රට ගිය ඇත්තෝ කියත්වා! සිතත්වා! කරත්වා!

”බලාපොරොත්තු අප ජීවත් කරවයි.” එය අප අතර දාර්ශනික කියමනකි. එය සෑබෑවක් බව ජීවත් වන විට අපට වැටහෙන අවස්ථා අපමණ වේ. ”සියල්ල එපා වෙලායැයි” කීවද? එකදු බලාපොරොත්තුවක් හෝ ඇති නම් එවැන්නා ජීවත් වෙයි. ස්වාමියා එපාවූ බිරිඳටද? බිරිඳ එපා වූ ස්වාමි පුරුෂයාටද? දරුවන්ගේ අනාගතය ගැන සිතා බලාපොරොත්තු තබා විවාහ ජීවිතය රැක ගතී. රාජකාරි ස්ථානය අපායක් සේ වුවද ලැබෙන වේතනය මත බලාපොරොත්තු තබා රැකියාව කරයි. මෙසේ කියවන ඔබට දැන් සිතෙන දෙයක් ඇත. එනම් ”මමත් විදෙස් රටක් වන මේ රටට ආවේ මොන තරම් බලාපොරොත්තු තබාගෙනද?” යන්නයි. එකක්, බලාපොරෙත්තු මත ඔබ මව්බිමෙන් වෙන්කර ඇත. පවුලේ අය ඇතුළු නෑ හිතවතුන්ගෙන් වෙන් කර ඇත. අනෙක් පැත්තෙන්, ඔබ හුදකලා කොට ඇත. නැතහොත් අළුත් හිතවතුන් සමීපකර ඇත. පරණ අයව මව් බිමත් සමගම අමතක කර ඇත. බලන්න, බලාපොරොත්තු ඔබට කොයි තරම් දේ කළාද? කියා. විටක ඔබගේ ඇසක්, අතක්, පාදයක්, අහිමි කරන්නට. නැතහොත් හිරකරුවෙක්, රැුදවුම් කඳවුරක වෙසෙන්නෙක් බවට පත් කළෙත් බලාපොරොත්තුමයි. බලන්න. බලාපොරොත්තු කරපු දෙයක මහත.
අරමුණු ජයගැනීම.

විදේශයක වෙසෙන ඔබ බලාපොරොත්තු රැසක් තුරුළු කරගෙන ඒවා ඉටු කරගැනීම පිණිස එක්තරා අරමුණක් ඇතිව කටයුතු කරනවා නේද? විටක ඔබ ලංකාවෙන් පැමිණියේම දරුවන්ගෙ අනාගතය සරුකිරීමේ, ගෙයක් දොරක් හදා ගැනීමේ හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ, හැකි තරම් මුදලක් හම්බ කරගෙන ලංකාවට ගොස් ව්‍යාපාරයක් පටන් ගැනිමේ, අරමුණින් නේද? අප හිතනව ඔබගෙ ඒඅරමුණ වඩ වඩාත් තදින් ශක්තිමත්ව ඇතියි කියා. එහෙත් විදේශයන් හීදී මෙන්ම විදෙස් ගත වුවන්ගෙ පවුල් වල අය ශ්‍රී ලංකාවේදී හමුවීමෙන් ලැබෙන අත්දැකීම්, අත්විදීම් මත නම් පෙනෙන්නේ විදේශයක වෙසෙන ඔබට ඒ අරමුණු දැන් අමතක වී ඇති බවයි.
ඔබ වෙනුවෙන් ප්‍රිය බිරිඳ, රත්තරන් බඩු උකස් කර, මුදල් සොයා දී දරුවන් සමග තති වූවා නේද? ඔබේ ස්වාමියා ඔබ වෙනුවෙන් කෙතරම් වෙහෙසෙන්නට ඇත්ද? සමහර විට විදෙස් රැකියාව පිලිබද ඔහු විරුද්ධ වන්නට ඇති. ඒත් ඔබට හොරා ඔහු කෙතරම් කදුලු බොන්නට ඇත්ද? ඔබට එය මතකද? ඔබට රැකියාවක් සොයා ගැනීමට කල් ගත වන්ට ඇති. ඔබ රැගෙන ආ අය ඔබව තනිකොට ඔබේ ගමන් බලපත‍්‍රයක් රැගෙන පැනයන්ට ඇති. සතියේ දෙකේ වීසාව අවසන්ව කල්ල තෝනියකු විලසින් නගරයකට ආගත නොහැකිව හද්දා පිටිසරක, ගොවිපලක, ගල් වලක වැඩ කරනවා ඇති. රැකියාව කරන නිවසින් වේතනය මාස ගණනකින් නොලැබී දුක් විඳගෙන කඳුළු බිබී කල් ගෙවනවා ඇති. කොහොම වුණත් සිතන්න. පළමුව ඔබ ඔබේ පවුලේ අයට ඇත්ත ලියා එවන්න. හැකිනම් දුරකතන පණිවුඩයක් ලබා දෙන්න. ඇත්ත ඇති සැටියෙන් දැනුවත් කරන්න. බොරුව මගින් ප්‍රශ්න වසා ගෙන පවුලෙ අය මුලා නොකරන්න.

