ලෝක සිතියමෙහි ලංකාව හඳුන්වනු ලබන්නේ පොඩි තිතෙකිනි. ප්‍රමාණයෙන් කුඩා වුවත් ලංකාව තරම් වාසානාවන්ත භූමියක් ලෝකයෙහි කොහි වත් නැතැ යි කිව යුතු ය. බුද්ධ ධර්මයෙහි ‘නිවන’ තැනක් හැටියට සලකන්නේ නැත. එහෙත් ව්‍යවහාර වශයෙන් තැනක් හැටියට සලකා නිවනෙන් මෙහා හොඳ ම තැන කුමක් දැ යි කවුරුන් විසින් හෝ ප්‍රශ්න කරනු ලැබුව හොත් දිය යුතු එක ම පිළිතුර නිවනෙන් මෙහා හොඳ ම තැන ලංකාව කියා ය.

ලංකාව මේ තරම් වාසනාවන්ත භූමියක් ය යි කියන්නේ කවර හෙයින් ද? ස්වභාවික ‍සෞන්දර්යයෙන් පිරී ස්වභාවික විපත්තිවලින් මිදී ලෙවී ලොවුතුරා දියුණුවට වුවමනා හැම අඟ පස‍ඟෙකින් ම සපිරී තිබීම නිසා ය. ස්වභාවික සෞන්දර්ය හැටියට සලකන නිල් තණ, ගහ කොළ, මල් පල, සරු කෙත්, තැනි බිම්, කඳු හෙල්, ඇල දොල, ගංගා, වැව් පොකුණු, මුතු මිණි ආකර, ලේවා ආදියෙන් ලංකාව පිරී ඇත. ස්වභාවික විපත්තීන් හැටියට සැලැකෙන සෘතු පෙරළියෙන් වන පීඩා, භූමි කම්පා, ගිනි කඳු පිපිරීම්, ජල ගැලුම්, සුළි සුළං, වසංගත රෝගාදියෙන් ලංකාව මිදී ඇත. ජල ගැලුම්, සුළි සුළං, වසංගත රෝග වරින් වර ඇති වෙතත් අන් බොහෝ රටවල එබඳු විපත් හා සසඳා බලන විට ඒවා ගණන් ගත යුතු තරම් විපත් නොවේ.

බුදුරජාණන් වහන්සේ ලොවුතුරා දියුණුවට මෙන් ම ලොවී දියුණුවට උපකාර වන පරිදි දේශනා කළ ධර්ම මාර්ගය මේ රටෙහි සම්පූර්ණ වැ ම ඇත. ධනය උතුරුවන උල්පත් එමට ය. අධ්‍යාපන පහසුකම් නොඅඩු වැ ම ඇත. සෞඛ්‍ය තත්ත්වය ද හොඳ ය. ලෙඩට පිළියම් පහසු ය. සදාචාරයෙන් එතරම් පිරිහී නැත. එය දියුණු කැරුගැනීමට පහසු ය. ආශ්‍රයට මිනිසුන් ඇත. සුමඟ පෙන්වන නයුවෝ ඇත. මෙසේ ලෙවී ලොවුතුරා දියුණුවට උවමනා හැම අඟ පස‍ඟෙකින් ම ලංකාව පිරී ඇත.

යම්කිසි රටෙකැ – සමාජයෙකැ සංවර්ධනය හෙවත් දියුණුව සාමයික සංවර්ධනය, සාමාජික සංවර්ධනය යයි දෙකොටකට බෙදිය හැකි ය. එයින් සාමයික සංවර්ධනය නම්, රටෙහි ජනතාව ගුණ දහමින් දියුණු වීම යි. තමන් ගේ සමය – ආගම හොඳින් දැනැගෙන ඒ අනුවැ ජීවිතය හැඩ ගස්සාගෙන ප්‍රතිපත්ති ප්‍රතිවේධ දෙකින් දියුණු වීමයි. සාමාජික සංවර්ධනය නම්, රටෙහි ජනතාව ආර්ථික – සෞඛ්‍ය – අධ්‍යාපන – සදාචාර යන සතර ආකාරයෙන් දියුණු වීම යි. මෙකී තාක් දියුණු අභ්‍යන්තර දියුණුව ය, බාහිර දියුණුව යයි ද දෙකොටසකට බෙදිය හැකි ය. යම්කිසි රථයක් මැනැවින් පැදවීමට රෝද දෙකක් හෝ දෙපැත්තට සමාන ගණනක් හෝ තිබිය යුත්තාක් මෙන් ම සමාජයක් සම්පූර්ණ වැ දියුණු වන්නට නම් මේ අභ්‍යන්තර දියුණුවත් බාහිර දියුණුවත් එක හා සමාන වැ තිබිය යුතු ය.

