ද එසේ දුකට පත් වූවන්ට පිහිට වූ උදාර මිනිසුන්ට අයත්ය. උන්වහන්සේ සහ සහෝදර භික්ෂූන් වහන්සේ එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් සහ ක්‍රියා කළ අන්දම ගැන ආවර්ජනයක යෙදෙන්නැයි අපි ඉල්ලා සිටියෙමු.

සොබාදහම කෙතරම් විස්මයජනකද? විටෙක චමත්කාරජනක එය, තවත් විටෙක ඛේදජනකයි. මීට වසර හයකට පෙර 2004 දෙසැම්බර් 26 වැනි දා සොබා දහම අපට ලබා දුන්නේ කිසිදා මතකයෙන් ඈත් නොවන ශෝචනීය අත්දැකීමකි.

රිච්ටර් මාපකයේ 9.00 ක් පමණ වන ලෙස සටහන් වූ අතිප්‍රබල භූ කම්පනයක් ඉන්දියානු සාගර සුමාත්‍රා දූපත් මුහුදු තීරයේ හටගත්ත ද එම කම්පනයෙන් පසු ලෝකවාසීන්ගේ හදවත් තුළ හටගත් කම්පනය කෙතරම් ප්‍රබල වූවාද කිවහොත් එය මැනිය හැකි කිසිදු මිනුම් දණ්ඩක් මෙතෙක් සොයාගත නොහැකි විය. මක්නිසාද කිවහොත් එදා මෙදාතුර ඇතිවූ විශාලතම ඛේදවාචකයක් මිනිසාට අත්විඳීමට සිදුවූ නිසා.

“සුනාමි” යනු ජපන් වචනයක් වන අතර එහි අඳහස “විශාල වරාය රළ යන්නයි.” ඈත මුහුදේ පවතින උඩින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උඩින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයෝ “සුනාමි” ලෙස හදුන්වති.

සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාගරික ජලකඳ ක්ෂණිකව කැළඹීමකට ලක්වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දියරැල්ල්ක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග සුනාමි තරංග වේ.

සුනාමි ඇතිවීමට බලපාන සාධක මොනවාදුයි මෙහෙ‍ාතක් සොයා ලබමු.
01 සාගර පතුලේ ඇතිවන භූමිකම්පා
02 නායයාම් ඇතිවීම ( උදා: 1958 ඇලස්කාවේ ලිතියාවේ වල කඳු නායයෑමක් නිසා සුනාමි තරංග ඇතිවිය.)
03 යමහල් විදාරණය වීම හේතු‍කොටගෙන පිටවන ද්‍රව්‍ය මගින් සාගර තරංග සුනාමි තරංග බවට පත්වීම
04 උල්කාපාත කඩාවැටීම හා විශාල හිම කඳු සාගරයට කඩාවැටීමෙන්

සුනාමියක් පැමිණීමට පෙර බොහෝ විට අනතුරු ඇඟවීම් නොලැබේ. නමුත් සුනාමි සාමාන්‍යනේ හටගන්නේ ජලය ආශ්‍රිත සිදුවන භූමිකම්පාවකින්ය. නොගැඹුරු දියේ හට ගැනීම, වැඩි ප්‍රබලත්වය, ජලයේ ගැඹුර හා ප්‍රමාණවත් ජල ස්කන්ධයක් යන කරුණු සම්පූර්ණ නම් සුනාමියක් ඇති වීමට පුළුවන. ප්‍රබලත්වය 4.2 වූ භූමිකම්පාවක් ඇතිවී විනාඩි 15 තුළ සාමාන්‍යයෙන් ජපානයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට කළ හැකි සුනාමියක් ඇති විය හැකිය.

