මේ බුද්ධශාසන විනාශය ගුවන් තොටින් ම නතර කරන්න …

ජපන් නිකායික පූජකවරුන් ටික දෙනකු හැර අන් හැම දෙනා ම ආවාහ වන්නවුන් යැයි ද, ශ්‍රී ලංකාවේ ඇති කරන්නට යන ජපන් නිකාය ද කසාද බඳින ගණයට ඇතුළත් වන්නේ යැයි ද මේ බුද්ධ ශාසන විනාශය ගුවන් තොටින් ම අවසන් කරන්නැයි ද මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියෝ ආර්. ප්‍රේමදාස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිති.

මහා නායක හිමියෝ මෙසේ ද ලියා දනවති.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන පරිච්ඡේදය මෙසේ ය : “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (ඒ) වන අනුව්‍යවස්ථාවේ (ඊ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.”

මේ ව්‍යවස්ථාවේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය” යන වගන්තිය අනුව මුල පටන් ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබී නැත. ලැබී තියෙන්නේ සමස්ථානය යි. ඉදිරියට වත් බුද්ධ ශාසන අමාත්‍යාංශයක් පිහිටුවා එහි අමාත්‍ය ධුරය ද භාරගත් ජනාධිපතිතුමා ගෙන් වත් එය නො ලැබුණ හොත්…?

එහි දෙවැනි කොටස “බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය” යනුයි. එය ද නාමමාත්‍ර බවට පත් වී ඇත. මෙකලැ මෙහි වාසය කරන ක්‍රෛස්තව පූජකවරුනට අතිරේක වැ පිට රටවලින් පැමිණ සිටින මිෂනාරි සමාගම් සිය ගණනක් සමාජ සේවා නාමයෙන් දුප්පත්කම උපයෝගි කැර ගෙන නොයෙක් උපකාර කරමින් තමන්ගේ ආගමට හරවා ගැනීමේ කූටෝපක්‍රමයෙක යෙදී සිටින බව අසන්නට ලැබේ. මේ උපක්‍රමය “බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම” යන කොටසට විරුද්ධ ය. රජය සාධාරණ විය යුතු ය. එහෙත් අතිසාධාරණ විය යුතු නො වේ.

මේ අතර පැල්පොළ විපස්සි ස්වාමීන් වහන්සේ ථෙරවාදී භික්‍ෂු ජීවිතය අතහැර මහායාන පූජක ජීවිතයට බැස මේ මස 27 වැනිදා ලංකාවට පැමිණෙනවා යැයි පුවත්පත්හි පළ වැ තිබුණි. එයට විරෝධය පළ කෙරෙමින් පූජ්‍යපාද පණ්ඩිත ලබුගම ලංකානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය නිකායෙන් අස් කළ බව ද පවසමින් ඉතා වටිනා ප්‍රකාශයක් කැරැ තිබිණි.

බුද්ධ ශාසන අමාත්‍ය ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා වහා ම ක්‍රියාත්මක වී ඇත. එය ශ්‍රේෂ්ඨ ජනනායක ලක්‍ෂණයෙකි. මෙබඳු අවස්ථාවන්හි දී පුරාණ ශ්‍රේෂ්ඨ රජවරුන් ක්‍රියා කළ ආකාරය පෙන්වා දීම මැනැවැ යි සිතමි.

බුද්ධ වර්ෂ 758 දී රජ පැමිණි වෝහාරතිස්ස රජතුමාගේ කාලයෙහි අභයගිරික භික්‍ෂූන් විසින් ධර්ම විරෝධී වෛතුල්‍ය අදහස් පතුරුවන්නට පටන් ගන්නා ලදී. මෙයින් ගිහි පැවදි බොහෝ දෙන නොමඟ යන බව දැන ගෙන රජතුමා කපිල නම් නැණැති ඇමැතියා ලවා වැරැදි මත දැරූ පුද්ගලයන් පන්නා දමා ශාසනය ආරක්‍ෂා කෙළේ ය.

බුද්ධ වර්ෂ 797 දී නැවැතත් වෛතුල්‍යවාදය පැතිරෙන්නට විය. එකලැ වාසය කළ ගෝඨාභය රජතුමා විසින් මහ තෙරුන් වහන්සේලාගෙන් ධර්මය අධර්මය දැනැ ගෙන අධර්ම පොත් ගිනි තබා ඒ අධර්මවාද ගෙනා අය හංවඩු ගසා රටින් නෙරපන ලදහ.

බුද්ධවර්ෂ 817 දී රජ වුණු මහසෙන් රජතුමාගේ කාලයෙහි දී සංඝමිත්‍ර නමින් පැමිණි වෛතුල්‍යවාදී භික්‍ෂු නම රජතුමා මුළා කැරගෙන මහා විහාරය විනාශ කරන තත්ත්වයට පත් විය. මේඝවර්ණාහය ඇමැතිතුමා රජුට විරුද්ධ වැ යුද කරන්නට සූදානම් විය. පසු වැ මහසෙන් රජතුමා තමා නොමඟ ගිය බව දැනැගත්තේ ය. රාජ දේවියගේ උපායෙකින් කුදිටු සංඝමිත්‍ර මරවන ලදී.