සාමායික දියුණුවට මුල් විය යුත්තේ පන්සල යි, වෙනත් වචනවලින් කියනවා නම් ආදර්ශයෙන් හා උපදේශයෙන් හා ජනතාව සුමඟ යැවිය හැකි ශීලයෙන්, ගුණයෙන්, නුවණින්, දියුණු වූ භික්‍ෂූන් වහන්සේ ය. පුරාණ ලංකාවෙහි භික්‍ෂූන් වහන්සේ යටැ කී ගුණත්‍රයයෙන් කොපමණ දියුණු වැ සිටියා දැ යි කිව හොත් ඇතැම් කාලවල අසවල් භික්‍ෂුව මාර්ග ඵල ලාභී නොවේ යයි වෙන් කොට පෙන්වන්නට නෙ‍ාහැකි තරම් ආර්යයන් ගෙන් පිරී ඉතිරී සිටි බව අපේ ඉතිහාසය කියයි. ඒ ආදර්ශයත් උපදේශයත් ලබාගත් ගිහි ජනතාව ද යටැ කී ගුණත්‍රයයෙන් ලොකු දියුණුවක් ලබා සිටි බව ද අපේ ඉතිහාසය කියයි.

සාමාජික දියුණුවට වුවමනා කාරණා කොටසක් රජයේ පුරෝගාමිත්වයෙන් සපුරාගත යුතු ය. අනෙක් කොටස ජනතාව ම සංවිධානය වී සපුරාගත යුතු ය. පුරාණ ලක් වැසියන් අනලස් වැ, දූරදර්ශී වැ, සමඟියෙන් කටයුතු කළ නිසා ලංකාව බාහිර දියුණුවෙන් ද එවකට ලොවැ අන් කිසි ම රටකට දෙවැනි නෙ‍ාවන තත්ත්වයෙකින් බැබැළිණ.

ලංකාවෙහි ප්‍රධාන ජීවනෝපාය වූයේ ද, වන්නේ ද ගොවිතැන යි. ‘සියල් වැසි දිය රඳවා ගං හෝ බඳවා සිරිලක් සරු කෙරෙමැ’යි උදාර ප්‍රකාශයන් කළ අපේ මුතුන් මිත්තෝ කී ලෙසට ම කළ හ. මහා සාගර වැනි මහ වැවුත් තිස් දහසකට වඩා බඳවා ඇත්තේ අහසින් වැටෙන හැම වතුර බිඳක් ම රඳවාගෙන මහජනතාව ගේ සුභසිද්ධිය සඳහා යෙදවීම පිණිස ය. පුරාණ ලංකාවෙහි ජනගහනය කොපමණ දැයි කෙළින් ම කිව නොහැකි වුවත් ඇතැම් කාලවල කෝටි පහකට අඩු නොවන සංඛ්‍යාවක් සිටි බව ඇතැම් උගතුන් ගේ අදහස යි. සිංහලත් නොවන බෞද්ධත් නොවන ඇතැම් වාරි මාර්ග ඉන්ජිනේරුවන් ගේ අදහස නම් මේ රටෙහි වැව් ගණනට ජනගහනය හදා බැලුවත් කෝටි අටකට අඩු නොවිය හැකි බව යි. මෙ තරම් විශාල ජනකායක් හොඳට කා බී වැඩිමනත් කොටස පිටරට යැවූ බව ද කියති. මෙසේ ආර්ථික දියුණුවෙන් පමණක් නොවැ සෞඛ්‍ය අධ්‍යාපන සදාචාර යන ඉතිරි දියුණුවෙන් ද ලංකාව කොතරම් ඉහළට නැංගා දැ යි කිව හොත් ලෝකයෙහි කිසි ම රටක නොලැබුණු ධර්මද්වීපය’ යන ගෞරව නාමය ද ලංකාවට හිමි විය.