ගොඩබිමට ලඟාවන පළමු සුනාමි තරංගය නිම්නයක් (දෙකිඳ) ආකාර නම් වෙරළාශ්‍රීත ජලය පැහැදිලි ලෙස අඩුවී සාමානයෙන් දියේ ගිලී පවතින ප්‍රදේශ නිරාවරණය වේ. මෙය උවදුරෙන් දුරස්වයාමට පෙර කඩා වදින සුනාමියක පෙරනිමිත්තකි. වෙරළාශ්‍රිතව සිටින පුද්ගලයෙකුට හදිසියේම මුහුද පසුපසට ගමන් කිරීමක් දක්නට ලැබුණොත් (මේ සමඟම චූෂණ ශබ්දයක්ද ඇසුණු බව බොහෝ නොමැරී බේරුණු පුද්ගලයෝ වාර්තා කර ඇත) ඔහුට ගැලවීමට ඇති එකම අවස්ථාව වන්නේ උස් ප්‍රදේශයකට පළා යාම හෝ උස් ගොඩනැගිල්ලක ඉහළ මාලයට නැගීමයි.

2004 දී ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමියේදී නැගෙනහිරින් සුනාමි රළවලින් යටවුණු අප්‍රිකානූ හෝ අනෙක් බටහිර වෙරළ වලින් මුහුද පසුපසට යාමක් වාර්තා නොවිණි. එයට හේතුව එම රැල්ලේ ස්වාභාවයයි. එය නැගෙනහිර දෙසින් විභේද රේඛාවට පහළින් ගමන් කළ අතර බටහිරදී විභේද රේඛාවට ඉහළින් ගමන් කළේය. අප්‍රිකාව හා අනෙක් බටහර වෙරළ ගොදුරු වූයේ බටහිරින් ඇතිවූ රළ පහරිනි.

සාගරයේ හටගන්නා සුනාමි තත්ත්වයන්ගෙන් 80% ක්ම ඇතිවන්නේ පැසිෆික් සාගරයේය. නමුත් අභ්‍යන්තර විල් වැනි විශාල ජල ස්කන්ධයක් පවතින ඕනෑම ස්ථානයක සුනාමි ඇතිවිය හැකිය. නායයාම, ගිනිකදු පිපිරීම් හා භූ කම්පන මගින් මේවා ඇතිවිය හැකිය. ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමිය පිළිබඳව 2008 අප්‍රේල් පළවූ Geogrophical සඟරාවට අනුව 2004 දෙසැම්බර් 26 දින ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමිය කලාපයකට බලාපොරොත්තු විය හැකි දරුණුතම සුනාමිය නොවේ. Geophysical journal Juternation හි සම ලේඛක දකුණු කැලිෆෝනියා සරසවියේ සුනාමි පර්යේෂණ ආයතනයේ මහාචාර්ය Cosrs synolakis ට අනුව අනාගතයේ ඇතිවන සුනාමියකින් ඉන්දියන් සාගර කලාපයේ මැඩගස්කරය, සිංගප්පූරුව, සෝමාලියාව,බටහිර ඔස්ට්‍රේලියාව යන රටවලට හානි පැමිණය හැකිය. නත්තල් දිනයට පසුදා සුනාමියෙන් 30,000 පමණ පුද්ගලයන් මියගිය අතර බොහෝ සිරුරු හඳුනාගැනීමට නොහැකි වූ අතරතවත් බොහෝ දෙනෙක් අතුරුදහන් විණි. නිල නොවන වාර්තා වලට අනුව මිලියනයකට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් සෘජුවම හෝ වක්‍රව සුනාමිය හේතුවෙන් මියගොස් ඇත.

ලෝකයේ පැරණිම ගොඩගැලීම ලෙස සදහන් වන්නේ මීට වසර 2500 කට පෙරය.රාම-රාවණා යුද්ධයේදී ඳරුණු යුධ උපකරණ භාවිත කිරීමෙන් හිම දියවී යාම නිසා මුහුද ගොඩගැලීමක් සිදු වු බව සදහන් වේ.මෙම මුහුද ගොඩගැලීම නිසා ධීවර ගම්මාන 470 ක්ද,වරායවල් 970 ක්ද විනාශ වු බව රාජාවලියේ සදහන් වේ.මීට වසර 2000 කට පෙර කැළණි තිස්ස රජ විසින් භික්ෂුවක් මරාදැමු ශාපය නිසා මුහුඳ ගොඩගැලීම සිදු වු බව මහාවංශයේ සඳහන් වේ.සුනාමි පිළිබඳ අන්තර්ජාල‍යෙහි සඳහන් කරන ආකාරයට ක්‍රි:පු:500දී ස්කොට්ලන්තයේ සුනාමි තරංග වල බලපෑමක් සිදු වී අත.අත්ලන්තික් සාගරයේ ඇති වු හදිසි භූ චලනයක් මෙම සුනාමි තරංග නිර්මාණය වීම කෙරෙහි ඉවහල් වී ඇත.