ඔබට හොඳ රැකියාවක් තිබේ නම්, මුදලූත් ලැබේ නම්, ඔබ දැන් සිතිය යුතුයි නේද? උකස් කරපු රත්තරන් බඩු, ඉඩකඩම් සහ ගිනි පොලියට ගත්ත නම්, ඒ ණය ගෙවන්න ඕන බව. ඒ් සඳහා මුදල් එවිය යුතු බව. ඔබ හම්බ කරමින් ක්ලබ් යනවා නම්, රේස් දානවා නම් “මාගම් සෝලියක්” (නාස්තිකාර කාන්තාවක්) හෝ පුරුෂයෙක් පටලවා ගෙන හම්බ කරන දේ නාස්ති කරමින් සියල්ල අමතක කර, අවම වශයෙන් මව්පියන් වෙච්ච ණය තුරුස් වලින් වත් ඒ අයව නිදහස් නොකොට කටයුතු කරනවා නම් ඔබ හරිද? ඔබේ අරමුණු කරා යන්නට අතදීපු අයට කෙලෙහිගුණ සැලකුවා යැයි සිතේද? පොල්ලෙල්ල තලාගෙන, කුලී වැඩ කරගෙන, වත්තෙ පිටියෙ සුළු භෝගයක් විකුණා කියාගෙන ඒ මුදලින් ඔබගත් ණය බුදු අම්මා හෝ තාත්තා ගෙවනවා නම්, මැරිලායන්නවත් නිදහසක් නැති ඒ අම්මා තාත්තා පණ පිටින්ම ඔබ විසින් මරා දමනවා යැයි ඔබට නොසිතේද? කඩයප්පන් තම්බ තම්බ, කුලි වැඩ කර කර තියෙන ඉඩම් කැල්ලකුත් විකුණගෙන රට ගිය දරුවට දීපු ණය ගෙවන අම්ම තාත්තා ඊළඟ සහෝදර සහෝදරියන්ගේ වෛරයට, අවඥවට, දෙඩුමට, බැණුමට ලක්වන්නේ නැත්ද? ගේත් සමග වත්ත පිටිය සින්ත වෙන්න යනකොට නංගිට මල්ලිට දෙන්නෙ මොනවාද? එ් අයගෙ අනාගතයට කුමක්ද වෙන්නෙ. ණය දුන් අය උකස්ගත් අය ගෙදරට පැමිණ කියන ඇණුම් බැණුම්, තර්ජන ගර්ජන වලට ලක් වෙමින් පවුලෙ සියල්ලො, චුටි දරුපැටව්, ප්‍රිය බිරිඳ, කොතරම් අපහසුතාවට වලට ලක් වෙනවා ඇත්ද?

ඔබව විදේශයක උසස් අධ්‍යාපනය ලබන්න මව් පියන් එව්වෙ සල්ලි තියෙනවටම නෙවෙයි නේද? ලංකාවෙ විශ්ව විද්‍යාලයකට යෑමට තරම් දුසුදුකම් නොමැති වුවද? ලක්ෂ පනහා හැට පෙන්නා කාර්තුවකට ලක්ෂ පහ හය ගෙවමින් මව් පියො ඔබට උගන්වන්නෙ කොතරම් අපේක්ෂා සහගතවද? එහෙත් ඔබ දැන් කරන්නෙ කොණ්ඩෙ තඹ කරගෙන, කණක කරාබුවක් දාගෙන. ක්ලබ් ගානෙ යමින්, මත්වතුර බොමින්, මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සෙල්ලක්කාර ජීවිතයක් නම් මව් පියන්ගෙ බලාපොරොත්තු වලට මොකද? වෙන්නෙ. ඔබේ අරමුණට කුමක්ද වෙනේනෙ. දැනටමත් ඔබ විවාහයකට, ආවාහයකට, විදේශියකු සමග හෝ ලාංකිකයකු සමග පත්ව ඇත්නම් ඔබේ උසස් අධ්‍යපන කටයුතු ඉටුවේද? ලංකාවේ වෙසෙන අම්මා තාත්තා මොත තරම් දුකක් විඳිනවාද? අවශ්‍ය මුදල් ටික එවන්න. එයින් සෑබෑ ප‍්‍රයෝජනය ගැනීම අත්‍යවශ්‍යයි නේද?

ඔබ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්. හැබැයි දරුවො සිටින්නෙ ලංකාවේ. දරුවන්ගෙ ආත්තම්ම ළඟ නැත්තම් ලොකු අම්මා, පුංච් අම්මා, නැන්දා වැනි ඥතියෙක් ළඟ. එසේත් නොමැති නම් මව හෝ පියා සමග. දැන් ඔබ විදේශයකට ඇවිත් කොච්චර කාලයක්ද? මුදල් ටිකක් යවනවද? ඒවනම් කරනව කියල ඔබට දැනුත් හිතනවනේද? ඒ විතරක් නොවෙයි. අවුරුද්දකට දෙකකට සැරයක් ගිහිල්ලත් එනව. අමතක කරන්නෙ නැතිව එසේ කිරීම ඉතා වටිනව. පුංචි දරුවො දැන් ලොකු අය. ඔබ පියෙක් හැටියට අවුරුදු 10ක් රටින් බැහැර නම්, වසරකට සැරයක් සති දෙකක් දරුවන් සමග සිටියත් අවුරුදු දහයටම දින එකසිය හතලිහක් නේද? දරුවන් සමග සිට තිබෙන්නෙ.