ලංකාව මේ තත්ත්වයට නංවාගන්නට අපේ මුතුන් මිත්තන් සිංහල බෞද්ධයන් කවර තරම් පරිත්‍යාගයක් කරන්නට ඇද්ද? අපේ ඉතිහාසය දෙස බලන විට මේ රට හදාගන්නට රැකගන්නට සිංහල බෞද්ධයන් ගේ ජීවිත ලක්‍ෂ ගණනින් පරිත්‍යාග කරන්න ඇතුවාට කිසි ම සැකයක් නැත. ලංකාව සිංහල බෞද්ධයා ගේ රට යි. එයින් ලංකාව අන්‍ය ජාතිකයනට අන්‍ය ලබ්ධිකයනට අයිති නැතැ යි ප්‍රකාශ නොකරමි. ආදියෙහි පටන් ම අන්‍ය ජාතිකයෝ අන්‍ය ලබ්ධිකයෝ සිටිය හ. සිංහල බෞද්ධයා ඔවුන් සාධාරණ වැ සිටිය තාක් කල් කිසි ම කරදරයක් කළේ නැත. ඔවුන් ගේ මානුෂික අයිති වාසිකම් නොඅඩුවැ ම සලසා දුන්නා. හැබැයි ඔවුන් සිංහලයන් පාගා ගන්නට සූදානම් වූ සෑම අවස්ථාවකදී ම පස්ස බල බලා දුවන්න පහරත් දුන්නා.

සිංහල බෞද්ධයා ජීවිත පරිත්‍යාගයෙන් හදාගත් රට, රැකගත් රට, දියුණු කැරැ ගත් රට ‘ධර්මද්වීපය’ යන නමින් කීර්තිධර වැ පවතින අවස්ථාවෙහි අපේ ම අලසකම අදූරදර්ශී භාවය හා අසමඟිය නිසා පිරිහෙන්නට පටන් ගත්තා. අපේ ම අය බලයට පොර කන්නට පටන් ගත්තා. කෙනෙකු රජකම් කරන විට ඔහු මරා තව කෙනෙකු රජකම උදුරාගැනීමේ අවාසනාවන්ත වැඩ පිළිවෙළ ද පටන් ගත්තා. මෙසේ බලයට පොරකෑමේ ව්‍යාපාරය නිසා රටෙහි සංවර්ධන වැඩ ඇනහිටියා. රට පිරිහීමේ මඟට හැරුණා. මේ අතරට විදේශිකයන් ආක්‍රමණය කළා. අධිරාජ්‍ය තුනක් මේ රට ආක්‍රමණය කළා. ඔවුහු මේ රටෙහි සිංහලකම බෞද්ධකම නැති කිරීම සඳහා කරන්නට පිළිවන් හැම අපරාධයක් ම කළා. හැම උපක්‍රමයක් ම යෙදුවා. අවුරුදු සිය ගණනක් ම අපේ අය අලස වැ අදූරදර්ශී වැ අසමඟි වැ ක්‍රියා කිරීම නිසා ලංකාව සිංහල රටක් ද බෞද්ධ රටක් දැ යි ප්‍රශ්න කළ යුතු තැනට දැන් කරුණු යෙදී ඇත. ජාති භේද, ආගම් භේද, අවුස්සනවා ය යි වරදවා සිතන්නේ නැති වැ සිංහලයන් හැටියට මඳක් වත් නුවණින් සිතා බලන්න. ජනගහනයෙන් සියයට අසූවක් පමණ වන සිංහලයනට සිංහල රටෙහි කැලෑ නොවූ පොළොවෙහි හිමි වැ තිබෙන අයිතිවාසිකම කොපමණ දැ යි සිතා බලන්න.

ලංකාව කුඩා දූපතෙකි. වටේට ම මුහුද ය. වැඩි ජනාවාසය මුහුදුබඩ යි. රට මැද තව ම වැඩි කොටසක් කැලෑ ය. සිංහල රටෙහි වඩා දියුණු මුහුදු බඩ ප්‍රදේශවලැ වඩා වාසය කරන්නාහු කවරහු දැ යි නුවණින් සලකා බලන්න. සිංහලයන් ගේ බලය පවත්නේ හම්බන්තොට සිට හලාවත දක්වා ඇති මූදු තීරයෙහි පමණ ය. හලාවත සිට රවුම කැරකී මඩකලපුවත් පසු වන තුරු මූදූ තීරයෙහි සිංහල බලයක් ඇත්තේ ම නැත. මඩකලපුවේ සිට හම්බන්තොට තෙක් ඇති ඉතිරි කොටසෙහි ද අසිංහලයන් පදිංචි වීමේ වැඩ පිළිවෙලක් ඇති බව සැළ යි. ලංකාව වටේ සිංහලයන් සිටින කොටස මයිල දෙසීයකට වඩා නැත. මයිල හය සියයක සිටින්නාහු අසිංහලයෝ ය. මේ තත්ත්වය මෙසේ පවත්නා තුරු දහස් ගණනින් ලක්‍ෂ ගණනින් කල්ලතෝනීන් ලංකාවට ඒම වැළැක්විය හැකි ද?