කෙසේ වෙතත් “සියලු දෙය අනිත්‍යයි! ” තථාගතයන් වහන්සේගේ දේශනාව එයයි. එය සැබෑවකි. මෙය අවබෝධ කරගත් ඥානවන්තයෝ මෙන්ම අවබෝධ කර නොගත් අඥානයෝද සිටිති. මෙය මිහිමත වෙසෙන කාහටත් පොදු ධර්මතාවක් බව සනාථ කරමින් මවුපියන්ට දරුවන් අහිමි කළාසේම දරුවන්ට මවුපියන් ද අහිමි කළා. සහෝදර සහෝදරියන් හට එකිනෙකා අහිමි කළා. ජීවිත කාලය පුරාම එක් රැස් කළ සියල්ලම එක නිමේෂයකදී විනාශ වී ගියා. තම වර්ගයා අත් විඳි බිහිසුණු විපතින් මිනිසුන්ගේ හදවත් කම්පිත වී ගියා.

ලොව විවිධ ඛේදවාචකයන් සිදුවුවද එකම ස්ථානයක වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වූ අවස්ථා නම් අතළොස්සක් තරම්. එවන් ස්ථාන අතරට ශ්‍රී ලංකාවේද එක ප්‍රදේශයක් එක්වීම කෙතරම් අභාග්‍යයක් ද? සුනාමි චණ්ඩ රළ පහරට ගොදුරු වී දහස් ගණන් මිනිස් ජීවිත සමඟින් දකුණු පළාතේ පැරෑළිය ප්‍රදේශයේදී විනාශ වී ගිය දුම්රිය ඔබට මතකද ? එවන් මහත් ව්‍යසනයක අඳුරු පැල්ලමක් කෙසේනම් මතකයෙන් ඈත් කළ හැකිද?

බුදු පියාණන් වහන්සේ විසින් සුනාමි පිලිබද කලින්ම දේශණා කරගතියෙනව. ඒ අතර සමුද්‍රවාණිජ ජාතකය විශේෂිතයි. මිනිසුන් විසින් සොබාදහම විනාශ කරද්දි සොබාදහම මිනිසුන්ට දඩුවම් දුන් ආකාරය පැහැදිලිවම දක්වල තියෙනව. පුදුමය කියන්නෙ අපේරටට ආව සුනාමියෙදි වගේම මේ ජාතකයෙදිත් දෙවරක් පැමිණි රළ පිලිබදව කියවෙනව. හරියට පළවෙනි පාර අනතුරැ ඇගවීමක් කලා වගේ. ඊට අමතරව භූමිචාල සූත්‍රයේත් ඉතාම පැහැදිලිව භූමිකම්පාවක් ඇතිවන ආකාරය දේශනා කරල තියෙනව. මේ ලිපිදෙකම මම කලින් පලකරල තියෙනව. ඒව බලන්න කියල මම ආරාධනා කරනව.

මේ සියල්ල සිදුවෙද්දි සිදුඋන පුදුම දෙයක් තියෙනව. මහා කොන්ක්‍රීට් කදන් මෙන්ම මහ යනඩ කදන් අඹරා දැමූ සුනාමියට පුංචිම පුංචි බුදුපිලිමයකට හානියක් කරන්න බැරිවීම හරිම පුදුමයක්. ඔයා මහා පල්ලි තොවිල් බිමට සමතලාවෙලා යද්දි පුංචි බුදුපිලිම වහන්සේ නොසැලී සිටීම තරම් ආශ්චර්යයක් තියෙනවද? බුදු පියාණන් වහන්සේ සොබා දහමට මොනතරම් හිතවත්ද කියල ඔයාලට මේකෙන්ම පැහැදිලිවෙනව නේද?

