Skip to main content

රළු සිවුරු පරිහරණය කරන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ මෝඝරාජ මහරහතන් වහන්සේ …

මෝඝරාජ මහරහතන් වහන්සේ රළු සිවුරු පරිහරණය කරන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. උන්වහන්සේ රළු ලෙස කපනලද , රඑලෙස මසනලද, රළු ලෙස වර්ණ කළ, පාංසුකූල සිවුරුම පොරවන සේක. එසේ හෙයින් එම අග්‍රස්ථානය ලබන ලදහ. මෝඝරාජ තෙරුන් වහන්සේගේ පුර්වාපර චරිතාපදානය පහත දක්වන ලැබේ.

මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලෝකයෙහි පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හෙතෙම එක්තරා කුලගෙයක ඉපිද වැඩිවියට පත්ව එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසන අවස්ථාවක එක් භික්ෂුවක් රළු සිවුරු දරන භික්‍ෂන් අතුරෙහි අග්‍රස්ථානය ලබනු දැක මම ද අනාගතයෙහි බුදු කෙනෙකුගෙන් මෙබඳු පදවියක් ලබන්නෙමි යි අධිෂ්ඨාන කොට සතියක් මහ දන්දී අවසානයේ දී තම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ එම ප්‍රාර්ථනාව සඵල වන බව දැන”  කුල පුත්‍රය මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදුවන ගෞතම බුදුන්ගේ ශාසනයෙහි දී ඔබට මේ අග්‍රස්ථානය ලැබෙන්නේය” යි විවරණ දුන් සේක.

එම කුලපුත්‍රයා එයින් පසු බොහෝ පින්දහම් කොට එයින් චුතව අත්ථදස්සී නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක උපන්නේ ය. හෙතෙම ත්‍රිවේදය ඉගෙන බොහෝ බමුණු මානවකයන්ට ශිල්ප උගන්වමින් සිටි අවස්ථාවක අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග මහ මඟ පිඩු සිඟා වඩිනා අයුරු දැක බලවත් ප්‍රීතියට පත්ව උන්වහන්සේට පසඟ පිහිටුවා වැඳ භාජනයක් පුරා මී දන් දුන්නේය, හෙතෙම එසින් පසු නොයෙක් කුසල් රැස්කරමින් දෙව් මිනිස් සැප අනුභව කරන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි කාෂ්ඨවාහන නම් රජුගේ අමාත්‍යයෙක්ව උපන්නේය. අමාත්‍ය තෙම රජුන්ගේ අණින් බුදුරජාණන් වහන්සේ කැඳවා ගෙන ඊමට දහසක් පිරිසක් සමග ගොස් එහිදී පැවිදිව විසි දහසක් අවුරුදු මහණ දම් පුරා එයින් චුතව අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද මෝඝරාජ නමින් ප්‍රසිද්ධව විසීය.

මෝඝරාජ මානවක තෙම බාවාරිය නම් බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයකු වී ඔහු ළග වේදය ඉගෙන ගනිමින් සිටියේ පසුව තාපස පැවිද්ද ලැබීය. අනතුරුව බාවාරිය තාපසතුමාගේ අනු දැනුම ඇතිව අජිත ආදී තවත් පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණියේ ය. පැමිණි පිරිස අතර බාවාරින්ගේ ප්‍රධාන ශිෂ්‍යයා දහසය දෙනෙක් හා ඔවුන්ගේ පිරිවර දහස බැගින් දහසය දහසක් වුහ. මෝඝරාජ එම ප්‍රධාන ශිෂ්‍යයන් සොළොස් දෙනාගෙන් පසළොස්වන්නා විය. බුදුරජාණන් වහන්සේන්ගෙන් මුලින්ම ප්‍රශ්න විචාරණ ලද්දේ අජිත තාපසතුමා විසිනි. උන්වහන්සේ ඔහුගේ ප්‍රශ්නය විසඳා ධර්ම දේශනා කළ සේක. ඊළඟට ප්‍රශ්න ඇසීමට මෝඝරාජ තාපසතුමා සුදානම් වුවත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ඤාණය තවම මෝරා ගොස් ඇති බැවින් ප්‍රතික්‍ෂේෂ්ප කළ සේක. එවිට ඊළග තාපස තුමා ප්‍රශ්න විචාරා අවසානයේ දී නැවතත් මෝඝරාජ ප්‍රශ්න ඇසීමට සුදානම් විය. බුදුරජාණන් වහන්සේ එවරද ප්‍රතික්‍ෂේෂ්ප කළ සේක. මෙසේ දෙවරක් ප්‍රතිෂ්ප කොට තුන්වන වර ප්‍රශ්න ඇසීමට ඔහුට ඉඩ දුන් සේක. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්

” සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජ සදා සතො අත්තානුදිට්ඨි ඌහච්ච එවං මච්චුනරො සියා  එවං ලොකං අවෙක්ඛත්තං මච්චුරාජානුපස්සති… ” ලෙසින් 

” මෝඝරාජය හැමකල්හිම සිහියෙන් යුක්තව ආත්ම දෘෂ්ටිය දුරුකොට ලෝකය ශූන්‍ය වශයෙන් බලව, මෙලෙසින් මාරයා හික්මවන්නෙහි, එසේ බලන්නාව මාරයා නො දකියි. “

මෙම ධර්ම දේශනාව අවසානයේ මෝඝ රාජ තෙම තම අතවැසියන් දහස සමග කෙලසුන් නසා රහත් විය. සියල්ලෝම එහි භික්ෂුභාවයෙන් පැවිදි වූහ. මෝඝරාජ තෙරුන් වහන්සේ එතැන් පටන් රළුවූ සිවුරු පොරවන සේක. බුදුරජාණන් වහන්සේ මෑත භාගයේ දී මෝඝරාජ තෙරුන් අමතා ” එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං මුඛ චීවර ධරානං යදිදං මෝඝරාජා “ යනුවෙන් වදාරා රළුවූ සිවුරු පොරවන භික්ෂුන් අතුරෙහි මේ මෝඝරාජ තෙම අගයයි වදාළ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.