Skip to main content

රටක් යටකර ගලා බසින මත් වතුර …

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ද මද්‍යපානය තුබුණු බව පන්සිල්හි පස්වැනි සිකපදයෙන් මනාව පැහැදිලි ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සරණාගතව බෞද්ධයන් වූවෝ පන්සිල් රකිමින් මත්පැනින් දුරුවූහ. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඒ උතුම් බුද්ධ ධර්මය දේශනා කොට සිංහලයන් බෞද්ධයන් කළහ. ඔවුහු බණ අසා බෞද්ධයෝ වූහ. එහෙයින් ඔවුහු මත්පැනින් දුරුවූහ.

එහෙත් පෘතුගීසීන්ගේ ඕලන්දයන්ගේ හා ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයෙන් පසු සිංහල බෞද්ධයන් අතර මත්පැන් පානය පැතිරිණ. විශේෂයෙන් පොහෝ දිනයන්හි නොමිලයේ රා දෙන්නටත් පටන් ගත්තා. සිංහලයන්ගේ බෞද්ධකම නැති කරන්නට නොකළ අපරාධයක් නැත. 1660 සිට අවුරුදු ගණනක් සිරකරුවකු වශයෙන් සිටි රොබට් නොක්ස් මහතා ලියා ඇත්තේ බේබදුකම සිංහලයන් ඉතා පහත් කොට සැලකුවා යනුයි.

බුද්ධ ධර්මයෙන් මෙලොව පරලොව හා ලෝකෝත්තර දියුණුවට පත් ව සිටි සිංහල බෞද්ධයන් සුරාපානයෙන් වැළකී සිටි බව ශ්‍රී ලංකාවේ අවුරුදු දහනවයක් වාසය කළ එතුමා ලියා ඇත. මේ රට පාලනය කළ නොයෙක් උගතුන් ද සිංහල බෞද්ධයන් මත්පැන් පානය නොකළ බව ප්‍රකාශ කොට ඇත. එහෙත් සිංහල බෞද්ධයන් සංවිධානය වෙනවාට පාලක පක්‍ෂය කැමති වුණේ නැත.

එහෙයින් ජනනායක සිංහලයන් 1912 ජූලි මස 14 වැනිදා අමද්‍යප මහා සභාව පිහිටුවා ගත්තා. සිංහලයන් සංවිධානය වුණා යැයි සිතා පාලක පක්‍ෂය බිය වුණා. එකල සිටි සිංහල ජනනායකයන් හිරගෙට යැව්වා. ඇතැමුන් වෙඩි තබා මැරුවා. අපමණ වද දුන්නා. එකල ආණ්ඩුකාරතුමාගේ මේ වැඩපිළිවෙල ගැන එංගලන්තයේ පාලකයන් කලකිරී වෙන ආණ්ඩුකාරතුමකු එව්වා. එතුමා හිරකොට සිටි සිංහලයන් නිදහස් කළා. එතැන් සිට සිංහලයන් නියම විදියට සංවිධානය වුණා.

අමද්‍යප මහා සභාව ක්‍රමයෙන් දියුණු වෙමින් ඉදිරියට ගියා. කලකට පසු සර් ජෝන් කොතලාවල මැතිතුමා අගමැති තනතුරට පත්වුණා. රටේ පාලනය කරගෙන යන අතර මත්පැන් පාලනයට කොමිෂන් සභාවක් පත්කළා. ඒ උගතුන් ශ්‍රී ලංකාව තුළ ගමන් කරමින් කරුණු රැස්කර ගෙන සුරා පාලනයක් තුබුණු දකුණු ඉන්දියාවටත් ගොස් කරුණු රැස් කරගෙන ආවා.

මේ කාලයෙහි දේශපාලනයෙන් ඉවත් වී සිටි ඩඩ්ලි සේනානායක මැතිතුමා අමද්‍යප සේවයට බැස්සා. එය සාර්ථක කර ගන්නට කාරක සභාවක් පත් කිරීමට පිරිසක් ගෙදරට කැඳවා ගත්තා. එයට කළුකොඳයාවේ පඤ්ඤාසේඛර මහානායක හිමි හා මා ද එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, එච්. ඩබ්ලිව්. අමරසූරිය, ආර්. ප්‍රේමදාස හා වික්‍රමආරච්චි නොතාරිස් රාළහාමි ද යන උතුමෝ වූහ.

අනතුරුව පැවැති මැතිවරණයෙහි දී බණ්ඩාරනායක මැතිතුමා දිනා අගමැති විය. නොබෝ දවසකින් ඩඩ්ලි සේනානායක මැතිතුමා හැර අප සියලු දෙනාම බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා හමුවන්නට ගියෙමු. එතුමා අප පිරිස මහත් ගෞරවයෙන් පිළිගෙන “මා අගමැති වී සිදුකළ පළමු කාර්යය රාජ්‍ය සභාවේ තුබුණු මත්පැන් ශාලාව වසා දැමීම” යැයි කීවා. අපි එතුමාට ආශීර්වාද කෙ‍ළෙමු. මේ උතුම් ක්‍රියා ඉවසා ගන්නට නොහැකි අසත්පුරුෂයන් එතුමා මරා දැම්මා, රටට සිදු වූ පාඩුව අප්‍රමාණයි.

ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමාගේ මරණයෙන් පසු ශ්‍රීමත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය තනතුර බාරගෙන ඉතා හොඳින් ක්‍රියාත්මක කළා. සුරාමර්දන වැඩපිළිවෙල ද හොඳින් ගෙන ගියා. එයින් කලකට පසු ශ්‍රීමත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බලයට පත්වුණා. කුඩා කාලයේ පටන් හොඳින් දන්නා එතුමිය කරුණු කියද්දී පියාණන්ගේ අමද්‍යප සේවය ද විස්තර කර දුන්නා. මත්පැන් හල් ප්‍රමාණය වැඩිවන්නට ඉඩ දෙන්නේ නැතැයි එතුමිය කීවා. එහෙත් ඇතැම් අනුගාමිකයන් නිසාදෝ ධර්මද්වීපය මත්පැනින් පිරී ඉතිරී ගොස් ඇත. බොහොම කණගාටුයි.

ශ්‍රී ලංකාවේ මත්පැන් හා සිගරට් පරිභෝජනය

මෙරට මත්පැන් හා සිගරට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, වෙළඳාම හා පරිභෝජනය කෙරෙහි රජයේ සුරාබදු ප්‍රතිපත්තිය කෙලින් ම බලපා ඇත. මේවා කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි කිවහොත් සමාජ ව්‍යසනයක් නොව සමාජයේ ඉහළින් පිළිගන්නා පිරිසක් ලෙස මත්පැන් පාවිච්චි කරන්නවුන් පත් වී ඇත. මත්පැන් හා සිගරට් පාවිච්චිය පසුගිය වර්ෂ කිහිපය තුළ ව්‍යාප්ත වීමෙහිලා රජයෙන් ලැබී ඇති අනුග්‍රහය හා අනුබලය මතු දැක්වෙන කරුණු වලින් මැනවින් පිළිබිඹු වේ.

(1)        මත්පැන් වෙළඳ බලපත්‍ර සංඛ්‍යාව වැඩිවීම.

රජය දැනට අනුගමනය කරන සුරාබදු ප්‍රතිපත්තිය මත්පැන් බීම වර්ධනය වීමට විශේෂ රුකුලක් වී ඇත. 1994 දක්වා රජයේ ප්‍රතිපත්තිය වූයේ සංචාරක හෝටල් සඳහා සංචාරක අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලයේ නිර්දේශය මත පමණක් අළුත් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ය. වෙනත් වර්ගයේ වෙනත් බලපත්‍ර (වෙළඳ) අළුතින් නිකුත් කිරීම සම්බන්ධයෙන් තදින් සීමා කිරීමක් විය. සිල්ලරට වෙළෙඳාමට අළුත් මත්පැන් බලපත්‍ර නිකුත් කළේ නැත. එහෙත් 1995 සිට මෙම තත්ත්වයේ විශාල වෙනසක් විය. සෑම වර්ගයක ම බලපත්‍ර සීඝ්‍රයෙන් වැඩිවන්නට විය. 600 ක් පමණ වූ සිල්ලර මත්පැන් විකිණීමේ සංඛ්‍යාව 1995 වර්ෂයේ 905 ක් විය.‍ මෙය 506 ක වර්ධනයකි. සෑම නගරයක ම මෙන් හතුපිපෙන්නා සේ හන්දියක් පාසා මත්පැන් සැල් ඇති විය. මේ හැරෙන්නට 1996 – 1997 වර්ෂවල දී සංචාරකයින්ගේ අවශ්‍යතාවයන් සඳහා සංචාරක මණ්ඩලයේ නිර්දේශ මත සංචාරක හෝටල සහ ආපන ශාලාවලට අමතරව බාහිර පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා ද, හෝටල හා ආපන ශාලා හා සමාජ ශාලා බලපත්‍ර 1996 – 1997 වර්ෂවල දෙතුන් සියයකින් වැඩි විය. 1995 වර්ෂයේ සුරාබදු කොමසාරිස්ගේ පාලන වාර්තාව අනුව මෙරට පැවැති මුළු මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව 2021 කි.

(2)        බීර බීමට ජනතාව පුරුදු කිරීම

1996/97 වර්ෂවල වර්ධනය වූ තවත් ලක්‍ෂණයක් නම් ජනතාව බීර කෙරෙහි ඇබ්බැහි කරවීම යි. 1995 අයවැය ලේඛනය බීර බෝතලයකට රු. 20 ක් පමණ වූ සුරාබද්ද රු. 10 කට, එනම් හරි අඩකින් අඩුකරන ලදී. ඒ අනුව බීර බෝතලයක මිල ද සමානුපාතිකව 406 කින් පමණ පහළ වැටුණි. ඒ සමඟ ම බීර පරිභෝජනය මෙතෙක් නොවූ විරූ පරිදි ඉහළ ගොස් අළුතින් බීර නිෂ්පාදනාගාර පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නැගුණි. දැනට තිබෙන නුවරඑළිය හා මැකලම් බීර නිෂ්පාදනාගාර වලට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකකට අඩිතාලම දමන්නට විය. මේ මඟින් බීර පරිභෝජනය තව වසර දෙකකින් 100% කින් වැඩිවීමට ඉඩ තිබේ.