එම ශෝචනීය දවසේ දිවයිනේ මුහුදු බඩ කිලෝ මීටරයක් දෙකක් පමණ රට අභ්‍යන්තරයට වූ සියල්ල සුනාමි රළ පෙළ කුරිරු අන්දමින් බිළි ගනිද්දී ඇතැම් ප්‍රදේශ මුළුමනින්ම විනාශ වී ගියද, අවම හානියක් වූ ප්‍රදේශ ද නොතිබුණා නොවේ. දුම්රිය විනාශ වී ගිය පැරෑළිය ප්‍රදේශයත් එයට තදාසන්න ප්‍රදේශත් සුනාමි දළ රළ පෙළ ගොදුරු කර ගත්තේ කෙතරම් දරුණු අයුරින් ද? පැරෑළිය ආසන්නයේ පිහිටි තෙල්වත්ත ප්‍රදේශය ඓතිහාසික පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරය නිසාම ඉමහත් ප්‍රසිද්ධියට පත් වූවක්. ප්‍රදේශවාසීන්ට මිණි පහනක් බඳු මෙම විහාරයට දෙවැනිපෑතිස් රජ දවස දක්වා තරමට ඈතට දිවෙන ඉතිහාසයක් උරුමයි. වියරු රළ පෙළ මුළු ප්‍රදේශයම පොළොවට සමතලා කරද්දී මෙම විහාරයට අනතුරක් කිරීමට නොහැකි වූයේ පෙර දවස බවුන් වඩා රහත් භාවයට පත් රහතන් වහන්සේ වැඩ සිටි පින් බිමක මහානුභාවය නිසාම විය යුතුයි.

මගීන්ගෙන් පිරීගිය දුම්රියක් ඔසවා මීටර පන්සියයක් පමණ ඈතට විසි කර කුඩු පට්ටම් කිරීමට තරම් ශක්තිමත් රළ පෙළට මෙම විහාරස්ථානය ද විනාශ කිරීමට හැකියාවක් ලැබුණානම් මේ ඓතිහාසික පුණ්‍ය භූමිය තවත් දහස් ගණනකගේ සුසාන භූමියක් බවට ඉතිහාස ගතවනවාට කිසිඳු සැකයක් නැත. මක් නිසාද කිවහොත් එදින පසළොස්වක පොහොය දිනයක් වූ නිසාම පෙහෙවස් සමාදන් වූ උවැසි, උවැසියන් හා විහාරය වන්දනා කිරීමට පැමිණි විශාල පිරිසක් විහාරස්ථානයේ සිටි බැවිනි. දහස් ගණනකගේ ජීවිත රැකදෙමින් ඉතිහාසගත විහාරස්ථ ප්‍රෞඩත්වය ආරක්‍ෂා කළ අභිමාන වූ පින් බිමක වැඩ වාසය කරන සංඝයා වහන්සේ ද සුනාමි ඛේදවාචකයේ දී ඉටු කළාවූ සේවාවේ වටිනාකම කෙසේනම් කිව හැකිද?

දුම්රිය අනතුරින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූවන් හට යළි ජීවිතය ලබා දෙන්නට දිවි හිමියෙන් කළාවූ ඒ වීරෝධාර වූ පුණ්‍ය ක්‍රියාව කෙසේනම් විස්තර කරන්නද ? ඒ කටුක අත්දැකීම යළි ආවර්ජනය කරන්නට පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරාධිපති පිටුවල සුමන ස්වාමීන් වහන්සේ අප හා එක් වූහ.