බුද්ධ වර්ෂ 1300 යෙහි ද සේන රජවරුන්ගේ කාලයෙහි නීලපට දර්ශන නම් මිථ්‍යා ධර්මයක් පැතිරෙන්නට විය. ශාසනමාමක දෙවන සේන රජතුමා විසින් මිථ්‍යාවාදීහූ රටින් නෙරපන ලදහ. එතෙකින් නොනැවතුණු රජතුමා නැවැත මිථ්‍යාවාද ගෙන ඒම වැළැක්වීමට නැව් තොටවල මිථ්‍යාදර්ශන ගෙන එනවා දැයි පරීක්‍ෂා කැර බලන්නට ධර්මධරයන් ද පත් කැර තුබුණා. ඉදින් සැකකරුවන් පරීක්‍ෂා කරන විට මිථ්‍යාමත ධරයන් හමු වුණොත් ඒ නැවෙන් ම ආපසු යවනු ලැබිණි. අපේ රජවරුන් සාධාරණ වුණා. එහෙත් අතිසාධාරණ වුණේ නැත.

ථෙරවාද වුවත් මහායාන වුවත් අපි එක ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණයෝ වෙමු. 1950 දී මෙහි පැවැත්වුණු ලෝක බෞද්ධ සම්මේලනයෙහි දී ථෙරවාද මහායාන බෞද්ධයන් අතර ඉතා උසස් මිත්‍රත්වයක් ඇති වුණා. ඒ සුහදතාව දිගට ම පවත්වාගෙන යන්නට අපි සදහට ම සුදානම් වෙමු. පැල්පොළ විපස්සී ස්වාමීන් වහන්සේ ගන්නට යන ක්‍රියා මාර්ගය මෙතෙක් පැවැති සුහදතාවට ද බලවත් බාධාවක් වනු ඇත. අපට වුවමනා කරන්නේ එක පුද්ගලයකුගේ ලාභ ප්‍රයෝජන වැළැක්වීම නො වැ ථෙරවාද බුද්ධ ධර්මය පිරිසිදු වැ රැකගැනීමත් ථෙරවාද මහායාන බෞද්ධයන් අතර ඇති කැරගෙන තිබෙන සුහදතාව රැකගැනීමත් ය.

මේ අවස්ථාවෙහි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි තැබූ විශ්වසය මතක් කැර දිය යුතු වැ ඇත. එනම්, උන්වහන්සේ පිරිනිවන් පාන්නට පෙර “මගේ ශාසනය බොහෝ කල් රැකෙන්නේ කොහි ද? රකින්නෝ කවරහු දැ” යි නුවණින් බලා වදාළහ. උන් වහන්සේගේ දිවැසට පෙනුණාහු ශ්‍රී ලංකාව හා සිංහල බෞද්ධයෝ ය. උන් වහන්සේගේ උදාර බලාපොරොත්තුව සිංහලද්වීපවාසී මහා සංඝයා වහන්සේත් සිංහල බෞද්ධ රජවරුනුත් බෞද්ධ ජනතාවත් ඉතා හොඳින් සම්පූර්ණ කළ බව ශාසන ඉතිහාසය කියයි.

ඒ අතර ඉතා උසස් ක්‍රියා රාශියක් සිදු කළ වළගම්බා රජතුමාගේ අභයගිරි නිකාය ඇති කිරීමට මඟ පෑදීමේ අදූරදර්ශී ක්‍රියාමාර්ගය නිසා සම්බුද්ධ ශාසනයට සිදු වූ හානිය වචනයෙන් කිව නොහැකි තරම් ය. එහෙත් පසු කාලවල වාසය කළ දූරදර්ශී රජවරුන්ගේ ක්‍රියා මාර්ග නිසා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා වුණා.

පැල්පොළ විපස්සි ස්වාමීන් වහන්සේට පෞද්ගලික වැ ලැබෙන ලාභ ප්‍රයෝජන වත් ලොකුකම වත් වළක්වන්නට උවමනා නැත. සම්බුද්ධ ශාසනයේ වටිනාකම කෝටි ප්‍රකෝටි ගණනින් වත් කිව නොහැකි ය. එය ආරක්‍ෂා කිරීම ගිහි පැවදි බෞද්ධයන්ගේ පරම යුතුකමයි. එහෙයින් මානව අයිතිවාසිකම් වලට වඩා සම්බුද්ධ ශාසනයේ අයිතිවාසිකම ශතසහස්‍ර ගුණයෙන් ශ්‍රේෂ්ඨයි.

ජපන් නිකායික පූජකවරුන් ස්වල්ප දෙනකු හැර අන් හැම දෙනා ම ආවාහ වන්නාහු වෙති. මෙහි ඇති කරන්නට යන ජපන් නිකාය ද කසාද බඳින ගණයට ඇතුළත් වෙයි. ජපන් බොහෝ පන්සල්වල අයිතිය යන්නේ තාත්තාගෙන් පුතාට ය. තවත් කිය යුතු කරුණු බොහොමයි. ලිපිය දික් වන බැවින් නවත්වමි.

බුද්ධ ශාසන අමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමෙනි, ඔබතුමා මහා බලවත් විධායක ජනාධිපතිතුමෙකි. ශාසන මාමක ඇතැම් සිංහල බෞද්ධ රජවරුන් කළාක් මෙන් මේ බුද්ධ ශාසන විනාශය ගුවන් තොටුපළින් ම අවසන් කරන මෙන් සම්බුද්ධ ශාසනාභිවෘද්ධිකාමී වැ ශාසනාලයයෙන් දන්වමි.

 

දිනමිණ 1990.05.14

ප්‍රඥාප්‍රභා 4

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

සිංහල - දෙමළ - මුස්ලිම් සුහද වාසය ...
පක්‍ෂ දේශපාලකයනට ජාතික සමඟියක් ගැන කතා කළ හැකි ද?

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.