යස හිමියන් කැදවාගෙන ඒමට ගොස් භවය කෙලවර කල සිව්වන මිතුරා ගවම්පති මහරහතන් වහන්සේ …

ගවම්පති මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි දඹදිව එක්තරා කුලගෙයක ඉපිද වැඩි වියට පත් කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ සසර දුක් කෙළවර කර ගන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. හෙතෙම එයින් චුතව සිටී නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උන්වහන්සේ දැක පැහැදී මල් පූජා කොට පින් රැස් කර ගත්තේ ය. එයින් පසු බොහෝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි ගත කොට කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේ ගේ ධාතු චෛත්‍යයෙහි ඡත්‍රය ද වේදිකාව ද ඉදි කොට පින් රැස්කර ගත්තේ ය. ඊට අනතුරු ව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල ගෙයක උපන්නේ ය. එම ගෙයි බොහෝ ගවයෝ වුහ. ඒ ගවයන් රැක බලා ගත්තේ ගොපලෝ ය. එකී කුලපුත්‍රයා ඔවුන් යන එන තැන් විමසමින් හැසිරෙයි. හෙතෙම එක්තරා රහත් තෙර නමක් ඒ ගමෙහි පිඩු පිණිස හැසිරෙන බව දැක උන්වහන්සේට සෙවන ගෙන දෙනු පිණිස මහරී ලීයෙන් කළ මඩුවක් තනා පුජා කෙළේ ය.

මඩුව ඉදිරි පිට මහරි ගසක් ද රෝපනය කෙළේ ය. එකී රහතන් වහන්සේ දිවා කාලයේ එම මඩුව තුළ විසූ සේක. හෙතෙම එම පින්කම් හේතු කොට ගෙන මරණින් පසු චාතුර්මහාරාජික දෙව් ලොව උපන්නේ ය. ඔහුගේ දිව්‍ය විමානය ඉදිරිපිට මහත් වූ මහරි වෘක්ෂයක් පහළ විය. හැම දින සුවඳවත් මලින් එය ගැවසී ඇත්තේ ය. එය සේරිස්සක විමානය යනුවෙන් ප්‍රසිද්ධ විය. මෙම සේරිස්සක විමානයෙහි එකී දෙව් තෙම මහත් සැප සම්පත් විඳිමින් සිට එයින් චුතව අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බරණැස සිටුකුලයක ඉපිද ගවම්පති නමින් ප්‍රසිද්ධ ව විසී ය. හෙතෙම යස කුල පුත්‍රයාගේ යහළුවන්ගෙන් එක් අයෙකි. යස කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළග පැවිදි වූ බව ඇසූ ගවම්පති මාණවක තෙම කලින් කථාවල එන පරිදිම “ඔහුව නැවත ආපසු කැඳවා ගෙන එමි” යි සිතා බරණැස ඉසිපතනාරාමයට ගියේ ය. එහි ගිය ඔහුට සන්සුන් ඉඳුරන් ඇති තපෝ ගුණයෙන් බබළන යස තෙරුන් වහන්සේ දක්නට ලැබිණ. තමන්ට ද එබඳු පැවිදි ජීවිතයක් ඇත්නම් යහපතැ යි සිතු ගවම්පති මාණවකයා ගේ අදහස් දැන ගත් බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්මදේශනා කළ සේක. දහම් අසා අවසානයේ දී ගවම්පති මාණවකයා කෙලෙස් නසා රහත් විය. බුදුරජාණන් වහන්සේ එහි භික්ෂුභාවයෙන් ඔහුට මහණ උපසම්පදාව දුන් සේක. රහත් භාවයට පැමිණි ගවම්පති තෙරුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් සාකේත නුවර අඤ්ජන වනයෙහි වාසයට ගිය සේක.

එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා වහන්සේ පිරිවරා ගෙන සාකේත නුවර අඤ්ජන වනයට වැඩි ස්ක. . එපමණ විශාල සංඛ්‍යාවකට එම ස්ථානය ඉඩ මදි වීම නිසා රාත්‍රියෙහි සමහර භික්ෂුහු සරභූ නදියෙහි වැලිතලාවෙහි නිදා ගන්න. මධ්‍යම රාත්‍රියෙහි මහා ජල කඳක් ගංගාවෙහි ගලා ගෙන ආහ. ඒ දුටු සාමණේර භික්ෂුහු මහත් සේ හඩ නගා විලාප කියන්ට පටන් ගත්හ. ඒ හඩ ඇසූ බුදුරජාණන් වහන්සේ ගවම්පති තෙරුන් ට කථා කොට ” ගවම්පති, ගොස් එම ගලාගෙන යන මහා ජලකඳ නවත්වන්න” යි වදාළ ස්ක. ගවම්පති තෙරණුවෝ සෘද්ධියෙන් එම පහළට ගලා ආ ජලකඳ නැවැත් විය. ගලා ගෙන ආ ජලකඳ උඩට නැගී කන්දක් මෙන් පිහිටියේ ය. එතැන් පටන් ගවම්පති තෙරුන් වහන්සේන්ගේ ආනුභාවය හැම තැනම ප්‍රකට විය. මුන් වහන්සේ එක්වරක් සෘද්ධියෙන් චාතුර්මහාරාජික දෙව්ලොව පිහිටි තමන් ගිය ආත්මයක වාසය කළ සේරිස්සක විමානයට ගිය විට එහි තවත් දෙවි කෙනෙක් සිටින දැක ” ඔබ කවරෙක් දැ” යි ඇසූ සේක. එවිට එහි සිටි දේවතාවා තමන් පායාසි නම් රජතුමා බවත් , සකස් කොට දන් නුදුන් හේතුවෙන් එහි අල්පේශාක්‍ය දෙවියකු වී උපන් බවත් සකස් කොට දන් දුන් පිනෙන් තම සේවකයා තව් තිසා දෙව් ලොව උපන් බවත් ” තෙරුන් වහන්සේට පැවසී ය. ගවම්පති මහ රහතන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේ ලා අතර එක්තරා මහ රහතන් වහන්සේ කෙනෙක් ද වූ ‍සෛ්ක.

error: Content is protected by www.ifbcnet.org.