“එදා පසළොස්වක පොහොය දවසක් නිසා පන්සලේ විශාල පිරිසක් සිල් සමාදම් වෙලා හිටියා. ඊට අමතරව විහාරය වන්දනා කරන්න ආ උදවියත් විශාල වශයෙන් සිටියා. සුනාමිය එනවට බයේ ආරක්‍ෂාව පතා ආ පිරිසත් ඒ වෙලාවෙ හිටියෙ පන්සලේ. සමහර අය බෝධීන් වහන්සේට ගොඩ වෙලා. තවත් සමහරු විහාරයේ දෙමහල් ගොඩනැඟිලිවලට නැඟල හිටියා. වයෝවෘද්ධ අය ධර්ම ශාලාවට වෙලා තෙරුවන් සිහිගන්වමින් සිටියා. කොහොම වුණත් අඩි තිස් පහක් හතළිහක් තරම් උස මහා රළ පෙළට මුළු පළාතම විනාශ කරන්න හැකියාව තිබුණත් මේ විහාරයටත්, විහාර භූමියේ ජීවිත ආරක්‍ෂාවට හිටපු අයටවත් අනතුරක් කරන්න පුළුවන් වුණේ නැහැ. සමහර අය මේව විශ්වාස නොකළත් සිදුවෙච්චි දේ ගැන හිතනකොට ඒ උදවියටත් හිතන්න වෙනව තෙරුවන් ගේ ආනුභාවය කිසිම අඩුවක් නැතිව තියනව කියලා.

අනෙක් කාරණය තමයි කොතරම් ශක්ති සම්පන්න අයෙක් වුණත් යම් විපතකදී ඒ අයට මතක් වෙන්නේ තෙරුවන්. ඒ නිසාම තමයි මේ විපතින් බේරෙන්න පන්සලට දුවගෙන එන්නෙ.”

අපේ හාමුදුරුවො කියන කතාවනම් ඇත්ත. තෙරුවන් සරණට වඩා සරණක් තවත් කොයින් ද? අපි නැවතත් උන් වහන්සේගේ හඬට සවන් යොමු කරමු.

“ඉතිං දෙවැනි රළ පහර ඇවිල්ල ගියාට පස්සෙ බැලූ බැලූ අත නටබුන් බවට පත් වෙලා. ගෙවල් දොරවල් විනාශ වෙලා. යාන වාහන විනාශ වෙලා. හැම තැනම මළ සිරුරු. පෙර පිනකින් දිවි බේරාගත් උදවිය අමාරුවෙන් විහාරයට ආවා. සමහර අයගෙ වස්ත්‍රවත් නැහැ. ඒ මදිවට හොඳටම තුවාල වෙලා. පන්සලට පූජා කරල තිබුණ රෙදි පිළි දීල නිර්වස්ත්‍රව හිටපු අයට විළි වසාගන්න සැලසුවා. මම අපේ අනිත් භික්‍ෂූන් වහන්සේත් එක්ක එකතු වෙලා තුවාල වුණ අයට ප්‍රතිකාර කළා. සමහර අයට සිහි නැතිවෙනවා. ඒ අයගෙ කටට වක්කරන්න වතුරවත් නැහැ. ජල නල සියල්ලම කැඩිල නිසා වතුරත් නැහැ. දැන් ඉතිං මොනව කරන්නද ? ඒ වෙලාවෙ පන්සලේ හිටපු තරුණයන්ගෙ උපකාර ඇතිව ගස්වල කුරුම්බා ගෙඩි කඩල ඒ වතුර තමයි සිහිය නැති අයට දුන්නෙ.

තවත් සමහර මවුවරු මියගිය පුංචි ළමයි තුරුළු කරගෙන අඬාගෙන එනව. අපට පුළුවන් විදියට ඒ අයගෙ සිත් සනසල යම් තරමක හරි සහනයක් ලබා දුන්නා. මොකද මීට සුළු වෙලාවකට කලින් තමන්ගේ දෑතෙ හුරතල් වෙවී නිදපු දරුවාගෙ මළ කඳ වුණත් කොහොම විසි කරන්නද”