පුතෙක්ට පියාගෙ පෞරුෂය බලපානවා. පුතෙක්ව දැක්කම අන් අය කියන්නේ දරුව ඇවිදින්නෙ, කලිසම් සාක්කුවල අත්දෙක දාගෙන ඉන්නෙ, ඉනට අත්ගහගෙන බලන් ඉන්නෙ තාත්ත වගෙයි කියල. හැබැයි ඒ පෞරුෂය පියෙක්ගෙන් නොලැබුණොත් දරුව තුළඇති වන හීන පෞරුෂය ඔවුගෙ මුළු ජීවිතයම කාලකණ්ණි කරන්න බලපානව. මත් වතුරට, මත්ද්‍රව්‍යයට, සිගරට්, සුරුට්ටු වලට ඇබ්බැහි වන ප්‍රවණතාවය දරුව තුළ ඇති කරන්න මෙය බලපානව. මනෝ විද්‍යාවෙ ”ඉලෙක්ට්‍රා සංකිර්ණය” කියල කියන්නේ ”දුවෙක් හා පියෙක්” අතරෙ තිබෙන බැඳීමට, එම බැඳීම අඬු වුණොත් එවන් දියණිය ඉතා ඉක්මණින් ප්‍රේම සම්බන්ධතා වලට යොමු වෙනව. විශ්වාස බිඳුණ, නිතර යමක් දෙස, කෙනෙක් දෙස සැක යෙන් බලන තත්වයට පත්වෙනව. මව සහ දුව අතර නිතර ගැටුම් ඇති කරනවා. තාත්තා හිටිය නම් මට මෙහෙම වෙන්නෙ නෑ. කිය කියා මවව පෙළනව. වැරදිවලට පෙළඹීමට එය හේතුවක් කරගන්නව.

මවක හැටියට ඔබ ඔබේ දරුවන් තම පුරුෂයාට පවරා විදේශයකට ආවා විය හැකිය. අම්මෙ හිතන්න. ඔබේ චුටි පැටව් ඔබ ගෙදර සිටිද්දි යම් දුරකින් තිබෙන කඬේට යන විට ඒ මොහොතටත් ඔබ නැතිව සිටිය නොහැකිව දරුවන් ගේ වටේ ඇවිදිමින් අඬ අඬා ඔබ පසු පසින් පැමිණි හැටි. නැතහොත් ඔබව සොයපු හැටි.
අම්මෙ ලොකු දුව වැඩිවියට පත්වෙච්ච දැරිවි. ඒත් දැන් ඇය පාසල් යන්නෙත් නෑ. නංගි, මල්ලි බලාගෙන ගෙදර උයා පිහාගෙන ඉන්නවා. දැරිවි, ඇහැට කණට පෙනෙනව. කුරිරු ඇස් ඇය වෙත යොමුවෙලා. පියා හොඳයි. රකිනව. එත් සමාජය භයානකයි. අසරණ දරුවන් ගිල දමන්න දත් තිස් දෙක විරිත්ත ගෙනයි ඉන්නෙ. පියා මත්වතුරට ඇබ්බැහි වූවෙක් නම් දරුවන්ගෙ තත්වය අති භයානකයි. මත් වූ කල පියෙක් නෑ. යකෙක් තමයි ඉන්නෙ. දුව අඳුරන්නෙ නෑ. නංගි අඳුරන්නෙ නෑ. වැඩකාරි අඳුරන්නෙ නෑ. ඒ විතරක් නොවෙයි. ඔබ එවන මුදල දරුවන්ට නැතිව, ගේ හදන්නෙ නැතිව වෙන කතුන්ට පුදනවද දන්නෙ නෑ. එ්වට දක්ෂ කිසි හිරිකිතයක් නැති බබලතුනුත් නැතිව නොවෙයි.

ඒ විතරක්ද, ඔබේ අම්ම, නැත්නම් සහෝදරියන් ලිපි එවන්න පුළුවන්. ඇත්ත නැත්ත කරල, බෑණගෙ ,මස්සිනාගෙ එනම් ඔබේ පුරුෂයාගෙ වැරදි පෙන්නල. ඒ වගේ ලියාවි එයාලට මුදල් එවන්න කියල. ළමයින් බලාගන්නව කියල ඇති. ඒවත් විශ්වාස කළ යුතු නෑ. අවශ්‍ය වන්නෙ යමක් හම්බ කරගෙන ගෙදර වියදමට සුළු මුදලක් දැනුම් තේරුම් ඇති දරුවෙකුට හරි, පන්සලේ ස්වාමීන් වහන්සේට, පල්ලියේ පියතුමාට, දරුවන්ගෙ ඉස්කොලේ මුල් ගුරුතුමාට එවල ඒවා දරුවන්ට වියදම් කරවීම, අනෙක් මුදල් අනේවාසික ගිණුමක තැන්පත් කරන්න. වැඩකරන තැන්වලත් මුදල් එකතුවෙන්න දෙන්න එපා. මාසිකව වේතනය ගන්න. නැත්නම් ඒව දෙන්න වෙනවට බොරු චෝදනා කරල පන්නාවි.