(3)        මත්පැන් නිෂ්පාදනාගාර වැඩිවීම

ඉහත කී බීර නිෂ්පාදනාගාර දෙකට අමතරව අළුතින් ස්ප්‍රීතු නිෂ්පාදනාගාර හා බෝතල් කිරීමේ බලපත්‍ර 1996/97 වර්ෂවල නිකුත් කරන්නට විය. 1997 වර්ෂයේ දී පැලවත්ත සීනි සමාගමට ස්ප්‍රීතු නිෂ්පාදනයට බලපත්‍රයක් දී ඇත. දැනට රටේ ඇති අරක්කු හා ස්ප්‍රීතු ස්කාගාර සංඛ්‍යාව දහයකි. මෙම ස්ප්‍රීතු ලබාගෙන අඩු ප්‍රමාණය ආනයනය කිරීමෙන් පසු අරක්කු කලවම් කර බෝතල් කරන නිෂ්පාදනාගාර 24 ක් ඇත. මේ හැරෙන්නට ශරීරයට ඉතා අහිතකර නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බලපත්‍ර නොමැති ස්ථාන විශාල සංඛ්‍යාවක් නීතියේ රැහැනට අසුනොවී රටේ නානා ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.

(4)        සුරාබදු ආදායම

ආදායම අනුව බලන කල සුරාබදු රජයේ ආදායම් වලින් මූලික තැනක් ගනී. 1995 වර්ෂයේ මත්පැන් වලින් ලද ආදායම රුපියල් දශලක්‍ෂ 6000 කි. සිගරට් වලින් ආදායම රුපියල් දශලක්‍ෂ 9000 කි. 1996/97 වර්ෂවල මෙය තවත් වර්ධනය වී ඇත.

(5)        පරිභෝජනය පිළිබඳ සංඛ්‍යා ලේඛණ

පරිභෝජනය අනුව අරක්කු ඉහළ තැනක් ගනී. 1995 වර්ෂයේ අරක්කු ලීටර් දශලක්‍ෂ 66.5 ක් පාවිච්චි කර ඇත. මෙම වර්ෂයේ බීර පරිභෝජනය ලීටර් දශලක්‍ෂ 12.6 කි. පිටරට මත්පැන් පරිභෝජනය ලීටර් දශලක්‍ෂ 15.7 කි. 1995 වර්ෂයේ දේශීය සිගරට් පානය දශලක්‍ෂ 5196 ක් වී ඇත. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ දශලක්‍ෂ 17 වන ජනගහනයකගේ මත්පැන් හා සිගරට් පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක ඇති බවයි.

සුරාබදු කොමසාරිස්ගේ පාලන වාර්තාවේ සංඛ්‍යා ලේඛන උපුටා ගෙන දැක් වූ ඉහත විස්තර වලින් පෙනී යන්නේ රජයේ සුරාබදු ප්‍රතිපත්තිය ජනතාව මත්පැන් කෙරෙහි ඇබ්බැහි කරවීමට විශාල රුකුලක් වන බවයි. එක් පැත්තකින් රජයේ ආදායම වැඩිකර ගැනීමටත්, ඊට වඩා ප්‍රමුඛත්වයක් දී දේශපාලන හිතවතුන් සැනසීමටත් රජය ගනු ලබන උත්සාහයේ ප්‍රතිවිපාකය මත්පැන් නිෂ්පාදනය හා පාවිච්චිය වැඩිවීමයි.

මෙහි සඳහන් සංඛ්‍යා ලබාගත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා වලින් හා උගතුන් සමඟ සාකච්ඡා කොට ලබාගත් කරුණු මත බව සඳහන් කරමි. මේ සංඛ්‍යාවල වරදක් නැතැයි සිතමි. වරදක් තිබේනම් පෙන්වා දෙනු මැනවි. මෙසේ මත්පැන් ශාලා වැඩිකිරීම අමද්‍යප සේවක ශ්‍රීමත් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාට කරන නින්දාවකි. එමෙන් ම රට පුරාම මත්පැන් දැන්වීම් දමා තිබෙන ආකාරය බෞද්ධකමට කරන මහා නින්දාවකි. කවර නොදැහැමි ආකාරයකින් හෝ මුදල් ලබාගෙන රාෂ්ට්‍ර පාලනය කිරීම මනුෂ්‍යකමට සුදුසු නොවේ. කරුණාකර මැදහත් ව සලකා බලන්න.

 

ඉරිදා ලංකාදීප 1998.03.29

ප්‍රඥාප්‍රභා 8

 

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.