ලොකු හාමුදුරුවෝ එහෙම කියනකොට මගේ මතකයට ආවෙ එදා බුදුන් දවස ජේතවනාරාමයට පැමිණි පටාචාරාවන් , කිසාගෝතමියන්. නමුත් මෙදා පටාචාරාවන්, කිසාගෝතමියන් වැනි මවුවරුන් සිය ගණනක් පිළිසරණ පතා තොටගමු විහාරයට ඇවිල්ලා. ඒත් ඔවුන්ට පිහිට වෙන්න අපේ බුදු හාමුදුරුවො අද අප අතර නැහැ. නමුත් උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් ගන්නා භික්‍ෂූන් වහන්සේ සිතට සැනසුමක් ගෙන දෙනවා. එදා සුනාමි විපතින් අසරණ වූ අයට පිළිසරණක් වූ අපේ හාමුදුරුවො පවසන ඒ තිත්ත වූ ඇත්ත කතාවට යළිත් සවන් යොමු කරමු.

“දැන් එක්කෙනා දෙන්නා අමාරුවෙන් පන්සලට එනවා. ඔය අතරෙ ආපු කෙනෙක් මට කිව්වා “අනේ හාමුදුරුවනේ අපි ආව කෝච්චිය මේ හරියෙ පෙරලුණා. ඒකෙ අය හුඟ දෙනෙක් මැරිලා. පණ තියන අයත් ඉන්නවා. කවුරුහරි ගියොත් ඒ අය බේරගන්න පුළුවන්” කියල. අනතුරු වෙලා එන අයට උපස්ථාන කරන්න පොඩි හාමුදුරුවන්ට භාර කළ මම ඒ වෙලාවෙ පන්සලේ හිටපු අයට කතා කළා කෝච්චියක් පෙරළිලා තියනව අපි ගිහින් ඒකෙ අය බේරගෙන එමු කියල. නමුත් මම කියන දේ අහන්න තරම් නිරවුල් මනසක් ඒ අයට තිබුනෙ නැහැ. ඒ අයත් හඩා වැටෙමින් මහා වේදනාවක හිටියෙ. ඒ නිසා මම තවත් හිමි නමක් එක්ක යන්න පිටත් වුණා. එතකොට ඒ අසල හිටපු තරුණයෙකුත් අපිත් එක්ක ආවා. අපි යනකොට හැමෝම ඒකට විරුද්ධ වුණා. ඒත් අපි අපේ ගමන ගියා. අපි යනකොට සමහර අය කෑගහල කියනව “අනේ හාමුදුරුවනේ යන්න එපා ආයෙත් මුහුද ගොඩට එන්න පුළුවන්. ඔබ වහන්සේ කරදරේ වැටෙන්න එපා” කියලා ඒ වුණාට මගෙ හිත ඉඩ දුන්නෙ නැහැ අයෙමත් හැරෙන්න. අපි කතා කරගත්තා මැරෙන්න හරි කමක් නැහැ යමු, තව කීපදෙනෙක් හරි බේරගන්න පු‍්‍රළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක් නේද කියල.