ඔබ තනියෙන් සිටින විට පාළුවක් දැනෙනව කියන එක කියන්න දෙයක් නොවෙයි. තනියෙන් ගෙයක් අරන්, කාඹරයක් අරන් ඉන්න එකත් ලොකු වියදමක්. ඒකට ඔබලා එකතුවේලා ගෙයක්, කාඹරයක් අරන් පිරිසක් හැටියට හිටියට වරුදක් නෑ. හැබැයි ලාංකිකයකු සමග හෝ විදේශිකයකු සමග පවුලක් හැටියට පවුල් කමින් සුළු ලාබයට චරිතය නැති කරගන්නව නම් ඒ ගැන ලක්ෂවාරයක් සිතන්න. ඔබ බිරිඳක් ලෙස ඔබේ ස්වාමියාගෙ, දරුවන්ගෙ මුණ බලන්නේ කොහොමද? අනෙක එවැන්නක් නිසා දරු පවුලක්, රටත් අමතකද? අම්මෙ, තාත්තෙ. ඔය නිදහස කී දවසකටද? වැඩ කරගන්න බැරි දවසට මව් රටට ආවිට ඔබට වන්නෙ කුමක්ද? ඔබට ඉන්නෙ කවුද? නැදැයන් ළඟට ආවත් “පුළුවන් කාලෙ අනුන්ට කඹුරලා දැන් අපේ ළඟ ඇවිත් වැටුණ. මොන කරදරයක්ද?”කියන කතන්දර අස අසා සිටින්න වේවි.
අම්මෙ, තාත්තෙ ඔබේ දරුවන් ගැන තව තවත් සිතන්න. ඈත පිටිසර ඔබේ ගෙදර දරු පැටව් සවස සෙල්ලම් කරමින් සිටින විට අහසෙ ගුවන් යානයක් යන හඬ ඇසුනොත්, දැක්කොත්, එකෙ අපේ අම්මා නැත්නම් තාත්තා රට ඉදල එනවාද? දන්නේ නෑ කියල, වටේටම කැරකි කැරකි, උඩ බල බලා, තමන්ටම කියා ගනීවි. පුංචි නංගියට මල්ලියට ඇඟිල්ල දික්කරල පෙන්නාවි. ”අන්න අර ගුවන් යානෙන් තමයි අපේ අම්ම ගෙදර එන්නෙ” කියල.

තරුණ දුවේ, පුතේ ඔබ කොච්චර කාලෙකින් ගෙදරට කථා කළේ නැත්ද? ලියුමක් යැව්වේ නැත්ද? ඔබ ඉගෙන ගන්නව ඇති. අමතරව රැකියාවකත් නිරත වෙනව ඇති. හම්බ කර ගන්නා එක පාසලට ගෙවනව ඇති. රටවල් අතර වෙලාවල් වෙනස්. ඔබ නිදන විට ලංකාවෙ අය වැඩ. ඔබ වැඩ කරන විට ලංකාවෙ අය නිදි. කොහොමද? කෝල් එකක් වත් දෙන්නෙ කියල අහවි. ”යන්න. එන්න කොච්චර වියදමක්ද? තව කීයක් හරි හොයාගෙන එක සැරේට යනවා” ”ගියොත් ආයෙත් එන්න බෑ. ඔන්න ඔහෙ අහුවෙලා යවනකම් ඉන්නවා” ඒත් දරුවනේ. ඔබේ අම්ම, අහිංසක තාත්තා එතකන් ඉඳීවිද? ඔබ කොච්චර හරි හම්බ කළත් ඔබෙ අහිංසක අම්මට, තාත්තාට. ඒ මුදලින් බෙහෙත් ටිකක් අරන් දෙන්න බැරි වුණා නම්, මව් පියො ජිවත්ව ඉඳිද්දි දාන පිංකමක් කරගන්න බැරි වුණා නම්, ජයසිරි මහ බෝ හාමුදුරුවො ළඟට, දළදා හාමුදුරුවො ළගට, මව් පියො එක්කත් ගිහිල්ල අම්මෙ, තාත්තෙ, මේ අටපිරිකරත් පූජා කරන්න. කියල, වන්දව ගන්න බැරි වුණා නම්, මුන්නේස්වරමට, මඩු පල්ලියට, කතරගමට එක්කන් ගිහිල්ල තම තමන්ගෙ විශ්වාස අනුව වැඳුම් පිදුම් කරව ගන්නට බැරි වුණා නම්, ඔය හම්බ කිරිල්ලෙන් ඇති වැඬේ කුමක්ද? මව පියා මැරෙන්න පෙර මූණ කට බලන්න බැරි වුණා. බෙහෙත් හැන්දක් පොවා ගන්න බැරි වුණා. තමන්ගෙ අතේ උකුලෙ මව් පියන්ට අවසන් හුස්ම හෙලන්න දෙන්න බැරි වුණා. මව් පියන්ගෙ අසනිපයක් වෙනුවෙන් එක රැයක් නිදිමරන්න බැරි වුණා. සල්ලි වලින් මොනව කළත් ඇති වැඬේ කුමක්ද? ඔබේ බිරිඳට බියෙන්, නැත්නම් පුරුෂයාට බියෙන්, නැත්නම් දරුවෙක්ගෙ විශේෂ කටයුත්තක් නිසා පවුල් පිටින් විදේශයෙ සිටින ඔබ මවුපියන්ට යුතුකම් ඉටු නොකළ නම්, ”නෑ මුදල් ඇරිය. ඒ මදිදැයි” කියලා සතුටු වෙන්න පුළුවන්ද?