ලක් පොළොවෙහි තවමත් වැඩි කොටසක් කැලෑ ය. ලංකාවෙහි වවා ඇති කොටසින් සාරවත් හරිය උඩරට හා පහතරට වතු ය. ලංකාවට පිටරටින් එන ආදායමෙන් සියයට අනූවක් ම ලැබෙන්නේ මේ වතු මාර්ගයෙනි. සිංහල රටෙහි මේ වතුවල අයිතිකරුවෝ කවරහු දැ යි සලකා බලන්න. මේ වතුවලින් සියයට විස්සකුත් සිංහල බෞද්ධයන් සන්තක නො වේ ය යි කිව යුතු වැ ඇත.

ලංකාවෙහි අගනුවර හා මහ නගර ගැන මඳක් සිතා බලන්න. කොළඹ පොළොවෙන් සියයට දහයකුත් සිංහල බෞද්ධයා සතු වැ නැතැ යි කිව යුතු ය. මහ වෙළෙඳාමෙන් සියයට දහයකුත් සිංහල බෞද්ධයා සතු වැ නැතැ යි කිව යුතු ය. ඉන්දියාවෙන් පැමිණි ජන නායකයන් කිහිප දෙනෙකු ම කීවේ කොළඹට පැමිණියාම ඔවුනට දැනෙන්නේ හිතෙන්නේ මදුරාසියේ කොටසකට පැමිණි ආකාරයකට ය කියා ය. සිංහල බෞද්ධ රට දකින්නැයි සිතා විදේශිකයකු පළමු වරට කොළඹට ගොඩ බැස්සොත් මා මේ ආවේ ලංකාවට ද නැත හොත් වැරැදීමෙකින් මදුරාසියට දැ යි සිතෙනවාට කිසි ම සැකයක් නැත.

ලංකාවට නිදහස ඉල්ලූ ජන නායකයන් කොපමණ දේ බලාපොරොත්තු වන්නට ඇද්ද? විශේෂයෙන් සිංහල රටෙහි සිංහලයන් සතු වැ තුබුණු අයිතිවාසිකම් නැවැත ලබාගන්නට බලාපොරොත්තු වූවාට සැකයක් නැත. එහෙත් සිදු වූයේ කුමක් ද? ඉංග්‍රීසීන් රටට නිදහස දෙන විට පක්‍ෂ දේශපාලනයක් දුන්නේ නුඹලා කුලල් කාගෙන විනාශ වෙයල්ලා ය යි සිතාගෙන නො විය හැකි ය. එහෙත් සිදු වේගන යන බව පෙනෙන්නේ එය යි. අසිංහලයන් දේශපාලන පක්‍ෂයට වඩා උසස් කොට සලකන්නේ ජාතිය හා භාෂාව යි. සිංහලයන් රට ජාතිය භාෂාව හා ආගමට වඩා උසස් කොට සලකන බව පෙනෙන්නේ තමන් ගත් දේශපාලන පක්‍ෂය යි. යක්‍ෂයන්, භූතයන්, ප්‍රේතයන්, අල්ලාගෙන හෝ තම පක්‍ෂය තර කර ගන්නට බලන බව යි පෙනෙන්නේ.

වර්තමාන පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රීවරුන් එකසිය විස්සකට වඩ‍ා ඇත. එහෙත් රට කරවන බව පෙනෙන්නේ අසිංහල මන්ත්‍රීවරුන් ටික දෙනා ය. සිංහලයන් රටට ජාතියට භාෂාවට හා ආගමට වඩා තම පක්‍ෂයට සලකන බව පෙනෙන හෙයින් ඉතින් නම් සිංහලයන් අපේ උදවු නැති වැ රජකම් කරන්නේ නැතැ යි ඔවුහු එළිපිට ම කියති.

වඩා වටින්නේ ජලය ද නැත හොත් මනුෂ්‍ය ජීවිත දැ යි බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කෝලිය රජවරුන් ගෙන් ඇසුවාක් මෙන් ම වඩා වටින්නේ ර‍ට ද නැත හොත් පක්‍ෂය දැ යි සිංහලයන් ගෙන් ඇසිය යුතු වැ ඇත. සිංහලයන් මේවා ගැන දැන් වත් කල්පනා නො කළොත් අනාගත පරම්පරාවට ඔළුව උස්සන්න බැරි වෙනව‍ා. සිංහලයෙනි, ආගම් භේද, ජාති භේද, කුල භේද, පළාත් භේද, දේශපාලන පක්‍ෂ භේද අමතක කොට සමඟි වන්න, සමඟි වන්න. සිංහලයන් ගේ සමඟිය එක්සත් ලංකාවක් බිහි කිරීමේ අත්තිවාරම යි.

ශ්‍රී ලංකාදීප 1966.09.28

ප්‍රඥාප්‍රභා 2

 යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.