ඒ ගිය ගමන නම් හරිම දුෂ්කරයි. යන්න පාරක් නැහැ. හැමතැනම ගෙවල් දොරවල් ගස් කඩා වැටිල. ඒ මදිවට මළ සිරුරු හැම තැනම. අපි ඒවා අතරින් කිලෝ මීටරයක් විතර දුරක් ගියා කෝච්චිය පෙරලුණ තැනට. ඒ යනකොටත් ඒකෙ පෙට්ටි වැඩි ප්‍රමාණයක් වතුරට යටවෙලා. කිසි දෙයක් පෙන්නෙ නැහැ. හැම තැනම වතුර, මළ සිරුරු පා වෙනවා. සමහර පෙට්ටි ඇඹරිලා කැඩිල ගිහිල්ල. ඒවට යට වුණ අයත් හිටියා. අපට ඒ අයව ගන්න පු‍්‍රළුවන් කමක් තිබුණ නම් කොච්චර හොඳද? අපි අමාරුවෙන් කෝච්චි පෙට්ටි කීපයකට ගොඩවෙලා ඒවයෙ කෙඳිරි ගාමින් හිටපු අය ඉක්මනට අරගෙන ආරක්‍ෂිත තැන්වල තිබ්බා. ගස්වල කුරුම්බා කඩල ඒවා පොළොව ගහල පලුදු කරගෙන තමයි අසාධ්‍ය අයගෙ කටට වත් කළේ. සමහර අයට සිහිය තිබෙනව ඒත් ගන්න බැහැ. යකඩ ගොඩවල්වලට හිර වෙලා. සමහර අය අමාරුවෙන් ගත්තා. අනිත් අය බේරගන්න තරම් ශක්තියක් අපට තිබුණෙ නැහැ.
තවත් වයසක අම්ම කෙනෙක් උස ගහක කරුවක හිරවෙලා කෙඳිරි ගානවා. එයාව ගන්නනම් ගොඩක් වෙහෙසෙන්න වුණා. ඒ වෙද්දි අපෙත් අතපය සීරිලා තුවාල වෙලා. ඒත් ඒවයෙ වේදනාවක් අපට දැනුණෙ නැහැ. කොහොම හරි දැඩි වෙහෙසක් දරල අපි බේරගන්ත අයව පන්සලට ගෙනාව.
ඒ වෙනකොට පන්සලේ විශාල පිරිසක් හිටිය. සංඝයා වහන්සේලට තිබුණ දානය අපි ඒ අයට දුන්නා අපි අපේ බඩගින්න ගැන හිතුවෙ නැහැ මොකද අපට ඕනවෙලා තිබුණෙ මේ අයව ජීවත් කරවන්න. ඒත් එතන හිටපු සමහර අයට කෑමක් බීමක් ඕන වුණේ නැහැ. මොකද ඒ අය ඒ තරමට වේදනාවෙන් පෙළුණ නිසා.
අපේ පන්සල පිහිටල තිබෙන්නෙ මුහුදත් ඊට සමාන්තරව තිබෙන ගංගාවකුත් අතර තමයි. සුනාමි ජලකඳට පාලම කැඩිල යද්දි එකෙන් එගොඩ වෙන්න ගිය මිනිස්සු සෑහෙන පිරිසක් පාලමත් එක්කම වතුරට ගිහින් තිබෙනවා. පාලම කැඩිල ගිය නිසා විපතට පත් වුණ අය රෝහලකට ගෙනියන්නවත් විදියක් නැතිවයි අපි හිටියේ. ඒත් පැය කිහිපයකට පස්සේ අනෙක් ප්‍රදේශවල ජනතාව ගෙ¼ගන් පීනගෙන ඇවිත් අපට උදව් කළා. වතුරේ පාවෙමින් තිබුණ දොර ලෑලි, ජනේල ලෑලි වගේ දේවල්වලින් පාරු හදල ඒ මගින් රෝගීන් රැගෙන ගියා. ඒ වෙද්දි ගඟෙන් එගොඩට වාහන ගෙනත් තිබුණ නිසා රෝගීන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වූනා.
මේ වැඩ ටික ඉවර වෙනකොට වෙලාව සවස දෙක පමණ වෙලා. මට හිතුණ ආයෙත් කෝච්චිය පෙරලුණ තැනට යන්න ඕන කියල. ඒ ගමනට නම් මාත් එක්ක තවත් පිරිසක් එකතු වුණා. ඒ වෙනකොට වතුර ටිකක් අඩුවෙලා තිබුණෙ. නමුත් ඒ වෙනකොට එතන ජීවත්ව ඉන්න කිසිම කෙනෙක් අපිට දැකගන්න ලැබුණෙ නැහැ. ඊට පස්සෙ මම යෝජනාවක් කළා. අපි ගමේ ටිකක් ඇවිදල බලමු පණ තියන කවුරු හරි හිටියොත් ඒ අයව බේරගන්න පුළුවන් නිසා. නමුත් ඒකටනම් අනෙක් අය අකමැති වුණා. ඒත් මම තනිවම ගමේ ඇවිද්දා. යන්න පාරවල් තිබුණෙ නැහැ. පළාතම සුන්බුන් ගොඩක් විතරයි. හැමතැනම මළ සිරුරු විසිරිලා. ඒත් ජීවත්ව සිටින කිසිවෙක් මට හමුවුණේ නැහැ.
ඒ වෙලාවෙ මගෙ හිතට දැනුණෙ කියාගන්න බැරි තරමෙ වේදනාවක්. මම වෙනද ගමේ ඇවිදින කොට “අපේ හාමුදුරුවනේ” කියල වඳින උදවිය ඒ වෙලාවෙ කටවල් අරගෙන ඇස් ඇරගෙන විකෘති වෙලා. මේ මිනිස්සු හීනෙකින්වත් නොහිතපු මරණයක් ඒ අයට අත් වෙලා.