බක් මහ ලබල අළුත් අවුරුද්ද එන විට කොහා නාදෙ දසත පැතිරෙද්දි කැවුම් කොකිස් බැද ගෙන, කෙසෙල් කැනක් ඉඳවගෙන මේ අවුරුද්දටවත් රට ඉන්න දරුවෙ අපිව බලන්න එයිද? දන්නෙ නෑ කියල හිත හිතා මග බලා සිටින බුදු අම්මාගෙ, තාත්තාගෙ හිත සනසන්න ලැබෙනව නම් ඒවට වියදම් වන මුදල් වල මොන තරම් අගයක් තියෙනවද? දරුවෙක්ට අවුරුද්දට ගෙදර ඇවිත් පුංචි කාලෙ වගේ අහිංසක මව් පියන්ගෙන් කිරිබත් කටක් කවා ගන්නව නම් ”අනේ දෙයියනේ” ඒ මනුස්සයන්ට තෑගි භෝග ඕන නෑ. ඒ ටිකම ඇති හිත සතුටින් ඇස් දෙක පියා ගන්න.

ඔබ ශ්‍රී ලාංකිකයෙක්. ඒත් දැන් ඔබට ඔය රටෙත් පුරවැසිභාවය ලැබිලා. ඔබේ දරුවො ඉපදිලා තිබෙන්නෙත් ඔබ වෙසෙන රටේ. ඒ අය ගෙ මව් රට. ඒ අය ඉගෙන ගන්නෙ ඉංග්‍රීසියෙන්. හැදෙන සංස්කෘතිය ඔබේ මව් රටේ සංස්කෘතියට වඩා වෙනස්. ඒ නිසා අවම වශයෙන් ඔබ ගෙදර භාවිතයටවත් ඔබේ මව් බස පාවිච්චි කරනව නම් ඉතා වැදගත්. දරුවො ලංකාවට ආපු දවසක ආත්තම්ම, සීයා එක්ක තම මව් පියන්ගෙ නෑදැයොත් එක්ක සිංහල වේවා! දෙමළ වේවා! මව් බසින් කථා කරාවී ඔබ උඩින් වැටුණු කෙනෙක් ලෙස ඉන්න එපා. ඔබේ සංස්කෘතිය, ඔබේ කෑම බීම, ඇදුම් පැළඳුම්, සිරිත් විරිත්, දරුවන්ට දෙන්න උත්සහා කරන්න. තමන්ගෙ මව් බස කථා කරන අයට අන් බසක් ඉගෙනීමට පහසු බවත්. එවන් දරුවන් දක්ෂ බවත් දැන් පර්යේෂණ වලින් සොයා ගෙන තිබෙනව.

ලංකාවෙන් බැහැර වෙසෙන ඔබ සිංහල දෙමල, මුස්ලිම්, බර්ගර් කවරෙක් වුවත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකමුතු කටයුතු කරන්න. කුලගොත්, ජාති භේද විදේශයකදි ඇදගන්න එපා. ඒවා ලංකාවේදි ඕනත් නෑ. පිටතදි එක ජාතියක් ලෙස කටයුතු කරන්න. හැබැයි තමන්ගෙ අනන්‍යතාවය රැකගන්න. ඔබ එකතු වූ විටක පර (අනුන්ගෙ) බසකින් කථා නොකොට තම මව් බසින් කථා කරන්න. මේක දෙමළ අයගෙ තියෙනව. සිංහලයා තමයි, විදේශිකයන්ටත් වඩා ඒවාට නැඹුරු වෙන්නෙ. ඒ ව්තරක්ද? කෙනෙක්ගෙ ඉංග්‍රීසියෙ ජපන් බසේ, අරාබි බසේ, කොරියන් බසේ ආදි වශයෙන් ඒ ඒ බස් උච්චාරණ වැරදි කථා කරනව. හැබැයි තම මව් බස කථා කරන්න බැරි වුවාට කමක් නැ. ඒකට ලැජ්ජ නෑ. පර බස වැරදුනොත් තමයි හොඳ නැත්තෙ. මෙන්න මේ දෘෂ්ටි බැහැර කරන්න. රටේ යුද්ධයක් තිබෙන බව හැබෑව. හැබැයි ඔබ එය ජාති භේදයක් ලෙස බලන්න එපා. ත්‍රස්තවාදයක් ලෙස සළකළ මෙය සංසිඳවා ගන්න උදවු කරන්න.

ත්‍රස්තවාදයේ පිහිටෙන් හෝ සාපයෙන් විදෙස් ගත වූ අය, ඒ වගේම මානව හිමිකම්, දේශපාලන පලි ගැනීම් මතද විදෙස් ගතවූ අය රටේ තිබෙන යුද්ධයට, විසංවාදි දේශපාලනයට, මානව හිමිකම් උල්ලංඝනයට තව තවත් උඩ ගෙඩි දෙන්න පුළුවන්. ඔවුන් හඳුනාගෙන ජීවත් වීමත් ඔබට වටීවි.

ඔබේ ඔය රටේ සංවර්ධනය හමුවේ අපේ ලංකාව ඔබට නොදියුණු රටක් ලෙස පෙනෙන්න පුළුවන්. මඩවලක් වගේ යැයි කියන්න පුළුවන්. අවුරුදු පන්සීයකට නො අඩු කාලයක් විදෙස් ජාතින් තුනක් විසින් සුරාකාල ”වවුල් හපයක්” සේ අපට පවරා දුන් මේ දේශය මේ විදිහට හෝ තිබීම ලොකු දෙයක්. හැබැයි ඉතින් ඔබට කියන්න ඕන. ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔය එකම රටකටවත් ”ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවෝ” ”දළඳා හාමුදුරුවෝ” නැති බව. ගිනි කඳු, භූමිකම්පා, මහ ජල ගැලීම්, නියංසායවල්, අධික ශීතල, අධික රශ්නය ඇති සෘතු ඇති රටේ කොතනක සිට හෝ රථයකින් යනව නම් පැය තුනකින් පමණ ඕනෑම දේශ ගුණයක් කරා යා හැකි. හැම විටම හිනා වේලා සිටින, ආගන්තුක සත්කාරයෙන් පරතෙරට පත් මනුස්සයන් සිටින එකම දේශය ශ්‍රී ලංකාවයි. මේ රටේ අගය රටේ සිටියට වඩා නැති විට දැනෙනවා නම් එයයි වැදගත්.

