
විමල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ” අනාගතයෙහි බුදු කෙනෙකු හමුව රහත් ඵලයට පැමිණෙන්නෙමි” යි අධිෂ්ඨාන කළහ. හෙතෙම එතැන් පටන් බොහෝ කුසල් රැස්කර දෙව් මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි දඹදිව බරණැස් සිටු ගෙදරක උපන්නේ ය. දෙමව්පියෝ ඔහුට විමල යයි නම් කළාහුය. කලක් ගිහි සැප විඳිමින් සිටින අතර ඔහුගේ යහළු යස සිටුපුත්‍රයා පැවිදි වූ බව අසන්ට ලැබිණ.
යස සිටු පුත්‍රයාගේ මව්පියෝ විමල මාණවකයා හමුව කෙසේ හෝ යස පුත්‍රයාව ආපසු ගෙදරට ගෙන එන ලෙස දන්වුහ. එබස් ඇසූ විමල මාණවකයා ” ඔහු මගේ යහළුවා බැවින් මා කියන දෙයක් ප්‍රතික්ෂේප නො කරන බැවින් කෙසේ හෝ ඔහුව ආපසු කැඳවා ගෙන එමි” යි වහසි බස් දොඩා තවත් කීප දෙනකු සමග යස තෙරුන් වැඩ ඉන්නා බරණැස ඉසිපතනාරාමයට ගියේ ය. එහි ගිය විමල මාණවකයා යස තෙරුන් දැක ” අප යහළුවා ගිහිව සිටින කලට වඩා පැවිදි වී සිටින විට වඩාත් හොබනේ ය ” යි තෙරුන් ගැන පැහැදී තමන් ගිය කාරිය අමතක කොට භාග්‍ය වතුන් වහන්සේගෙන් බණ අසා එහි භික්ෂු භාවයෙන් පැවිදිව රහත් විය. මේ විමල මහරහතන් වහන්සේ අසු මහා ශ්‍රාවක පිරිසගෙන් එක් අයෙක් වූ සේක.