මම ආයෙමත් පන්සලට ආවෙ පන්සලේ ඉන්න අය ගැනත් බලන්න. අතරමංව සිටින දුර බැහැර ප්‍රදේශවල අයට පන්සලේම ඉන්න පහසුකම් සැලසුවා. ඒ අතර ගමේ අයත් විශාල පිරිසක් හිටියා. අපේ පන්සලේ පිරිවෙනක් තිබෙනවා. ඒ විජයබා පිරිවෙන. ඒකට ලැබිල තිබුණ වියලි ආහාර පිළියෙළ කරල තමයි ඒ අයගෙ කුසගින්න නිවා දැමුවෙ. දවස් දෙක තුනක් යනකොට ඒ අයගෙ ඥාතීන් ඇවිත් පිට පළාත්වල අය එක්ක ගියා.

දෙවැනි දවස වෙනකොට පන්සල අවට තිබුණ මළ සිරුරු භූමදානය කළේ අපේ පන්සලේ ඉන්න භික්‍ෂූන් වහන්සේලා එකතු වෙලා. එදා ලංකාවෙ සතර දෙසින් ආව ජනයා කිසිදු වත් පොහොසත්කමක් නොකතා ජාති, කුල, ආගම් භේද නොකතා එකම පොදියට එකට එකතු වෙලා, එකා පිට එකා වැටිල එකම වළක මිහිදන් වෙලා ගියේ ජීවත් වෙලා ඉන්න අයට කදිම පාඩමක් කියල දීලයි.”

අපේ හාමුදුරුවො දිගින් දිගට ජීවිතවල අනිත්‍ය බව කතා කළා. උන් වහන්සේ පවසන දේ ඇත්ත නේද කියල මට හිතුණා. සුනාමියෙන් විනාශ වූ ප්‍රදේශවල පිරිත් දේශනා කරමින් සෙත් ශාන්තිය ලබාදීමට අපේ මහා සංඝරත්නය ක්‍රියාකළ අයුරු ඇසූ මගේ මතකයට නැඟුණේ බුදුන් දවස විශාලා මහනුවරට සෙත සැලසූ ආකාරයයි. දහස් ගණන් බිලිගත් දුම්රිය අනතුර සිදුවූ ස්ථානය සිහිගන්වමින් බානගල උපතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිවූ ලෝක ප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටිනව. දහස් ගණනක් එකට මිහිදන් වූ සමූහ මිනී වළ සිහිගන්වමින් සුනාමි ස්මාරකය ඉදිවී තිබෙන අයුරු කා හටත් දැක ගත හැකියි. එතැන මොහොතක් නැවතී බලා හිඳීන්නෙකුගේ හදට හැඟෙන සිතිවිලි අනන්තයි, අප්‍රමාණයි. එදා සිදුවූ ඒ මහා ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට තොටගමු රජමහා විහාරයේ නායක හාමුදුරුවො පිහිට වූ අයුරු කෙසේ නම් අමතක කරන්නද ? මමත්වයෙන් මිදී පරාර්ථකාමීත්වයෙන් හෙබි එවන් යතිවරයාණන් වහන්සේ තවත් ලොව පහළ වේවා යි යන්න අප කාගේත් පැතුමයි.

සුනාමි විපතින් පරළොව සැපත් සැමට අමා මහ නිවන් සුව පතන අතර එම විපතින් දිවිගලවා ගත් සැමට තෙරුවන් සරණ පතමු.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

( විකිපීඩියා හා බුදුසරණ පුවත්පත ඇසුරිනි)

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.