ඔබ රැකියාවෙන් විශ්‍රාමිකව දරු මල්ලොත් සමග මව් රටට එන්න කැමති බව දන්නව. ඒත් ඔබට තිබෙන ප්‍රශ්නය ඔබේ දරුවන්ගෙ උසස් අධ්‍යාපනය. ලංකාවේ රජයෙන් හෝ පෞද්ගලිකව හෝ විශ්ව විද්‍යාල වැඩි කරල. ඔබේ දරුවන්ට මුදල් ගෙවල හරි ඉගෙන ගන්න තිබෙනව නම් ඔබ ඔය කෝටි ගණන් මුදල් රට රටවලට පුදල දරුවොත් සමග ඒ රටවල් වලට යන්නෙ නෑනේ. විදෙස් ගත මව් පියො හැටියට ජාත්‍යන්තර සංවිධානයක් හදල ලංකාවට බලපෑම් කිරීම අවශ්‍යයි. කරුණා කරල අපේ දරුවන්ට උසස් අධ්‍යාපන ආයතන බිහිකරන්න කියල. එවිට නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාලවලට ඇතුළුව ඉන් ඉගෙන ගන්නෙත් නැතුව විප්ලව කර කර අහිංසක ජනතාවගෙ මුදල් කා දමන අයගෙ සටන් පාඨයක් වන” මුදලට උපාධියක්” දෙන උපාධි කඩ කියන මතය පරාජය කරල විශාල විදෙස් මුදලක් අප රට සතු වෙන බව පාලකයන්ට වැටහේවි. අපේ දරුවොත් සමග මව් රටට පැමිණ මව් පියොත් සතුටින් මව් බිමේදී හුස්ම පොද හෙළාවි.

ආගම පෞද්ගලික වුවත්, තමන් කැමති ආගමක් ඇදහීම තමන්ගෙ අයිතියක්. එත් තම මව්පියන්ගෙන් ලැබුණු ඉතා වටිනා දර්ශනයකින් හා ප‍්‍රතිපත්තියකින් හෙබි බෞද්ධ දර්ශනය වැනි ඉගැන්වීමක් බැහැර කරන්නේ නම් යමෙක් ඔහු හෝ ඇය ගැන යමක් නොකියාම බැහැ. පුරවැසි භාවයක් ලබන්න. වෙනත් වරප‍්‍රසාද ලබාගන්න. නැත්නම් විවාහය පදනම් කරගෙන ආගමකින් තවත් ආගමකට යනව නම් එය මොන තරම් පහත් ක්‍රියාවක්ද? කියල අමුතුවෙන් කියන්න වුවමනා නෑ. ඔබ බෞද්ධ නම් ඔබේ පුරුෂයා හෝ බිරිඳ අන් ආගමක නම් කරුණා කර දෙන්න සමගියෙන් ඒ ඒ ආගම් වලට ගරු කරමින් තම ආගම තුළ ඉන්න. ඒ තමන් ගෙ අම්ම, තාත්තා සිහි කරන, ඒ අයට ගරු කරන, එ ඒ අයට සළකන තවත් ක‍්‍රමයක්. ඒ වගේම තම දරුවන්ට ආගම් ගැන ඉගෙන ගන්න සළස්වන්න. බලෙන් පටවන්න එපා. තාත්තා, අම්මා අදහන ආගම් අධ්‍යයනය කරල ඒ අය එකක් තෝරා ගනීවි. නැත්නම් දෙකම අදහාවි. තම උපන් බිමත් – තම මව් බසත් – තමන්ගෙ ආගමත් කියන මේ තුනම මිනිහෙකුට – කාන්තාවකට අමතක නම්, අත් හරී නම්, ඒවාට නින්දා කරයි නම් ඒ කෙනාගෙන් තිරිසනාගෙත් තිබෙන වෙනස කුමක්ද? ශරීර ලක්ෂණ වල වෙනෙස පමණයි. ඉතාලියේ රැකියාකරන සමහර අපේම ඇත්තො තමන්ගෙ අමතර රැකියාවක් විදිහට අපේම කොල්ලො කෙල්ලො ක්‍රිස්තියානියට හරවන වැඩපිලිවෙලක් පටන් අරන්. මස්වැදැල්ලක් කන්න බලන් ඉන්න කපුටො වගේ බලන් ඉන්නව ක්‍රිස්තියාණියට හරවන්න. ඒ ඇත්තන්ට ඒ පව ආයි කිසිකලෙක ගෙවන්න පුලුවන් දෙයක්නම් නෙවෙයි.

විදෙස් ගත ඔබ විවාහ වේලා ඇති. ඒත් අම්ම තාත්තා දන්නෙ නැතිව ඇති. ඒ අය ඔබට ලංකාවට ගෙන්වල කසාදයක් බන්දල දෙන්න උත්සහා ගන්නවා ඇති. ඒ මව් පියන්ගෙ ආසාව. එය ඉටු කරන්න කියල විවාහක ඔබ විටක විදෙස් බිරිඳගෙද අනු දැනුම ඇතිව ලංකාවට පැමිණ ගෑණු ළමයෙක් බලලා, මගුල් කාල ඉක්මණින්ම එක්ක යන්න එනව කියල පිට රටට යනව. ඒත් තරුණි අනියම් බිරිඳක් ලෙස තබා ගන්නව. රටට ගෙන යෑමක් නෑ. වයසක අම්මගෙ වැඩකාරිය බවට පත් කරනව. මෙවැනි තත්ව වැඩි වේලා තියෙනවා. කරුණා කරල කියන්නේ එවැනි අපරාධ කිරීමට නම් මේ මව් බිමට පය නො තිබ්බාට කමන් නෑ. ඒ විතරකුදු නොවෙයි. ඇතමෙක් ලංකාවෙන් ආවාහයක් කරගෙන, මව් පියො සතුටු කරල විදේශයකට එක්ක ගෙන ගොස් දස වධ දෙනු ලබනව. හිරිකාරියක ලෙස තබාගෙන විදෙස් බිරිඳ සමග ජීවත් වෙනව. ඇයි මේවැනි විපත්ති සිද්ධ කරන්නෙ. ඔබ මේවැන්නන් ගැන දන්නව නම් ඔය රටවල් වල නීතියට හසුකොට උපරිම ද`ඩුවම් දිය යුතුයි. ඔබගේ කියමනක් තිබෙනව. ”පිට මිනිහෙක් ඇසුරු කළත් විදේශයකදි ලාංකිකයෙක් නම් ඇසුරුකරන්න එපා. උදව් කරන්නත් එපා කියලා” විටක මෙහෙම කියන්නේ ඔබ ඒ තරමටම රුවටිලා වෙන්නට ඇති. උදව් කරන්නට ගොස් විවිධ අතවර, කරදරවලට ලක්වෙලා වෙන්නට ඇති. ඒත් සිතන්න. අපි ශූක්ෂ්ම නම් අපට වරද්දන්න කාටවත් බෑ. එබැවින් තම වර්ගයා පහත් කොට සළකන්න එපා. වැරදි ඇතත් හදාගන්න බලන්න. අපි එහෙම වෙන් වුණොත් අන්‍යයන් හිනාවේවි. ඒ වගේම උදව් කරන්නා කවරෙක් වුවත් ඒ මනුස්සයට උපකාරයක් මිස අප කාරයක් කරන්න එපා. කැලෑපත්තර ගෑසීම්, හීන් නුලෙන් බෙලි කැපිලි තබා ගන්නත් එපා. තමන් මව් රටට එන විට තමන්ගෙම ජාතියෙ, රටේ, මිනිහෙක් එතෙන්ට තියල එන්න. ආයෙත් යනකොට රැකියාව නොතිබ්බත් කමක් නෑ. “දේව දත්තය” , ”මාගන්දිය” වුණත් අපේ මිනිහෙක් අපේ කාන්තාවක්. තමන්ට හැකි නම් තමන්ගෙ මිනිසුන්ට හැකි තරම් රැකියා දෙන්න. රකින්න පුළුවන් නම් රකින්න. පඩි වැඩි කළ හැකි තැන වැඩි කරන්න. සංගීත සංදර්ශන විතරක් නොවෙයි. එකමුතු කම ආරක්ෂා කෙරෙන ආගමික වැඩ සටහන්, කලා උළෙළවල්, ජාතික උත්සව, සමගිව සමරන්න. පවත්වන්න. ඔබේ දරුවන් ඉගෙන ගන්නා ”විද්‍යාල වල” අනීවාර්යයෙන් ආගමත් භාෂාවත් කප්පාදු නොකොට උගන්වන්න. “ලන්ඩන් වල ඒක නෑ” කියල අතාරින්න එපා. ඒ වගේම ඉන්න රටේ සංස්කෘතියට, නීතියටත් අවනතව ක්‍රියා කරන්න.

ලංකිකයෝ රට රටවල සිර දඬුවම් විඳීම ඉතාම කණගාටුදායක තත්වයක්. ලක්ෂ ගනන් පඩි ගන්න ගණකාධිකාරිවරු “මත් කුඩු” ළඟ තබාගෙන සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිනව. මොන දේකටවත් හොර මැරකම් එපා. රටත් එක්කයි බාල්දු වන්නෙ. ඔබ විදේශයක දී ඒ රටේ අයට ඔබත් විදේශිකයෙක්. ඒ නිසා හොඳට අඳින්න. පිරිසිදුව ඉන්න. සෙරෙප්පු කෑලි දෙක දාගෙන ගමේ විධියට සරමකුත් ඇඳගෙන ඔහෙ යන්න එපා. රටේ ගෞරවය, ජාතියෙ ගෞරවය තබන්න. ඒ වගේම රැකි රක්ෂා අවසන් කොට තම රටට එන විට සිටි ගෙවල්වල හෝ ආයතන වල ප්‍රධානීන්ට දුප්පත්කම් ගැන කියා හිඟාකන්න එපා. රටේත් ඔබේ ආත්ම ගෞරවය රකින්න. අපි දුප්පත් නැති බව කියන්න. අලියෙක්ගෙ ෆෝටෝ එකක් පෙන්නල මේ වගේ සතුන් දහස් ගාණක් අපේ රටේ දවසකට, එක්කෙනා හොන්ඩර පනහක් පමණ කමින් ඉන්නෙ රටේ සෞභාගය නිසා බව පවසන්න. අපේ රටේ අව්ව ටික තපින්න පිටරුටියො සල්ලි වියදම් කරන හැටි කියන්න. ඔබ තානාපති සේවාවෙ නිරත වෙනෙව නම්, එවන් කාර්්‍යයාලයක සේවයේ නිරත නම් කරුණාකර අනේ මිනිසුන්ට පැය 20ක්වත් දින කට වැඩ කරමින් සළකන්න. තානාපති සේවාවෙ තානාපති තනතුරේ සිට කවර නිලයක නිරතව සිටියත් ඔබ ශ්‍රී ලංකාව නියෝජනය කරන බව අමතක කරන්න එපා. ඔබ සේවය කරන රටේ මිනිසුන්ගෙන් අපේ මිනිසුන්ට වන උවදුරු, හිරි හැර, කරදර කායික මානසික පීඩා දුරුකර දීමටත් අපේ අයට වගේම සේවය කරන රටේ අයගෙ වීසා කටයුතු වලදී ශ්‍රී ලාංකික ආචාරගීලි, අවංක භාවය සුරකිමින් ඉතාම ලෙන්ගතුවත් සේවය කළ යුතුයි. ඔබ වෙසෙන රටෙන් තම මව් බිමට සංචාරය පිණිස වසරකට කොපමණ පිරිසක් යොමු කළාද? ඒ සඳහා කළ ප්‍රචාරන කටයුතු මොනවද? අපේ මිනිසුන්ගෙ ශුභසාධනය පිණිස කෙතරම් කැප වුණාද? අධාර වශයෙන් රාජතාන්ත්‍රිකව තම රටට ලබා දුන් දේ මොනවාද? රැකී රක්ෂා කෙතරම් සොයා බලා රටට අරන් දුන්නද? මේ ගැන සැළකිලිමත් වන්න. ඔබ විඳින සියලූ සැප සඳහා ගෙවන්නෙ ශ්‍රී ලංකා රජයෙන්. ඔබේ දරු පවුලම සුර සැප විඳිනව කිව්වොත් නිවැරැදියි. මේ කියන්නේ ඉහළම නිල ගැන. හැබැයි තානාපති සේවාවෙ රියදුරු අයෙක් වුවත් සේවා කාලයේ වර්ෂ තුනට මොන තරම් පඩි ලබනවද? ඔබ කම්කරු අමාත්‍යංශය නියෝජනය කරන්නෙක් වුවත් ඔබ ඉන්න මැදුරට මොන තරම් මුදලක් රජයෙන් ගෙවනවාද? ඒ ඔබ සේවය කරන රටේ අපේ මිනිසුන්ගෙ සුභ සාධනයට. අතරමංව තානාපති කාර්යාලයට පැමිණෙන්නන් රැක බලා ගන්න ගිය කාන්තාවක් නම් සේවය හරියට කරන්න. ඔබේ රැකියාව රැකගන්න කරදරයට පත්ව පැමිණෙන්නන් මාස ගණන් තානාපති කාර්යාලයේ ගේ බිංගෙයක කරුවල කාඹරයක තබා ගතයුතු නෑ නේද? එකක් සිහිපත් කළ යුතුමයි. ඔබේ සේවය නිවැරදිව ඉටු නොකොට නැවත මේ මව් බිමට පැමිණේන විට සැළකිලිමත් වන්න. මොකද? ඔබෙන් අතවරයට පත් අය වගේම අපත් ඔබ එනතුරු බලා සිටිනව. මේ මව් බිමට එරෙහි වන අපේ ජනතාවට පීඩා කරන කවරෙක් වුවත්. අපට ත‍්‍රස්තවාදියෙක්. දේශ ද්‍රෝහියෙක්. එයයි අපේ හැගුම. හැබැයි යහපත සළසන ඔබ සදා අනුස්මරණියව සිහිපත් කරන බවත් මතක තබා ගන්න. මේ රට සමලිංගික ඇසුරට තෝතැන්නක් නොවේයි. මේ රට ගණිකා වෘත්තිකයන් සපයන රටක් නොවෙයි. මේ රට දැසි දදුන් සපයන රටක් නොවෙයි. මෙය ස්වර්ණ භුමියක්. රම්‍ය දේශයක්. මේ රටේ හැමදේම තියෙනව. ඒත් එක දෙයක් අඩුයි. ඒ තමයි රටට ආදරේ කරන පාලකයෝ. එබැවින් ඔබට ලංකාව තුළ සිටින්නන්ටත් වඩා ලංකාව වෙනුවෙන් යමක් කළ හැකියි. එය යුගයේ කාර්යක් කොට සළකා, ඉටු කරන්න. ඔබට සම්මා සමුබුදු සරණින් මව් බිමට ඒමට ශක්තිය ලැබේවා!

මම ඔබේම,
දොඩම්පහළ ශ‍්‍රී රාහුල හාමුදුරුවෝ.
සිරි ජයතිස්ස ධර්මායතනාධිපති,
ලෝකවිදූ පදනමේ අධ්‍යක්‍ෂ,
පරණ නුවරපාර,
දළුගම, කැළණිය.
ශ්‍රී ලංකාව

අනන්ත බුදුගුණ බලෙන් තුන්ගොවම සැනසේවා … … …

ඔබ කෙරේ මෙත්සිතින් එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.